Ads here
340 x 60
Rs. 5000/-
18 Views  
සුනාමියට බිලිවුණු ආදර කතාවක්...
සයුරේ ගිලී උඩට ආ වැහි ලිහිණි රෑනක් යළි හිස් අහස පුරා වේගයෙන් පියඹා යන්නේ අපූරු රූ රටා මවමිනි. පාට ගෑ අහසේ ඇති චමත්කාරය අප නව මං පෙතකට රැගෙන  යාමට සැරසී ඇති සැටියකි.

දවසේ මෙහෙවර නිමාකොට සිතිජය මායිමේ සැඟවෙන්න ලක ලෑස්ති වෙන හිරුගේ රක්ත වර්ණයෙන් දිඳුලන ජල කඳ මවන්නේ කොතරම් අපූරු ආශ්චර්යක්ද... දසුනක්ද? හැන්දෑ ගොම්මන් කළුවරින් අවට පරිසරය වෙළී යාමට තවත් ඇත්තේ අඩහෝරාවකටත් අඩු කාලයකි. වෙනදාටත් කලින් අඳුර උදාවී රැය ගෙවී යන සීතල උඳුවප් මහේ මුහුදු වෙරළේ අසිරිය විඳ ගැනීමට ඔබ කෙදිනක හෝ යා යුතුය.

සිතිජය මායිමේ සිට අප දෙසට දිව එන රළ පෙළ වැටෙමින් නැගිටිමින් ගොඩට පැන වෙරළ සිප සුදෝ සුදු පෙණකැට විසුරුවමින් ආපසු යන්නේ ජීවිත පාඩමක් අපට කියා දෙමිනි.

මෙවන් අපූරු සුන්දර දසුන් මවමින් අප සිත් වසඟයට ගෙන අප ජීවිතයට පාඩම් කියා දෙමින් අපව ජීවත් කළ මහා සයුර මීට දොළොස් වසරකට පෙර ලොවක් කම්පා කරමින් ප්‍රචණ්ඩව හැසිරෙැණේ කෙසේදැයි තවමත් මට සිතා ගත නොහැකිය.

“මම නිකිණි” ඇය සිහින් හඬින් කීවාය.

“ලස්සන නමක්...” මම පිළිතුරු දෙමින් කීවෙමි.

“මම හැමදාම ආදරය කළ මේ ලස්සන මුහුද මගේ ඒ ආදරය විනාශ කළා. ඇත්තමයි. ඔයා විශ්වාස කරන එකක් නැහැ. හුඟ කාලයකට  පස්සේ තමයි වැල්ලට ආවේ.” නිකිණි කීවේ හැඟුම්බරවය.

ගමේ ඉඳපු පවුල් අතරින් අපිට යමක් කමක් තිබුණා. අපේ තාත්තා ධීවර රස්සාව කළේ.

තාත්තා නිතරම කිව්වේ “අපේ ජීවිත කොයි වෙලාවේද දන්නේ නැහැ පුතේ. හොඳට ඉගෙන ගනිල්ලා” කියලා. තාත්තා කරන රස්සාව අයියා හරි මල්ලි හරි කරනවට තාත්තාගේ කිසිම කැමැත්තක් තිබුණේ නැහැ.

අපේ අම්මා හරිම ලස්සනයි. ගමේ හැමෝම වගේ අම්මාට හරිම ආදරෙයි. අම්ම ගෙදරින් පිට ගියේ කලාතුරකින් වගේ. අම්මා වැඩි කාලයක් හිටියේ ගෙදර. අපි නැගිටින්න කලින් අම්මා උදේම නැගිටලා ගෙදර වැඩ ඔක්කොම වගේ කරලා මිදුල පිහිදාන සද්දෙට තමයි අපි ඇහැරෙන්නේ.

කොච්චර වැඩ තිබුණත් අම්මා අපේ ගෙදර ලස්සනට පිළිවෙළකට තියා ගත්තා. වැලි ඇටයක් ගෙට  එනවට අම්මා කැමති නැහැ.

ඉස්සරහ ගෙවල් දෙකේ හිටියේ අපේ නෑදෑයෝ. හැමදාම වැට මායිමට මරා ගන්න හදනවා.

