66 Views  
වසරේ මාස දොළහ නම් ලැබුවේ කොහොමද ?
පෘථිවිය සූර්යයා වටා වටයක්‌ සම්පූර්ණ කරලා ඔන්න තවත් වටයකට මුල පුරනවා. අපත් 2016 දින දර්ශනයේ දවස්‌ 366 ක්‌ම ගෙවලා නැවතත් අලුත් වසරක ඒ කියන්නේ 2017 දින දර්ශනයේ දවස්‌ 365 ක්‌ ගෙවන්න සූදානම් වෙනවා. 2016 වසරේ දිනයක්‌ වැඩි වුණේ ඒ වසර අධික අවුරුද්දක්‌ වුණ නිසා. තාරකා විද්‍යාඥයන් පවසන්නේ සූර්යයා වටා පෘථිවියට වටයක්‌ යැමට දින 365.242189 ක්‌ එහෙමත් නැතිනම් දින 365 යි පැය 5 යි විනාඩි 48 යි තත්පර 45 ක්‌ ගත වෙනවා කියලා. අප භාවිතා කරන ග්‍රෙගෝරියන් දින දර්ශනයේ ඇත්තේ දින 365 යි. දශම කොටස නොසලකා හැරියොත් වසර 100 කට පසුව දින 24 කින් පමණ දින දර්ශනය වෙනස්‌ වෙනවා. ඒ ගැටලුව හැකි තාක්‌ අඩු කර ගැනීමට වසර 4 කට වරක්‌ දින දර්ශනයේ අඩුම දින ගණනක්‌ ඇති මාසය වන පෙබරවාරි මාසයට එක දිනයක්‌ එකතු කෙරෙනවා.

ලොව බොහොමයක්‌ රට වලට අලුත් අවුරුද්දක්‌ සමරණ තමන්ගේම මාස රටා ක්‍රමයක්‌ තිබුණත් ඒත් සමඟම ග්‍රෙගෝරියන් දින දර්ශනයත් පිළිගැනීම නිසා අද එය ලොව පුරා වැඩියෙන්ම භාවිතා වන දින දර්ශනය වී තිබෙනවා. එයට අනූව ලොව බොහොමයක්‌ දෙනා සූර්යයා වටා යන අලුත් අවුරුද්ද ජනවාරි මස 1 දින සමරනවා. ග්‍රෙගෝරියන් දින දර්ශනය කියන්නේ ජුලියන් දින දර්ශනයෙ අඩුපාඩු සකස්‌ කර ගනිමින් 8 වන ග්‍රෙගරි පාප්තුමා විසින් 1582 දි හඳුන්වා දුන්නකි. එහි ආරම්භක සැකසුම් දකින්නට ලැබෙන්නේ පුරාණ රෝමානු දින දර්ශනයෙයි. ඒ කියන්නේ මාස දොළහෙ නම් ලැබුණේ රෝම වරුන්ගෙන්. අද අපි ජනවාරි පළවෙනි මාසය ලෙස ගත්තත් ජනවාරි සැමදාම පළවැනියට තිබුණේ නැහැ. ඇත්තම කියනවා නම් මුල් රෝම දින දර්ශනයට ජනවාරි තබා පෙබරවාරිවත් ඇතුළත් වුණේ නැහැ. මුල් රෝම දින දර්ශනයට අයිති වූණේ මාර්තු සිට දෙසැම්බර් දක්‌වා මාස 10 පමණයි. ඒ අනූව මාර්තු මාසය පළවෙනි මාසය වුණා. දෙවන මාසයට අප්‍රේල් නම යෙදුණු ආකාරය පිළිsබඳව පැහැදිලි අදහසක්‌ නැති වුණත් අනෙක්‌ මුල් මාස 3 නම් කර තිබෙන්නේ රෝම දෙවිවරුන් ගේ නම් වලින්. අවසන් මාස හය නම් කර තිබෙන්නේ 5 සිට 10 දක්‌වා පිළිවෙලින් අංක ලතින් භාෂාවෙන් හඳුන්වන නාමයෙනි. පසු කාලයෙදි රෝමවරුනA විසින් රෝම පාලකයන් වූ ජුලියස්‌ සීසර් සහ ඔගස්‌ටස්‌ හට ගෞරවයක්‌ වශයෙන් ලතින් භාෂාවෙන් 5 වන මාසය සහ 6 වන මාසය ලෙසින් හැඳින්වූ මාස ජූලි සහ අගෝස්‌තු ලෙසින් නම් කරනු ලැබුවා.

මුල් රෝම දින දර්ශනයට ජනවාරි සහ පෙබරවාරි එකතු කිරීමේ ගෞරවය හිමි වන්නේ රෝමයේ දෙවන රජු වූ නූමා පොම්පිලියස්‌ හටයි. මුලදි ජනවාරි සහ පෙබරවාරි යන මාස දෙක එකතු වුණේ වසරේ අගටයි. පසු කාලයේ ඒවා වසරේ මුලට ගෙන ඒම නිසා සැප්තැම්බර් සිට දෙසැම්බර් මාසවල නමින් හැඟවෙන අර්ථය නැති වුණා. නිදසුනක්‌ දක්‌වනවා නම් සැප්තැම්බර් යන්නේ හත් වන මාසය යන අර්ථය දුන්නත් අද සැප්තැම්බර් පවතින්නේ දින දර්ශනයේ 9 වන ස්‌ථානයෙයි.

