49 Views  
විල්පත්තුවට මොකද වෙන්නෙ?
කළු ඉරකින් කොටුකර දැක්වෙන්නේ ඉරත්තිකුලම් රක්ෂිතයේ ජනතාව පදිංචි කිරීම සඳහා එළි පෙහෙළි කර ඇති වනාන්තර ප්‍රදේශයයි. මෙය 2015.12.31 ගත් ඡායාරූපයකි

මෙරට විශාලතම ජාතික වනෝද්‍යානය වූ විල්පත්තු වන පියස හෙක්ටයාර 131693ක විශාලත්වයකින් යුක්තය.

විජයාවතරණයේ සඳහන් තම්බපණ්ණි හා කුදිරමලේ ප්‍රදේශවල ප්‍රාග් ඓතිහාසික පාෂාණ මෙන්ම කුවේණිගේ මාලිගයේ යැයි සැලකෙන ගල් කණු පවා ඇති විල්පත්තුවේ විල් 66ක් පමණ තිබුණු බවට සාධක පවතී. දිවියා නැරැඹීමට මෙරට ඇති හොඳම ජාතික වන උයන වූ විල්පත්තුව ආවේණික හා ආවේණික නොවන නමුත් වඳ වී යන සත්ත්ව හා ශාක විශේෂ රැසක් ඇති සුවිශේෂ හා පරිසර සංවේදී වන ජිවි කලාපයකි.

පසුගිය යුද සමයේදී එහි සිටි වනජීවී නිලධාරීන් ගණනාවක් කපා කොටා මරා දැමුවත් වනයට වන සතුන්ට එතරම් හානියක් වූ බවක් වාර්තා වූයේ නැත.

එහෙත් 2009 අවසානයේ මේ විල්පත්තු ජාතික වන උයනේ බටහිර මායිමේ ප්‍රධාන මාර්ගයක් ඉදි කළේය. එය මේ විල්පත්තු වන උයනට සිදු වූ විශාලතම ප්‍රථම තර්ජනය විය. පුත්තලම සිට සිලාවතුර තෙක් ඒ මාර්ගය ඉදි කළ අතර එය මඟින් පැමිණි ජනතාව ඒ දෙපස තැන් තැන්වල අනවසර ලෙස පදිංචිවීමට උත්සාහ ගත්හ. පසුව 2010 දී එම මාර්ගය මහජනයා සඳහා විවෘත කළ නිසා විල්පත්තු වන උයනට තවත් තර්ජන රැසක් එල්ල විය. වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 3, 4, 5 යන වගන්ති උල්ලංඝනය කරමින් මෙය සිදුකළ අතර ඒ පිළිබඳව පාරිසරික පදනම නඩුවක් ද ගොනු කළේය.

නව මාර්ගයෙන් පැමිණි ජනතාව 2012 පමණ වන විට විල්පත්තුව අසල වනාන්තරවල ද අනවසර ලෙස පදිංචි විය. ඒ බොහෝ දෙනා යුද්ධය නිසා අවතැන්වූ යන එන මං නැති මුස්ලිම් ජනතාව විය. එයට නායකත්වය ලබා දුන්නේ එදාත් අදත් බලයේ සිටින ඇමැතිවරයෙකි.

පසුව යුද්ධය අවසන් වීමෙන් පසු නැවත පදිංචි කිරිම් පිළිබඳව ජනාධිපති කාර්යසාධක බළකායේත්, ප්‍රතිසන්ධාන කොමිසමේත් ඉල්ලීම වුණේ මේ ජනතාව නැවත පදිංචි කිරීමට වනාන්තර ඉඩම් අවශ්‍ය බවයි. මේ ඉල්ලීම අනුව විල්පත්තු ජාතික වන උයනට කිලෝමීටර් 10 - 15 ඈතින් ඇති වනාන්තර කලාපවල ඉඩම් අක්කර 2800ක් නිදහස් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු විය.