සතියකට දෙතුන් වතාවත් ලොකු රණ්ඩුවක්.

“මුන්ට ලැජ්ජාවක් කියලා එකක් කියනවායැ. ඔය කියන කුණුහරුප අහගෙන ඉන්න නැතිව උඹලා ගෙට ගිහින් පොත පතක් බලා ගනිල්ලා.” යි. ආච්චි කෑ ගසන්නේ ගෙවල් දෙකේම අයටද චරිත සහතික දෙමිනි. දෙස් දෙවොල් තබමිනි.

මගේ පුංචි කාලේ ගොඩක් දේ මට මතකයි. ඒක හරියට ලස්සන හීනයක් වගේ. ඉස්කෝලේ, දහම් පාසල, පන්සල, කොච්චර දේවල් තියනවද කියන්න.
අපේ ගමේ තැන් කීපයකම හුණුගල් පෝරණු තිබුණා. ගමේ ගොඩාක් අය ජීවත් වුණේ උදේ ඉඳන් හවස් වෙනකම් මුහුදට බැහැලා හිරිගල් කඩලා දවස් ගාණේ හිරිගල් ගෝනි පිටින් කොච්චර ගොඩට ගෙනාවද ඉඳලා හිටලා පොලිසියෙනුත් පැනලා අල්ලගෙන යනවා. ඒත් පහුවදා කරන්නේ ඒ රස්සාවම තමයි.

මුහුදට බැහැලා කිමිදිලා හිරිගල් කඩලා ගෝනිවල දාලා වැල්ලෙන් ගොඩට ඇවිත් පාර දෙපැත්ත බලලා මාරුවෙන්නේ හැංගිමුත්තන් සෙල්ලම කරනවා වගේ. ඒවයේ විපාක තමයි අපි අවුරුදු දොළහකට කලින් අත්වින්දේ. මුහුදට වින කරපු අය විතරක් නෙවෙයි. කිසිම වැරැද්දක් නොකරපු අයත් ඒ කරුමෙට අහු උණේ පෙර ආත්මයක කරපු පව්වලට වෙන්නැති.

අපේ ඔක්කොම දහජරාව දාන්නේ ලස්සන මුහුදට. වෙරළට ටිකක් පිරිසිදුවට තිබුණට, මට මතකයි අම්මා කියනවා. ගමේ හුඟ දෙනෙක් වැසිකිළි යනවා කියලා ගියේ වැල්ලට කියලා.

ඔයා දන්නවනේ අවුරුදු ගාණක් මිනිස්සු මුහුදට දාපු ජරාව ඔක්කොම එක දවසක එක මොහොතකින් ගොඩට ගෙනැත් දුන්නා. අම්මා තාත්ත වගේ අපිව රැක ගන්න ඉන්න මහ මුහුදට වැල්ලට අපි කොච්චර ආදරේ කරන්න ඕනැද?  කියලා ඔයා පාඩමක් කියලා දුන්නා.

“සමාවෙන්න” නිකිණි කීවේ බෑගෑපත් ලෙසිනි.

“ඇයි එහෙම කියන්නේ. සමාවෙන්න  කියන්න. ඔයා වරදක් කළේ නැහනේ.” මම කීවෙමි.

“නැහැ නැහැ. මම අපේ කථාවට පිටින් ට්‍රැක් පැනලා වෙනත් දේ කියපු නිසයි මම එහෙම කීවේ.” නිකිණි කීවේ ඇයගේ කථාව සාධාරණීකරණය කරමිනි.
“හ්ම් මගේ අම්මේ. මට මාර දුකයි. ඔය අතීතේ මතක් වෙනකොට. මට ලස්සන පුංචි කාලයක් තිබුණා. ගෙදර හුරතලේට හැදුණු බෝනික්කි මම. ඇත්තටම අපේ ආච්චි වගේම. ගමේ හුඟක් අය මට ආදරේට හුරතලේට කතා කළේ “බෝනික්කි” කියලා. දුඹුරු පාටට හුරු ලස්සන බළල් ඇස් දෙකක් මට තියන නිසා වෙන්නැති මට එහෙම කථා කරන්න ඇත්තේ.

