මේ කාලය හරියට අපායෙ ඉන්ටවල් එක වගේ
පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ, පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න

2020-05-05 08:58:00       39
feature-top
කොරෝනා වසංගතය මැඬලීමට ආරක්ෂක අංශ විසින් සිදු කරනු ලබන කැප වීම සුළුපටු නොවේ. නිසි කෑමක් බීමක් හෝ අවම වශයෙන් නින්දක් හෝ නැතිව ඔවුන් කටයුතු කරන්නේ තමන් රැකෙන්න නොව ජනතාව රකින්නය. එම කැපවීමේදී පොලීසිය සිදු කරන්නේ මින් පෙර ආරක්ෂක අංශ මුහුණ නොදුන් රකුසකු සමඟ ය. ඒ රකුසා පැරැදවීමේදී අප කළ යුතු කාර්යය සම්බන්ධව අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ලබාදුන් අදහස් ඇසුරෙන් මේ ලිපිය සකස් කෙරිණි.

කොරෝනා වසංගතය නිසා ඇඳිරි නීතිය පනවා තිබූ අධි අවදානම් ප්‍රදේශ හැර සෙසු පළාත්වල ඇඳිරි නීතිය ලිහිල් කිරීමට රජය කටයුතු කිරීමත් සමඟම එම ප්‍රදේශවල ජනතාව නගර කරා ඇදී එන්නට විය. එසේම නගරවල සිර වී සිටි ජනතාව තම ගම්බිම් බලා යන්නට උත්සාහ කරන්නට ද වූහ.

ඒ තත්ත්වය කල් ඇතිව දුටු යුද හමුදාපති හා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා හා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහත්වරු කල් ඇතිවම ජනතාව දැනුවත් කළහ. ඒ, ඇඳිරි නීතිය ලිහිල් කිරීම යනු ජනතාවට ඔබ මොබ යන්නට දෙන සහනයක් නොවන බවයි. අත්‍යවශ්‍ය කටයුතු සිදුකරගැනීම සඳහා පමණක් ලබාදුන් මේ කාලය ඒ කටයුතු සඳහා පමණක් යොදාගත යුත්තේ අවදානම තවමත් පහව ගොස් නැති හෙයිනි. වසංගතය ඉහළ පහළ යෑම තීරණය වන්නේ ජනතා ක්‍රියාකාරීත්වය සමඟය. මේ කාලය හඳුන්වාදිය හැක්කේ ‘අපායෙ ඉන්ටවල් එක වගේ‘ යනුවෙනි. මේ කාලයෙන් පසුව යළි දුක් විඳින්නට අප කටයුතු නොකළ යුතුය.

ඇඳිරි නීතිය බල නොපාන අවස්ථාවලදී ජනතාවගේ ආරක්ෂාවට මෙන්ම සාමය පවත්වාගෙන යෑම පිණිස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා පොලිසියයි. මේ අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට සාමාන්‍ය තත්ත්වයට එහා ගිය රාජකාරි කටයුතු රැසක් කරන්නට සිදුව ඇත. ශ්‍රී ලංකාවේ මීට පෙර ඇඳිරි නීතිය ඉවත් කළ විට පොලිසියේ රාජකාරි කටයුතු යම් ප්‍රමාණයකින් අඩු වූයේ ඇඳිරි නීති උල්ලංඝනය කරන්නන් සොයා බැලීමේ කටයුතු අඩු වන හෙයිනි. එහෙත් මෙවර ඇඳිරි නීතිය ඉවත් කළ පසුව මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට පොලිසියේ රාජකාරි කටයුතු අධික වන තත්ත්වයක් දක්නට ලැබෙයි. ඒ ජනතාවගේ සෞඛ්‍යාරක්ෂක කටයුතු සම්බන්ධයෙනි.

මීට පෙර ලංකාවේ ඇඳිරි නීතිය පනවා ඇත්තේ ත්‍රස්තවාදී ක්‍රියාවක්, මැතිවරණ හෝ වෙනත් ප්‍රචණ්ඩ ක්‍රියා, ජනතා කැලඹීම් වැනි ක්‍රියා පාලනය කිරීම උදෙසාය. ඒ අවස්ථාවන්හිදී ආරක්ෂක අංශවලට සාමය රඳා පවත්වාගැනීමට, ආරක්ෂක ප්‍රධානීන්ගේ උපදෙස් ප්‍රමාණවත් විය. එහෙත් මේ අවස්ථාවේදී පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලට සිදුව ඇත්තේ ආරක්ෂක ප්‍රධානීන්ගේ උපදෙස්වලට අමතරව සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් අනුව ජනතාව කටයුතු කරන්නේද යන්න අධීක්ෂණය කිරීමයි. එසේම පොලිස් නිලධාරීන්ද තම ආරක්ෂාව සලසා ගත යුතුය.

