12 Views  
එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ
“හොරුන්ට මංකොල්ලකාරයන්ට පුළුවන්ද පිරිත් කියන්න. භාවනා කරන්න. ඒවා මහ විහිළු වැඩනේ.”

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ජනවාරි පළමුවැනිදා රාත්‍රියේ පැවැත්වූ ගිහි පිරිත් පිංකම පිළිබඳ දැන ගන්නට ලැබුණු මොහොතේ මිත්‍රයන් කිහිප දෙනෙකුම ඒ ගැන කතා කරන්නට වූයේ ඒ අයුරිනි.

“දහස් ගණනක් මිනිසුන් මරපු අංගුලිමාලට පැවිදි වෙලා රහත් වෙන්න පුළුවන් වුණා නම් හිරේ ඉන්න මිනිස්සුන්ට මොකද බැරි සිල්ගන්න. බණ භාවනා කරන්න.” ප්‍රශ්නයට උත්තරය ලැබුණේ ප්‍රශ්නයකින්මය.

‘හැබෑ නේන්නම්’ කවුරුත් එකඟ වූහ.

මිනිසුන්ට සිරගෙය පිළිබඳ ඇත්තේ වෙනමම කතාවකි. එහෙත් වසර, දෙක නොව වසර දොළහ පහළොව සිරගෙදර ගත කරන මිනිසුන්ට ඇත්තේ වෙනම කතාවකි. මේ මහපොළොව මත ජීවත් වන ඔබටත් මටත් මෙන් ම කොයි කාටත් තම තමන්ගේය කියා කතාවක් ඇත්තේය. විශේෂයෙන් ම සිරගෙදර ගත කරන ඔවුන්ගේ කතා ඊට හාත්පසින් ම වෙනස්ය. අලුත් වසර ආරම්භයේ පිරිත් පින්කමට සහභාගි වූ රැඳවියන්ගේ ඒ කතා සොයා ඉකුත් දිනෙක අපි මහඋළු ගෙදරට ගියෙමු.

“පන්සල් වාට්ටුවේ තමයි හැම දේම කෙරුණේ. හෙට අනිද්දා දවසක බන්ධනාගාර මූලස්ථානයේ පිරිත් පින්කමක් තියෙනවා. මේ දවස්වල පන්සල් වාට්ට‍ුවේ පිරිත් මණ්ඩපය හදනවා.”

සුබසාධන නිලධාරි බන්දුල ගුණසේකර මහතා අප එහි කැටුව යන අතරමඟදී කියන්නට වූයේය.

වේලාව දවල් දොළහ පමණ වන්නට ඇත. රැඳවියෝ කෑම පෝලිමට ගොස් සිටියහ. එක් රැඳවියෙක් පන්සල් වාට්ටුවේ පිටුපස දොරටුව අසල පඩිය මත වාඩි වී පූසන් දෙතුන් දෙනෙකු ද වටකරගෙන දිවා ආහාරය බුදින්නේය. කෑමට ගිය ඔවුන් එනතුරු අපි එහි රැඳී සිටියෙමු.

“මේ ඉන්නෙ අපේ දහම් පාසලේ ප්‍රධානියා. ඔහු දහම් පාසල් විභාගය, දහම් පාසල් ගුරු විභාගය, ධර්මාචාර්ය, ප්‍රාචීන විභාගය සියල්ල සමත්. මේ හැම විභාගයම කළේ ඔහු හිරගෙදර ඉන්න ගමන්.”

බන්දුල මහතා රැඳවියකු අපට හඳුන්වා දෙමින් පැවසුවේය.

එම රැඳවියාගේ පෙනුම ප්‍රසන්නය.

“මම එල්ලුම් ගහට නියම වුණු කෙනෙක්. නමුත් මම අභියාචනයක් ඉදිරිපත් කරලා තියෙන්නේ. මොනවා වේවිද කියන්න දන්නේ නැහැ.” ඔහු ඉතාම සන්සුන් තැන්පත් හඬින් අප හා පැවසීය.

“හෙටක් ගැන බලාපොරොත්තුවක් නැති ඔබ ඔය තරම් විභාග කළේ ඇයි?“ මම විමසුවෙමි.

“එල්ලුම් ගහ පෙනි පෙනී ඉන්න මම අභියාචනයක් ඉදිරිපත් කළේ සහනයක් බලාපොරොත්තුවෙන්. නමුත් මං කුඩා කාලේ ඉඳලම ඉගෙන ගන්න ආසයි. ඒ නිසයි ඉගෙන ගන්නේ. විභාගවලට උත්තර ලියන්නේ. මම බෝගම්බර හිරගෙදර ඉන්න කාලේ භාවනා වැඩසටහන්වලට සහභාගි වෙලා තියෙනවා. මෙහෙට ආවහමත් එහෙමයි. මගේ හිතට පුදුම සැනසිල්ලක් දැනෙන්නේ. මම කාලයක් මැදපෙරදිග සේවය කළා. එහෙදි මම රැකියාව හැටියට කළේ බරවාහන පැදවීම. මම ක්‍රේන් ඔපරේටර් කෙනෙක්.