“නංගී. ඔය කථා කරන ඇස්වලට මම ආදරෙයි. ගොඩාක්ම ආදරෙයි. ඔයා වචනයක්වත් කථා නොකළාට කමක් නැහැ. ඔය ලස්සන ඇස් දෙකින් කියන දේ මට හොඳට තේරෙනවා.” බිනර අයියා කීවේ පන්සලේ බෝ ගහ යටදී.

“මේ දන්නව නේද. මේ පන්සල ඕවා කථා කරන තැනක්ද මේ. මම යනවා ආපහු” මාත් එක්ක කතා කරන්න එපා.

මම පන්සල් වත්තෙන් පිටවෙලා. එක හුස්මට පාරට දිව ආවේ මාර ලැජ්ජවෙන්.

අවුරුදු දෙක තුනක්ම මාව පස්සෙන් පිස්සෙක් වගේ ආව බිනර අයියා මට ආදරෙයි කියලා නොකියා මුලින්ම කිව්වේ එදා.

ඒ දවස අදටත් මට අමතක වෙන්නේ නැහැ. සමහරවිට බිනර අයියා ගැන මගේ යටිහිතේ ආදරයක් තිබුණ නිසා වෙන්නැති.


ඇත්තටම බිනර අයියා ගමේ වෙන කෙල්ලෝ එක්ක කතා කරනවට මගේ කැමැත්තක් නම් තිබුණේ නැහැ. ඒ සමහරවිට බිනර අයියා ගැන මගේ යටි හිතේ තිබුණ බලාපොරොත්තුව නිසා වෙන්නැති. ඒක තමයි ආදරය කියලා මට හිතෙන්නේ.

බිනර කියන්නේ ඇත්තටම ඩීසන්ඞ් කොල්ලෙක්. අද කාලේ ඉන්න සමහර කොල්ලෝ දිහා බලද්දී.

“මේ.. පීස්සියෙ”

“ඇයි. පිස්සෝ”

“මාත් එක්කල තරහද”

“ඔව් මං තරහම තරහයි. මං නැති උනාට ඔය ඉන්නේ. ගමේ”

“හා. හා ඒ ලස්සන කෙල්ලට බණින්න එපා.”

 “ඇයි මම ලස්සන නැද්ද”

“ලස්සනයි. වෙන මොකුත් නැතිවට”

ඒ කාලේ මොන තරම් ආදරෙන්ද ලස්සනට ද අපේ කාලේ ගෙවිල ගියේ.

අපේ ලොකු අයියා බිනර අයියගේ අක්ක එක්ක ගමෙන් පැනලා ගිය දවසේ තමයි අපේ තාත්තයි ආච්චියි බිනර අයියගේ පවුලේ අයත් එක්ක නයි වයිරෙ පටන් ගත්තේ.

“බෝනික්කියේ. උඹට ආයි නොකීව කියලා කියන්න එපා. අර බිනරයත් එක්ක තියන හාදකම නවත්වල දාපන්. උන්ගේ මහ ඈයෝ අපේ මෝඩයට ඉනාවක් දීලද කොහේද ඒ අසරණය අල්ලා ගත්තා දෙයියනේ... උන්ට හෙණ හතම ගහනවා.” ආච්චි දින කීපයක්ම යක්ෂාවේශ වෙලා සාප කළේ බිනරලාගේ පවුලේ ඔක්කොම හැඳි ගෑවිලා යන්න කියලා දෙවියන්ට කියමින්.   

හතර පෝයටම සිල් ගන්න අම්මා ඔහොම කතා කියන්න එපා. එකෙක් කරපු වරදකට පවුලේ අනිත් අය පළි නැහැනේ. ඒ අය මොනවා කරන්නද? අම්මා ආච්චිගෙන් ඇසූවිට සුද්ද සිංහලෙන්ම අම්මාට ලැබෙන පිළිතුරෙන් අම්මා ගෙට දිව යන්නේ ලැජ්ජවෙන්.

