118 Views  
අරක්‌කු පඹයා වෙනුවට බියර් රූකඩයා
මද්‍යසාර පාලනය සම්බන්ධයෙන් කෙසේ වෙතත් පසුගිය දිනක මද්‍යසාර භාවිතය දිරිමත් කරවන ආකාරයේ ප්‍රතිපත්ති හා යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය. නව මුදල් අමාත්‍යවරයා සිය අමාත්‍ය ධුරයේ කටයුතු ආරම්භ කරමින් සිදුකළ පළමු පාර්ලිමේන්තු පෙනීසිටීමේදී සිය පුද්ගලික විශ්වාසයන් ලෙස සුරාබදු ආඥා පනතට ගෙන ඒමට යෝජනා කළ සංශෝධන සම්බන්ධයෙන් මේ වන විට රටේ කතිකාවක්‌ ආරම්භ වී ඇත. එහිදී සැර මද්‍යසාර හා කසිප්පු භාවිතය අවම කිරීම සඳහා බියර් මිල අඩුකිරීමට කටයුතු කිරීම, විදේශික සංචාරකයන්ගේ අවශ්‍යතාව සලකා බලා පොහොය හා වෙනත් සුවිශේෂීs දිනවල මද්‍යසාර විකිණීමට ඇති තහනම ලිහිල් කිරීම වැනි ආන්දෝලනාත්මක යෝජනා ඇතුළත් විය.

මෙම යෝජනා පාර්ලිමේන්තුව හමුවේ තැබීමට පෙර මුදල් අමාත්‍යවරයා ලෙස සිදුකළ යුතුව තිබූ අධ්‍යනයක්‌ සිදු නොකිරීම හා විමසා බැලීමක්‌ නොකිරීම රජය හා අමාත්‍යවරයාව ද හෑල්ලුවට ලක්‌වීමට හේතුවක්‌ වී ඇත. ජනාධිපතිවරයා zමතින් නිදහස්‌ රටක්‌Z යන සංකල්පය පෙරදැරිව කටයුතු කරමින් සිටියදී ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බළකාය හා දුම්කොළ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ කරුණු විමසීමක්‌ නොකිරීම අඩුපාඩුවකි. එමෙන්ම පසුගිය වසරේ පාර්ලිමේන්තුවේ සම්මත වූ මද්‍යසාර පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය මුදල් අමාත්‍යවරයාගේ අවධානයට පත්වූයේ නම් උක්‌ත යෝජනා සිදුනොවීමට තිබිණි.

අපේ රටේ මද්‍යසාර පාලනය සම්බන්ධයෙන් නිවැරදි රාජ්‍ය ප්‍රතිපත්තියක්‌ මේ වන විට ඇතත් මෙම සිද්ධියෙන් පෙනීයන්නේ ඒ අනුව ක්‍රියාත්මක වීම ශුන්‍ය බවයි. මධ්‍යසාර භාවිතයේ හානිය සෞඛ්‍ය පැත්තෙන් පමණක්‌ නොව බොහෝ සමාජ ආර්ථික වටපිටාවන් සඳහා සෘණාත්මක බලපෑමක්‌ ඇතිකරනු ලබයි.

නීති විරෝධී හා සැර ප්‍රමාණයන් වැඩි මත්පැන් භාවිතය අඩු කර හානිය අඩුකළ යුතුව ඇති බව බියර් සමාගම් මඟින් ගෙනයන ප්‍රධාන මතවාදයකට අනුව යමින්, හඳුන්වාදීමට උත්සාහ ගන්නා මෙවන් තීරණ ඉතිහාසයේ පවා අප මුදල් අමාත්‍යාංශය නොමඟ යෑවීමට හේතුවක්‌ විය. බියර් සඳහා බදු අඩු කිරීම මඟින් හෝ වෙනත් අයුරකින් එය දිරිමත් කිරීම මඟින් කිසිසේත් මද්‍යසාර මඟින් සිදුවන කෙටිකාලීන හෝ දීර්ඝකාලීන හානින් අවම කිරීමට නොහැකි බව සාක්‌ෂි සනාථ කරන අතරම එම වැරදි ප්‍රතිපත්තිමය තීරණ අවාසිසහගත බව ද ඔප්පු වී තිබේ.