ඒවා මහා විශාල උපකරණ. ලෝකයේ ‍හොඳම බරවාහන ආයතනයෙන් මට ‘හොඳම බරවාහන ඔපරේටර්‘ හැටියට සහතිකයකුත් ලැබුණා. මේ සිද්ධිය වෙන‍කොට මට වයස අවුරුදු තිස් අටයි. යාළුවෝ එක්ක එකතු වෙලා අපි විනෝදෙන් හිටියා. අපි ඒ වෙලාවේ මත්පැන් පානය කරලා හිටියේ. පරණ කතාවකට යාළුවෙක් සමඟ පැටලුණා. ඒ වෙලාවේ මගේ තරහාකාරයට මගේ යාළුවෙක් පිහියෙන් ඇන්නා.

පස්සේ පොලිසියේදි යාළුවා බේරලා මම වරද බාර ගත්තා. තරහකාරයා මැරුවේ මමය කියන එක පිළිගත්තේ යාළුවගේ බිරියයි දරුවොයි අඬන එක ඉවසගන්න බැරි වූ නිසා. දැන් නම් ඒ යාළුවා මා බලන්නවත් එන්නෙත් නැහැ. කාලයක් රිමාන්ඩ් එකේ හිටියා. ඊට පස්සේ ඇප ලැබුණා. ඇප ලැබුණම මං රටින් පැන්නා. එහෙම ගියේ ණය බේරගන්න ඕන නිසා. ඒත් මං හැම නඩු වාරයකටම ආවා.

මං වැඩ කරපු පිටරට ආයතනයෙන් මට හොඳට සැලකුවා. අන්තිමට මට මරණීය දණ්ඩනය නියම වුණා. අවුරුදු දහයකට වඩා මං හිරේ ඉඳලා තියෙනවා. එළියේ ඉන්න කාලේ මං සතෙක්වත් මරලා නැහැ. මේ තමයි කර්මය. මං හිරේ ආවාම මගේ බිරිය මානසිකව වැටුණා. එයාට ලබෙන්න හිටිය දරුවත් කුසේදිම නැති වුණා. මං වැඩිපුරම දහමට යොමුවෙන්න ගත්තේ ඔය සිදුවීම් සමඟයි. අද මම සැනසීමක් ලබන්නේ ඒ නිසායි.” ඔහු පවසන්නේ තමන් අද ගතකරන ජීවිතය පිළිබඳවය.

පිරිත් සජ්ඣායනය කිරීම ආවාට ගියාට කරන්ට බැරිය. ඒ සඳහා පෙර පුහුණුවක් තිබිය යුතුය. හිරගෙදර සම්පත් පිරුණ තැනකි. මේ හිරගෙදර එවැනි සම්පතකි. ඔහු පැවිදි දිවියක් ගත කළ අයෙකි.

“මම පැවිදි වුණේ වයස අවුරුදු එකොළහේදී. දැන් මගේ වයස අවුරුදු තිස් එකයි. මේ සිදුවීම වෙද්දි මට අවුරුදු දහඅටයි. ඒ කාලේ මං පිරිවෙනේ උගන්වනවා. බහින්බස් වීමකදි මම කෙනෙකුට පහර දුන්නා. නමුත් ඔහු රෝහල් ගතවුණා. ඔහු පොලිසියට පැමිණිලි කරලා තිබුණේ අපචාර සිදුවීමක් වුණා කියලා. පසුව මේ නඩුව සමාදානය වෙන්න ඒ පාර්ශ්වයත් පොලිසියත් මමත් කැමති වුණා. ඒත් අන්තිමට උසාවියේදී නඩුකාර තුමාගේ අභිමතය පරිදි මට දීර්ඝකාලීන සිරදඬුවමක් නියම වුණා.