“උඹ තමයි මුන් ටික හදා ගන්න නොදෙන්නේ. උඹ තාම උල්පන්දම් දීලා කෙල්ලත් යවා ගන්නද හදන්නේ.”

ආච්චිගේ කියවිල්ල නතර වෙන්නේ ඇයගේ කෝපය සන්සිඳී බොහෝ වෙලාවකට පසුය.

කොහොම හරි බිනර අයියගෙයි මගෙයි සම්බන්ධයට අම්මා ඇරෙන්න අපේ ගෙදර කවුරුත් කැමති උනේ නැහැ.

ලොකු  අයියා ශාන්ති අක්කත් එක්ක ගිය දවසේ ඉඳලා තමයි මේ තරහ පටන් ගත්තේ. වෛරය පටන් ගත්තේ.

ඔයෙ ලොකු පුතා.. කොල්ලට හරියට කෑමක් තියනවද දන්නේ නැහැ. ගෙදර ඉන්නකොට අතට පයට මම ඔක්කොම කළා. දෙයියනේ ඔයෙ ලොකු පුතාට හරියට රස්සාවක්වත් නැතිව කොහොම ජීවත් වෙනවද දන්නේ නැහැ.

හඬමින් අම්මා කුස්සියට ගොස් බත් පිඟාන මේස උඩ තියන්නේ කෑමට ගත් බත් කටක් නැවත බිමට දමමිනි.

“ඌ කපා ගත්තා නම් කර ගහගත්තදෙන්” තාත්තා කියන්නේ එපමණකි.

“හිතක් පපුවක් තියන මිනිස්සුයැ  මමත් කරුමෙට වගේ මේ පවුලට අහුඋණා.” කියමින් කුස්සිය එළිපත්තේ බංකුවේ වාඩි වෙමින් අම්මා කියන්නේ. තාත්තට ඇසෙන්නට නම් නොවේ.

“අම්මා කන්නේ නැත්නම් මම කන්නෙත් නැහැ.”

 අම්මා කෙනෙක්ට දරුවකුගේ බඩ ගින්දර දැනෙනවා. බත් කටක් කටට ගන්න කොටම මට උගුර හිර වෙන්නේ ඒ නිසා වෙන්නැති.

අම්මා කියන්නේ පුංචි මල් පිරුණ චීත්ත ගවුමේ කොනකින් කඳුළු පිස දමමිනි.

“මේ වැල්ල කරේට එනකොටම මගේ අම්ම කියපු කතාව ඇත්ත තමයි. ඔය පණපිටින් ඉන්න සත්තු මරණ මිනිස්සුන්ට හිතක් පපුවක් නැහැ. මාළු මරණ ගාණට මිනිස්සු මරන්න ඔය පැත්තෙ මිනිස්සුන්ට එච්චර වෙලාවක් යන්නේ නැහැ.”

ඒ කතාව ඇත්ත තමයි. කෝ එදා ඒක පිළිගන්න මගේ මොළේ කළඳක් තිබුණායැ. අම්මා කියන්නේ දුකෙනි.

අපේ අම්මාගේ ගම මතුරට පැත්තේ. පුංචි ලස්සන ගමක්.

ඉස්කෝලේ නිවාඩුවට අපි අම්මලගේ ගමට යනවා. ඇත්තටම හරිම සුන්දර ලස්සන ගමක්. ගමේ හැමෝගෙම ලොකු එකමුතුවක් තියෙනවා. මරණෙකදි මඟුලක්ද වගේම කුඹුරු ගොවිතැන් කරන්නේ කුලියට සල්ලි වලට නෙවෙයි. හැමෝම අත්තමට. පුදුම බැඳීමක් සහයෝගයත් අදටත් ඒ ගම්වල තියෙනවා.

ඒවට අපේ මේ ගම්.

ඇත්තටම කියනවා නම් මේවා හොඳ ඉපදෙන්න විතරයි. ගඟෙන් ගොඩ ගිය මිනිස්සු විතරයි. දිනුම්. නිකිණි කීවේ ඇයගේ මවගේ ගම හා පියාගේ ගම ගැන සංසන්දනය කරමිනි.

