121 Views  
වයස ළඳුන් යස ළඳුන් කරන හැටි
අපේ පාසල් වයසේදී කවුරුන් හෝ මේ ප්‍රශ්නය ඇහුවා නම් උත්තරය ඉතා සරල ය. සිනමාලියක්‌ මනමාලියක්‌ කරනවාටත් වඩා පහසු ය. එය ඉතා සරල අකුරු විඡ්ජාවකි. ඒ ඉතින් සිංහල භාෂාවේ තවත් අපූරුවකි. එහෙත් වයස ළඳුන් හැබෑවටම යස ළඳුන් කරන්නට ඔබට පුළුවන් නම් දින කිහිපයක්‌ ඇතුළත ලක්‌ෂ ගණනක්‌ උපයා ගන්නට ඔබට හැකි වෙයි. ලංකාව පුරාම රූපලාවණ්‍යාගාර විවෘත කර ඉතා ජනප්‍රිය චරිතයක්‌ වන්නට ඔබට හැකි වෙයි.

එක්‌ භාවනා ගුරුවරයෙක්‌ "මගේ භාවනා පන්තියට එන්න. මම ඔබ ලස්‌සන කරන්නම්" යි පොරොන්දු විය. ටික දිනකින් ම ආච්චිලා සීයලාගෙන් ශාලාව පිරී ඉතිරී ගියේ ය. සැබවින් ම පියකරු නිරෝගී පෙනුමක්‌ ලබා දෙන භාවනා ක්‍රම තිබේ. විශේෂයෙන් ම මෛත්‍රී භාවනාව කායික සහ මානසික නිරෝගී කම මෙන් ම ප්‍රසන්න පෞරුෂයක්‌ ද ලබා දෙන්නකි.

ලෝකයේ විවිධ රටවලින් ගෙනෙන පෙති කරල් සහ ආලේපන සහ සබන් වර්ග වලින් ඔසුහල් පිරී යන්නේ වාග් චාතුර්යයෙන් පොහොසත් රූමත් ලියන් සහ වෙදැදුරන් විසින් මෙහෙයවනු ලබන මාධ්‍ය වැඩ සටහන් නිසා ය. සමහර සබන් වර්ග රූ සිරි වැඩි කිරීම සම්බන්ධයෙන් නම් දරා තිබේ. වරක්‌ තම දැන්වීම්වල පෙනී සිටි රූමත් නිළියනට උපහාර දැක්‌වීමට සබන් සමාගමක්‌ පැවැත්වූ උත්සවයකට සභභාගි වූ අප රට ජනපතිතුමෙක්‌ "ඒ ගොල්ල නිසා මේ ගොල්ලන්ගේ අලෙවිය වැඩි වෙනවා. මේ ගොල්ල නිසා ඒ ගොල්ලන්ගේ අලෙවිය වැඩි වෙනවා"යි සිනාමුසුව පැවසී ය.

යස ළඳුන් යයි පැවසිය හැක්‌කේ හුදෙක්‌ රූපයට ම නොවේ. (ටී.ජී.ඩබ්ලිව් ද සිල්වාගේ කෙටි කතාවක ස්‌ත්‍රීරූපං ඉඩං කඩං යි සඳහන් වූ බව මට මතක ය. ඒ දෑවැද්ද පතන පිරිමියකු සමග විවාහ වන විට ය.) එයට රූපයට අතිරේකව මනා රසඥතාවකින් යුතුව තෝරා ගන්නා ඇඳුම් පැළඳුම්, ආභරණ, කේශරචනය, කුඩ, අත්බෑග්, පාවහන් මෙන් ම ලප සහ පච්ච ද එකතු වෙයි. මේ සියල්ලටම වඩා ලලිත ගමන බිමන, ප්‍රසන්න කතා බහ මෙන් ම මිහිරි සිනා වැදගත් වෙයි. කෙතරම් රූමත් වුව ද අහංකාරයෙන් හිස ඉදිමුණු අප්‍රසන්න පැවතුම් ඇත්තියකට කිසිවකු ප්‍රිය නොකරන බව රහසක්‌ නොවේ. ප්‍රිය මනාප කතා බහ ඇති දඟකාර පෙනුමැති යුවතියෝ කාගේත් සිත් ඇද බැඳ ගනිති.

