139 Views  
මාසික ඔසප් චක්‍රය සහ ඔබේ සෞක්‍යය
අප වැඩිවිය පත් වුන දවසේ ඉඳල මහලු වෙලා අර්තවහරණය වෙන දිනය වෙනකන් ඔසප් චක්‍රය නිසි විදිහට සිදු වෙනවා නම් එය ඔබේ ශරීර සෞක්‍යය ඉතාම හොද තත්වයෙන් පවතින බව කියන්න පුළුවන් ලොකුම සාධකයක්. ඔබේ ඔසප් වීම අඩුද කියල දැන ගන්න සැලකිය යුතු කරුණු කීපයක් තිබෙනවා.


    දවස් දෙකකටත් වඩා අඩු කාලයක් පමණක් රුධිරය වහනය වීම.
    ඉතා අඩුවෙන් රුධිරය වහනය වීම.
    ඇතැම් මාස වල ඔසප් වීම සිදු නොවීම.
    ඔසප් චක්‍රය අක්‍රමවත් වී නිතර නිතර සුළු වශයෙන් රුධිරය වහනය වීම සිදු වීම

ඇතැම් විට ඔසප් චක්‍රය අක්‍රමවත් වීම යම් සාමාන්‍ය තත්ත්වයක් විය හැක. එහෙත් මේ පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩා සුදුසු වේ. එයින් ඔබේ සිරුරේ යම් අභ්‍යන්තර ගැටළුවක් හෝ වෙනත් රෝගයක් ඇත්නම් එය හඳුනා ගත හැකි වේ.

මාසික ඔසප් වීම අඩු වීම යම් සෞඛ්‍යමය ගැටළුවක් බව නිසැකවම කිව නොහැකියි. නව යොවුන් වියේ පසුවන සහ ආර්තවහරණයට ආසන්න වූ කාන්තාවන්ට මෙය ඇති විය හැක
ඔසප් චක්‍රය ගැන දැනගමු

ඔබේ මාසික ඔසප් වීම අඩුදැයි හරියටම දැන ගැනීම සඳහා ඔසප් වීම යන්න නිසියාකාරව අවබෝධ කර ගැනීම වැදගත් වේ. ඔසප් වීම යනු ඔබගේ ගර්භාෂ බිත්ති ගැලවී රුධිරය සමග ඔබේ යෝනිය හරහා පිටවීමයි. මෙය මාසිකව සිදු වේ.

ඔසප් වීම ආරම්භ වී දින කිහිපයක් පවතී. සාමාන්‍යයෙන් කාන්තාවකට සෑම දවස් 21 ත් 35 ත් අතර ඔසප් වීම සිදු වේ. මෙහිදී දින දෙකත් දින හතත් පමණ දක්වා මෙය පැවතිය හැක. කෙසේ වුවද විවිධ කාල වලදී සහ විවිධ තත්ත්ව යටතේ මෙම ඔසප් චක්‍රයේ යම් යම් වෙනස්කම් ඇති විය හැක. උදාහරණයක් වශයෙන් කාන්තාවක් ගැබ් ගත් පසු ඔසප් වීම සිදු නොවේ.

සෑම කාන්තාවකටම එකම ආකාරයට ඔසප් වීම සිදු නොවේ. එක් එක් කාන්තාවට අනුව ඔසප් චක්‍රයේ ද වෙනස්කම් ඇති වේ. ඇතැම් කාන්තාවකට දින 21 න් 21 ට ඔසප් වීම සිදු විය හැකි අතර තවත් අයෙකුට මෙය නිශ්චිතව පැවසිය නොහැකි විය හැක.
ඔසප් වීම අඩු වීමට හේතු
වයස

ඔබ නව යොවුන් වියේ පසු වන්නෙක් නම් ඔබේ ඔසප් වීම ආරම්භ වන කාලය හා ඔසප් වීම පවතින දින ගණන වෙනස් විය හැක. එමෙන්ම ඔබ ආර්තවහරණයට ආසන්න වූ අයෙක් නම් එවන් අවස්ථා වලදී ද ඔසප් චක්‍රය අක්‍රමවත් විය හැක. මෙයට හේතුව හෝර්මෝන වල ඇති වන අසමතුලිත බවයි.
බර සහ ආහාර පාලනය

