76 Views  
බටහිර වෛද්‍ය විද්‍යාවේ විසෙන් විස නසන්න
සර්ප විෂ භාවිත කරන්නේ මෙහෙමයි...

සත්ත්වයින්ගේ විෂ (Venoms) යන වචනය පවා හරිම බියකරුය.

අප එතරම්ම බියවන්නේ අවසානයේ දී අපට අකල් මරණය ළඟා කර දෙන නිසාය එහෙත් මේ වන විට සර්ප - උරග විශේෂ බටහිර වෛද්‍ය විද්‍යාව තුළ ඖෂධීය වශයෙන් සංවිධානය කොට භාවිත කිරීම සුලභ වී ඇත. පොළඟා වැනි සතුන්ගේ දරුණු දළ පහර ගැන කතා කිරීමට ද අවශ්‍ය නැත. ඔබගේ සමේ තාපයට මෙම සතුන්ගේ ඇස්‌වලට යටින් පිහිටා ඇති අධෝරක්‌ත සංවේදන ක්‍රියාත්මක වී ඔබ සොයා පැමිණෙයි. ඇමරිකානු වනාන්තර වල මෙම සත්ත්වයන් ඉතා සුලභ වන පොළඟ විෂ අපගේ හෘදයට බලපායි. මේ නිසා අධි රුධිර පීඩනය පෙළෙන පුද්ගලයන්ට ප්‍රතිකාරය ලෙස පොළඟ විෂ වලින් නිර්මාණය වන ඖෂධ ලබා දීමට බටහිර වෛද්‍ය විද්‍යාව තුළ සිදු වෙයි.

සර්ප විෂ වල පවතින රසායන සංයෝගයන් මේ ආශ්‍රිත ඖෂධවලට වෛද්‍ය විද්‍යාවේ ප්‍රමුඛතාවයන් ලැබී ඇත. බොහෝ ඵලදායී ඖෂධ මෙම ඖෂධ මගින් ගොඩනැඟී ඇත. මෙම විෂ වර්ග ලබා දුන් පසුව ඒවා ඉලක්‌කගත ඉන්ද්‍රිය වෙත ගමන් ගන්නාතුරු ආරක්‍ෂා වී තිබිය යුතුය. ඉන්පසුව අවට අපට අතුරු ආබාධ රහිතව එය ක්‍රියාත්මක විය යුතුය. වර්තමානයේ දී බටහිර වෛද්‍ය විද්‍යාවේ අරමුණ ද එයයි.

සර්පයන් යන වචනය ඇසීමට පවා අපි බියක්‌ දක්‌වමු. මෙයට හේතුව සර්පයින් දෂ්ඨ කළ විට ශරීරය තුළට විෂ පැමිණීමත් එම විෂ ශරීරගත වූ විට සුව කිරීමට අපහසු බවට පවතින මතයත්ය. ලංකාව සර්පයන් සඳහා ආගන්තුක භූමියක්‌ නොවුවද බොහෝ පුද්ගලයන්ට තමන්ට දෂ්ඨ කළ සර්පයා හඳුනා ගැනීමට නිසි පරිදි නොහැකි වීමත් බොහෝ විට දෂ්ඨ කළ
සර්පයා වහා ඉවතට ඇදී යාමත් බරපතළ ගැටලුවක්‌ බවට පත්ව ඇත. ලංකාවේ බොහෝ ප්‍රදේශවල එකම සර්පයාට විවිධ නම් භාවිතා වන අතර තවමත් සර්පයකු දෂ්ඨ කළ විට දේශීය වෛද්‍ය කර්මයේ පිහිට පැතීමට බොහෝ දෙනකු උනන්දු වන බව පෙනේ. මේ වන විට සර්ප විෂට එරෙහිව සාර්ථක ප්‍රතිකර්ම බටහිර වෛද්‍ය විද්‍යාව තුළ දියුණු වී ඇති අතර මේ ලිපියේ අරමුණ ඒ කෙරෙහි අවධානය යොමු කිරීමයි.

ලංකාවේ සිටින සර්පයන්ගෙන් වැඩිම ප්‍රමාණයක්‌ විෂ සහිත වූවන් නොවෙයි. සර්ප විෂ නිසා මිය යන්නවුන්ගෙන් වැඩිම ප්‍රමාණයකට වගකිව යුත්තේ ප්‍රධාන සර්ප විශේෂ 04 කි. මොවුන් උග්‍ර විෂ සහිත සර්පයන්ය. ඔවුන් නම්

1. නයා Naja naja - Cobra

2. තිත් පොළගා Vipera russelli - Russell’s Viper

3. කරවලා තෙල් කරවලා Bungarus caeruleus

4. මූදු කරවලා Bungarus ceylonicus

ලංකාවේ ගොඩබිමින් හමුවන උග්‍රම විෂ සහිත සර්පයා කරවලාය. මෙම සර්පයන් බාහිරින් හඳුනා ගැනීමේ ලක්‌ෂණ පවතින අතරම මතුවන රෝග ලක්‌ෂණද, දෂ්ඨ කළ වෙලාව ආදිය ද සර්පයා හඳුනා ගැනීමට උපකාරී වෙයි.

