378 Views  
මේ පාසල් නිවාඩුවට පියාඹන්නට අරුත්බර පියාපත් දෙමු

මේ සතියේ ළමයින්ට දැනෙන විශාලතම වෙනස පාසල් නිවාඩුවයි. නගරයට පාසල් නිවාඩුව දැනෙන්නෙ මාර්ග තදබදය අවම වෙන කාලයක් විදියට. පාන්දරින් බස්වලට නැගල ආසනයේ කොනක් අල්ලගෙන නිදාගෙන යන ශිෂ්‍ය ශිෂ්‍යාවොත්, හැන්දෑවට නිදි කිරමින් ගෙදර සේන්දුවෙන දරුවොත් හැල්මේ දුවන්නෙ එකම ධාවන පථයක. බස් එකේ ඔළුව වැදි වැදී ගෙඩි ගැහෙන්නෙ නැති නිවාඩු කාලයක් එන බව එක දරුවෙක් කිව්වෙ හිනා වෙවී. ජනප්‍රිය පාසල්වලට වෑන් රථවලින් හා බස් රථවලින් ගමන් කරන ප්‍රමාණය කොයිතරම් වුණත් අපි කියන්නෙ ‘ළඟම පාසල හොඳම පාසල’ කියලා. ඒකත් හරියට අතිරේක පන්ති වගේ. අතිරේක පන්තිවලට බනින හැම ගුරුවරයෙකුම වගේ ඒ අයගෙ දරුවන්වත් එහෙම පන්තියකට යවනවා. වෙන කරන්න දෙයක් නෑනෙ කියන එක තමයි උත්තරය. මේ ආරම්භ වෙන නිවාඩු කාලෙ ගමේ ඉස්කෝලෙ ළමයින්ට වෙනස් විදියට දැනේවි. ඇත්තම කතාව තමයි සමහර මවුපියන් ඉස්කෝලෙ නිවාඩු කාලෙට කැමති නැහැ. ඒ වගේ අය කියන්නෙ වරුවක් හරි මට කරදරයක් නැතිව ඉස්කෝලෙ මිස් මේ ගොල්ලන්ව බලාගන්නව නෙ කියලා. මේ ඔක්කොම මැද්දෙ අද අපේ සුළඟ හමන්නෙ පාසල් නිවාඩුව දිහාට. ඇත්තටම නිවාඩුව කාටද? මොකට ද? කියන එක තේරුම්ගන්න පුළුවන් නම් විතරයි, මේ නිවාඩු කාලෙට අර්ථයක් ලැබෙන්නෙ.

පසුගිය නිවාඩු කාලවල අපි පාසල් ළමයින් සමඟ නිවාඩු කඳවුරු තිබ්බා. ඒ කඳවුරේ දි අපි වනාන්තරයක් සහිත ප්‍රදේශයක ඇවිදින්න ගියා. ටිකක් දුර වැඩියෙන් පයින් යන්නත්, ගහ කොළ, සතා සීපාවා අඳුර ගන්නත් පරිසරය විඳින්න අවස්ථාවක් දෙන්නත් තමයි අපිට ඕන වෙලා තිබුණෙ. ඒ අත්දැකීම් හරහා අධ්‍යාපනය ලබා දීම, අපේ අධ්‍යාපනයේ අරමුණයි. කට දම්පාට වෙනකම් දං කාල, නැත්නම් බෝවිටියා හපලා අනෙකාට දිව පෙන්වමින් තමයි ළමයි ගමන් කළේ. දොළ ගලාගෙන යන ‘හෝ හෝ’ හඬ මුමුණන රහස කැ‍ලේ මැද්දෙදි ටිකක් සද්දෙට ඇහෙනවා. ඇත්තටම එච්චර සද්දෙට රහස් කියන්න නරකයි. ඒත් ඒ රහස තේරුම් ගන්න නිවී සැනසිල්‍ලේ දොළ ගලාගෙන යන හඬ අහගෙන ඉන්න ඕන. ඊට පස්සෙ අපි සීතල වතුර පාරට බැහැලා නෑව. පීනන්න බැරි අය ගැඹුරු තැන්වලට නොගියට කකුල් දෙක මාළුන්ට හපන්න දීල කිතිකැවෙමින් හිනැහුණා. කලින් දැකල තිබ්බත් නම් ගම් දන්නෙ නැති ගහ කොළ වඩා හොඳින් අඳුර ගත්තා. දොළට තරමක් එහායින් එතරම් මුහුණුවර මතක නැති ‘ඩොංගා’ ගහක් තිබුණා.