කොහොම නමුත් ගෙවල්වලට හොරා අපේ සම්බන්ධය ගෙන ගියා. බිනර අයියා අමතක කරන්න මට පුළුවන් කමක් තිබුණේ නැහැ.

මගේ අම්මා තාත්තා ආච්චිට වගේම මගේ බිනර අයියාටත් මම ගොඩාක් අදරය කළා. ඇත්තටම මගේ මුල්ම ආදරේ බිනර අයියා. එයා මට ලොකු රැකවරණයක් දුන්නා. මගේ අම්මා තාත්තා වගේම. අදටත් මට එයා ගැන ලොකු ගෞරවයක් භක්තියක් තියෙන්නේ.

අපි ආදරය කරද්දී එයා මාර සංයමයකින් මට ආදරේ කළේ. අනවශ්‍ය කිසිම දෙයක් නැහැ.

අර නන්දා මාලිනියගේ ලස්සන සිංදුවක් තියන්නේ. “ආදරය සඳ එළියසේ අචින්ත්‍යයි

පාරි ශුද්ධයි..... සුරම්‍යයි.......” කියලා.” යි නිකිණි සිනාසුණේ එම ගීතයේ පද පෙළ වැරදි දැයි මගෙන් අසමිනි.

අද මොනවද අනේ තියන සිංදු. ඒ වගේ ලස්සන සිංදුවක එක පද පේළියකින් මොන තරම් දේ කියනවද. අද කියන සිංදුව තියා ගායකයාවත් හවස් වෙනකොට මතක නැහැ.

මගේ ගැන ඔයාට පත්තර පිටුවක දේවල් නෙවෙයි. පොතකට දේවල් ලියන්න පුළුවන්. ඒ තරම් දේවල් කියන්නෙ මගේ ජීවිතේ තියෙනවා. නිකිණි කීවේ යළි හැඟුම්බර වෙමිනි.

රෑ බෝවී බොහෝ වෙලාවක් ගත වුණාද ඒ බවක් මට නොදැනේ. මම ඇය කියන කථාව අසා සිටියේ භාවනාවකට සමවැදුනාක් මෙනි.

ඉස්සර මේ වෙලාවට මුහුද දිහා බලනකොට පේනතෙක් මානෙට රෑට මුහුදු ගිය ඔරුවල ලාම්පු එළි පෙනුණේ පන්සලේ පත්තු කරපු පහන් වැට වගේ. මාර ලස්සනයි. ඒ ලස්සනට මම ගොඩාක් ආසයි.

ඒත් ඒ ලස්සන මගේ ළඟ තිබුණෙ ටික කාලයයි. දෙවියෝ මගෙන් ඒ ලස්සන ආපහු අරගෙන යන්න ඇත්තේ මොන ආත්මෙක කරපු පවකටද දෙවියනේ.

බිනර අයියලාගේ ගෙදර අය එක්ක පවුල් සම්බන්ධකම් වැඩිකර ගන්නවාට තාත්තයි ආච්චියි විරුද්ධ වුණේ වෙන මොකක්වත් නිසා නෙවෙයි. බිනර අයියාගේ තාත්තා මීගමුව ජා ඇල පැත්තේ ආගමේ කෙනෙක්. බිනර අයියලාගේ පවුල්වල අය ආගමේ කියලා ගමේම හංවඩු ගහලා තිබුණට එයාගේ අම්මා එහෙම නැහැ. අම්මා අපේ තාත්තලාගේ පවුල්වලට දුර නෑකමක් තිබුණා. ඒත් බිනර අයියා...... එයාගේ අම්මා පන්සල් ගියා. හැබැයි එයාගේ තාත්තා ගාල්ල පැත්තේ පල්ලියකට ගියා.

ඔයා දන්නවද? මායි බිනර අයියයි කතා කරගෙන හිටියේ අපි දරුවෝ තුන් දෙනෙක් හදලා. ජාති තුනේම තුන් දෙනකුට බන්දල දෙමු කියලා. ඇත්තටම ඒක අපි කරන්න දිවුරලා හිටියේ. කවුරු විරුද්ධ වුණත්.