විශේෂයෙන්ම ජනතාව වෙනුවෙන් සපයන සේවා නිසි සෞඛ්‍ය ආරක්ෂිතව සපයනවාද යන්න සොයා බැලීමට සිදුව ඇත. සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී ඇති පරිදි මුඛ ආවරණ පළඳනවාද ජනතාව ආරක්ෂිතව පොදු ස්ථානවල හැසිරෙනවාද යන්න ගැන සොයා බලන්නේද පොලිසියයි. එමෙන්ම ජනතාව පොදු ස්ථානවල රැස් වන අවස්ථාවලදී මීටරයක අවම දුරකින් සිටින්නේද යන්න සොයා බැලීමේ කටයුතු පොලිසිය කරන්නේද ජනතාවගේ ආරක්ෂාව උදෙසාය.

මීට අමතරව ජනතාවට ආහාර පාන සපයන අය නිසි ලෙස සෞඛ්‍යාරක්ෂිත මුඛ ආවරණ පැළඳ සිටින්නේද ඔවුන් අත් ආවරණ පැලඳ සිටින්නේද සෘජුවම ආහාරයට ගන්නා ආහාර (පිසූ ආහාර) ජනතාවට සෞඛ්‍යාරක්ෂිත ලෙසින් ලබාදෙන්නේද යන්න පොලිසිය විසින්ද අධීක්ෂණය කරනු ලබන අතර වෙළෙඳ සල්, බැංකු ඇතුළු ආයතනයන්හි අධික ලෙසින් ජනතාව රැස් වී සිටින්නේද යන්න සොයා බැලීමද පොලිසියේ රාජකාරි අතර වෙයි.

ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟම අත්‍යවශ්‍ය කටයුතු සඳහා ඇතැම් පළාත්වල සැලකිය යුතු පිරිසක් නගර කරා එන්නට වූ අතර එම පිරිස් ක්‍රමයෙන් අඩු වනු ඇතැයි පොලිසිය අපේක්ෂා කරයි. ඒ අත්‍යවශ්‍ය කටයුතු ඉටු කරගැනීමෙන් පසුව ඔවුන් නගරයේ සැරිසැරීම නොකළ යුතු බවට දන්වා තිබීමයි. ජනතාව සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් දිවයින පුරා පොලිස් ස්ථානවලින් මේ වන විට දැනුම් දී තිබේ. බහුතර ජනතාව ඒ අනුව කටයුතු කිරීම නිසා වසංගත තත්ත්වයද පාලනය කරගන්නට හැකිව තිබේ. ඒ සම්බන්ධයෙන් ජනතාව ලබා දුන් සහයෝගය පොලිසිය අගය කරයි.

රැකියා පිණිස කොළඹ ඇතුළු බස්නාහිර පළාතට පැමිණි පිරිස් මෙන්ම දිවයිනේ වෙනත් පළාත්වලට පැමිණි පිරිස් රැසක්ද නිවෙස් කරා යෑමට නොහැකිව සිටිති. ඥාති මිත්‍රාදීන්ගේ නිවාසවලට ගිය අය රැසක්ද සිටිති. ඔවුන්ට නිවෙස් බලා යන්නට මේ දක්වා අවසර ලබා නොදුන් අතර ඉදිරියේ දී ඔවුන් ලියාපදිංචි කර නිවෙස් බලා යැවීමට කටයුතු කරනු ඇත. එයින් යම් හදිසි අවස්ථාවලදී ඔවුන් සම්බන්ධ සෞඛ්‍ය විස්තර පහසුවෙන් ලබාගත හැකි වනු ඇත. එහෙත් බස්නාහිර පළාත ඇතුළු දිවයිනේ අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති ප්‍රදේශවලින් කිසිදු අයකුට පිටතට යෑමටත් පිටත අයට එම ප්‍රදේශවලට ඇතුළු වීමටත් අවසර ලබා නොදෙයි.