මැංගුස් දන්නවා වුණාට ඩොංගා දන්නෙ ගමේ ළමයි විතරයි. එක්කෙනෙක් බිම වැටුණු ගෙඩියක් ගෙනත් අනිත් අයත් එක්ක රහ බැලුවට පස්සෙ රංචුවම එකතු වෙලා ගල්-‍පොලු ගහලා ගහේ තිබුණු ගෙඩි ‍පොකුරු පිටින් බිමට අරගෙන ගොරකා කනවා වගේ මූණ ඇඹුල් කර කර රහ කළා. කහට ප්‍රශ්නයක් නොවුණෙ ඇඳගෙන හිටපු ඇඳුම් නිසා. ඊළඟට ආයෙත් වතුරට බැස්සා. වතුරෙ සද්දෙ අබිබවා යන තරමට මරලතෝනි දෙන කුරුලු කූජනය දන්නා කියන දරුවො නම් ගම්වලින් අනිත් අයට කියලා දුන්නා. ආපහු දහවල් කෑමට අඩිපාරවල් දිගේ ඇවිදගෙන යද්දී බෝඹු කෝටුවෙන් දත් මදින්න කියලා දුන්නෙත් ගමේ ළමයෙක්. ඊට පස්සෙ කට්ටියම බෝඹු කෝටු හපහපා හිටියා.

ළමයි ගොඩක් දේ මේ විවේකයේ දී ඉගෙන ගත්තත් ඒ හැම වෙ‍ලේදීම ඔවුන්ගේ ඇස්වල හිනාවක් විස්මයක් නැත්නම් කඩාහැලෙන උද්යෝගයක් තිබ්බා. පන්තිකාමරයේ වාඩිවෙලා ඉගෙන ගන්න කොට එහෙම මූණක් දකින්න ලැබෙන්නෙ කලාතුරකින්.