මම මේ වෙන‍කොට අවුරුදු දහයක් හිරේ ඉඳලා තියෙනවා. මං නිදහස් වෙන්න තියෙන්නේ දෙදහස් විසිහතරෙදි. ඒ හිටපු කාලෙම මම පිරිත් කිව්වා. තවම කිහිප දෙනෙක් ම ඉන්නවා එළියේ ඉන්දැද්දී පැවිදි වෙලා හිටපු. අපි තමයි මේ අයට පිරිත් පුරන්න, පිරිත් සජ්ඣායනය කරන්න පුරුදු පුහුණු කළේ. මම වැරැද්දක් කළේ නැහැ කියන එක පන්සලේ දායකයෝ වගේම මගේ පවුලේ අයත් දන්නවා. මට ඒ විශ්වාසය හොඳට ම ඇති. මෙතැනින් නිදහස් වෙලා ගිය දවසට මං ආයෙත් පැවිදි වෙනවා.” ඔහු පැවසුවේ හිනැහෙමිනි.

රැඳවියන්ගේ දිවා ආහාර කාලය නිමවීමත් සමඟ එකා දෙන්නා පැමිණ අප වටා එක්වන්නට වූහ.

“මගෙ වයස අවුරුදු හැත්තෑ දෙකයි. අපචාර සිදුවීමකට තමයි හිරේ ඉන්නේ. දෙදහස් නවයේ තමයි හිරගෙදරට ආවේ. දෙදහස් විසි නවයෙ නිදහස් වෙන්න තියෙන්නේ. මේ නහින දෙහින කාලේ හිත හදා ගන්නත් එක්ක තමයි ධර්මයට යොමු වුණේ.” ඔහු කියන්නට වූයේ එකිනෙකාට මුවා වෙමිනි.

පොලිස් නිලධාරියෙකු ලෙස සේවය කළ තවත් අයකුගේ වයස අවුරුදු පනස් හතකි.

“මට නඩු පැටලුවේ මගේ නෝනා. එයා මට විරුද්ධව පෙත්සමක් ගහලා තිබුණා. එයාට ඒ වැරැද්ද වැටහෙනකොට වෙන්න තියෙන හුඟක් දේ වෙලා ඉවරයි. මගේ රස්සාව නැති වුණා. අවුරුදු දහයක් තිස්සේ හිරගෙදර. නිදහස් වෙන්න තියෙන්නේ දෙදහස් විසිහතරේ. මම ‘හෝම්ලීව්’ දවස් හතක් ගිහිල්ලා ආවා. බිරියගේ දැන් අමනාපයක් නැහැ.

මට එයා එක්ක තරහකුත් නැහැ. මං මේ තරම් හිත හදා ගත්තේ ‘ධර්මයට’ අනුව. ඉස්සරත් මං දහම් පොත පත කියෙව්වා. හිරගෙදරට ආවට පස්සේ වැඩියෙන් පොතපත කියවන්න ගත්තා. භාවනා, ශීල සමාදානය, ධර්ම සාකච්ඡා මාව වෙනස් කෙනෙක් කළා. දැන් මට ඕනෑම කෙනෙකු දිහා උපේක්ෂාවෙන් බලන්න පුළුවන්. මාව හිරේ දාපු මගෙ නෝනටත් මෛත්‍රි කරන්න මගෙ හිත හැදිලා තියෙන්නේ.”

ඔහු පමණක් නොවේ පිරිත් කණ්ඩායමේ සිටින අනෙකුත් සාමාජිකයන්ට ද කීමට මෙවැනි කතා ඇත්තේය.

“මේ අය එළියේදී මොන වැරැදි කළත් දැන් මේ අය සුමගට යොමු වෙලා.” ඒ බන්ධනාගාර බලධාරීන් ඔවුන් පිළිබඳව දෙන සහතිකයයි.

“පිරිත් පින්කම සඳහා හැමෝගෙම සහයෝගය ලැබුණා. වැඩිහිටි බාලදක්ෂ කණ්ඩායම තමයි සැරසිලි, සංවිධාන කටයුතු කළේ. නර්තන කණ්ඩායම පෙරහරේ කටයුතු කළා. කැටයම් ශිල්පය දන්න අය පිරිත් මණ්ඩපය සැදුවා. මේ කාර්යයට හැමෝගෙම සහයෝගය ලැබුණා කිව්වේ ඒකයි.”

සංස්කෘතික කටයුතු බාරව සිටින නියාමක එස්.කේ. ජානක තමන් යටතේ සිටින රැඳවියන් ඉටු කළ කාර්යභාරය විස්තර කරමින් පැවසීය.

පන්සල් වාට්ටුවේ දොරට හේත්තු වී මේ සියලු කතා අසා සිටින ආරියසිංහගේ වතෙහි ඇත්තේ සිනාවකි. ආරියසිංහ හෙවත් ‘ඩිස්පැන්සරියේ ආරි’ හෙට අනිද්දාට සිරගෙදරින් නිදහස්ව යන්නේය.