මෙයට පෙර අවස්‌ථාවකදී එනම් 1995 වසරේදී ද එවකට මුදල් අමාත්‍යවරයාව සිටි ජී. එල්. පීරිස්‌ මහතා විසින් බියර් බදු අධික ලෙස අවම කිරීම සිදුකළ අතර රජය අපේක්‌ෂා කළ ආකාරයේ කිසිදු සාධණීය ප්‍රතිඵලයක්‌ ලබාගැනීමට අසමත් වූ බව දත්ත පෙන්වා දේ. මද්‍යසාර භාවිතය සම්බන්ධයෙන් විවිධ අදහස්‌ එළිදකිමින් ඇති මෙවන් වකවානුවක මද්‍යසාර පාලනය සම්බන්ධයෙන් රටක්‌ ලෙස දැනට ගෙන ඇති පියවරයන්ට අමතරව ඉදිරියේදී ගත හැකි පියවර රට හමුවේ තැබීමට මෙය අවස්‌ථාවක්‌ කරගමු. මේ වන විට වෙළෙඳපොළේ ඇති මද්‍යසාර මිල පිළිබඳව කිසිදු නියාමනයක්‌ හෝ පිළිගත හැකි මිල නියාමන ප්‍රතිපත්තියක්‌ නොමැති බව පෙනෙන්නට තිබේ.

ලෝකයේ මද්‍යසාර පාලනය සම්බන්ධයෙන් ගෙන ඇති සුවිශේෂී මැදිහත්වීම් අපේ රටේ ද ක්‍රියාවට නැංවීම මඟින් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකි බව අපගේ යෝජනාවයි. එහිදී ඕනෑම මද්‍යසාර වර්ගයක මිල ප්‍රමුඛ සාධකයක්‌ වන අතර දැනට පවතින මිල නියමවීමේ ක්‍රමවේදයන් වෙනස්‌ විය යුතු ආකරයෙන් මෙසේ ඉදිරිපත් කරමු. මෙසේ ඉදිරිපත් කරන නිර්දේශයන් යුරෝපා සංගමයට අයත් රාජ්‍යයන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මද්‍යසාර පාලන නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම මඟින් ලබාගත් සාර්ථකත්වය අනුව සැකසී ඇත. ඒවා ඕනෑම රාජ්‍යයක ඵලදායි මද්‍යසාර පාලන ප්‍රතිපතියක්‌ සැකසීමට යෝග්‍ය බව අපගේ හැඟීමයි.

මද්‍යසාර භාවිතයේ ගැටලුව අවම කරගැනීම සඳහා මිල නියම කිරීම සම්බන්ධයෙන් යෝජිත නිර්දේශයන්

01. මිලදී ගැනීමේ හැකියාව හා වෙනස්‌වන උද්ධමන අගයන්ට අනුව මද්‍යසාරවල මිල නියම කිරීම හා අගය මත එක්‌ කරන බදු (ඪAඔ) වැඩි වශයෙන් ඉහළ දැමීම.

02. මද්‍යසාර නිෂ්පාදන සඳහා ලබාදෙන වට්‌ටම් හෝ මිලදී ගැනීමේදී ලබාදෙන වරප්‍රසාද නැති කිරිම.

03. මද්‍යසාර සමාගම් විසින් ඒවා නිෂ්පාදන වියදමටත් අඩුවෙන් අලෙවි කිරීම තහනම් කිරීම.

04. මද්‍යසාර සමාගම් නිෂ්පාදන මිල අඩුකිරීම මඟින් ලබාගන්නා සෘජු හෝ වක්‍ර ප්‍රචාරණය ඇහිරීම.

(µsන්ලන්ත රජය ඔවුන්ගේ රටේ හඳුනාගත් උග්‍ර මද්‍යසාර ගටලුවට විසඳුම් වශයෙන් 2008 වසරේ සිට වසර 04 ක කාලයක්‌ ක්‍රමිකව මද්‍යසාර බදු මඟින් මිල වැඩිකිරීමට කටයුතු කරන ලදී. එම අවධියේදී µsන්ලන්ත රජය බදු ආදායම ලෙස යූරෝ මිලියන 400 ක්‌ උපයාගැනීමට සමත්ව ඇති අතර එම ක්‍රියාත්මක වීම නිසා 8% ක්‌ මද්‍යසාර භාවිතය අඩුවී ඇත.)

05. මද්‍යසාර ලීටරයක්‌ සඳහා අවම නීත්‍යානුකූල මිලක්‌ නියම කිරීම.

(මද්‍යසාර විකිණීම සඳහා අවම මිලක්‌ නියම කිරීම මඟින් එක්‌සත් රාජධානිය, ස්‌කොට්‌ලන්තය වඩාත් ඵලදායී ප්‍රතිඵල නෙළාගෙන ඇති බව පෙනෙන්නට තිබේ. එම රටවල් මද්‍යසාර සඳහා අවම මිල නියම කිරීම හා එය 10% න් වැඩිකිරීම මඟින් මද්‍යසාර භාවිතය 8.4% න් අඩු කරගෙන ඇති අතර, මද්‍යසාර නිසා සිදුවන ඇස්‌තමේන්තුගත මරණ ප්‍රමාණය 32% අඩු වී ඇති බව සමීක්‌ෂණ වාර්තා හෙළිකර ඇත.)

