26 Views  
කටුගෙට 140 යි!
කොළඹ ජාතික කෞතුකාගාරය ඉදි කර අදට වසර 140ක් සපිරෙන අතර, දෙවසරක් තිස්සේ ප්‍රතිසංස්කරණය කරන්නට යෙදුණු මැදිරි පහක් යළි මහජන ප්‍රදර්ශනයට විවෘත කිරීමද සිදු වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

කොළඹ ජාතික කෞතුකාගාරය 1877 ජනවාරි පළමු වැනිදා ශ්‍රීමත් විලියම් හෙන්රි ග්‍රෙගරි ආණ්ඩුකාර තුමාවිසින් අරඹනු ලැබිය. ඊට වසර තිහකට පෙර එනම් 1847 දී රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාව මගින් තම සාමාජිකයන්ගෙන් එක් රැස් කරන ලද සංස්කෘතික ස්වභාවික විද්‍යා එකතුවකින් කෞතුකාගාරය අරඹා තිබිණි. 1854 වන විට රාජකීය ආසියාතික සංගමයේ අභිප්‍රාය වූයේ එම කෞතුක වස්තු එකතුවට හා ඔවුන් විසින් රැස් කළ අගනා ග්‍රන්ථ එකතුවට ස්ථිර නිවාසයක් ලබාගැනීමයි. එම අභිප්‍රාය කෞතුකාගාරයක් දක්වා වර්ධනය වුයේ 1872 වසරේ දීය. එම අරමුණ ඉටු කර ගැනීම උදෙසා එවකට ලංකා ආණ්ඩුවේ ආණ්ඩුකාරධූරයට විලියම් හෙන්රි ග්‍රෙගරි මහතා පත්වීම රුකුලක් විය.

කෞතුකාගාරය වෙනුවෙන් ගොඩනැගුණු ගොඩනැගිල්ල යුරෝපීය කෞතුකාගාර හා කලාගාර වලින් ලත් විශේෂ දැනුමින් ග්‍රෙගරි මහතා විසින් පෝෂණය කොට ඇත. බොහෝ කැටයම් සහිත ආරුක්කු ඇති ඉතාලියානු සම්ප්‍රදායේ ගොඩනැගිල්ලක් වන එය මනරම් නිර්මාණයක් විය.

වසර 140 පැරැණි මේ ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව මතු වෙමින් තිබිණි. පැරැණි පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් වුවක් බැවින් එහි සංරක්ෂණ කටයුතු ක්‍රමවත්ව හා සංරක්ෂණ ක්‍රමවේදයන්ට අනුව සිදු කළයුතු විය. මැදිරි පහක කෞතුක වස්තු ආරක්ෂිතව නැවත ගබඩාවල තැන්පත් කරමින් සංරක්ෂණය ආරම්භ කෙරිණි. සංරක්ෂණයේදී ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය ඉංජිනේරුමය උපදෙස් ලබා දුන්නේය. සංරක්ෂණ කාර්යය සඳහා එම ආයතනයේ ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 225කි. ස්මාරක සංරක්ෂණ උපදෙස් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංරක්ෂණ අංශය මගින් ලැබිණි.

ඉපැරණි කෞතුකාගාර ගොඩනැගිල්ල සංරක්ෂණයේ භාරධූරම කාර්යය සිදුකරනු ලැබූයේ ශ්‍රී ලංකා 6වැනි ඉංජිනේරු බළකායයි. සියුම් කැටයම් සහිත ගොඩනැගිල්ලේ කපරාරුව සම්පූණයෙන් ඉවත් කරමින් නැවත පැවැති ආකාරයෙන්ම නිර්මාණය කිරීමේ වගකීම ඔවුන් නිසි ලෙස ඉටුකොට ඇති අයුරු අපට දැක ගත හැකිය. මේ අසීරු කාර්ය සඳහා වසරක කාලයක් වෙන්කර තිබුණද ඊට වසර දෙකක කාලයක් ගතවිය.

වහලය සම්පූර්ණයෙන් ඉවත්කොට නැවත ඉදිකරිමට විශාල කාලයක් වැයවී තිබේ. ගොඩනැගිල්ලට කෘමීන්ගෙන් ප්‍රබල ලෙස හානි වී තිබූ බව කෞතුකාර අධ්‍යක්ෂ සනූජා කස්තුරි ආරච්චි මහත්මිය පවසයි. යුදහමුදාවේ 6වැනි ඉංජිනේරු බළකාය මේ කාර්යයේ දී ඉතා කාර්යක්ෂමව ඉවසීමෙන් කැපවීමෙන් කටයුතු කළ බවද ප්‍රකාශ කළ කෞතුකාගාර අධ්‍යක්ෂ සනුජා කස්තුරි ආරච්චි මහත්මිය හිටපු යුද හමුදාපතිවරයාට වර්තමාන යුද හමුදාපතිවරයාට මේ කාර්ය සඳහා සහයෝගය දැක්විම හේතුවෙන් ස්තුතිය පළ කර සිටියි. සංරක්ෂණකාර්යයේ දී කැපවීමෙන් කටයුතු කළ කර්නල් ගුණසේකර, කැප්ටන් චාන්දනී හා මේජර් නානායක්කාර ඇතුළු නිලධාරින්ට හා භට පිරිස් වෙත තම කෘතවේදීත්තවය ප්‍රකාශ කළාය.