මෙලෙස ජනතාවට බෙදා දීමට ඉල්ලු සමහර කැලෑ ඉඩම්වල ඊට අවසර දීමටත් පෙර ජනතාව පදිංචි වී සිටියහ. කෙසේ වුවත් ජනාධිපති කාර්ය සාධක බළකායේ ඉල්ලීම අනුව 2012 - 2013 වකවානුවේ අලින්, දිවියන් ගැවසෙන රූස්ස ගස් ඇති වනාන්තර අක්කර 2800ක් නිදහස් කිරිම සිදු විය. එය වන සත්ත්ව හා වෘක්ෂලතා පනත, වන සංරක්ෂණ පනත, පුරාවස්තු ආඥා පනත හා ජාතික පාරිසරික පනත යන පනත්වල වගන්ති ගණනාවක් උල්ලංඝනය කිරිමක් බව පරිසර නීතිඥවරු හා පරිසර සංවිධාන ජාලය පෙන්වා දුන්හ. ඒ සඳහා දඬුවම් දිය යුතු බව ද ඔවුහු අවධාරණය කළහ.

පසුව පසුගිය සතිවලදී මෙරට විද්‍යුත් නාළිකාවකින් පෙන්වූයේ විල්පත්තුව ජාතික වන උයන අසල ඉරත්තිකුලම් නව වන රක්ෂිතයේ ඉඩම් අක්කර හයසිය ගණනක් ශුද්ධ කර නිවාස හදන බවයි.

මීට අදාළ ගුවන් ඡායාරූප හා රූපවාහිනී දර්ශන මඟින් ද ඒ විද්‍යුත් මාධ්‍ය ඒ කරුණු සත්‍යය බවට ජනතාවට ඒත්තු ගන්වන්නට උත්සාහ කළහ.

නමුත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ පසුගිය දිනවල විද්‍යුත් මාධ්‍ය මඟින් පෙන්වූයේ 2013 දී ජනාධිපති කාර්ය සාධක බළකායෙන් ජනතාවට ලබාදුන් ඉඩම්වල නව නිවාස ඉදිකිරීම පිණිස කරන වැඩ කටයුතු බවය.

නිහාල් පී. අබේසිංහ
එළිකරන්නේ 2013 දීපු ඉඩම් පමණයි වනජීවී කලාපයට අත තියලවත් නැහැ

වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් අනුර සතුරුසිංහ

පසුගිය දිනවල සමහර ජනමාධ්‍ය මඟින් විල්පත්තුව ආශ්‍රිත විලත්තිකුලම් වන රක්ෂිතය විනාශ කරන බවට තොරතුරු පළ වුවත් ඒ සිදු කරන්නේ 2013 මැයි 22 දින වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් නැවත පදිංචි කිරීම් සඳහා මන්නාරම දිසාපතිතුමාට නිදහස් කළ ඉඩම්වල ජනතාව පදිංචි කිරීම හා ඒ සඳහා එළිකිරීම් කිරීම පමණයි.

මේ විලත්තිකුලම් ප්‍රදේශය විල්පත්තුවම වනජීවි සංරක්ෂණ කලාපයට කිසිම අයිතියක් නැහැ. විල්පත්තුවේ සිට විල්පත්තිකුලම්වලට කිලෝමීටර් 13ක් දුරයි. ඒක විල්පත්තුවේ ස්වාරක්ෂක කැලෑවක් නෙමෙයි.

මේ විලත්තිකුලම් රක්ෂිතය ගැසට් කළේත් 2012 දී අපියි. ඒ ප්‍රදේශයේ ඉඩම් අවතැන් වූවන් සඳහා රජයේ ඉහළම නියෝග හා රාජ්‍ය නොවන සංවිධානවල ඉල්ලීම් අනුව අපි නිදහස් කළේ 2013 මැයි මාසේ. විලත්තිකුලම් රක්ෂිතය හෙක්ටයාර 2018ක් ලොකුයි. අපි ඒකෙන් දීලා තිබෙන්නේ හෙක්ටයාර 207ක් අක්කර 667ක් පමණයි. නමුත් අපෙන් ඉල්ලුවා අක්කර 850ක්. මෙහි තාමත් 30%ක් සංවර්ධනය කර නැහැ.

එවකට නැවත පදිංචි කිරීම් පිළිබඳව ජනාධිපති කාර්ය සාධක බළකායක් තිබුණා. ඒක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉහළම නිලධාරීන් 15කගේ සහභාගිත්වය ඇතිව ක්‍රියාත්මක වුණු කමිටුවක්.