මං කියන්න උත්සහ කරන්නේ නිවාඩුවක් නම් ඒ වගේ තියෙන්න ඕන කියලා. මේ මොහොතේ ඒ නිවාඩුව අහිමි වෙන කණ්ඩායම් දෙකක් ඉන්නවා. එකක් මෙවර උසස් පෙළ විභාගයට ලියන ළමයි. අනෙක් කණ්ඩායම පහේ ශිෂ්‍යත්වයට ලියනවා. මේ දෙකම ලංකාවේ අතිශය බරපතළ විභාග බවට පත්වෙලා තියෙන නිසා ඒ ගැන කතා කරන්න දෙයක් නෑ. අනෙක පරිපාලන පැත්තෙන් ගත්තම ඉස්කෝලවලට නිවාඩු දුන්නම තමයි විභාග ශාලා ලැබෙන්නෙ. උසස් පෙළ නම් සාධාරණ උණත් පහේ පන්තියෙ දරුවො පව්. ඒක ගැන විවාදයක් කරන්න ගියොත් මවුපියන්ගෙන්මයි විවේචකයාට ගුටි කන්න වෙන්නෙ. ඒත් අපි එක දෙයක් අවධාරණය කළ යුතුමයි. නිවාඩු දෙන්නෙ පාසල්වලටවත් ගුරුවරුන්ටවත් නොවෙයි, ළමයින්ට. ඒක අධ්‍යාපන ක්‍රියාවලියේ කොටසක් මිසක් පරිබාහිර දෙයක් නොවේ. ජීවිතයේ ඔක්කොම දේවල් ‍පොත්පත් ඇතුළෙ සඟවල තිළිණ කරන්න බෑ. අකුරුවලට කවලා දෙන්න බැරි හැඟීම් සහ අත්දැකීම් ලෝකයේ තියෙනවා. ඒවා ඔක්කොම සඟවලා තියෙන්නෙ සොබාදහම අස්සෙ. අන්න ඒවා ගවේෂණය කරලා හොයාගන්න කාලයක් තිබිය යුතු නිසයි නිශ්චිත නිවාඩු කාලයක් ළමයින් සඳහා වෙන් කරලා තියෙන්නෙ. ඒ කියන්නෙ, නිවාඩු කාලෙත් ඉගෙන ගන්න තියෙනවා. මෙහෙම කිව්වම නිවාඩු කාලෙට ඇතිවෙන්න ගෙදර වැඩ දෙන ගුරුවරුත් අපිට ඉන්නවා. ඒ විතරක් නොවේ නිවාඩු කාලෙ පටන්ගත්ත දවසෙ ඉඳල හෝම්වර්ක්ස් කරන්න බල කරන මව්පියනුත් අපට හිඟ නැහැ. දිගු නිවාඩු කාලයකට පස්සෙ පාසල් අධ්‍යාපනයට ඇති සම්බන්ධය සපුරා අමතක නොවුණු පිණිස කිසියම් මගපෙන්වීමක් පැවරීමට අප විරුද්ධ නැහැ. ඒත් ගෙදර වැඩ පෙළ‍පොත තුළින් පවරලා ගුරුවරයාගේ කාර්යය එලෙසම අම්මාට හෝ තාත්තාට හෝ පැවරීමෙන් සිදුවන්නේ නරකක් මිසක් හොඳක් නොවේ. විවේකීව නිදහස්ව හා සතුටින් ඉගෙන ගැනීම සඳහා පාසල් නිවාඩුව පාවිච්චි කරන්න පුළුවන්. මන්ද නිවඩු කාලයේ එකම අරමුණ අලස සුවය විඳීම නොවන නිසා. ඒත් වෙනදාට වඩා ටිකක් වැඩිපුර නිදාගන්න එකේ මැච් එකක් නැත්නම් චිත්‍රපටයක් බලන එකේ කිසිම වරදක් නෑ. තොරතෝංචියක් නැතිව පාඩම් මතක්කිරීමේ කරච්චලයෙන් මිදීමටත් ළමයින්ට සාධාරණ අයිතියක් තියෙනවා. ඒ වගේම මේ විවේක කාලය ඉගෙනුම සඳහා මැනවින් සංවිධානය කිරීමටත් මවුපියන්ට පුළුවන්.

නිවාඩුයි කියල කකා බිබි ගෙදරට වී නිදා ගැනීමෙන් ලැබෙන සුවයක් නැති බව ළමයින්ට තේරෙන්නෙ එහි නියම රසය විඳගන්නට දරුවන්ට අවස්ථාවක් දුන්නොත්. ඒත් අපි ජීවත්වෙන සමාජ ආර්ථික රටාවත් එක්ක මේක හරිම අසාධාරණ ඉල්ලීමක්. එදා වේල ගැටගහ ගැනීමේ දුෂ්කර අරගලයක නිරත වන දුප්පත් මවුපියන්ට විනෝද චාරිකා සංවිධානය කිරීම හෝ විවේක කඳවුරුවලට යැවීම පහසුවෙන් කළ හැක්කක් නොවේ.

