121 Views  
උස් කඳු මුදුන් පහත් බිම් යට කරන විට...
කුරුල්ලා බය වුණා වගේම, වතුර බැහැලා ගියාට පස්සේ සමහර මිනිස්සුන්ට ගොඩක් දේවල් අමතක වෙලා තිබුණා. වැස්ස ඇවිත් මිනිස්සුන්ට උගන්නපු බොහෝ දේ වතුරේම දියවෙලා ගිහින් තියෙනවා. කුරුල්ලා වේදනාවෙන් බලා හිටියා. කුරුල්ලා දැක්කා භූමියේ තවත් බොහෝ තැන්වල කඳු කඩා ගෙන වැටිලා ඒ පස්වලින් ගංගා හරස් වෙලා හැම තැනම ගංදිය පිරිලා. පස්වලට යට වෙලා මහ පොළොවේ කිසිදු සාක්ෂියක් නැති වෙලා තිබුණා. කුරුලු කූඩු පිටින් පස් යට සැඟවෙලා. කුරුල්ලට ඒ දිහා බලාගෙන ඉන්න සිද්ධ වෙලා. මේ හැමදේට ම ඉහළින් කුරුල්ලා පියාඹන්න පටන් ගත්තා.

කුරුල්ලට එකෙන් එක මතක් වුණා. අතීතයේ දවසක මේ කඳු මත ගහ කොළ හෙමි හෙමින් දලු දැම්මා. මල් ඵල ලියලා වැඩුණා. සතා සිවු- පාවුන් දහවලත්, රාත්‍රියත් එකසේ ම අත්වින්දා. ඇළදොළ නොනවතින නාදයන් සීරූවට ගැයුවා. නිදි නැති සුළං රැළි පාළු මකමින් ඇදුණා. ඒ හැම දේකම නොමියෙන මිහිරියාවක් අත්වින්ද හැටි කුරුල්ලාට මැවිලා පේන්න ගත්තා. ජීවයෙන් පිරුණු කඳු මත මීදුම විනිවිද, උදැසන මවන ඉර එළියේ චමත්කාරය, ඒ ඉර එළියම මධ්‍යහනය, ගිනිගෙන දවන අපූරුව. රාත්‍රී අන්ධකාරයේ වැටෙන පිනි දියේ පවතින විශ්මය, ඒ හැමදේම දරාගෙන නොසෙල් වී ප්‍රතාපවත්ව සිටි, කඳුවැටිවල තිබුණු ආශ්චර්යය. ඒ තුළ විඳි අපරිමිත ජීවය, සතුට කුරුල්ලට දැනෙන්න පටන් ගත්තා. එත් දැන්, කඳුවල රිද්මය හඳුනා නොගත් මිනිසුන් කන්දට ජීවයක් ඇති බව අමතක කරලා. කඳුවල තිබුණු ගස් කපල දාල. කඳු කපලා ගෙවල් හදලා. පොළොවට දරන්න අමාරූ වෙන තරමටම පොළොවේ ජීවය මිනිස්සු විසින් විනාශ කරලා. ඒ මතට මහා වැස්ස ඝනකමට ඇදහැළුණා.

මිනිස්සුත්, ගස් කොළනුත්, මුලින් උදුරා ගෙන සතා සිවුපාවුන් පොකුරු පිටින් යට කරගෙන කඳු කඩා හැලෙන්න පටන් ගත්තා. කඳු මුදුන් දිය වෙලා ඒ දිය සීරාව දිගේ බොර දියත්, ගල් පර්වතත්, එක දිගට කඩා හැලෙන්න ගත්තා. මහා පෙළොවේ ජීවය හේදිලා ගලාගෙන ගියා.

මේ සියලු දේ දරාගෙන ඉර පායන්න පටන් ගත්තා. හැඩි වෙච්ච මහ පොළොව පිළිවෙලට වේලන්න ඉර එළිය වේගයෙන් පොළොවට ආවා. පොළොවෙ තිබුණු බොර දිය ඉර එළිය දිගේ උඩට ගිහින් වලාකුළුවල පිරුණා. ඒ වලාකුළු එක එක පාටින් අහසේ පාවෙන්න පටන් ගත්තා. ඒත් එක්කම වතුරට යට වෙලා පොළොවෙ තිබුණු හැම දෙයක්ම බොර පාටයි. මුළු පොළොවෙම රොන් මඩවලින් පිරිලා.