බස්නාහිර පළාතේ නේවාසිකව සිටින වෙනත් දිස්ත්‍රික්ක හා පළාත්වල අයට පසුගිය 22 වැනිදා ඇඳිරි නීතිය ඉවත් කළ අවස්ථාවේ ගම් බිම් කරා යෑමට අවස්ථාව සලසා දෙන්නට උත්සාහ කළද කොරෝනා ආසාදිතයන් වැඩියෙන් වාර්තා වීම නිසා එය කල් දමන ලදී. බස්නාහිර පළාතට ලබන මස මුල් සතියේ ඇඳිරි නීතිය ලිහිල් කිරීමට නියමිතය. එහෙත් එම තීරණය රඳා පවතින්නේ සෞඛ්‍ය අංශ ‍උපදෙස් මතය.

ඇඳිරි නීතිය ඉවත් කළද බස්නාහිර ඇතුළු අධි අවදානම් කලාපයේ ජනතාවට නිදහසේ සැරිසැරීමට අවකාශ නොමැති අතර හැඳුනුම්පතේ අග අංකය අනුව අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා පමණක් නිවෙසින් බැහැර යාමට හැකිය. ඒ කටයුතු පරීක්ෂා කරන්නේද පොලිසිය විසිනි.

එමෙන්ම අධිවේගී මාර්ගයන්ට වාහනවලට ඇතුළු වීමට අවසර ලබා දීම් සිදු කරන්නේද පොලිසිය විසිනි. සාමය ආරක්ෂා කිරීම සඳහා මෙන්ම සෞඛ්‍යාරක්ෂිත කටයුතු වෙනුවෙන් ක්‍රියා කරන පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව උදෙසා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලබා දී ඇති නිර්ණායක යටතේ කටයුතු කෙරේ. ඒ අනුව පොලිසිය තුළදී මෙන්ම පොලිසියෙන් පිටතදී පවා ඔවුන් කටයුතු කරන්නේ එම නිර්ණායක යටතේය. මේ වන විට පොලිස් ස්ථාන තුළ සාමාන්‍ය පැමිණිලි බාර ගැනීමට විශේෂ ස්ථානයක් වෙන් කර ඇත. බාහිරින් පැමිණෙන සියලු පුද්ගලයන් පැමිණිය හැක්කේ එම ස්ථානයට පමණි.

එමෙන්ම මේ වසංගත අවස්ථාවේදී රාජකාරි කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම රජය සම්බන්ධව වැරැදි මෙන්ම චේතනාන්විතව ද්වේෂයෙන් හෝ රජයත්, රාජ්‍ය නිලධාරීන් හා ජනතාව අපහසුතාවට පත්වන ලෙස සමාජ මාධ්‍යයන්හි යම් යම් දේ පළ කරන අය සම්බන්ධව දැඩිව කටයුතු කරනු ලැබේ. එවන් අය පිළිබඳව විමර්ශනය කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ම කටයුතු කරනු ලැබේ. එසේම සාමාන්‍ය ජනතාවට එවන් පුද්ගලයන් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට (DIG.CID@police.lk) හෝ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට (DIR.CID@police.lk) හෝ දැනුම් දිය හැකිය. ඒ සම්බන්ධව ඉතාම සුළු වේලාවකදී අදාළ පුද්ගලයින්ට විරුද්ධව පියවර ගනු ඇත.

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම ඉදිරියේදීත් සිදු කරනු ලබන අතර අත්අඩංගුවට ගෙන ඇති වාහන 10500ක පමණ ප්‍රමාණයෙන් සති දෙකකට වඩා වැඩි කාලයක් පොලිසිය බාරයේ ඇති වාහන මේ වන විට හිමිකරුවන්ට බාර දීමට පියවර ගෙන ඇත. පොලිසියේ අදහස වන්නේ මේ තත්ත්වය පහව යන අවස්ථාවේදී බස් රථ සේවකයන් සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් අනුව කටයුතු කළ හැකි බවයි. පොලිසියට හෝ ආරක්ෂක අංශ හෝ සෞඛ්‍ය අංශවලට හෝ තනිවම කටයුතු කළ නොහැකිය. ජනතාව නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන්නේ නම් වසංගතය මැඬපැවැත්වීම පහසු වනු ඇත.

More News »