එසේ වුවත් සමහර යුවතියන් මේ කිසිවක්‌ ගැන සැලකිල්ලක්‌ නැතිව විහින් වයසට යන අවස්‌ථා ද වෙයි. සමහර කාර්යාලවල, පාසල් වල මෙන් ම රෝහල්වල වුව ද මෙවන් අවස්‌ථා දැක ගත හැකි ය. ස්‌වභාවයෙන් ම රුව ගැන පෙනුම ගැන උනන්දුවන ළඳුන් එසේ උදාසීන වන්නේ ඇයි? තක්‌සලාවේ සටහන වෙනුවෙන් මගේ පැරණි පත්තර නුවණ ගොනුව අවුස්‌සද්දී සිංගප්පූරුවේ ඔයෑ භැඅ ඡ්චැර පුවත්පතට එඩ්වින් යෝ ලියූ තීරු ලිපියක්‌ නෙත ගැටිණ. මගේ ලිපි තක්‌සලාවේ සටහන් නමින් හඳුන්වන්නා සේ ඔහුගේ ලිපි පළ වන්නේ Wise ඨමහ ශීර්ෂයෙනි. 2006 නොවැම්බර් මස හතර වැනිදා ඔහුගේ ලිපියෙහි මාතෘකාව වූයේ The secret to keeping women young යන්නයි. වියපත් බව සමඟ සටන් වදින විවිධාකාර නිපැයුම් (anti-ageing solutions) වෙළෙඳපොළට පැමිණීම ඇරඹුණු එසමයෙහි අත්දැකීමක්‌ ඇසුරෙන් තමන් විසින් සොයාගත් රහසක්‌ පාඨකයන් හමුවේ තබමින් ඔහු ඒ ලිපිය ලියා ඇත. ඒ රහස දැන ගන්නට ඔබත් කැමති ඇතැයි සිතමි.

වියපත් වීම සමඟ සටන් කරමින් යෞවනය රැක ගැනීම සඳහා කාන්තාවනට අවශ්‍ය වන්නේ එකම ගොඩනැඟිල්ලෙහි සේවයට පැමිණෙන හැඩ වැඩ

ඡේත්තුකාර පිරිමියකු පමණි. ඔහු මේ සොයා ගැනීම කළ පර්යේෂණාගාරය වූයේ සිංගප්පූරුවේ කාන්තාවන් සේවය කළ ආයතනයකි. රොබින්සන් පාරේ ආයතනයක සේවය කළ එඩ්වින් එක දිගට වැඩ කිරීමේ වෙහෙස නිසා දුම්වැටියක්‌ උරන්නට එළිමහනට පැමිණෙන්නෙකි. ඒ හේතුව නිසා ම එහි සේවය කරන කාන්තාවෝ තුන්දෙනෙක්‌ ද දුම් වැටියකින් පාළුව මකා ගනු පිණිස එළියට පැමිණෙන්නෝ ය. හොඳ හැඩ පෙනුමැති පිරිමින් අහලකවත් නැතිකම ගැන එක්‌ ළඳක්‌ නිරතුරුව ම අන් අය සමඟ අඳෝනා බස්‌ කියන්නී ය. එහෙත් එක්‌ සතියක මේ සියල්ල නොපිට පෙරළුණු අයුරු එඩ්වින් සඳහන් කරයි.