පොළො‍වේ තිබුණු හැම පාටක් ම බොරදිය අත්පත් කරගෙන තියෙනවා කුරුල්ලා දැක්කා. කුරුල්ලා බලන් හිටියා බොහොම වේදනාවෙන්, මිනිස්සුන්ගේ දුක විකුණන, දුක පාවිචීච් කරන මිනිස්සු දිහා. මිනිස්සුන්ගේ දුක් අඳෝනා මැද්දේ මේ පොළොව මත වෙනම ලෝකයක් ගොඩනැගිලා තිබුණා. අහිමිවීම පිළිබඳ ඉහිලිය නොහැකි වේදනාවකින් හැම මනුස්සයෙක්ම ඒ ලෝකය මත හුස්ම ගත්තා. සමහර බිමක මොහොතින් මොහොත මානව ප්‍රේමය දලු දානවා. හරිම වේගයෙන්. ඒත් එක්කම සමහර තැනක ඒ ප්‍රේමණීය ගස්වල මුල් කුණුවෙලා තියෙනවා කුරුල්ලා දැක්කා. හැම විටම අතෘප්තියෙන් කාලය ගෙවා දමන මිනිස්සුන්ගෙ වෙනදටත් වඩා වැඩියෙන් අවස්ථාවාදයත්, ආත්මාර්ථයත්, කෑදර කමත්, ආශාවත් නලියන්න පටන් අරන් තිබුණා.

සැබෑ මාවන ප්‍රේමයෙන් හිත් කකියන්න පටන් ගත්ත මිනිස්සු, මිනිස්සු වෙනුවෙන් වැඩ කළා.

ඇත්තටම මේ පොළොව වෙනුවෙන් මහන්සිවෙලා හති වැටිලා, ඒත් තාමත් වැඩ කරමින් හිටියා. වතුරින් යට නොවුණු මිනිස්සු උණුසුම් පුවත් නරඹමින් හූල්ලා වැටුණා. පිරිසක් ඒ පුවත් දැකලා සැබෑම වේදනාවෙන් මිනිස්සු වෙනුවෙන් ආධාර ගිහින් දෙන්න පටන් ගත්තා.

තවත් තැනක අසරණ වෙච්ච මිනිස්සු අසරණ වෙලාම හිටියා. ඒ මිනිස්සුන්ගේ අසරණ කමින් ප්‍රයෝජන ගන්න බොහෝ පිරිසක් දෑස් අයා බලා හිටියා. ඒ අතර දේශපාලකයො යි, රූපවාහිනී නාලිකා යි, ඉදිරියෙන්ම හිටියා. හරි පුදුමයි...! ගංවතුර ගලනකම්, සුනාමි එනකම්, කඳු නාය යනකම්, ඇඟිලි ගනිමින් බලන් ඉන්න සමහර දේශපාලකයො මනාප ටිකක් වැඩි කරගන්න පුදුම තරම් භාවාතිෂය රඟපෑම් කරනවා. ඔවුන් ඊළඟ ඡන්දෙ දී වැඩිපුර මනාප ගන්න අවතැන් උණු අසරණ මිනිස්සුන්ගේ දුක පාවිච්චි කරනවා.

පොළොවෙන් ඈත් වෙන්න ඈත් වෙන්න කුරුල්ලට පේන්න ගත්තා සමහර භූමියක මිනිස්සු ජාතිවාදය අවුස්සලා මිනිස්සුන්ව බෙදන්න උස්සාහ කරනවා. තවත් තැනක සිය ආගම වෙනුවෙන් අනෙකාගේ ආගමත්, ඇදහීමත් යටපත් කරන්න මිනිස්සු උස්සාහ ගන්නවා. ඒ හැම තැනම මිනිසෙක් තවත් මිනිසෙකුට ක්‍රෝධ කරන්නත්, වෛර කරන්නත් පටන් අරන්.

අනෙකා අවිශ්වාස කරන්නත් , සැක කරන්නත් පටන් අරන්. මිනිස්සුන්ගෙ හිත්වල ක්‍රෝධය, වෛරය, කුහකකම, ඉරිසියාව, ආත්මාර්ථය, ලියලා වැඩෙනවා. බොහෝ මිනිසුන් සදාකාලික ජීවිතයක් වෙනුවෙන්, බොහෝ දේ රැස් කරමින් කමින්, බොමින්, විනෝද වෙමින්, පමණක් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි උනුන් කා කොටා ගනිමින් සෑම මෙහොතක්ම පුදුමාකාර අතෘප්තියකින් ‍ගෙවා දානවා.

බොහෝ මිනිස්සුන් හැම මොහොතකම අනෙකාව ප්‍රශ්න කරනවා. ඔවුනගේ කැමැත්තට, තීරණවලට මැදිහත් වෙනවා. සමහර මොහොතවල දී එය බලහත්කාරයෙන් සිද්ධවෙන දෙයක් වෙන්න පුළුවන්. සිය ආශාව කැමැත්ත අනෙකාගේ ආශාව කැමැත්ත බවට පත් කරන්න උස්සාහ කරනවා. මිනිසුන්ගේ නොදියුණු බවත්, අශිෂ්ටත්වයත් ලියලන වේගේ කුරුල්ලා සංවේදනාවෙන් බලා හිටියා.