සිරුරේ බර සහ සිරුරේ මහත ඔසප් වීම සඳහා බලපායි. අධික තරබාරු අයගේ හෝර්මෝන නිසි ක්‍රියාකාරීත්වයක් නොවීම නිසා ද ඔසප් වීම අක්‍රමවත් විය හැකියි. එමෙන්ම එකවර විශාල වශයෙන් බර අඩු වීම හෝ වැඩි වීම නිසා ද ඔසප් චක්‍රය අක්‍රමවත් විය හැකියි.
ගර්භනීභාවය

ඔබ ගර්භනී නම් එම කාලය තුලදී ඔබගේ ඔසප් වීම නතර වේ. මෙම අවධියේදී ඇතැම් විට සුළු රුධිර වහනයක් සිදු විය හැක. ඔබ එය ඔසප් වීම යයි වරදවා වටහා ගත හැක. එහෙත් මෙය ඔසප් වීමක් නොවේ. මෙය බද්ධ වීමේදී සිදු වන සුළු රුධිර වහනයකි. මෙය සංසේචනයෙන් පසු සිදු වන අභ්‍යන්තර රුධිර වහනයකි. මෙය දින දෙකක් ඇතුලත නතර වේ.
කිරි දෙන අවධියේදී

දරු ප්‍රසුතියෙන් පසු දරුවාට කිරි දෙන අවධියේදී ඉතා ඉක්මනින් ඔසප් වීම සිදු වන්නේ නැත. සිරුරේ කිරි නිෂ්පාදනය කරවන හෝර්මෝන මගින් ඔසප් වීම පමා කරවයි. එනිසා ප්‍රසුතියෙන් පසු ඔසප් වීම ආරම්භ වීම සඳහා මාස කිහිපයක් ගත වේ.

මෙම අවධිය තුල ඔසප් වීම සිදු නොවුව ද ඔබ ගැබ් ගැනීමේ හැකියාව ඇත. මෙම කාලයේදී ලිංගික එක්වීමකින් පසු යම් රුධිර වහනයක් සිදු වුවහොත් ගැබ් ගැනීමේ පරීක්ෂාවක් සිදු කිරීම වඩා යහපත් වේ. එමගින් එය බද්ධ වීමේදී සිදු වන රුධිර වහනයක් දැයි නිශ්චිතව හඳුනා ගත හැක.
උපත් පාලන ක්‍රම

හෝර්මෝන ක්‍රියාකාරීත්වය වෙනස් කරවන උපත් පාලන ක්‍රම නිසා ද ඔසප් වීම අඩු විය හැක. ඇතැම් උපත් පාලන ක්‍රම මගින් ඔබේ ඩිම්බ පිටවීම නවතා දමයි. පහත දැක්වෙන්නේ එවැනි ක්‍රම කිහිපයකි.

    උපත් පාලන පෙති
    උපත් පාලන පැච්
    උපත් පාලන මුදු
    උපත් පාලන එන්නත්

ඔබේ සිරුරින් ඩිම්බ පිට නොවන විට ගර්භාෂ බිත්ති ඝනව නිර්මාණය නොවේ. මේ නිසා ඔසප් වීම අඩු වීම හෝ ඔසප් වීම සිදු නොවීම සිදු විය හැක. එමෙන්ම ඔබ මෑතකදී මෙම උපත් පාලන ක්‍රම ආරම්භ කර හෝ නතර කර ඇත්නම් එවන් අවස්ථා වලදී ද ඔසප් චක්‍රය අක්‍රමවත් විය හැක.
මානසික ආතතිය

ඔබ යම් පීඩනයකින් නැතහොත් යම් මානසික ආතතියකින් සිටින අවස්තාවක ඔබේ මොලය මගින් ඔබගේ ඔසප් වීම ඇති කරවන හෝර්මෝන අඩු කරවයි. එනිසා එවන් අවස්ථා වලදී ද ඔබට ඔසප් වීම නතර වීම හෝ අඩු වීම සිදු විය හැක. ඔබ ආතතියෙන් පසු වන කාලය අවසන් වූ පසු නැවත ඔසප් වීම සාමාන්‍ය තත්ත්වයට හැරෙනු ඇත.
වැඩිපුර ව්‍යායාම සිදු කිරීම

