සැදෑ සමයේ වෙන්දේසි වන පොලිස් නිල සුන­ඛ­යෝ

2020-08-25 08:59:00       15
feature-top
ගහට පොත්ත මෙන් ඇලී ජීවි­තය බෙදා ගත් දෙදෙ­නෙ­කුගේ වෙන්වීම සිදු­වන ඒ මොහොත අති­ශ­යින් හැඟු­ම්බ­රය. ලංසු තබන්නා හඬ නගා මිලක් නියම කරත්දී සුන­ඛ­යාගේ ගෙල බැඳි කර පටියේ කෙළ­වර අල්ලා­ගෙන සිටින ස්වාමියා දෙනෙ­තට නැඟෙන කඳුළු කැට පිට­තට යා නොදී රඳවා ගන්නට දරන ආයා­සය ඔවුන් දෙදෙ­නාගේ බැඳීමේ තරම කදි­මට කියා­පායි. ජීවිත කාලය පුරා කිසිදු දිනක මුහුණ නොදුන් මොකක්දෝ නුහුරු යමක් සිදු­ව­න්නට යන බව ඉවෙන් මෙන් දැන­ගත් සුන­ඛයා ස්වාමි­යාට කිට්ටු වන්නට වෙර දරයි. මේ දෙදෙනා අතර පවත්නා බැඳීම පිළි­බඳ කිසි­වක් නොදන්නා ඉල්ලු­ම්ක­රු­වන් මොනර කොළ ගණ­නින් ලංසු තබන්නේ සුන­ඛ­යාගේ හිමි­කා­ර­ත්වය දිනා ගැනී­ම­ටය. “ඈව­රයි, දෑව­රයි,

තුන් ඈව­රයි. තීන්දුයි..” දස වස­රක් හෝ ඊට කිට්ටු කාල­යක් සුන­ඛයා හා උගේ ස්වාමියා අතර පැවැති සබ­ඳ­තාව හමාර වන්නේ එසේය. එතෙක් වේලා ස්වාමි­යාගේ ඇස් තුළ තෙර­පෙ­මින් තිබූ කඳුළු කැට පිට­තට පනින්නේ තව­දු­ර­ටත් වේද­නාව දරා ගැනී­මට ශක්ති­යක් ඔහුට නැති බැවිනි. කඳුළු පිරි දෙනෙ­තින් ස්වාමියා දෙස අව­සන් බැල්ම හෙළන සුන­ඛ­යාගේ ගෙල බැඳි කර­ප­ටියේ කෙළ­වර අලුත් ස්වාමියා අතට පත්වන්නේ කෙන­කුට සතු­ටත් තව­ක­කුට වේදනා කන්ද­කුත් තුරුලු කර­මිනි.

මහ­නු­වර පොලිස් නිල සුනඛ කොට්ඨා­ස­යේදී පසු­ගි­යදා සිදු කෙරුණු සුනඛ වෙන්දේ­සියේ පිට­තට නොපෙ­ණුනු හැඟු­ම්බර කතාව එයයි. එම කොට්ඨා­ස­යට අනු­යු­ක්තව රාජ­කාරි කළ සුන­ඛ­යන් 25 දෙනෙකු වෙන්දේසි කිරීම සමා­ජය තුළ දැඩි කති­කා­වක් ඇති කිරී­මට හේතු දෙකක් බල­පෑ­වේය. එකක් නම් අප­රාධ මැඬ­ලීම පිණිස පොලිස් දෙපා­ර්තු­මේ­න්තු­වට විශාල දාය­ක­ත්ව­යක් ලබා­දුන් මෙම සතුන් ඔවුන්ගේ ස්වාමි­න්ගෙන් වෙන්කර වෙන්දේසි කිරීම සම්බ­න්ධ­යෙන් හැඟු­ම්බර අද­හස් සමාජ මාධ්‍ය තුළ පළ වීමය. අනෙක් කාර­ණය නම්, 1948 වසරේ පොලිස් නිල සුනඛ අංශය ඇති කළදා පටන් පැවැති කිසිදු වෙන්දේ­සි­ය­කදී නොවි­කු­ණුනු මිල­කට මෙහිදී සුන­ඛ­යකු අලෙවි වීමයි. සාමාන්‍ය වෙළෙඳපොළ වටි­නා­කම රුපි­යල් 40,000ක් පමණ වන ලැබ්‍ර­ඩෝර් (Labrador) වර්ගයේ සුන­ඛ­යකු මෙම වෙන්දේ­සි­යේදී අලෙවි වූයේ රුපි­යල් 10,1000ටය. බ්‍රීත් නැමැති මෙම සුන­ඛයා මීට මාස හය­කට පමණ ඉහ­තදී පොලිස් නිල සුනඛ කොට්ඨා­ස­යට ලැබුණේ මහ­ජන පරි­ත්‍යා­ග­යක් ලෙසය. වයස අවු­රුදු දෙකක් පමණ වන බ්‍රීත් පොලිස් රාජ­කාරි සඳහා පුහුණු කිරී­මට අසීරු වීම නිසා වෙන්දේසි කිරී­මට තීර­ණය කර තිබේ. සිම්බා නැමැති ලැබ්‍ර­ඩෝර් වර්ග­යේම සුන­ඛ­යකු රුපි­යල් 50,000ටත් රෙක්ස් නැමැති බෙල්ජි­යම් මැල­නො­යින් සුන­ඛයා රුපි­යල් 23,000ටත් රෙජී නැමැති රොට්ව­ය­ලර් සුන­ඛයා රුපි­යල් 17,500ටත් ලිලී නැමැති ඩැල්මේ­ෂන් සුන­ඛයා රුපි­යල් 16,000ටත් මෙහිදී වෙන්දේසි විය. අඩුම මිල­කට වෙන්දේසි වූයේ රෝසි නැමැති ලැබ්‍ර­ඩෝර් වර්ගයේ බැල්ලය. වයස අවු­රුදු 10 ඉක්මවා සිටි ඇයට නියම වූ මිල වූයේ රුපි­යල් 1,100කි. මොවුන් ඇතුළු සුන­ඛ­යන් 25 දෙනා වෙන්දේසි කිරී­මෙන් පොලිස් දෙපා­ර්තු­මේ­න්තු­වට ලැබී තිබුණු මුදල රුපි­යල් 3,15,800කි.

“වෙන්දේ­සි­යට යොමු­ක­රන ලද බෙල්ජි­යම් මෙල­නො­යින් වර්ග­යට අයත් හීරොස් අනු­රා­ධ­පුර පොලිස් නිල සුනඛ ඒක­ක­යට අනු­යු­ක්තව වසර 10ක පමණ කාල­යක් සේවය කර තිබෙ­නවා. අප­රාධ පරී­ක්ෂ­ණ­ව­ලට මෙන්ම මත්ද්‍රව්‍ය අත්අ­ඩං­ගු­වට ගැනීම් 400කට පමණ හීරෝස් දාය­ක­ත්වය ලබාදී තිබෙ­නවා. මේ අතර සිටි ඇල්වින්ද ඉතා දක්ෂ ලෙස රාජ­කාරී කළ සත්ත්ව­යෙක්. හොරණ පොලිස් නිල සුනඛ ඒක­කයේ සේවය කර­මින් ඇල්වින් අප­රාධ පරී­ක්ෂණ සිද්ධීන් 200ක් පමණ නිරා­ක­ර­ණය කිරී­මට සහාය දක්වා තිබෙ­නවා.බෙට්කා කොම්ප­ඤ්ඤ­වී­දියේ නිල සුනඛ ඒක­කයේ සේවය කළා. එයත් අප­රාධ පරී­ක්ෂණ සිදු­වීම් 110ක් පමණ කර තිබෙ­නවා. මේ වෙන්දේසි කළ සුන­ඛ­යන් අත­රින් සිම්බා,බ්‍රැන්ඩෝ,එමා,ජෙරාඩ්,බ්‍රීත්,නික්ස් කියන සතුන් නිල සුනඛ කොට්ඨා­ස­යට මේ රටේ ජන­තාව පරි­ත්‍යාග කළ අයයි. ලිලී කියන්නේ අපේ මූල­ස්ථා­නයේ උපන් කෙනෙක්. අවු­රු­ද්දක් පමණ වන ලිලී පුහු­ණු­වට යොමු කිරීම අසී­රුයි. අනිත් සතුන් සියලු දෙනා බෙල්ජි­ය­මෙන් ආන­ය­නය කළ අයයි. කොච්චර කීවත් යමක් කියා දුන්න විදි­හට නොක­රන මිනිස්සු ඉන්නවා නේද?.ඒ වගේම කියන දේ නොතේ­රෙන බල්ලොත් ඉන්නවා. එයා­ලව පුහුණු කරන්න බැහැ. ඒ නිසා තමයි වෙන්දේ­සි­යට යොමු කරන්නේ” මහ­නු­වර පොලිස් නිල සුනඛ කොට්ඨා­සයේ උප පොලිස් පරී­ක්ෂක සුගත් විජේ­සිංහ පව­සයි.

