ලංකා සිතියමෙන් මැකී ගිය ගමක තනිව ජීවත් වන මිනිසකුගේ කතාව

2020-05-14 08:53:00       1026
feature-top
‘දම්මන් තැන්න රූසිරි ගමයි බොලං

වෙලට නැමුණු පොල් පේළිය රුවයි බොලං

ඉලන්දාරි සෙල්ලම් කළ වෙලයි බොලං

දම්මන්තැන්න හැරලා යා නොහැක බොලං ‘

ගමක සියල්ලෝ විවිධ කරුණු කාරණා හේතුවෙන් ඉවත්ව යද්දි මහ වන මැද හුදකලාව මිනිසෙකුට ජිවිකාව ගෙන ගිය හැකිද ?

මාතලේ සිට ඒ නවය මාර්ගයේ පැමිණෙන්නෙකුට නාඋල සිට ඇලහැර මාර් ගයේ ගමන් කර අඹන හංදියෙන් දකුණට හැරි ගල්බොඩ මාර්ගයේ ගමන් කර ගල්බොඩ ශ්‍රී ශෛල ගංගාරාම විහාරස්ථානය අසලට පැමිණ පා ගමනින් සැතපුම් හයක් පමණ මහ වන මැද ගමන් කරන විට මේ සොදුරු ගම් පියස හමුවෙයි. නමින් දම්මන්තැන්න වු මේ ගම්පියසේ අදටත් හුදකලාව ජීවිකාව ගතකරන එක්තරා අරුම පුදුම මිනිසකු සිටී.

වන අලි ගහන මේ මාර්ගයේ පා ගමනින් පවා යෑමට අපහසු මේ ගමනේ පෙරගමන් කරුවා වූයේ ගල්බොඩ ශ්‍රී ශෛල ගංගාරාම විහාරාධිපති පුජ්‍යපාද ත්‍රිකුණාමලේ සෝභිත ස්වාමින් වහන්සේයි.

මාධ්‍ය සගයෙකු වූ කාංචන කුමාර ද මේ ගමනට එක්වු අතර, පාළු මෙන්ම වන රැප්පාවෙන් ගැවසී ගිය සොබාදහමේ අපූරු නිර්මාණයන් වූ මහ වන මැද මේ අපුරු මිනිසා සොයා අප පියමැන්නේ ද කුතූහලය දනවන මනසිනි.

වන අලින් විසින් පසුදින රාත්‍රි‍යේ මාර්ගය හරස් වන ලෙස කඩා දමා ඇති විවිධ ගස් අතරින් පනිමින් කොයි මොහොතක හෝ සද්දන්ත වන අලියෙකු හෝ වෙනත් වන සතෙකු ඇස නොගැටේවා යන දැඩි අදිටනින් යුතුව අපි ගමන් කළෙමු.

මහ වන මැද හුදකලාව ජිවිතය ගත කරන මේ මිනිසා කරන්නේ කුමක්ද ? කුමණ අරමුණකින් මේ වන මැද ජීවත් වන්නේ ද ? යන ප්‍රශ්න රැසක් අප හදවතේ කැකැරෙන්නට විය.

ඉදහිට සිය හඩ අවදි කළ අප පෙර ගමන්කරු වන සෝභිත ස්වාමින් වහන්සේ සදහන් කළේ වසර ගණනාවකට පෙර දම්මන්තැන්නේ පවුල් 30 – 40 ජීවත්වූ බවයි. කාලානුරූපීව ගම්මානයට පිවිසිමේ ගැටලු මෙන්ම වන සතුන් ගෙන වන දුෂ්කරතා හේතුවෙන් ඔවුන් සිය ගම්මානය අතහැර විවිධ ප්‍රදේශවලට පදිංචිය ගොස් තිබේ. නිරන්තරව වන අලින් මෙන්ම විවිධ භයානක වන සතුන් ගැවසෙන නකල්ස් වන පෙතට යාව පිහිටා ඇති මේ කුඩා ගම්මානය වනාහි බොහෝ සිදුවීම් වලට පාදක වු අතීත කාරණා රැසක් සගවා ගත් ගම්පියසකි.

ඉතා දුෂ්කර ගමන් මගක් ඔස්සේ සැතපුම් හයක් පමණ පාගමනින් කඳු මෙන්ම බෑවුම් ද පසුකර ගෙන අපි දම්මන් තැන්නට පිවිසියෙමු.