ඒ කාර්ය සාධක බළකාය විසින් යුද්ධය අවසන් වී නැවත පදිංචි කිරීම් සිදු කළ යුතු බවටත් ඒ සඳහා වනාන්තර භූමිය අවශ්‍ය බවටත් අපට දන්වා තිබුණා. කෙසේ වුවත් ඒ දිනවල අපි ඒ වනාන්තර භූමි නීත්‍යනුකූලව නිදහස් වීමටත් පෙර සමහර ඉඩම්වල ජනතාව පදිංචි කර තිබුණා.

පසුගිය දිනවල විද්‍යුත් මාධ්‍ය මඟින් නිතර නිතර පෙන්වන්නේ අපි 2013 මැයිවල නැවත පදිංචි කිරීම් සඳහා නිදහස් කළ විලත්තිකුලම් පිච්චායි වන්නියාකුලම් ප්‍රදේශයේ නිවාස ඉදිකිරීමට ශුද්ධ කරන අයුරුයි. 2014 ට පෙර මෙහි ප්‍රධාන වටිනා ගස් දැව සංස්ථාව මඟින් කැපුවා. නමුත් වීර වගේ වටින්නේ නැති ගස් තවමත් එහි තිබෙනවා. ඒවා කපලා ඒ ප්‍රදේශයේ ගෙවල් හදන්නේ දැනුයි. ඒ සල්ලි ලැබෙන අයුරින්. මේක අලුත් වනාන්තරයක් එළි කිරීම නෙමේ. මේ ඉඩම්වලට ඒ නැවත පදිංචි කළ අයට එකල රජයෙන් දීමනා පත්‍ර දීලා තිබෙනවා. ඒ අනුව මේ කරන්නේ නීත්‍යනුකූලව කරන ඉදිකිරීම් මිස නීති විරෝධි ඒවා නෙමේ. මම පෞද්ගලිකව ඒ ගැන සොයා බලලයි මේ කියන්නේ.

විලත්තිකුලම් වන රක්ෂිතය, මන්නාරම දිස්ත්‍රික්කයේ, මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි හෙක්ටයාර 2018 ක වපසරියකින් යුතු වනාන්තරයක්. මන්නාරම දිසා වන නිලධාරී යටතේ මන්නාරම අඩවි වන නිලධාරී විසින් පාලනය කරනු ලබන මෙය වර්ෂ 2012. 05. 21 දින අංක 1759/02 දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් රක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබ තිබෙනවා.

මේ දිනවල විද්‍යුත් මාධ්‍ය මඟින් පෙන්වන අදාළ භූමි භාගය, මෙම වනාන්තරයට අයත්ව තිබී, වර්ෂ 2013. 05. 22 දින මුසලි ප්‍රාදේශීය ලේකම් වෙත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් භාර දෙනු ලැබ ඇති හෙක්ටයාර 270 ක පමණ (අක්කර 667 පමණ) භූමි භාගයක් පිච්චායි, වන්නිකුලම් මාර්ගයට යාබදව පිහිටි මෙම භූමිය මරදමඩු ග්‍රාම නිලධාරී කොට්ඨාසයට අයත් වෙනවා.

යුද කටයුතු අවසන් වීමත් සමඟ, යුද්ධයෙන් අවතැන් වූවන් පදිංචි කිරීම සඳහා උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා නිර්දේශ පදනම් කොට ගෙන එවකට පැවැති රජය විසින් උතුරු පළාත සඳහා නැවත පදිංචි කිරීම්, සංවර්ධනය හා ආරක්ෂාව පිළිබඳව ජනාධිපති කාර්ය සාධන බළකාය පිහිටුවනු ලැබුවා.

එම කාර්ය සාධන බළකායේ ලේකම්වරයාගේ අංක : PTF/NP/1/4 හා 2012. 11 22 දිනැති ලිපිය මඟින් වෙනත් ඉඩම් ද සමඟින් විලත්තිකුලම් වනාන්තරයේ පිච්චායි වන්නියකුලම් ප්‍රදේශයේ පිහිටි භූමියෙන් අක්කර 865ක් ලබාදීමට ඉල්ලා තිබුණා.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර ඉඩම් මේ සඳහා මුදා නොහැර ආරක්ෂා කර ගැනීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දිගින් දිගටම උත්සාහ කළ ද ඉන් ප්‍රතිඵලයක් නොවූයෙන් අවසානයේදී අත්‍යවශ්‍ය යැයි හඳුනාගත් අවම බිම් ප්‍රමාණය වන අක්කර 667ක් ලබා දීමට හැකියාවක් ඇති බව වන සංරක්ෂක ජනරාල්ගේ 2013. 02. 14 දිනැති ලිපිය මඟින් මන්නාරම දිසාපති වෙත දැනුම් දී තිබෙනවා.