06. නියමිත මිලකට අසීමාන්තිකව මද්‍යසාර භාවිත කළ හැකි ආකාරයේ මද්‍යසාර සමාගම්වල ප්‍රචාරණයන් ඇහිරීමට කටයුතු කිරීම වැනි නිර්දේශයන් ක්‍රියාත්මක වීම මත තරුණ පිරිස භාවිතයට යොමුවීම ඇහිරීම සිදුවේ.

ඉහත සියලු නිර්දේශයන් පදනම් වී ඇත්තේ වෙනත් සාධක නොවෙනස්‌ව පැවතියදී පවා මද්‍යසාර මිල නමැති සාධකය වෙනස්‌ කිරීම මඟින් වඩාත් ඵලදායි ප්‍රතිඵල අත්කරගැනීමට හැකියාව ඇති බව සාක්‌ෂි සහිතවය.

ලෝකයේ තතු එසේ තිබියදී අපේ රටේ හාත්පසින්ම වෙනස්‌ ප්‍රත්පත්ති සම්පාදනය සිදුවන්නේ කවර හේතුයක්‌ නිසා ද අපහැදිලි වුවත් සැකයට භාජනය කළ හැකි අවස්‌ථා වේ. එනම් අපේ රටේ වෙනස්‌ කිරීමට යෝජනා කරන බොහෝ ක්‌ෂේත්‍රයන් බියර් කර්මාන්තය විසින් බොහෝ කාලයක සිට සිදුකරන ඉල්ලීම් වේ. බියර් නිෂ්පාදකයන් සිය කර්මාන්තය සඳහා වඩාත් වැඩි වාසි ලබාගැනීමට නිරන්තරයෙන් බදු පහසුකම් හා බියර් භාවිතය සුලබ කළ හැකි ආකාරයන් සූක්‌ෂම ලෙස ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානයට ලක්‌කිරීමට කටයුතු කරනු ලබයි. විශේෂයෙන් සාවද්‍ය තොරතුරු මඟින් අමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍යාංශය නොමඟ යෑවීම බියර් කර්මාන්තය මෙන්ම සිගරට්‌ කර්මාන්තය ද සිදුකරනු ලබන ප්‍රමුඛ උපායකි.

ඒ අනුව යමින් බොහෝ ජනතා නියෝජිතයන් කර්මාන්තයන්ට වාසි වන ආකාරයේ ප්‍රකාශයන් සිදුකිරීම ද අවාසිදායක තත්ත්වයකි. පාර්ලිමේන්තුවේ බොහෝ වැදගත් තීන්දු තීරණ ගන්නා අවස්‌ථාවලදී මුනිවත රකිමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම යෝජනා වෙනුවෙන් පක්‌ෂව සිය අදහස්‌ දැක්‌වීම ස්‌වභාවිකව සිදුවූවා විය නොහැකිය. බොහෝ කාලයක්‌ මුළුල්ලේ බියර් කර්මාන්තයේ සාවද්‍ය දත්ත හා නිර්දේශයන්ට නිරාවරණය වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස මෙම තත්ත්වය උදාවී ඇතැයි අපට සාධාරණ සැකයක්‌ හටගනී. යෝජිත ප්‍රතිපත්ති අනුමත වීම හෝ නොවීම තුළ ජනතාවට අවබෝධ කරගත හැකි දේ බොහෝ වනු ඇති. ඔබ, අපගේ මනාපයෙන් පාර්ලිමේන්තු වරම ලද පිරිස ඇත්තටම නියෝජනය කරන්නේ අපේ අවශ්‍යතාව ද නැති නම් මද්‍යසාර සිගරට්‌ කර්මාන්තයේ අවශ්‍යතාව ද යන්න දැන කියා ගැනීමට මනරම් අවස්‌ථාවක්‌ එළඹ තිබේ. එම අවස්‌ථාව භුක්‌ති විඳින අතර තුර මද්‍යසාර භාවිතය පාලනය සම්බන්ධයෙන් හෝ එය පෝෂණය කර පවත්වාගෙන යැම සම්බන්ධයෙන් ඕනෑම බුද්ධිමය සකච්ඡාවකට මෙම ප්‍රස්‌තුතය විවෘත කරමි. මද්‍යසාර භාවිතයෙන් සිදුවන හානි අවම කරගැනීමට යෑයි යෝජනා කොට ඇති සියල්ල උපේක්‌ෂාවෙන් බැහැර කළ යුතුය.

අසිත දර්ශන
වැඩසටහන් නිලධාරි
මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්‌ථානය


Wmqgd .ekSu Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks weiqfrks
o