නයා පිම්බිය හැකි පෙනය විශේෂ ලක්‌ෂණය වෙයි. ඒ මතුපිට 'ප' සලකුණ ඇත. ක්‌ෂණයකින් කිපෙන සර්පයකු වන නයා එවිට වහා පෙනය පුම්බාලයි.
නයකු දෂ්ඨ කළ විට දෂ්ඨ කළ ස්‌ථානයේ වේදනාව, ඉදිමීම, වතුර බිබිලි මතුවීම මෙන්ම පටක මිය යැමද සිදුවෙයි. නයි විෂ ස්‌නායු පද්ධතියට ප්‍රධාන ලෙස බලපාන (Neuro toxic) අතර මේ නිසා ශ්වසනයට උපකාරී වන මාංශ පේශීන් අක්‍රීය වී ශ්වසනය අපහසු වෙයි. එබැවින් මෙවැනි රෝගියකුට ප්‍රතිකාර කිරීමේදී ඒ කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීමත්, මියගිය පටක කොටස්‌ ශල්‍යකර්මයකින් කපා ඉවත් කිරීමත් වැදගත්ය.

නයාගේ පහර දීම බොහෝ විට වැලමිටට සහ දණහිසට පහළින් සිදු වෙයි.

මේ අනුව නයාගේ බාහිර ලක්‌ෂණ රෝග ලක්‌ෂණ සහ දෂ්ඨ කර තිබෙන ස්‌ථානය එම සර්පයා හඳුනා ගැනීමට උපකාරී වෙයි.

තිත් පොළඟා

හිස මත ත්‍රිකෝණාකාර V සළකුණක්‌ ඇත. හිස සිට වලිගය ප්‍රදේශය දක්‌වා ඉලිප්සාකාර සළකුණු ක්‍රමාණුකූලව දම්වැලක පුරුක්‌ ආකාරයට පිහිටා ඇත. නාස්‌ ප්‍රදේශයේ කොරලය ඇස තරමට විශාලය. කිපුණ විට තදින් පිඹියි.
 

තිත් පොළඟාගේ විෂ ආකාර තුනකට ශරීරයට බලපායි.

දෂ්ඨ කිරීම සිදු කළ ස්‌ථානයේ ඉදිමුම, ස්‌නායු ක්‍රියාකාරිත්වය අඩපණ වීම සහ ශරීරයේ රුධිරය කැටි ගැසීමේ යාන්ත්‍රණ අක්‍රීය වීම සිදුවෙයි.

ස්‌නායු ක්‍රියාකාරිත්වයේ අඩාලවීම ඇසේ මාංශ පේෂීන්ෙa චලනයන් අඩපණ කරයි. රුධිරය කැටි ගැසීම අඩාලවීම ප්‍රබල ලෙස ශරීරයේ ක්‍රsයාකාරිත්වයන්ට හානි කරයි. මේ නිසා වකුගඩු වල ක්‍රියාකාරිත්වය බිඳ වැටෙයි. මෙය තිත් පොළඟ විෂ නිසා වන බරපතළම හානියයි. මේ නිසා මෙලෙස තිත් පොළඟෙකු සපා කෑ විට වකුගඩු පද්ධතියේ ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට අවධානය යොමු කළ යුතුය.

තිත් පොළඟාද දණහිසට පහළින් සහ වැළමිටට පහළින් සපා කයි.

කරවලා

තෙල් කරවලා සහ මූදූ කරවලා ලෙස ප්‍රධාන ආකර දෙකකි. තෙල් කරවලාගේ ශරීරය තෙල් දමා පිරිමැද්දාක්‌ මෙන් දිළිසෙයි. ශරීරයේ සුදු පැහැ මුදු දෙක බැගින් වන වර්ණ රටාවකින් යුක්‌තය. තද කළු පැහැතිය.

මූදූ කරවලා හෙවත්

දුනු කරවලාගේ ශරීරය කළු සහ සුදු තීරු වලින් යුක්‌තය. මේවා මුදු මෙන් පිහිටා ඇත. උග්‍ර විෂ සහිත වුවත් දෂඨ කිරීමට තරමක්‌ මැලිකමක්‌ දක්‌වන්නෙකි.