වසර ගණනාවක් තනියම මිනිසෙකුට ජිවත්විය හැකි ද ? අප තුළ පැන නැගි ගැටලුව එසේ තිබිය දී පෙර ජීවත්වු දම්මන්තැන්නේ මිනිසුන් භාවිත කළ අදටත් ඉතිරිව පවතින නිවාස කිහිපයක් සෝභිත හිමියෝ අපට පෙන්වූහ.

තවමත් නිවෙස් වල ඇතැම් ගෘහ භාණ්ඩ ඉතිරිව පවතින මේ නිවෙස් වල විසුවන් තමන්ගේ සියලු දෑ නිවෙස් තුළම දමා පිටව ගොස් ඇති බවට සාධක කොතෙකුත් අපට හමුවිය.

ඇතැම් පවුල් වල දරැවන්ගේ තැපැල් හැදුනුම්පත් මෙන්ම පසුගිය මැතිවරණ වල ඡන්ද කාඩ් පවා ඔවුන්ගේ නිවෙස් වල තවමත් දැකගත හැකිය.

අධ්‍යාපන සහතික මෙන්ම විවිධ ලියකියවිලි අතරේ කළු සුදු රූපවාහිණි මෙන්ම නිවෙස් ඉදිකිරිමට ඉරා සැකසු ලී වර්ගද තවමත් මේ නිවෙස් වල ඉතිරිව පවතියි. එකත් පසෙකින් ගරා වැටි ඇති මේ නිවාස වල මුළුතැන්ගෙයි උපකරණ මෙන්ම හෙන් හා කුඹුරැ සැකසීමට ගත් බොහෝ ගොවි උපකරණ බිත්ති මතට හේත්තුවී තම හාම්පුතුන් එනතුරු බලා සිටිති.

ඒ දම්මන් තැන්න ගම්මානයට පිවිසෙන ස්ථානයේ පිහිටි නිවාස වල ස්වභාවයය.

වනයටම හුරු සොභිත හිමියෝ මේ කිසිවක් ගණන් නොගෙන ඉදිරියට ගියේ කිසිවක් කතා නොකරමය. ගමන් වෙහෙස මෙන්ම අධික දාහය අතරේ තවතවත් කුතුහලය වැඩි වූයේ මේ හුදකලා ගම්මානයේ ජිවත්වන මේ මිනිසා කුමන ආකාරයකින් ජිවත් වනනේ ද යන්න තවමත් සිතා ගත නොහැකිවය.

කුඩා දොල පාරක් මග හැර ඉදිරියට ගමන් ගනිද්දි කඩුල්ලක් පැන සෝභිත හිමියෝ ඉදිරියට වැඩම කළහ.සුදු හුනු පිළියම් කරන ලද උළු වසන ලද පැරණි නිවසක් ඉදිරිපස දොරටුවට ඉබ්බෙකු දමා වසා ඇති බව ඈත සිටම අපට දැක ගන්නට හැකි විය.

මිනිසෙකු සිටියා යැයි සිතිය හැකි එකම සාධකයක් ලෙස අපට දක්නට ලැබුණේ නිවස ඉදිරිපිට රෙදි වැලක වනා තිබු ඇදුම් කිහිපයක් පමණී.

නිවස වටේ තිදෙනාම ඇවිද ගියද කිසිවෙකු දක්නට නොලැබීමෙන් අප තුළ හටත්තේ බලවත් සාංකාවකි.

‘මේ මනුස්සයා නැති වෙන්න බෑ මේ ළඟම ඇති ‘ සෝභිත හිමියෝ අප දෙදෙනාගේ චිත්ත ශක්තිය වර්ධනය කළේය.

හොඳට හුරු පුරුදු පුද්ගලයෙකු මෙන් උන්වහන්සේ නිවසට යාබදින් පිහිටි කුඩා මාර්ගයක් ඔස්සේ ඉදිරියට ගමන් කළේ මේ මිනිසා ගොවිතැන් කරනවා යැයි සඳහන් කළ වගා භූමියක් දෙසටය.

අතරමැද දී හමුවු තවත් නිවාස කිහිපයක නටඹුන් අප සිත් ගත් අතර ඒවායේ අභ්‍යන්තරටම ගොස් පරික්ෂා කරද්දි බොහෝ නිවැසියන්ගේ සරල ජිවිත රටාවන් වල නෂ්ඨාවශේෂ හමුවිය. වන ගත ජිවන රටාවේ සරල බව පසක් කරමින් ඔවුන් බොහෝ කාලයක් මේ නිවෙස් වල ජිවත් වී තිබේ.