“ඇයි ඉතිං මොකද උනේ.” මම ඇසුවෙමි.

වෙනදා හැම නත්තලකටම කලික් දවසේ බිනර අයියලාගේ පවුලේ අය ඔක්කොම එයාලගේ තාත්තලගේ ගමේ යනවා. දවස් තුන හතරක් නත්තල ජයටම කාලා. බිනර අයියා ගෙදර ඇවිත් දුවගෙන එන්නේ නත්තලේ මගේ පංගුවත් අරගෙන. නිකිණි කීවේ කඳුළු පිරි දෑසිනි.

මම කොහොම මතක් කරන්නද, ඒ මූසල දවස. හරියටම මීට අවරුදු දොළහකට කලින්. දෙසැම්බර් 26 වැනිදා පෝය දවසේ ආරණ්‍යයට ගියේ අපි දෙන්නා කලින් කතා කරගෙන හිටපු නිසා එයා.... නත්තලට එයාගේ පවුලේ අයත් එක්ක තාත්තාගේ ගමේ ගියේ නැහැ. යළි නිකිණි හඬන්නට වූවාය.

මට සමාවෙන්න බිනර අයියේ එදා ඔයාට යන්න දුන්නා නම් අදත් ඔයා මගේ ළඟ. ඔයා මගේ ළඟ දෙයියනේ මගේ රත්තරං මම තමයි ඔයාට මාරයා ළඟට යන්න දුන්නේ.

එදා අපි  කතා කර ගත්ත විදියට උදේම කැලේ ආරණ්‍යයට ගියේ. සේපාලිකා මල් වට්ටියක් පුරවගෙන.

පෝය දවසේ බුදුන් වැඳලා අපි ප්‍රාර්ථනා කළේ. උපදින හැම ආත්මයකම අපි දෙන්න හමු වෙන්න කියලා.

ආරණ්‍යයට ගිහින් කැලේ මැද්දේ ගුරු පාරේ බයිසිකලේ නැගලා අපි දෙන්න ආපහු ගෙදර එන්න ආවේ මාර සැහැල්ලුවෙන්. හරියට සමනල්ලු දෙන්නෙක් වගේ.

අපි පාරට කිට්ටුවට එනකොට පාරේ ඉඳපු මිනිස්සු ගොඩ පැත්තට කෑ ගහගෙන දුවගෙන ආවේ මරු විකල්ලෙන් වගේ. තොපි මැරෙන්න යනවද.... කෑ ගහල කියමින් ඒ අය පණ එපා කියලා ගොඩ පැත්තට දිව්වා.

“මුහුදු ගොඩ ගලනවා. ඒ පැත්තට යන්න එපා. දුවේ” මම අඳුනන මාමා කෙනෙක් කෑ ගහලා කිව්වා.

බය වෙන්න එපා මම ඉන්නවනේ. අනේ බිනර අපි බයිසිකලේ දාලා ආපහු දුවමු. මම එහෙම කීවේ බිනරගේ බයිසිකලේ චේන් එක පැනපු නිසා.

බිනර බයිසිකලේ අත ඇරලා මාව බදා ගත්තා. ඔයාට මැරෙන්න දෙන්නේ නැහැ. අපි දුවමු. බිනර කෑ ගහලා කිව්වේ පිස්සුවෙන් වගේ. අපි දෙන්නට දුවන්න ලැබුණේ ටික දුරක් විතරයි.  අපි වට කර ගත්තා කළු පාට මහා ජරා වතුරට අපි දෙන්න අහුඋණා. බිනරගේ අත ඇරුණා. බිනර බිනර බිනර මගේ  බිනර මට හිතුනෙ මුළු ලෝකයම විනාශ වෙනවා වගේ. මම ගස්වල වැදි වැදී වතුරට ගහගෙන ගියේ අසිහියෙන් මරු විකල්ලෙන් වගේ. මම ජීවිතේ ගැන ආසාව අත හැරලා දැම්මා. මම  හයියෙන් අල්ලලා ගහක් බදා ගත්තේ බැරිම තැන.