මෙම සර්පයාගේ විෂ ප්‍රධාන වශයෙන් ස්‌නායු පද්ධතියට බලපා ඉන් ශ්වසන පද්ධතියේ මාංශ පේශීන් අක්‍රීය කරයි. ශ්වසන අපහසුතාව මරණයට හේතුවයි. කරවලුන් ශරීරයේ ඕනෑම තැනක්‌ සපා කන අතර සාමාන්‍යයෙන් සවස 6 ත් උදෑසන 6 ත් අතර කාලයේ දී බහුල වශයෙන් හමුවන අතර, ලංකාවේ මැයි සිට නොවැම්බර් අතර කාලයේ දී ප්‍රධාන වශයෙන් ක්‍රියාකාරී වෙයි.

පොළොන්තෙලිස්‌සා හෙවත් කුණකටුවා ද සාමාන්‍ය විෂ සහිත සර්පයකු වන අතර ලංකාවේ බහුල ලෙස මිනිසුන්ට දෂ්ඨ කරන සර්පයාද වෙයි. ත්‍රිකෝණාකාර හිස පැතලිය. හොම්බ උඩට ඉස්‌සීම නිසා Hump nosed viper ලෙස හැඳින්වෙයි. ඇසටත්, නාසයටත් අතර විශේෂ සිදුරක්‌ පවතියි. වේදනාව, ඉදිමීම, රුධිර පැහැ ලප සහ වසා ග්‍රන්ථි ඉදිමුම ප්‍රධාන ලෙස දෂ්ඨ කළ විට සිදුවෙයි. රුධිර කැටි ගැසීමේ යාන්ත්‍රණය අඩපණ වීම ප්‍රධාන ගැටලුවකි. වකුගඩු ක්‍රියාකාරිත්වය අඩපණ වෙයි. සමහර අවස්‌ථා වලදී සිහි මදකම, ස්‌නායු අඩපණ වීම, පාචනයට සමාන ලක්‌ෂණ ඇතිවෙයි. අතපය, ඇඟිලි හා වළලු කරට පහළ ප්‍රදේශ සපා කෑමට ලක්‌වෙයි.
 

පළා පොළඟාද (Green pit viper) සාමාන්‍ය විෂ සහිත සර්පයෙකි. දීප්තිමත් කොළ පැහැයකින් යුතු මෙම සර්පයා ලංකාවට ආවේණිකය. මීට අමතරව මාපිලන්, මල්සරා, ඇහැටුල්ලා, වැළි පොළඟා යන සර්පයන්ද සාමාන්‍ය විෂ සහිත ලංකාව තුළ හමුවන ප්‍රධාන  සර්ප විශේෂ කිහිපයකි.


විෂ සහිත සර්පයකු සපා කෑමට ලක්‌ව බටහිර වෛද්‍ය ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් රෝහල් ගත කරනු ලැබූ විට ප්‍රධාන අදියර 05 ක්‌ යටතේ රෝගියාට ප්‍රතිකර්ම යොදයි.

01. රෝගියාගේ තත්ත්වය පරීක්‌ෂාව සහ පවතින රෝග ලක්‌ෂණවලට ප්‍රතිකාර කිරීම.

02. සර්පයා හඳුනා ගැනීම.

03. සර්ප විෂ ශරීරගත වී රෝග ලක්‌ෂණ හටගෙනද, නැද්ද යන්න විනිශ්චය

04. සර්ප විෂට විරුද්ධ ඖෂධ (Anti venome serum- AVS) ලබාදීම.

05. අතුරු ආබාධ පාලනය

රෝගියකු රෝහල් ගත කළ පසුව ඔහුගේ ශ්වසන, හෘද සහ ස්‌නායු ක්‍රියාකාරිත්වයන් විශ්ලේෂණය ඉතා වැදගත් වෙයි. ස්‌නායු වල ක්‍රියාකාරිකත්වයේ අඩපණ වීම ශ්වසනයට උපකාරී වන මාංශ පේශී අක්‍රීය වීමට හේතුවෙයි. රුධිර වාහිනී විස්‌තාරණයේ ප්‍රතිඵලයක්‌ ලෙස රුධිර ගමන අඩපණ වී ඉදිමීම කම්පනය (Shock) ඇතිවෙයි. රුධිර වාහිනී වල පාරගම්‍යතාව වැඩිවීමද මෙයට බලපායි. අතපය සීතල වෙයි. නාඩි ස්‌පන්දනය අඩාල වෙයි. හෘද රිද්මය වේගවත් වෙයි. මෙවැනි රෝගීන්ට හදිසි ජීවීතාරක්‌ෂක ප්‍රතිකාර ක්‍රම වහා ආරම්භ කළ යුතුයි. මේ සඳහා සාර්ථක බටහිර ඖෂධ දැනට සියලුම රෝහල්වල පවතියි.