දැවැන්ත අඹ හා කොස් ශාක මේ ගමේ වයස් කාලය පිළිබද අපට ඉඟි පළකරන්නේ අදටත් මේ රූක්ෂ මහත් වු අභිමානයෙන් නොනැසි පවතින විටය.

මනරම් වු කඳු පන්තින්ගෙන් වටවී ඇති දම්මන්න ගම්මානයේ පිහිටි නිවාස මැදිවන්නට ඇත්තේ වෙල් යායකි.

අද වන විට පුරන් වී ඇති මේ කුඹුරු යායේ ගොවිතැන් කරන මේ එකම මිනිසා කොහේ ගියාදැයි සොයා ගත නොහැකිය.

ගම්මාන වල පැරැන්නන් භාවිත කළ අමුත්තන් පැමිණි බව අගවන හූ හඩ අවස්ථා ගණනාවක දීම අපි විසින් නැගුවද එයට පිළිතුරැ දුන් කිසිවෙකුත් නැත. බොහෝ දුරක් නිෂ්ඵල ගමනක් ආවේ යැයි ඇති වු කනස්සල්ල මත අප ආපසු පිවිසියේ සියල්ල අතහැර දමමිනි. සෝභිත ස්වාමීන් වහන්සේ ද අපව දිරිමත් කළේ මේ පුද්ගලයා කොතැනක දී හෝ අපට මුණ ගැසෙනු ඇති බව පවසමිනි.

ඔහු පදිංචිව සිටි නිවසේ සිට ආපසු කිලෝමීටරයක් පමණ අප ආපසු පැමිණ සිටියෙමු. ඉදිරියෙන් ගමන් ගත් සෝභිත ස්වාමීන් වහන්සේ එක් වරම ගමන නවතා මහ මග රැඳී සිටින අයුරු පසු පසින් පැමිණි අප දෙදෙනාම දුටුවෙමු.

ඈතින් මලු දෙකක් අතින් එල්ලා ගත් තරමක් මැදිවියේ පෙනුමක් ඇති පුද්ගලයෙකු ඉදිරියට එනු පෙනේ.

සෝභිත ස්වාමින් වහන්සේ හොඳින් හඳුනන මේ පුද්ගලයා අප දෙස නොබලා උන්වහන්සේට මඳ සිනාවක් පෑවේය.

ඉතා අඩුවෙන් කතා කළ හෙතෙම පාඩුවේ ඉදිරියටම ගමන් ගත්තේය.

ස්වාමින් වහන්සේගේ උපදෙස් පරිදි යළි අපිද ඔහු පසුපයින් නිහඩවම ඔවුගේ නිවෙස වෙත ගමන් කළෙමු.

ගොම මැටි පිළියම් කරන ලද ගෙබිම මෙන්ම පිළිවෙලකට තබා තිබෙන කුඩා බඩු මුට්ටු තනිව ජිවත්වන පුද්ගලයකු සිටින ස්ථානයක් බවට අපට සැක පහළ වීමට තරම් පිළිවෙළටය.

ඇඳ සිටි ඇඳුම් උනා සරමක් හා කමිසයකින් හැඩ වු ඔහු අප සමග කතබස් කිරිමට මුලදී අකමැත්තක් පළ කළේය.

කරුණු කාරණා අවබෝධ කරදීමෙන් අනතුරුව මිදුලේ පුටුවකට බරවී සිය අරුම පුදුම ජීවන රටාව පිළිබඳ එකින්එක දිග හැරීම ඔහු ආරම්භ කළේ සිය වනය අතරතුර නිතර ඇසෙන වන සතුන්ගේ මිහිරි හඩටද කන්දෙමිනි. නමින් දම්මන්තැන්න අලුත්ගෙදර සෙවිරත්න (50) වන ඔහු තවමත් අවිවාහකය.