කොහොම හරි එදා හවස මාව බේරා ගත්තේ ඒ අහල පහල මළමිනී හොයන්න ආපු අයියලා කීප දෙනෙක්. එතකොට මගේ ඇඟේ නූල් පටක දෙයක් ඉතිරිවෙලා තිබුණේ නැහැ. මම කැලෑ අතුවලට මුවාවෙලා හිටියේ ලැජ්ජාවට. ඒ අයියා කෙනෙක් එයා ඇඳන් ඉඳපු ටී ෂර්ට් එක ගලවල මට ඇඳ ගන්න දුන්නා.

මගේ දණිස් ළඟට ටී ෂර්ට් එක දිග තිබුණ නිසා හොඳයි. ඊට පස්සේ මට මතක් උණේ ගෙදර මට අම්මා තාත්තා ආච්චි මතක් වෙලා අඬන්න ගත්තා. මගේ හෙවණැල්ල වගේ ඉඳපු බිනර අයියාව මතක්වෙලා මම පොළවෙ පස් නොකාපු එක විතරයි.

ඒ අයියලා කිව්වේ එයා පීනල ගොඩට ගිහින් බේරෙන්න ඇති ගමේ හැමෝම ඉන්නව බටපොල පැත්තේ ඉස්කෝලෙක කියලා යන්න හරියට පාරත් නැහැ. හරියට යක්කු නටපු පිට්ටනියක් වගේ. ඔක්කොම යුද්දෙන් විනාශවෙලා වගේ. මම අර අයියලාගේ පිහිටෙන් බටපොල ඉස්කෝලේ  කඳවුරට ගියේ අම්මා තාත්තා ආච්චි ඇති කියලා බලාපොරොත්තුවෙන්.

කොයි මොහොතක හරි බිනර අයියත් මුණ ගැහේවි කියලා මගේ හිතේ තිබුණා.

කඳවුරට ගිහින් මගේ ඇගේ සීරිම් තුවාල ගැන හිතන්නේ නැතිව හැම තැනම හොයලා බැලුවේ ගෙදර අය ඇවිත් ඇති කියලා. ඒත් දෙයියනේ.

මම ඉස්කෝල් දෙදරන ගාණට විලාප තියලා මහ හයියෙන් හැඬුවා. එතන ඉඳපු ගොඩාක් අය හිටියේ අඬ අඬා නැත්නම් අසිහියෙන්. වතුර තිබහට මගේ උගුර පවා වේළිලා.

පස්සේ එතන ඉඳපු කීප දෙනෙක් මාව වටකර ගෙන මාව සැනසුවා. ඒ අය කිව්වේ පවුලේ අය බේරිලා පන්සලක හරි ඉස්කෝලෙක හරි නැවතිලා ඇති කියලා.

මගේ අවාසනාවට කාලකන්නිකමට වෙන්නැති මේ මගේ කරුමේ කියලා හිත හදා ගන්නවා.

නිකිනි යළි හඬන්නට වූවාය. අතීතයේ අමිහිරි මතක යළි ආවර්ජනය කරවමින් ඇය තවත් වෙහෙස කරවන්නට හෝ ඇය හඬවන්නට මට මගේ සිත තවත් ඉඩ නොදේ.

දැන් හොඳටම රෑ වෙලා. අපි යමු. මා කීවේ ඇයට හොර රහසේම මගේ නෙතටද කඳුළු බිඳුවක් ඉනූ නිසාවෙනි.

අපේ පවුලේ අය අම්ම, තාත්තා, ආච්චි විතරක් නෙවෙයි. අපි ආදරය කරන ඔක්කොම මොහොතකින් මේ මහ මුහුද බිලි ගත්තා.

නිකිණි කීවේ, මුහුද දෙසට අත දිගුකර චෝදනා කරන ලෙසිනි.