පුහු­ණුව සඳහා සුන­ඛ­යකු වයස අවු­රු­ද්දක් සම්පූර්ණ වීමට ප්‍රථම යොමු කළ යුතුය. මාස හයක පමණ කාල­යක් මූලික පුහු­ණුව ලබා දීමෙන් පසු බල්ලාගේ විශේෂ දක්ෂතා හඳුනා ගැනී­මක් සිදු­ක­රයි. ඒ ඔස්සේ නිල සුන­ඛයා මත්ද්‍රව්‍ය සෙවීමේ රාජ­කා­රි­ව­ලද අප­රාධ මැඬ­ලීමේ රාජ­කා­රි­ව­ලද නැත­හොත් ප්‍රභූ ආර­ක්ෂක රාජ­කා­රි­ව­ලද යොද­වන්නේ යන්න තීර­ණය කෙරෙයි. පුහු­ණුව ආර­ම්භයේ සිට රාජ­කාරි දිවිය අව­සන් වන­තුරු සුන­ඛයා රැක බලා ගැනීම පැව­රෙන්නේ එකම නිල­ධා­රි­ය­කු­ටය. මේ නිසාම වෙන්දේ­සි­යේදී හිත­ව­තකු යොදවා තමන් පුහුණු කළ බල්ලා කීය­කට හෝ මිලට ගැනී­මට පසු­බට නොවන නිල­ධා­රි­යෝද සිටිති. බල්ලාගේ ලන්සු මුදල ඉහළ යන­විට ඒ සඳහා මුදල ගැන නොසිතා බිට් කර­මින් මෙව­රද නිල­ධා­රීන් සිවු දෙනෙ­කුම තමන්ගේ බල්ලා තමන් ළඟම තියා ගන්නට කට­යුතු කර තිබිණි.

“සම­හර බල්ලෝ පුහුණු කරන්න බැහැ. කියන දේ අහන්නේ නැහැ. තවත් අය අස­නී­පයි. මහන්සි කරන්න අමා­රුයි. වසර 10ක් පමණ අඛ­ණ්ඩව සේවය කරලා ශරීර සෞඛ්‍ය දුර්වල වීම නිසා තව­දු­ර­ටත් ජව­යෙන් යුතුව සේවය කිරී­මට නොහැකි අයත් ඉන්නවා. පොලිස් නිල සුනඛ කොට්ඨා­සයේ පශු වෛද්‍ය­ව­රයා මේ සුන­ඛ­යන් නිරී­ක්ෂ­ණය කරලා ඔවුන් සේව­යෙන් ඉවත් කිරී­මට නිර්දේශ ලබා දෙනවා. අපි මේ ලැයි­ස්තුව පොලි­ස්ප­ති­තුමා වෙත යොමු කර­නවා. එතු­මාගේ නිර්දේශ මත පොලිස් මූල­ස්ථා­නයේ ස්ථාපිත දේපොළ කළ­ම­නා­ක­රණ අංශ­යෙන් වෙන්දේසි කරන්න අව­සර ලැබෙන සුන­ඛ­යන්ගේ නම් ගැසට් කර­නවා. වෙන්දේසි කරන්න පැය­කට විතර කලින් ඔවුන් මිලට ගන්න ඇවිත් ඉන්න අයට බල්ලෝ ටික පෙන්ව­නවා. එයා­ලගේ වර්ගය, තියෙන අස­නීප,වයස ආදි සෑම කරු­ණක්ම පහදා දීමෙන් පස්සේ තමයි විවෘත වෙන්දේ­සිය පව­ත්වන්නේ. පොලිස් දෙපා­ර්ත­මේ­න්තුව මඟින් වෙන්දේසි මණ්ඩ­ල­යක් පත්ක­ර­නවා. මෙවර අධී­ක්ෂණ නිල­ධා­රියා ලෙස කට­යුතු කළේ සහ­කාර පොලිස් අධි­කාරී පල­හ­ව­ඩ­නයි. මහ­නු­වර පොලිස් නිල සුනඛ කොට්ඨා­සයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ප්‍රියන්ත කුල­සේ­කර පැව­සු­වේය.