පාසල් නිවාඩුවට රටෙන් පිට එක්කරගෙන යන දරුවො වගේම එදා වේල සොයා ගැනීමේ තරගයට තාත්තත් එක්ක කුලී වැඩට යන දරුවොත් අපට හිඟ නැහැ. බටහිර රටවල වුණත් ගිම්හාන නිවාඩුවට වැඩ ලෝකයේ අත්දැකීම් ලබා ගැනීම සඳහා පැවරුම් පවරන බවට ඔබ තර්ක කරාවි. ඒක ඇත්තක්. වැඩිහිටි ළමයෙකුට නිවාඩු කාලයේ අත්දැකීම් ලබා ගැනීමට රාජකාරි පැවරුමක අත්දැකීම් ලබා දීමට අපිත් පක්ෂයි. ඒත් අපේ ගම්වල දරුවො ඉස්කෝලෙ නිවාඩුවට වැඩිහිටියන් සමඟ වැලිගොඩ දාන්නත් මේසන් බාසුන්නැහැට අත් උදව් දෙන්නත්, අත්වල කරගැට එනකන් හේනෙ කුඹුරෙ ‍පොළොව එක්ක හැප්පෙන්නත් යන්නෙ ගිම්හානෙ අත්දැකීමකට නොවේ. ඒ සැබෑ ජීවිතයේ ලබන අත්දැකීම ජීවිතය රසවත් කරන්නට මතු දිනෙක උපකාර විය හැකි නමුත් දරුවාගේ ළමා කාලය ඔහුගෙන් උදුරාගෙන වැඩිහිටියෙකු බවට පරිවර්තනය කිරීමේ අයිතියක් අපට නැහැ. මේ ආදායම් ව්‍යාප්තියේ විෂමතාව දුරු නොකර දුප්පත් ළමයින්ට හා ‍පෝසත් දෙමාපියන්ගේ දරුවන්ට එක හා සමාන නිවාඩුවක් දෙන්න බැහැ. එහෙත් එබඳු සමාජයක් බිහිවන තෙක් අපට ඉස්කොලෙ නිවාඩුව කල් දාන්නත් බැහැ. ඊළඟ කාරණය තමයි මුදල් හදල් තිබූ පමණින් නිවාඩුවේ අරුත දරුවාට කියාදීමට මවුපියන් සමත් නොවීම. ඒ සඳහා මනෝ සමාජයීය අත්දැකීම් ලබා දීම සැලසුම් කළ යුතුයි.

විධිමත් කාලසටහනක දරුවා සිරකර තැබිම බන්ධනාගාර රැඳවියෙකුගේ තත්වයකට පත්කිරීමක්. එය වහාම වෙනස් කළ යුත්තේ අදෘශ්‍යමාන ඉලක්කගත සැලසුමකට යෑම මගිනුයි. නූතන යුගයේ අධ්‍යාපනය ද හුදෙක් පාස‍ලේ පමණක් කාර්යභාරයක් නොවන බව මව්පියන් හා වැඩිහිටියන් වටහා ගත යුතු ය. අද පවත්නා බරපතළ හා අවාසනාවක් වන්නේ දරුවන් හා වැඩිහිටියන් අතර සම්බන්ධතාව දුරස් වීමයි. අම්මා තාත්තා ආච්චි සීයා මතු නොව අනෙකුත් නෑයන් අතර පරතරය දුරස් ය. අනාදිමත් කාලයක සිට එය බැඳ තැබූ බැම්ම වූයේ ආදරයයි. දැන් ඒ සඳහා කාලයක් නොමැත. මේ නිවාඩු කාලය යළි එය වගා කර ගැනීමට කදිම තෝතැන්නකි. එය අධ්‍යාපනයේ ම කොටසක් සේ සලකා ඔබේ දරුවාට ඔබ සමඟ වැඩි කාලයක් ගත කිරීමට කාලය සැලසුම් කරන්න. ඔහුට අවශ්‍ය ආදර්ශය ඔබම ලබා දෙන්න.