“මගේ ගෙවල් බළන්ගොඩ. මං අවුරුදු දහ අටක් තිස්සේ හිරගෙදර. හිරේට එනකොට මගෙ වයස අවුරුදු තිහයි. මං අවිවාහකයි. අම්මා විතරයි ගෙදර. අම්මා ඔත්පළ වෙලා ඉන්නේ. අවුරුදු අසූහතක් වයස මගෙ අම්මා පණ අල්ලගෙන ඉන්නේ මම ගෙදර එනතුරු. ලබන සතියේ මං ගෙදර යනවා.

ඊට පස්සේ වත්තපිටියේ වැඩක් කරගෙන මං අම්මව බලා ගන්නවා. මගේ ජීවිතේ හැදුණේ හිරගෙදරදි බණ භාවනා වැඩසටහන්වලට සහභාගි වීමෙන්. මගේ හිත ඉස්සර වගේ දරුණු නැහැ. මං මෙහෙදි පරිගණක පුහුණුව ලැබුවා. තවත් බොහෝ දේ ඉගෙන ගත්තා. ආයේ නම් අමාරුවේ වැටෙන්නේ නැහැ. ‍මම පොලිස් පරීක්ෂකවරයෙක් හැටියට සේවය කළ කෙනෙක්.” ආරි පැවසුවේ සතුටෙනි.

ඉරිදාට පන්සල් වාට්ටුවේ වැඩිහිටි දහම්පාසල පැවැත්වෙන්නේය. හිරගෙදර පවත්වා ගෙන යන “සුචරිතෝදය වැඩිහිටි දහම් පාසල” බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි දහම් පාසලකි. එහි පළමු ශ්‍රේණියේ සිට හයවැනි ශ්‍රේණිය දක්වා උගනිති. අකුරු ලියන්නට බැරි අයට අකුරු උගන්වයි. ඉන් ඉහළ පන්තිවල අයට දහම් පාසල් අවසානය, ධර්මාචාරය, බෞද්ධාචාරය විභාග සඳහා ඉගැන්වේ. මේ සඳහා ගුරුවරුන් පිටතින් පැමිණෙන අතර රැඳවියෝ ද ඉගැන්වීම් කටයුතුවල නිරත වෙති.

“දහම් පාසලේ 300ක් පමණ ලියාපදිංචි වෙලා ඉන්නවා. ඔවුන් කැමතියි ඉගෙන ගන්න. මරණ දඬුවමට නියමව සිටින බොහෝ දෙනා ධර්ම මාර්ගයට යොමු වී සිටින්නේ. අපි මේ ධර්ම කටයුතුවලට ඔවුන්ව නැඹුරු කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ ඔවුන් තුළ සංයමය ඇති කිරීමටයි.

ආගමානුකූල ජීවිතයකට මේ අය යොමු කිරීමෙන් අපට ඔවුන්ගේ සැබෑ වෙනසක් දැකිය හැකියි. මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී රැඳවියන් තිස්පස් දෙනෙකු ඉංග්‍රීසි ප්‍රශ්න පත්තරයට පෙනී සිටියා. අපි මොවුන්ගේ යහපත සඳහායි මේ හැම කටයුත්තක්ම කරන්නේ.” බන්ධනාගාර අධිකාරි චන්දන ඒකනායක මහතා වැලිකඩ රැඳවියන්ගේ සුබ සාධනය වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කරමින් පැවසීය.

‍“පිරිත් දේශනාව ආරම්භ වෙද්දි පිරිත් පුරන හඩ හරි ලස්සනට ඇහුණා. මේ මිනිස්සු හරි අපූරුවට ඒ දේ කෙරුවා. හොඳ පුහුණුවක් තියෙවා. සිරකරුවෝ ද මනුෂ්‍යයෝ කියන දේ වචනයට සීමා වෙලා වැඩක් නැහැ. එය ක්‍රියාත්මක විය යුතුයි. අපි උත්සාහ කරන්නේ එය ක්‍රියාත්මක කිරීමටයි.” ප්‍රධාන ජේලර් මොහාන් කරුණාරත්න පවසන්නට වූයේ පිරිත් පින්කම දා පැවැති අසිරියය.

මිනිස්සු හැමදාම වැරැදි නොකරති. වැරදි කළවුන්ට වැරැදි හදා ගැනීමට අවස්ථාවක් ද දිය යුතුය. මේ එවැනි අවස්ථාවකි.

විශේෂ ස්තුතිය

(බන්ධනාගාර කොමාසරිස් ජෙනරාල් නිශාන් ධනසිංහ හා මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතාට.)


Wmqgd .ekSu Wmqgd .ekSu nqoqirK mqj;a m; weiqfrks weiqfrks
o