මේ ගොඩනැඟිල්ලේම සේවය පිණිස කදිම ඡේත්තුකාර පිරිමියෙක්‌ එකතු වී ඇති අයුරු දිනක්‌ මේ තිදෙනාගේ ම නෙත ගැටිණි. ඒ ඇසිල්ලෙන් මේ කාන්තාවන් තිදෙනා ම නව යොවුන් වියට ආපසු යන අයුරු එඩ්වින්ට පෙනී ගියේ ය. එතැන් පටන් ඔවුන් වෙනස්‌ වූ අයුරු හේ විස්‌තර කරයි. මුලින්ම ඔහුට ආරූඪ නාමයක්‌ යෙදූ හ. (සිංහලෙන් නම් කුමාරයා වැන්නක්‌.) ඔහු ද එළියට එන්නේ දුම් වැටියක්‌ උරනු පිණිස ය. ඔහු එන වේලාවන් හොයාගත් කාන්තාවෝ ඒ වේලාවට ම එළියට එන්නට යොදා ගත්හ. ඔහු ගැන කතා කරන හැම විට ම ඔවුහ් කැකිරි පලන සිනා නඟති. කුමාරයා පියගැට පෙළින් දොරට වඩිනු දකින විට ම එකිනෙක්‌ දැනුවත් කර ගනිති. තිදෙනාම ගින්නක්‌ ඇති වූ මොහොතක මෙන් කඩිමුඩියේ එළියට පැන ගන්නට දඟලති. කලබලයෙන් තොල් රතු කරමින් චුට්‌ටක්‌ ඉන්න, මේකප් පොඩ්ඩක්‌ දාගන්න කල් යයි කොඳුරති. එහෙත් එළියට අවුත් ඔහු ළඟට නොයා තරමක්‌ දුරින් සිට අනිමිස ලෝචනයෙහි නිරත වෙති.

එඩ්වින් ගේ නිගමනය? හැඩකාර පිරිමි කාන්තාවන්ගේ තිරිහන් බෙහෙත ය. එහෙයින් රැකියාවට එන කතුන් රූසිරියෙන් පිරිහෙන්නට නොදී යොවුන් වියේ රඳවමින් සතුටු කරන්නට එම ආයතනයට කඩවසම් එක්‌ අයකු හෝ බඳවා ගැනීම හාම්පුතුන්ගේ යුතුකමක්‌ව පවතියි.

මෙය ඒකපාක්‌ෂික නිගමනයකැයි ඔබට හැඟෙන්නට පිළිවන. සැබවින් ම මෙය දෙපැත්තට ම සාධාරණ යථාර්ථයකි. සිත් ඇද ගන්නා කාන්තාවන් සමග වැඩ කරන විට පිරිමි ද යොවුන් වියට ආපසු යති. ස්‌ත්‍රී පුරුෂ ආකර්ෂණයේ යථාරූපය එය බව බුදුරදුන් විසින් ද දක්‌වා තිබේ. කාන්තාවගේ රුව, කටහඬ, සුවඳ, රස පහස තරම් දෙයක්‌ පිරිමිනට නැති අතර කාන්තාවට ද පිරිමියා සම්බන්ධයෙන් තත්වය එය ම බව උන්වහන්සේ දැක්‌වූහ. මෙම ආකර්ෂණය සමතුලිත මට්‌ටමෙන් පවත්නා තුරු මානව සංස්‌කෘතිය නිරෝගීව ගලා යන අතර විෂම මට්‌ටමට ගිය විට මානසික රෝග ද ඇති විය හැක. ස්‌ත්‍රී පුරුෂ සම්බන්ධතා වර්ධනය විය යුතු ක්‍රමානුකූල සංස්‌කෘතික අනුරූප රටාවක්‌ ඇත. මෙය මාපිය සෙනෙහස හා සමඟ සියුම් ලෙස බැඳී පවතින්නක්‌ බව මනෝ විද්‍යාවෙහි විවරණය වෙයි. ගැහැණු පිරිමි වෙන් කර උගන්වන පාසල්වලට වඩා මිශ්‍ර පාඨශාලාවන්හී උගත් අය වඩාත් සමතුලිත පුද්ගලයන් වන්නේ එහෙයිනි. විරුද්ධ ලිංගිකයන්ගෙන් ඈත්ව ගොඩ නැඟෙන ජීවිත ඇති ඇතැමුන් වැඩි වයසට පත්ව ඊර්ෂ්‍යාවෙන් හා ද්වෙශයෙන් පිරි මනසින් විපරීත චර්යාවන්හී යෙදෙන අයුරු නිතර ම පාහේ දක්‌නට ලැබේ. වැඩි වශයෙන් අපට හමුවන්නේ කාන්තාවනට ද්වේශ කරමින් අසාධාරණ අයුරින් සිය බලය ක්‍රියාත්මක කරන පිරිමි ය. ඔවුහු ඉක්‌මණින් වයසට යති. රෝගයනට ද ගොදුරු වෙති.


Wmqgd .ekSu Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks weiqfrks
o