නිවාඩු කාලයේ තවත් පාර්ශ්වයක් වන්නේ අතිරේක පන්ති ගුරුවරුන් ය. නිවාඩු කාලෙට වැඩියෙන් ටියුෂන් දැමීම දැන් මෝස්තරයක් වී ඇත. නිවාඩුව අතිරේක පන්තිවලින් පුරවන්නේ නම් පාසල් නිවාඩුව ලබා දීමේ අර්ථයක් නැත. අතිරේක පන්ති එහි අරුතින්ම අතිරේක විය යුතු විනා ප්‍රධාන ධාරාවට බාධාවක් නොවිය යුතු ය. ඡායා අධ්‍යාපනය ලෙස වර්තමානයේ හඳුන්වන ටියුෂන් යතාර්ථයක් බව සැබෑ ය. එහෙත් ටියුෂන් ගුරුවරයාට ද විෂය නිර්දේශයෙන් පිට වගකීමක් තිබේ. එය හොඳ හා යථාර්ථවාදී දරුවෙකු නිර්මාණය කර ගැනීම සඳහා ය. නිවාඩු කාලයත් අධ්‍යාපන මනෝවිද්‍යාත්මක අර්ථයෙන් හඳුන්වා දී ඇත්තේ පෞරුෂයෙන් පිරිපුන් මිනිසෙකු තැනීම සඳහා ය. එබැවින් අතිරේක පන්තිය ඉන් ඔබ්බට යා යුතු නොවේ. හොඳ අතිරේක පන්ති ගුරුවරුන් පාසල ස්වකීය ප්‍රතිවාදියා ලෙස සලකන්නේ නැත. ළමයෙකු හොඳ ප්‍රතිඵල ලබා ගත් විට එහි අයිතිය කියාපෑමට පාරේ බැනර් ප්‍රදර්ශනය කරන ගුරුවරු පාස‍ලේ දායකත්වය නොසලකා හරින්නේ නම් එය කුහක කමකි. මවුපියන්ගේ මැදිහත් වීම නොතකන්නේ නම් එය අකෘතඥ කමකි.
අජිත් ජයවර්ධන වෘත්තීය, අධ්‍යාපන හා මනෝවිද්‍යා උපදේශක
අජිත් ජයවර්ධන වෘත්තීය, අධ්‍යාපන හා මනෝවිද්‍යා උපදේශක

මීළඟට වැදගත්ම වගකීම ඇත්තේ ගුරුවරයාට ය. නිවාඩු කාලය සිසුසිසුවියන්ට විනා තමන්ට අයත් එකක් නොවන බව ඔවුන් තේරුම් ගත යුතු ය. අන්තර්ජාල ගුරුවරයා පැමිණි පසු දැනුම ගබඩා කර තබා ගැනීම තවදුරටත් ගුරුවරයාගේ ආඩම්බරයට කරුණක් නොවේ. අන්තර්ජාල දැනුමට සිසුසිසුවියන් උගත් පසු වෑයම් කර රැකගත් දැනුමෙන් ගුරුවරයාට පැවතිය නොහැකි ය. වඩාත් ක්‍රියාකාරී සහ ඵලදායී අධ්‍යාපනයක් සඳහා ගුරුවරයාට යාවත්කාලීන වීමට ලැබෙන හොඳම කාලය මේ නිවාඩුවයි. ඉඳින් ගුරුවරයා මීළඟ වාරයට ලහි ලහියේ සූදානම් විය යුතු ය. ගිය අවුරුද්දේ හෝ පසුගිය වාරයේ උදාහරණ වෙනුවට අලුත් උදාහරණ ගුරුවරයා සොයා ගත යුතු ය. රොකට් වේගයෙන් පාසලෙන් පිටත සිදුවන වෙනස හමුවේ ගුරුවරයාට බර කරත්තෙන් ගමන් කළ නොහැකි ය. එයට හේතුව දැනුම ඉබිගමනින් ගමන් නො කිරීම ය.

මේ නිවාඩුව ළමයින්ට ද ගුරුවරුන්ට ද මව්පියන්ට ද තීරණාත්මක වන්නේ හෙට දවස වෙනුවෙනි. මේ විවේකය හොඳින් ගත කළහොත් හෙට දවස සතුට හා සාර්ථකත්වය පිරුණු එකක් වනු නොඅනුමාන ය.



Wmqgd .ekSu weiqfrks
o