සර්ප විෂ ශරීරගත වීම නිසා ප්‍රතිඵල (Envenomation) අවධානයට භාජනය කළ යුතුය. පෙර සඳහන් කළ ආකාරයට සපාකන ලද ස්‌ථානයේ හෝ සමස්‌ථ ශරීරයේම හෝ
මෙම ලක්‌ෂණ දැකිය හැකිය. උදරයේ වේදනාව, වමනය, ඔක්‌කාරය, වසා සෛල ප්‍රමාණය ඉහළ නැංවීම මීට අමතරව ස්‌නායු, රුධීර කැටි ගැසීම් වකුගඩු ක්‍රියාකාරිත්වය අඩපණ වීම විශේෂයෙන් සැළකිය යුතුය.

නයා, තිත් පොළඟා, කරවලා සහ වැලි පොළඟා දෂ්ඨකර විෂ ශරීර ගතවී ඇත්නම් සමස්‌ත සිරුර පුරාම රෝග ලක්‌ෂණ මතුවී ඇත්නම් ප්‍රතිවිෂ (AVS) ලබාදීම කළ යුතුය. අනෙක්‌ සර්පයන් සඳහා මෙය ලබානොදිය යුතුය. ඇතැම් අවස්‌ථා වලදී මෙම (AVS) සමහරකුට අසාත්මිකතා (allergy) මතු කරවන බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතුය. මෙම (AVS) ප්‍රතිකාර ලබා දීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයකි.

පොළොන්තෙලිස්‌සාගේ සපා කෑමකට එය කිසිවිටක ලබා නොදිය යුතුය. තිත් පොළඟකු සපාකෑවද සපාකන ලද ස්‌ථානයේ පමණක්‌ තුවාලය හෝ රෝග ලක්‌ෂණ ඇත්නම් මෙම ප්‍රතිකාරය නොකළ යුතුය.

උග්‍ර විෂ සහිත ඉහත කී සර්පයකු සපා කෑවද විෂ නිසා ශරීරයේ රෝග ලක්‌ෂණ මතුවී නැත්නම් මෙම ප්‍රතිකාරය නොකළ යුතුය. එබැවින් සර්පයා ඉතා නිවැරදිව හඳුනා ගැනීම ඉතා වැදගත් වන අතර රෝගියකු රෝහල් ගත වන විට රෝග ලක්‌ෂණ නොමැති නම් පැය 24, 48 අතර කාලයක්‌ රෝගියාව නිරීක්‌ෂණය ඉතා වැදගත්
වෙයි. මෙම කාලය තුළ රෝගියාගේ රුධිර කැටි ගැසීමේ යාන්ත්‍රණය පරීක්‌ෂාවට මූලික පරීක්‌ෂණ කළ යුතුය.

දැනට ලංකාවේ ප්‍රධාන මූලික රෝහල් බොහොමයක (AVS) ප්‍රතිකාර ලබාදීම සිදුවන හෙයින් සර්පයකු දෂ්ඨ කළ විට සර්පයා හඳුනාගෙන (හැකිනම් සර්පයාද රැගෙන) රෝහල් ගතවීම සර්ප විෂ නිසා වන මරණ සංඛ්‍යාව අඩුකර ගැනීමට ඉතා වැදගත් වෙයි. පොළොන් විෂ වීම සඳහා දැනට වෙනමම විශේෂිත ඖෂධයක්‌ Polonga tab ලෙස නිපදවා ඇත. මේ නිසා පොළඟෙකු සපා කෑ විට මෙම විශේෂ ප්‍රතිකාර ක්‍රමය ලබා දීමද දැනට සිදුවෙයි. තමා අවට රෝහලේ මෙම විශේෂ බටහිර ඖෂධ ක්‍රම නොමැති නම් ආසන්නයේම පවතින ප්‍රධාන රෝහලක්‌ වෙත රෝගියා ඉක්‌මනින් රැගෙන යැම ඉතා වැදගත් වෙයි.

වෛද්‍ය - ජී. ජී. චමල් සංජීව
දිස්‌ත්‍රික්‌ සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ
හම්බන්තොට


Wmqgd .ekSu Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks weiqfrks
o