වැඩි වශයෙන් ශරීරය වෙහෙසවන හෝ නිතර නිතර ව්‍යායාම්වල යෙදෙන අයගේද ඔසප් චක්‍රයේ වෙනස්කම් ඇති විය හැක. ක්‍රීඩා වල යෙදෙන කාන්තාවන් ද යම් මානසික පීඩනයකින් පසු වේ. එයද ඔසප් වීමට බලපායි. එමෙන්ම ශරීර ශක්තිය විශාල වශයෙන් වැය වීම, සිරුරේ බර ඉක්මනින් අඩු වීම ආදිය නිසා ද ඔසප් වීමේ වෙනස්කම් ඇති විය හැක.
ආහාර ගැනීමේ අක්‍රමිකතා

නිසි පරිදි අහාර නොගැනීම, නිසි පෝෂණය නොලැබීම නිසා ද ඔසප් චක්‍රයේ අක්‍රමිකතා ඇති විය හැක. නිසි පරිදි ආහාර නොගැනීම නිසා සිරුරේ බර අඩු විය හැකි අතර එමගින් හෝර්මෝන අසමතුලිතතාවය ඇති විය හැක. මේ හේතු නිසා ඔසප් චක්‍රයේද වෙනස්කම් සිදු වේ.
PCOS

ඔබගේ ඔසප් චක්‍රය අක්‍රමවත් නම් හෝ ඔසප් වීම නැවතී ඇත්නම් එය PCOS හි ප්‍රතිඵලයක් විය හැකියි. මෙයින් ඔබගේ සිරුරේ හෝර්මෝන අසමතුලිතතාවයක් ඇති කරන අතර එයින් ඩිම්බ පිටවීමේ කාර්යය අක්‍රමවත් කරයි.
මෙම හෝර්මෝන අසමතුලිතතාවය නිසා පහත ලක්ෂණ ද ඇති විය හැක.

    ඔබගේ බර වැඩි වී තරබාරුව ඇති වීම
    කුරුලෑ ඇති වීම
    මුහුණේ රෝම වැවීම
    වඳ භාවය ඇති වීම

අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණයක් මගින් ඔබ මෙම තත්ත්වයට ගොදුරු වී ඇත්දැයි හඳුනා ගත හැක. මන්ද මෙහිදී ඔබගේ ඩිම්බකෝෂ වලින් යම් යම් ශ්‍රාවයන් නිකුත් වේ. ඔබව පරීක්ෂා කිරීමෙන් පසු ඔබට මෙම PCOS තත්ත්වය ඇත්නම් එවිට ඔබේ වෛද්‍යවරයා ඔබට සිරුරේ බර අඩු කර ගන්නා ලෙස උපදෙස් දී අවශ්‍ය ඖෂධ ලබා දෙනු ඇත. එයින් නැවත ඔබගේ ඔසප් වීම යථා තත්ත්වයට පත් වේ.
ඕෆ් ලේබල් ඖෂධ භාවිතය යනු කුමක් ද?

මින් අදහස් වන්නේ යම් කිසි රෝගයක් සඳහා නිර්දේශ කරන ලද බෙහෙත් වෙනත් රෝගයක් සඳහා භාවිතා කිරීමයි. මෙය කලබල වීමට හේතුවක් නොවේ. වෛද්‍යවරයා ඔබට ද මේ ලෙස වෙනත් රෝයක් සඳහා නිර්දේශ කර ඇති ඖෂධ ලබා දුන්නොත් එම ඖෂධ නොගෙන සිටීමෙන් වළකින්න. වෛද්‍යවරයා ඔබේ තත්ත්වය පරීක්ෂා කර බලා අවශ්‍ය ඖෂධයි ඔබට ලබා දෙන්නේ. එනිසා බියකින් තොරව ඒවා භාවිතා කරන්න.
බරපතල රෝග අවස්ථා

මෙවැනි අඩු ඔසප් වීම හෝ ඔසප් වීම අක්‍රමවත් වීම යම් බරපතල සෞඛ්‍ය ගැටලුවක ලක්ෂණයක් ද විය හැකියි. ක්‍රමවත් ඔසප් වීමකින් ඔබේ සිරුර සෞඛ්‍යමත්ව ඇති බව තහවුරු කරයි. ඔසප් වීම අඩු වීම යනු වෙනත් සෞඛ්‍ය ගැටලුවක හෝ හෝර්මෝන අසමතුලිතභාවයේ ලක්ෂණයක් ද විය හැකියි. PCOS සහ ප්‍රජනන ඉන්ද්‍රියයන්ගේ ඇති වන වෙනත් ගැටළු නිසාද මෙම ඔසප් වීම අක්‍රමවත් වීම සිදු විය හැකියි.