මාස දොළහෙ නම්වල අර්ථයන්

ජනවාරි

ජනවාරි යන්නෙන් ජනුස්‌ නම් කඩුළු සහ දොරකඩට අධිපති දෙවියාගේ මාසය බව අර්ථවත් වෙනවා. ජනුස්‌ දෙවියාගේ රුව ඉදිරිපත් කෙරෙන්නේ පසුගිය වසර දෙස බලන සහ ඉදිරි වසර දෙස බලන හිස්‌ දෙකකින් යුතුවයි.

පෙබරවාරි

ලතින් අර්ථය ලෙස පවිත්‍රකරණය දැක්‌විය හැක. පූජා කර්ම පවිත්‍ර කිරීමේ රෝම උත්සවය පැවතියේ මේ මාසයෙයි.

මාර්තු

යුද්ධයට අධිපති සහ කෘෂිකර්මාන්තයේ ආරක්‌ෂකයා වන මාස්‌ දෙවියා වෙනුවෙන් නම් කර ඇත.

අප්‍රේල්

අප්‍රේල් යන්නෙහි අර්ථය පිළිබඳව මතවාද තුනක්‌ දැකිය හැක. සමහරුන් පවසන්නේ ලතින් භාෂාවෙන් දෙක යන අර්ථය ඇතිව අප්‍රේල් නම ගත් බවයි. පුරාණ රෝම දින දර්ශනයේ අප්‍රේල් දෙවන මාසයයි. තවත් අය ඉදිරිපත් කරන්නේ විවෘත කිරීමට යන තේරුම ගෙනෙන අපිරී නම් ලතින් වදනින් ඒ නම ගත් බවයි. එයින් ගිම්හානයෙ මල් පීදීම සහ ගෙඩි හට ගැනීම නියෝජනය කෙරෙනවා. සමහර රෝම මාස දෙවියන් වෙනුවෙන් නම් කර ඇති නිසා අප්‍රේල් මාසය ඇප්‍රඩයිටි නම් ග්‍රීක දෙවඟන එහෙමත් නැතිනම් ඇගේ සම රෝම දෙවඟන වන වීනස්‌ දෙවඟන වෙනුවෙන් නම් ලද බවට තවත් මතයක්‌ තිබෙනවා.

මැයි

වසන්තය සහ වැඩීමට අධිපති වූ මායියා නම් රෝමානු දෙවඟන වෙනුවෙන් නම්කර ඇත.

ජූනි

අද වගේම ඒ කාලයෙත් ජූනි මාසය විවාහ මංගල්‍යයන්ට ජනප්‍රිය මාසයක්‌ වූ බවක්‌ පෙනෙනවා. මේ මාසය නම් කර ඇත්තේ කාන්තාව සහ විවාහයට අධිපති ජූනො දෙවඟන වෙනුවෙනි.

ජූලි

රෝම පාලකයෙකු වන ජුලියස්‌ සීසර්ගේ උපන් මාසය වූ නිසා ක්‍රි.පූ 44 දි ඔහුගේ නමින් නම් කර තිබෙනවා. ඊට පෙර හැඳින්වුණේ කුයින්ටීලිස්‌ යන නමිනි. එහි ලතින් අර්ථය පහ යන්නයි.

අගෝස්‌තු

පළමු රෝම අධිරාජ්‍යයා වූ ඔගස්‌ටස්‌ සීසර් සිහිකිරීම සඳහා ක්‍රි.පූ. 8 දි නම් කෙරුණා. ඊට පෙර හැඳින්වුණේ 6 යන ලතින් අර්ථය ඇතිව සෙක්‌සීලියා නමිනි.

සැප්තැම්බර්

රෝමානු දින දර්ශනයට අනුව 7 වන මාසයයි. ලතින් අර්ථය අනූව සෙප්ටෙම් යනු 7 වේ.

ඔක්‌තෝබර්

රෝමානු දින දර්ශනයට අනුව 8 වන මාසයයි. ලතින් අර්ථය අනූව ඔක්‌ටො යනු 8 වේ.

නොවැම්බර්

රෝමානු දින දර්ශනයට අනුව 9 වන මාසයයි. ලතින් අර්ථය අනුව නොවෙම් යනු 9 වේ.

දෙසැම්බර්

රෝමානු දින දර්ශනයට අනුව 10 වන මාසයයි. ලතින් අර්ථය අනුව ඩිසෙම් යනු 10 වේ.

නිල්මිණි රාජපක්‍ෂ රදලගේ

divaina.com


Wmqgd .ekSu weiqfrks
o