සුනාමිය ගොඩට ඇවිත් හෙට 26 වෙනිදාට අවුරුදු දොළහක් ගතවෙලා. එත් සුනාමිය බොහෝ අයට අමතකයි. මැරුණ අයට විතරයි ඒකත් පාඩුව. එක අතකට අපිව දාලා ගිය අය දිනුම්. මොකද සුනාමියෙන් අපට කියා දුන් පාඩම මිනිස්සු ඉගෙන ගත්තේ නැහැ. සුනාමිය ගොඩක් අයට රන් වතුරක් නැත්නම් පිං වතුරක්.... ඇති අය නැති වුණා, නැති අය ඇති හැකි වුණා.... සුනාමිය විකුණලා අද කොතෙක් ජීවත් වෙනවද.? අනික සුනාමියෙන් පස්සේ අපේ මිනිස්සු මාර ජරා වුණා. තිබුණ මනුස්සකම සුනාමිය අරගෙන ගියා. මිනිස්සුන්ට සුනාමිය ඇවිත් කියලා දුන්නේ ජාති ආගම්, කුලභේද විතරක් නෙමෙයි. පක්ෂ පාට භේද අත ඇරලා එකට ජීවත් වෙයල්ලා කියලා. මිනිස්සු මැරෙනවා කියලා. ඒත් අපේ සමහරු අදත් ජීවත් වෙන්නෙ නොමැරෙන මිනිස්සු ගාණට.

මගේ රත්තරං අම්මා තාත්තා ආච්චි වගේම මම මුළු හදවතින්ම ආදරය කරපු බිනර අයියා ඒවි කියලා මම අවුරුදු දොළහක්ම බලාගෙන හිටියා. ඒ අය මතු සංසරේ හැම ආත්මයකම මට හමුවේවි මගේම වෙලා.

ඒ අය මගෙන් අතර මඟදී වෙන්වුණේ පෙර ආත්මයක කරපු පවකට වෙන්නැති. ඒ නිසා මම ලබන අවුරුද්දේ අලුත් ජීවිතයකට යනවා. ඒ මගේ හිත විතරක් නෙවෙයි. කියමින් නිකිණි මගෙන් සමු ගත්තේ. ආරාමයේදී කෙදිනක හෝ හමුවේ යයි කියමිනි. ආවා නම් යන්න වෙනවා.

එන්න නම් යන්නම වෙනවා. ඒක තමයි මේ සංසාරේ හැටි.

නිකිණිගෙන් සමුගත් මම මුහුද දෙස බැලුවෙමි.

සුදෝ සුදෝ රළ පෙළ හෙමිහිටි හොර රහසේ ගොඩට විත් රන්වන් වෙරළ සිපගෙන යළි හෙමිහිට ආපසු දිව යන්නේ පුරුද්දට මෙනි. කහ පැහැති සඳ එළිය සුදුවන් වෙරළේ මවන්නේ අපූරු අසිරියකි. ප්‍රචණ්ඩව වියරුව හැසිරුන මහ මුහුදු ශාන්තව නිසලව පෙහෙවස් සමාදන් වූ උවැසියක මෙන් සිටින්නේ තමන් මීට වසර දොළහකට පෙර කළ මහා විපත ගැන කම්පාවෙමින් හා පසු තැවිල්ලෙන් විය යුතුය. මා මේ සටහන නිමා කරන්නේ මා මිතුරු වැලිතර අනිල් රාජා ලියු “වාරකන් සු’ළඟ හා ළවන්දු” කාව්‍ය සංග්‍රහයේ පද පෙළකිනි.

පිනි සිනාසෙන
මහ රෑ යාමේ
පිපෙන කුමුදු ඔබ වේ
කවුලෙන් හුරු
සුවඳත් පෑවේ
ඔබේ වතින් රහසේ.....
කදෝ කිම් රොද
රන් සුණු සලනා
අඳුරේ හොර
සෙවණැලි සැඟවේ
තාරකා එළියෙන්
ඔබ විමසා
දෙදෙනා නැළවෙන සෙවණැලි වේ.....
බාදා ආදා මහ මෙර වී
පාළු නිහඬ රෑ
තැනූ ලොවේ
සීත රෑ මඳනල
කොඳුරනවා
රෑහි ගීතයට
තනුවක් වී  


Wmqgd .ekSu Wmqgd .ekSu ��r mqj;am; weiqfrks weiqfrks
Ads here
340 x 60
Rs. 4000/-