ඔබේ වෛද්‍යවරයා සමග ඔබගේ රෝග ලක්ෂණ පිළිබඳව සාකච්චා කිරීමෙන් ඔබට ඔබගේ තත්ත්වය පිලිබඳ නිසි අවබෝධයක් ලබා ගත හැකි වේ.
සැලකිලිමත් විය යුතු දෑ

ඕනෑම වයසක සිටින කාන්තාවකට ඔසප් වීම අඩු වීම සිදු විය හැක. එය ඔබගේ සිරුර නිසි පරිදි ක්‍රියා නොකරන බවට ලක්ෂණයකි. එනිසා ඔබ ඔබගේ වෛද්‍යවරයා සමග ඔබගේ රෝග ලක්ෂණ ආදිය පිලිබඳ සාකච්චා කර අවශ්‍ය උපදෙස් ලබා ගත යුතුය. ඔබට මාස තුනකට අධික කාලයක් ඔසප් වීම සිදු නොවන්නේ නම් ඔබ වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.

ඔබ වෛද්‍යවරයකු වෙත යොමු විය යුත්තේ කුමන අවස්තාවෙදීද?

පහත ඇති ලක්ෂණ ඔබට ඇත්නම් ඔබ වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගත යුතුය.

    මාස තුනකට වැඩි කාලයක් ඔසප් වීම සිදු නොවී ඔබ ගර්භනී නොවන අවස්තාවක
    ඔබ ගර්භනී යයි හැඟෙන අවස්තාවක
    ඔසප් චක්‍රය අක්‍රමවත් අවස්තාවලදී.
    ඔසප් වීම් දෙකක් අතර කාලයේදී රුධිර වහනයන් සිදු වන අවස්ථාවකදී
    ඔසප් වීමේදී අධික වේදනාවක් දැනෙන අවස්තාවකදී

මීට අමතරව ඔබට යම් අපහසුවක් දැනෙන අවස්තාවක හෝ යම් රෝග ලක්ෂණයක් ඇති වුවහොත් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
ප්‍රතිකාර

ඔසප් වීම අඩු වීම සාමාන්‍ය තත්ත්වයක් මෙන් ම ඇතැම් විට බරපතල තත්ත්වයක් ද විය හැක. එමෙන්ම මෙය එක වරක් පමණක් සිදු වුවහොත් එයට බිය වීමට හේතුවක් නැත. එහෙත් ඉහත දැක්වූ වැනි අවස්ථා වලදී ඔබ වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය.

ඔබ වෛද්‍යවරයකු මුණ ගැසුණු පසු ඔබ සමග සාකච්චා කර ඔබගේ ගැටලුව හඳුනා ගනී. ඔබට ඇත්තේ මානසික ආතතිය වැනි තත්ත්වයක් නම් ඔබේ යම් යම් පුරුදු වෙනස් කර එදිනෙදා කටයුතු තරමක් වෙනස් කර භාවනා ආදියට යොමු වන ලෙස ඔබට උපදෙස් ලබා දෙනු ඇත.

ඇතැම් අවස්ථාවල ඔබේ හෝර්මෝන අසමතුලිතතාවයක් ඇත්නම් ඔබට උපත් පාලන පෙති ලබා දිය හැක. ඔබට ඉන් එහා ගිය යම් බරපතල සෞඛ්‍ය ගැටළුවක් ඇත්නම් ඔබට අවශ්‍ය අනෙකුත් වැඩිදුර ප්‍රතිකාර කරනු ඇත.

ඔසප් වීම අඩු වීම යන්න හැමවිටම බරපතල ගැටළුවක් නොවිය හැක. ඔබට ඔසප් වීම සිදු වන්නේ දවස් දෙකත් තුනත් අතර සුළු කාලයක් වුවත් එයද සාමාන්‍ය තත්ත්වයක් ලෙස සැළකේ. එමෙන්ම ඔබ වරක් දෙකක් පමණ ඔසප් වීම මගහැරුන ද එය එතරම් බරපතල තත්ත්වයක් නොවේ. එහෙත් දිගින් දිගටම මෙවැනි තත්ත්වයන් පවතින්නේ නම් ඒ පිලිබඳ වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

goodhousekeeping.lk


Wmqgd .ekSu weiqfrks
o