රාජ්‍ය දැව සංස්ථාව 2013 ඔක්තෝබර් 23 සිට අදාළ ඉඩමේ ගස් ඉවත් කර තිබූ ආර්ථික වටිනාකමක් නොමැති වීර වර්ගයේ ගස් හා වෙනත් වර්ගවල ගස් සුළු ප්‍රමාණයක් හෙළීම් නොකර ඉතිරි කර තිබෙනවා. මෙම ගස් වර්ග මේ දක්වාම අදාළ භූමියේ නිවාස ඉදි කිරීම් නොකළ ප්‍රදේශවල දක්නට තිබෙනවා. ඒවා පසුගිය දිනවල විද්‍යුත් මාධ්‍ය මඟින් පෙන්නුම් කළා.

රාජය දැව සංස්ථාව විසින් ගස් කපා ඉවත් කර ගැනීමෙන් අනතුරුව අදාළ බිම් කට්ටි සැලසුම් අනුව, එවකට ක්‍රියාත්මක වූ වැඩසටහනක් වන “උතුරු පළාතේ ජනතාවගේ ඉඩම් හිමිකම තහවුරු කරමින් සකස් කරන ලද ඉඩම් බලපත්‍ර / දීමනා පත්‍ර විසිදහස බෙදා දීමේ වැඩ සටහන” යටතේ එවකට සිටි ජනාධිපතිතුමන් විසින් ඉඩම් සංවර්ධන පනතේ 19(2) වගන්තිය යටතේ නිකුත් කරනු ලබන අවසර පත්‍ර 944 ඉඩම් කට්ටි හිමියන් වෙත 2014. 10. 12 දින බෙදා දෙනු ලැබුවා.

2013 වර්ෂයේ සිට මේ දක්වා විවිධ කාල පරාසයන්හි දී මෙම භූමිය තුළ නිවාස 438ක් ඉදිකරනු ලැබ ඇති අතර, මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන රාජ්‍ය ආයතන මඟින් මෙන්ම නොයෙකුත් රාජ්‍ය නොවන ආයතනයන්ගෙන් ද ලබා දී තිබෙනවා. මේ වන විට රාජ්‍ය නොවන සංවිධානයක් වන “Organization for Habitation and Resources Development” නමැති ආයතනය විසින් බලපත්‍රලාභී ඉඩම් කට්ටි 147ක නිවාස ඉදිකිරීම කරනවා. එහි පරාල සහ යට ලී කැපීම සඳහා දම්වැල් කියත් භාවිත කරනු ලබන බව ද අප දුටුවා. පසුගිය දිනවල රූපවාහිනී මඟින් පෙන්වූයේ ඒ දම්වැල් කියත් මිස කැලේ කපන කියත් නෙමේ. පදිංචි කිරීම සඳහා මුදාහැර ඇති හෙක්ටයාර 270 (අක්කර 667) ක් වූ භූමිය වටා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ස්ථිර මායිම් කණු 150ක් සිටුවා අවසන්. 2014 වර්ෂය අවසානය වන විට ස්ථිර මායිමක් හදලා තිබෙනවා. රක්ෂිත වනාන්තරය තුළට කිසිදු වනාන්තර එළි කිරීමක් සිදුව නැහැ. ඒ සමඟම මායිම් කණු නිසා ඉඩම් ලොකු කරගන්න බැහැ.

මුළු භූමි ප්‍රමාණයෙන් 62% පමණ වන ආවරණයක් සහිත මන්නාරම දිස්ත්‍රික්කයේ වනාන්තර අතුරින් රක්ෂිත වශයෙන් මෑතක් වනතුරු ප්‍රකාශයට පත්කර තිබූයේ වෙප්පාල්, නීත්තාවිල් හා මාවිල්ලු යන වනාන්තර පමණයි.