මහ­නු­වර පොලිස් නිල සුනඛ කොට්ඨා­ස­යට අනු­බ­ද්ධව නිල සුන­ඛ­යන් 280 දෙනෙකු පමණ මේ වන විට සේවය කරති. මොවුන් ප්‍රභූ ආර­ක්ෂක කට­යු­තු­වල මෙන්ම දිව­යින පුරා පිහිටි පොලිස් නිල සුනඛ ඒකක 58කට අනු­යු­ක්තව නොයෙ­කුත් අප­රාධ මැඬ­ලීමේ ක්‍රියා­වන්හි නිර­තව සිටිති. එක් සුන­ඛ­යකු නඩත්තු කිරීම සඳහා එම සතා මෙහෙ­ය­වන නිල­ධා­රි­යාගේ වැටු­පද සමඟ මාස­ය­කට රුපි­යල් 80,000ක පමණ මුද­ලක් වැය­වන බව පොලිස් දෙපා­ර්ත­මේ­න්තුව පව­සයි. සුන­ඛ­යාගේ ආහා­ර­ව­ලට පම­ණක් දින­කට වැය කරන මුදල රුපි­යල් 1,000කට ආස­න්නය. රාජ­කා­රියේ නිරත කාල­යේදී හදිසි අස­නීප තත්ත්ව­යක් මතුවී මර­ණ­යට පත්වු­ව­හොත් එම සුන­ඛ­යාගේ අව­සන් කට­යුතු සිදු කරන්නේ පොලිස් ගෞරව සහි­ත­වය.

රුපි­යල් 1,01,000ක මුද­ල­කට බ්‍රීත් මිලට ගත් මහ­නු­වර ධම්මික වෙඩි­ක්කාර අද­හස් දක්ව­මින් මෙසේ පැව­සු­වේය.“මගේ ළඟ ජර්මන් ෂෙපර්ඩ් බල්ලෝ දෙන්නෙක් හිටියා.ඒ අය අවු­රුදු 14ක් විතර ජීවත් වුණා. බල්ලෙක් ඕන කියලා ළමයි නිත­රම කිව්වා. ඒ නිසා තමයි මේ ඔක්ෂන් එකට ආවේ පුහුණු කළ බල්ලෙක් ගන්න. මේ බල්ලව දැක්ක ගමන් ළමයි එයාව ඕන කිව්වා. මුලින් රුපි­යල් 5,000ක අවම ලන්සු­ව­කට තමයි බ්‍රීත්ව වෙන්දේ­සි­යට ඉදි­රි­පත් කළේ. ළමයි කිව්වා කොහොම හරි අපි ගමු කියලා. ඒ නිසා මමත් ගණන වැඩි­ක­රලා ඉල්ලුවා. අන්ති­මට ලක්ෂ­යත් පැනලා මිල ඉහළ ගියා. පොලිස් නිල සුනඛ අංශයේ වෙන්දේ­සි­ය­කදී බල්ලෙක් මේ වගේ මිල­කට ගිය පළ­වෙනි අව­ස්ථාව මේක කියලා දැන ගත්තේ පසු­වයි.”

More News »