මැදිරි වලින් ඉවත්කළ කෞතුකවස්තු නැවත ප්‍රදර්ශන කුටිවල තැන්පත් කිරීම මේ දිනවල සිදු කෙරෙම්න් පවතී. ජනවාරි මාසයේ සිට කෞතුකාගාරය සම්පූර්ණයෙන් මහජන ප්‍රදර්ශනට විවෘත කෙරේ. සංරක්ෂණය සඳහා කටයුතු කරනු ලැබූයේ ප්‍රාග් ‍ෙඵෙතිහාසික, අනුරාධපුර, අවිආයුධ, කාසි හා මුදල්, ආදී මැදිරි පහකි. ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඵෙතිහාසික, පුරාවිද්‍යාත්මක, මානවවංශ විද්‍යාත්මක හා මානව විද්‍යාත්මක, සත්ත්ව විද්‍යාත්මක, කීටවිද්‍යාත්මක, භූවිද්‍යාත්මක, පාෂාණ භුත විද්‍යාත්මක කරුණු පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස කොළඹ ජාතික කෞතුකාගාරය භාවිත කළ හැකිය. කොළඹ ජාතික කෞතුකාගාරයේ ආදි කර්තෘ විලියම් ග්‍රෙගරි මහතාගේ ප්‍රතිපත්තිමය අදහස අනුව යමින් කොළඹ කෞතුකාගාරයේ භාණ්ඩ එකතුව මූලික වශයෙන් ශ්‍රී ලංකාවට සීමා කර ඇත.

කොළඹ ජාතික කෞතුකාගාරය සතුව ග්‍රන්ත ලක්ෂ පහකට අධික ප්‍රමාණයක් පවතී. එහි ඇති පුස්කොළ පොත් එකතුව 4000පමණ වේ. ආරම්භයේ සිට ම විමර්ශන පුස්තකාලයක් ලෙස පවත්වා ගෙන එන මෙම පුස්තකාලය විද්වත්හු පරිහරණය කරනු ලබත්. එම පුස්තකාලයේ වටිනාකම වැඩිවී ඇත්තේ ඉතා අගනා දුර්ලබ කෘති රැසක් එහි සුරක්ෂිතව ඇති බැවිනි. කොළඹ ජාතික කෞතුකාගාරය මගින් ප්‍රකාශන අංශයක් පවත්වා ගෙන යනු ලබයි. එම අධ්‍යාපන ප්‍රකාශන අංශය මගින් දුර්ලභ පොත් රැසක් මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් කෙරේ. ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ කොළඹ ජාතික කෞතුකාගාරය, ස්වාභාවික විද්‍යා කෞතුකාගාරය, නිදහස් අනුස්මරණ කෞතුකාගාරය, කොළඹ ඕලන්ද යුග කෞතුකාගාරය, අනුරාධපුර, රත්නපුර, ගාල්ල ජාතික කෞතුකාගරය හා ගාල්ල සමුද්‍ර කෞතුකාගාරය ද හම්බන්තොට රුහුණු මාගම්පුර කෞතුකාගාරයද පාලනය වේ. ජාතික කෞතුකාගාරය සඳහා පුරාවස්තු තෝරා ගැනීමේ දී පුරාවිද්‍යා කැණීම් වලින් හමුවන විශේෂිත ද්‍රව්‍ය, පුද්ගලයන් විසින් ලබාදෙනු ලබන පරිත්‍යාග මෙන්ම පුද්ගලයන් විසින් මුදලට ලබාදෙන සුවිශේෂි පුරාවස්තු ද රැස් කරගනු ලබයි.

ලෝකයේ වෙනත් රටකට නොමැති තරම් ‍කෞතුක වස්තු ප්‍රමාණයක් ශ්‍රී ලංකාව සතුය. කෞතුකාගාර දෙපාර්තමේන්තුව හැරුණු විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, හා මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ද කෞතුකාගාර ප්‍රාදේශිය වශයෙන් පවතී.

විනෝස්වාදයට වඩා සංස්කෘතික ඥානඅභිවර්ධනය අරමුණ කොට ගෙන කෞතුකාගාරය පිහිටවීම විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාර වරයාගේ අරමුණවිය. එම අරමුණ කෙතෙක් දුරට සාර්තක වී ඇත්ද යන්න කෞතුකාගාරය පිහිටුවා වසර 140 ගෙවී ගිය තැන හෝ විමසා බැලීම ශ්‍රී ලාංකිකයන් වන අපට වගකීමක් හා යුතු කමක් තිබේ.

.silumina.lk


Wmqgd .ekSu weiqfrks
o