යුද සමය අවසන් වීමත් සමඟම මන්නාරම දිස්ත්‍රික්කය තුළ අනවසර වනාන්තර එළි කිරීම් බහුලව සිදුවන ස්ථාන නිරීක්ෂණය වීමෙන් පසු කඩිනමින් එම වනාන්තරවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා බිම් මැනුමකින් තොරව භූගෝලිය (GPS) පාඨාංක යොදා ගනිමින් තර්ජනයට ලක්ව ඇති වනාන්තර ප්‍රදේශ රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ අනුව, 2012/2013 වර්ෂවලදී මෙම වැඩසටහන යටතේ හෙක්ටයාර 70,000ක පමණ ප්‍රමාණයක විලත්තිකුලම් රක්ෂිතය ඇතුළුව රක්ෂිත 8ක් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබෙනවා.

අවතැන් වූ ජනතාව පදිංචි කිරීමට ජනාධිපති කාර්ය සාධක බළකාය මඟින් ඉඩම් අක්කර 3437ක් ඉල්ලා තිබුණා. නමුත් අපි ලබා දුන්නේ අක්කර 2850ක් පමණයි. ඒ අනුව 2013 මැයි 14 මුලින්ම මුසලි ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අක්කර 280ක් අපි නිදහස් කළ මේ ඉඩම්වල අපි නිදහස් කිරීමටත් පෙර ගෙවල් හදලා තිබෙනවා.

ඊට අමතරව මුසලි ප්‍රදේශයේ මරිච්චුකඩ්ඩි සිලාවතුර මාර්ගයේ යාබදවත් අක්කර 770ක් අපි නැවත පදිංචි කිරීම්වලට නිදහස් කළා. නමුත් ඒ නිදහස් කිරීම් කරන විටත් අපිට නොදන්වා ඒ ප්‍රදේශවල එළි කිරීම් කරලා තිබුණා.

මේ නැවත පදිංචි කිරීම්වලට විලත්තිකුලම්, මුසලි, මාන්තෙයි බටහිර හා මඩු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ඉඩම් කැලේ දුන්නේ වන සංරක්ෂණ නීතිරිතිවලට අනුකූලවනම් නෙමෙයි. මට නෙමේ වෙන වන සංරක්ෂණ ජනරාල්වරයෙක් එවිට හිටියේ. නමුත් දෙස් විදෙස් ආයතනවල හා ප්‍රතිසන්ධාන කොමිසමෙන් නැවත පදිංචි කිරිම් පිළිබඳව ජනාධිපති කාර්ය සාධක බළකායේ බලවත් ඉල්ලීම් අනුවයි. කෙසේ වුවත් මෙලෙස අපෙන් ඉල්ලු පෙරියමඩු රක්ෂිතයේ අක්කර 350 නැවත පදිංචි කිරීම් සඳහා දීම අපි ප්‍රතික්ෂේප කළා. ඒ එම කැලෑව සංවේදී හා ඝන කැලයක් නිසායි.

මේ සියලු කරුණු අනුව මම පවසන්නේ මේ විලත්තිකුලම් ප්‍රදේශයේ කරන්නේ 2013 දී දීමනා බලපත්‍ර යටතේ නැවත පදිංචි කළ ජනතාවට ලබාදුන් ඉඩම්වල ඒ ජනතාව පදිංචි වීම සඳහා කරන කටයුතු පමණක් බවයි.

මේ අනුව කියන්න තියෙන්නේ 2013න් පස්සේ අපි බිම් අගලකවත් නැවත පදිංචි කිරීමට මුස්ලිම් ජනතාවට නිදහස් කර නොමැති බවයි. මේ අතර එක්තරා ඇමැතිවරයෙක් කර්මාන්ත පුරයක් ඉදිකිරීමට අපෙන් කැලේ ඉල්ලුවා.

අපි ලබා දුන්නේ නැහැ. අපි මන්නාරමේ වනාන්තර ප්‍රමාණය වැඩි කරන්නයි සියලු කටයුතු කරන්නේ අපි 2013 න් පස්සෙ කැලය අඟලක්වත් කපන්න ඉඩ දීලා නැති බව අවධාරණය කරනවා.

වත්මන් ජනාධිපතිවරයා 2015 දී පමණ උතුරු නැ‍ඟෙනහිර ප්‍රදේශවල අලුතින් වනාන්තර එළි කිරීම් නවත්වන ලෙස චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

නමුත් ඒ චක්‍රලේඛය නිකුත් කරන විට මේ 2013 නැවත පදිංචි කිරීම් සඳහා නිදහස් කළ ඉඩම්වල කැලේ 2014 දීම ඉවත් කර අවසන්. මේ දිනවල කරන්නේ විලත්තිකුලම් ප්‍රදේශයේ තිබෙන පදුරු හා පුංචි ගස් ඉවත් කර නිවාස හැදීම පමණයි. ඒවායේ තිබු මහ කැලේ 2013 අවසන් භාගයේ දැව සංස්ථාවට කැපුවා.

අපි ජනාධිපති නියෝගය අනුව 2015 පස්සේ ඉහත ප්‍රදේශවල එකම කැලෑ බිම් අඟලක්වත් එළිකර නැහැ. ඒක 2015 හා 2016 ගුවන් ඡායාරූප මඟින් පැහැදිලිව ඔප්පු කර පෙන්වන්න පුළුවන්.

නිහාල් පී. අබේසිංහ
වන සංරක්ෂණ ලොක්කෝ කියන්නේ බොරු

පරිසර සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු පාහියන්ගල ආනන්ද සාගර හිමි

ජනාධිපතිවරයා විසින් විල්පත්තු, විලත්තිකුලම් රක්ෂිත වනාන්තර ඇතුළු උතුරු නැගෙනහිර වනාන්තර විනාශ නොකරන ලෙසට 2015 දී නියෝගයක් කර තිබෙනවා. එය ද නොතකමින් සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුදැනුම මත එම රක්ෂිතයේ අක්කර 750 කට අධික ප්‍රමාණයක් විනාශයට පත් කොට තිබෙනවා.

2012 මැයි මස 21 වැනි දින අංක 1759/2 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනයක් යටතේ මෙම ප්‍රදේශය රක්ෂිත ප්‍රදේශයක් බවට පත් කොට ඇති අතර නෛතික ක්‍රමවේදයකින් තොරව සිදු කැරෙනා මෙම වන සංහාරය ගැටලු සහගතයි.

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාගේ මූලිකත්වයෙන් කටාර් හි අල් ජාසීන් පදනම් මූල්‍යාධාර යොදා ගනිමින් එහි නිවාස ව්‍යාපෘතියක් ඉදිවෙමින් පවතින බව ද මෙම ඉදිකිරීම් ඇමැතිවරයාගේ සහෝදරයකුට අයත් ‘මෙගා කන්ස්ට්‍රක්ෂන්’ නමැති ඉදිකිරීම් සමාගමක් විසින් සිදුකරන බවට එහි නිරීක්ෂණ චාරිකා‍වක යෙදුණු පරිසර සංවිධාන එකමුතුව විසින් අනාවරණය කරගත්තා. නැවත පදිංචි කරවීමක් හැටියට සඳහන් කළ ද මෙය අලුතින් පදිංචි කරවීමක් බවට පැහැදිලිවම පෙනෙනවා. මෙම අනවසර ක්‍රියාකාරකම් වහා නවතා දමා නීති විරෝධී අයුරින් ක්‍රියාකරන පුද්ගලයිනට සහ ආයතනවලට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගැනීමට රජයෙන් ඉල්ලා සිටිනවා.

මේ දිනවල මෙම ප්‍රදේශයේ අලුතින් ගස් කපනවා. ගෙවල් හනවා - යාන්ත්‍රික කියත් පාවිච්චි කරනවා. පාරවල් කපනවා. මේ අනුව පැහැදිලිව විලත්තිකුලම් රක්ෂණ ප්‍රදේශයේ පැහැදිලි වන අපරාධ සිදුවෙනවා. වන සංරක්ෂණ නීති සත්ත්ව හා වෘක්ෂලතා පනත, පුරාවිද්‍යා පනත, ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් සිදුවන මේ ක්‍රියාදාමය මැඩ පැවැත්වීමට වහා කටයුතු කළ යුතුයි.

විශේෂයෙන් මෙවැනි කැලෑ එලිකිරීම් අනවසර ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා මූලික පාරිසරික අගැයීම් වාර්තාවක් අනුමත කරවා ගත යුතුව ඇතත් එවැන්නක් සිදුවී නැහැ.ත එබැවින් මේ කැලෑ එළි කිරීම් වහා නවතා මෙවැනි විනාශයක් කිරීමට පෙර මේ පිළිබඳ පාරිසරික අගැයීම් වාර්තාවක් ලබාගැනීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ යුතුයි.


Wmqgd .ekSu Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks weiqfrks
o