කුරුල්ලාට කල්පනා වුණා, මිනිස්සු කඳු මුදුනේ ඉහළටම යන්න බලයත්, ධනයත්, මුදලත් අත්පත් කරගන්න පුළුවන් හැම උස්සාහයක්ම දරනවා. ජාතිය , ආගම, බලය, නිලය, කුලය, පංතිය, මේ හැමදේම එක්රැස් කරගෙන තමන්ගේ කියලා ඉරි ගහලා වෙන් කරගෙන ඉන්නවා. ඒවා ආරක්ෂා කරන්න හැම මෙහොතක්ම වැය කරනවා. ස්වභාවධර්මයට ඒ මිනිස්සුන්ට පණිවුඩයක් දෙන්න ඕනී වුණා. ඒ වෙනුවෙන් උස් කඳු මුදුන්වල තියෙන පාළුවත්, තනිකමත්, හුදෙකලාවත්, බියත් දියකරලා ගංදියේ පා කර හැරියා. ඒ තුළින් ආත්මාර්ථයෙන් ගෙඩනගා ගන්නා සියලු දේ තුළ මිනිස්සුන්ට හිමි වෙන්නේ අහිමිවීම විතරක් බව ඉගැන්නුවා. ඒත් මිනිස්සුන්ට ඒක තේරුන් නැහැ. මනසින් උසස් යැයි කෑ මොර දෙන මිනිස්සුන් කවදා සත්‍ය තේරුම්ගනී ද යන සැකයෙන් කුරුල්ලා ඇසිපිය නොහෙලා බලා හිටියා.

කඳු තරම් ම පරාර්ථකාමී වු , ආදරණීයම සැබෑ මිනිසුන්ගේ ජීවන හුස්ම පස් කදුමත මිහිදන් වෙලා තිබුණා. ඒ පස් යට ගැහෙන හදවත් සියල්ලම විශ්වයේම කොටසක් වෙලා. කඳුත් එක්ක හුස්ම ගන්නවා. ඒ වගේම හැම මොහොතකම ඔවුන් ආලෝකවත්ව සැරිසරන බවත් කුරුල්ලට දැනුණා. එදා ඉඳන් හැමදාමත් නිහඬ කඳු දකිද්දීත්, හුළං හමාගෙන එද්දීත්, ආදරණීය ගමන් සගයන්ගේ නොනවතින සංවාදය කුරුල්ලට ඇහුණා. ඒ මැද්දෙන් කුරුල්ලට අවකාශයේ පාවෙලා ආ හඬක් ඇහුණා.

“කඳුවලට එහා සාගරයට එහා ජීවත්වන ජනයිනි! මේ ලෝකයේ ජීවත්වන ජනයිනි! නුඔලාට ඕනෑ මොනවා ද? පෘථිවියද? මෙන්න මා තමයි පෘථිවිය. මම සියලු දෙනාට එක හා සමානයි. නුඹලා සියලු දෙනාම මට එක හා සමානයි. නුඹලාගේ කලහාවලින් මට පලක් නැහැ. මට අවශ්‍ය වන්නේ නුඔලාගේ මිත්‍රත්වය. නුඔලාගේ ශ්‍රමය..! පෙරළු බිමට එක ධාන්‍ය ඇටයක් දමාපල්ලා. මම නුඔලාට ධාන්‍ය සියයක් ලබා දෙන්නම්. කුඩා පැළයක් සිටුවාපල්ලා. මම නුඔලාට ඵල බරිත රුකක් දෙන්නම්. සතුන් ඇති කරපල්ලා. මම උන්ට තණ ආහාර සපයන්නම්. ගෙවල් හදාපල්ලා, මම තාප්ප හා බිත්ති වෙන්නම්. විවාහ වී දූ දරුවන් ඇති කරපල්ලා. මම නුඹලා සිලුදෙනාටම සුන්දර නිවසක් වෙන්නම්. මම අනන්තය වෙමි. සීමා රහිත වෙමි. මා ගැඹුරු ය. උස ය. නුඹලා සියලු දෙනාට මගේ පෘථිවිය ඉඩතිබේ”.!

- චිංගීස් අයිත්මාතව් - (අම්මා සහා මිහිකත, අනුවාදය: දැදිගම වී.රුද්රිවගු, 83 පිටුව)

ඒ මහා හඬ සංගීතයක් වෙලා මහ පොළොවේ, හැම මනුස්සයෙකුට ම ඇහෙන්න පටන් ගත්තා. ඉර පායලා දවස මවන හැම උදෑසනකම ඒ සංගීතය මිනිස්සුන්ගේ දවත් තුළට දැනෙනවා. කුරුල්ලා මිනිස්සුන්ට බොහෝම ආදරයෙන් කිව්වා,

“මිහිපිට ඉතිරි වුණු මිනිසුනේ, මිහිදන් වුණු ආදරණීයයන් වෙනුවෙන්, ඔවුනගේ බලාපොරොත්තුත් රැගෙන බොහෝ දුරක් යා යුතුව ඇත. එය සෑම මිනිසෙක්ගේම යුතුකමකට වඩා වැඩි වගකීමකි. මේ මොහොත කිසිදු භේදයකින් තොරව වෙන කවරදාටත් වඩා මිනිස්සුන් වෙත ප්‍රේම කළ යුතු මොහොතයි.! එකිනෙකා වෙනුනෙන් මහ පොළොවේ සෑබෑවට වැඩ කළ යුතු මොහොතයි.!”


Wmqgd .ekSu Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks weiqfrks
o