‘මම දැනුවත්ව පවුල් 35ක් විතර මේ ගමේ හිටියා. ඒ අය 2009 විතර වෙනකම් මේ ගමේ හිටියා. පහසුකම් නෑනේ මොකවත් මේ ගමේ; ඒ හින්දා සේරම ගියා. මම තනියම ඉන්න ඕනේ හින්දා නැවතුනා.තනියම ඉන්න බයක් නම් නැහැ; අලි කරදර තමයි තියෙන්නේ. උදේ හයට විතර නැගිටිනවා; උදේට උයලා ගොවිතැන් වලට යනවා. ආයේ හවස උයනවා දවල්ට උයන්නේ නැහැ. පවුලේ මල්ලියි, නංගිලා දෙන්නෙකුයි ඉන්නවා. එක්කෙනෙක් මහඉළුප්පල්ලම; අනිත් කෙනා රත්තොට. මල්ලි ඇඹිලිපිටියේ ඉන්නේ.පාළුව කාන්සිය නොදැනෙනවාම නොවෙයි; ඒත් ගාණක් ගන්නේ නැතිව ඉන්නවා.

මගේ ගෙදරත් වන අලියා දෙපාරක් කැඩුවා. අලි 20-25 ක් විතර ඉන්නවා මේ අවට.දැන් වගාවක් දාලා තියෙන්නේ. සතියකට විතර සැරයක් ගමට ගිහින් බඩු අරන් එනවා කෑමට. පොඩි රේඩියෝ එකක් තියෙනවා; ඒක අහනවා. එකෙන් රටේ දේවල් දැනගන්නවා. ගොඩක් සත්තු කරදර කරන්නේ; ඒ අයට කරදයක් කළොත් විතරයි; මිනිස්සු වගේ නෙමෙයි.එක වෙලාවකට හිතෙනවා සමහර මිනිස්සුන්ට වඩා සත්තු හොඳයි කියලා.‘‘

මිනිසුන් අතරේ නොමිනිසුන්ට වඩා වන සතුන් හොඳ යැයි සෙනවිරත්ත දම්මන්තැන්නේ සිට කියන කතාවේ සත්‍යක්ද තිබේ. ඔහු මිනිසුන්ගෙන් ඈත් වූ මිනිසෙකි. තමන්ට කැමති දෙයක් රිසි සේ සකසාගෙන ඔහු හුදකලාව ජිවත් වෙයි.

ඔබ මොබ ඇවිදන විට සිය නෑ සනුහරේ බොහෝ පිරිසක් වාසය කළ බොහෝ නිවාස වල නෂ්ටාවශේෂ තවදුරටත් ගරා වැටෙමින් තිබේ. ඒවා අතර මේ හුදකලා මිනිසා ද තනිව ජිවන අරගලයකට මැදීව සිටියි.

අක්කර 500 ක පමණ භූමි ප්‍රමාණයක විහිදි ගිය දම්මන්තැන්න නම් වු මේ සොදුරු ගම්මානයකි.

ස්වභාවික දිය කදුරු වලින් වටවී ඇති මේ ගම්මානයේ අපූර්වත්වයට හානි නොවන අයුරින් යමෙක් මේ ගම්මානය දියුණු කරන්නේ නම් ඊට අවශ්‍ය සහාය ලබාදෙන බව අපට කිවේ සෝභිත හිමියන්ය.

‘මේ ගම්මානේ මිනිස්සු නැවත පදිංචිකරලා වස විස නැති වගාවන් කරලා ඒවා ආහාර වලට ගන්න විදිහක් සැකසුවා නම් මේ ගම්මානේ බලන්න සංචාරකයෝ ඒවි. යාබද ගමක් වෙච්ච ගල්බොඩ ගම්මානේ මිනිස්සුන්ටත් ඒකෙන් සෙතක් වෙනවා. මොකද පහසුකම් සපයන්න වෙන්නේ ඒ අයට නිසා. ඒ ගැන අවධානය යොමුකරලා මේ ගම්මානේ විනාශ වෙන්න නොදී යහපත් ආකාරයෙන් හිතලා පාලක පක්ෂය කටයුතු කරනවා නම් ලංකා සිතියමෙන් මැකි ගිහිල්ලා තියෙන දම්මන් තැන්නට ආයෙත් ඉර පායනවා.

එහෙම නැති උනොත් මේ ගම්මානේ අවසන් පුද්ගලයාත් මේ ප්‍රදේශයෙන් ගියාම දම්මන්තැන්න ලංකා සිතියමේම නමක් විතරක් වෙයි.“

සෝභිත හිමියන්ගේ වදන් තවමත් දෙසවන දෝංකාර දෙයි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »