පුරාණ ගැමි සමාජයේ නිරෝධායනය

2020-04-20 07:36:00       806
feature-top
පුරාණ ගැමියෝ ස්වකීය දැනුමට හසුනොවන ලෙඩ රෝග හා ව්‍යාධි පිළිබඳ වගකීම දෙවියන් හෝ යක්ෂයන් වෙත පැවරූහ. එම අදහස සියවස් ගණනාවක් සමාජය තුළ විකාශනය වූවකි. රොබට් නොක්ස් ( 1660 – 1681) දක්වන පරිදි වෙදකමේ පරිචය පිරිහී ගිය 17 වැනි සියවසේ උඩරට ගැමියන් සියලු යහපත හා ජයග්‍රහණ දේවාශිර්වාදයෙන් ද, සියලු ලෙඩ රෝග හා ආපදා යක්ෂයාගේ බැල්මෙන් ද මිනිසා කරා පැමිණෙතැයි විශ්වාස කළ අයුරු හා තමන්ගේම බලයක් නැති සේවකයන් ස්වාමිවරුන්ගෙන් අවසර වරම් ලබා ගන්නා සේ යක්ෂයෝ උපද්‍රව සඳහා දෙවියන්ගෙන් බලය ලබා ගනිතැයි ඇදහූ අයුරුත්, දෙවියකුගේ හෝ යකකුගේ බලයෙන් රෝගී වූවෙක් සුවපත් කර ගත හැක්කේ එම දෙවියන්ගේ හෝ යක්ෂයාගේ බලයෙන් යැයි සිතූ අයුරුත් රොබට් නොක්ස් දක්වයි. (නොක්ස් දුටු ලංකාව, ප්‍රේමචන්ද්‍ර අල්විස් පරිවර්තනය, පිටුව 99). වසංගත රෝග දෙවියන්ගේ ලෙඩ දක්වා විකාශනය වන්නේ මේ සමාජ අවකාශ තුළය.

එහෙත් රෝගය සම්බන්ධ නිරීක්ෂණ හා ඉන් එළඹි නිගමන සහිත දැනුමෙන් වසංගත සමයකදී එය පාලනය කිරීමට කෙරෙන නිරෝධායන ක්‍රියාවලික් සමාජය තුළ ඇති කළේය. එය දියත් කළ යුතු ආකාරය සම්බන්ධ විධි පෙන්වා දුන්නේය. එවැනි අවස්ථාවක මුලින්ම සමාජයම ආගමික නැඹුරුවකට යොමු කරනු ලැබුවේය. ඒ අධ්‍යාත්මික නැඹුරුව රෝගයට මුහුණ දීම සඳහා වූ ආත්ම විශ්වාසය පුද්ගලයන් තුළ ඇති කර තිබිණි.

නිරෝධායන සිරිත

සිංහලයන් සියලු දෙනාම ජීවිත් වීමට අත්‍යාවශ්‍ය දැනුමක් ලෙස වෙදකම ප්‍රගුණ කර තිබූ බව රොබට් නොක්ස් වාර්තා කළේය ( නොක්ස් දුටු ලක්දිව, ප්‍රේමචන්ද්‍ර අල්විස් පරිවර්තනය, 140 පිටුව). වෙදකම සම්බන්ධව විශේෂඥ දැනුමැත්තන් සිටිය ද මිනිස්සු වෙදකමේ මූලික සරල පිළිවෙත ජීවිත පරිචයක් කොට පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන ගියෝය. රෝග හඳුනා ගැනීමේ පාරම්පරික දැනුමක් සෑම ගැමියකුටම තිබිණි. ඔවුහු මිනිසුන්ට වැළඳෙන රෝග ප්‍රධාන වශයෙන් රෝග තුනකට වෙන් කළහ. ඒ,

*වා පිත් සෙම් යන තුන්දොස් කිපීමෙන් වැළඳෙන රෝග

*නොපෙනෙන භූත බලවේග විසින් ඇති කරන ඔල්මාද

(මානසික රෝග)

*වදුරු වසංගත හෙවත් දෙයියන්ගෙ ලෙඩ

දෙයියන්ගෙ ලෙඩ

ගැමියෝ අද පවතිනා ආකාරයේ වසංග තත්ත්ව හැඳින්වූයේ වදුරු වසංගත ලෙසිනි. වදුරු වසංගතයේ ස්වරූපය බෝවී පැතිරී යෑමෙහි අගක් මුලක් නැතිවීමය. සාමාන්‍ය වහරේ පැමිණෙන සුලබ දෙයියන්ගෙ ලෙඩ සේ සැලකෙන බෝ වන රෝග වූයේ පැපොල, සරම්ප, ඇස් ලෙඩ, හා කම්මුල්ගාය ය. කලෙක වසූරියත් දෙවියන්ගේ ලෙඩක් ලෙස සැලකිණි. එය දෙයියන්ගේ ලෙඩකට වඩා දේව ශාපයක් සේ මිනිස්සු කල්පනා කළෝය. රොබට් නොක්ස් කීවේ වසූරිය මැඩලීම සඳහා එකට ගැමියන් අනුගමනය කළ ශාන්තිකර්ම ඇතුළු වෙදකම් ක්‍රමවේද ඵලදායී නොවූ බවය (නොක්ස් දුටු ලංකාව, ප්‍රේමචන්ද්‍ර අල්විස් පරිවර්තනය, පිටුව 140 ). එහෙත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වසූරි රෝගියෙක් වූ විට රාජකීය වෛද්‍යවරයා ඔහුට ප්‍රතිකාර කර ජීවිතය බේරා දුන්නේය.

දෙවියන්ගේ ලෙඩ ලෙස සැලකෙන වෛරස් ආසාදන සඳහා අදටත් නිශ්චිත බෙහෙත් නැත. පැරැන්නන් ද ඒ සඳහා එක දිගට භාවිත කළ හැකි බෙහෙත් ගැන කීවේත් නැත. එය සුවපත් කළේ රෝගියාගේ ප්‍රතිශක්තිකරණය වැඩි කිරීමෙනි. එය සමාජයට නොපැතිරෙන ආකාරයේ ක්‍රමවේදයක් තුළ කෙරෙන මනා හෙදකමිනි.

රෝගියා නිරෝධායනය

දෙයියයන්ගෙ ලෙඩ වැළඳුණ රෝගියා මුලින්ම නිවෙස තුළ වෙන් කරනු ලබයි. රජරටදී එය හඳුන්වනු ලැබුවේ ලෙඩා කාවල් කිරීම ලෙසය. දෙමළ බසින් බිඳී පැමිණි මේ පදයේ අරුත රෝගියා වෙන් කිරීම, තනි කිරීම, යන්නය. මෙහිදී මේ තනි කිරීම ක්‍රම දෙකකින් ක්‍රියාත්මක විය. එකක් රෝගියා නිවෙස තුළ පවුලෙන් වෙන් කිරීමය. දෙවනුව නිවෙස සහිත පවුල සමාජයෙන් වෙන් කිරීමය.

දෙයියන්ගෙ ලෙඩ හැදුණු පුද්ගලයෙක් සහිත පවුලක් සමාජයෙන් වෙන් වන්නේ පවුල විසින් ස්වේඡාවෙන් සිදු කරන සන්නිවේදනයකිනි. එය සන්නිවේදනය කෙරෙන්නේ ගේ ඉදිරිපිට ඉදිකඩුල්ලේ කොහොඹ අතු වැලක් එල්ලීමෙනි. එසේත් නැතිනම් පිදුරු වෙනියක් අඹරා ඉඳි කඩුල්ල හරහා බැඳීමෙනි. දැන් මේ නිවෙස කිලි සහිත නිවෙසකි. කිල්ලෙන් වැළැකීමේ වගකීම නිවැසියන්ට මෙන්ම සාමාජයට ද තිබිණි.

මූලික සන්නිවේදනයෙන් පසු රෝගය දැනගෙන දින හතකින් අනතුරු ඒ ලෙඩ සෑදුණු නිවෙසේ උදවිය ස්වයං නිරෝධායනයකට ලක් වූහ. ඒ කාලය තුළ නිවැසියන්ට වැවේ මංකඩ, පොදු ලිඳ වැනි මිනිසුන් ගැවසෙන ස්ථාන වල නොගැවසුණාහ. ගමේ කිසිම පොදු කටයුත්තකට සහභාගී නොවූහ.

දෙයියන්ගේ ලෙඩ පවතින ක්‍රමය පිළිබඳ ගැමියෝ දැනගෙන සිටියහ. රෝගය අනුව එය දින 3 , 7 හා 21 ලෙස හඳුනාගෙන තිබිණි. පැපොල රෝගයේදී එය පවතින කාලය දින 21 විය. සමහර ප්‍රදේශවල එය අම්මාවරුන්ගේ අසනීපය ලෙස හැඳින්විණි. ඔවුහු පත්තිනි අම්මාගේ රෝග හතෙන් එකක් ලෙස පැපොල රෝගය සැලකනු ලැබූහ. අත්දැකීමෙන් ලද ඥාණයෙන් වසංගත රෝගයේ බීජෞෂණ සමය ඔවුහු දැන සිටියහ. පැපොල රෝගය වැළැඳුණු රෝගියා නාවන්නේ දින 14 යන විටය. එතැන් සිට ඉදිරියට එන සතිය රෝගය පැතිරීමේ අවකාශය ගැන ඔවුහු දැනුම්වත්ව උන්හ. දැඩි නිරෝධායනයට මුළු පවුලම ලක් වූයේ මේ දින හත තුළය. රෝගියා හා රෝගය සම්බන්ධ හැසිරීම් රටාව තීන්දු කරනු ලැබුවේ මේ දැනුම විසිනි.

රෝගියා නිවෙස තුළ වෙන් කිරීම

පුරාණ නිවෙසක බොහෝ විට නිවෙසේ ප්‍රධාන කොටස් සමඟ කිසිම සම්බන්ධයක් නැති වෙනම කාමරයක් තිබිණි. එය වාතාශ්‍රය සහිතය. දෙයියන්ගේ ලෙඩ සෑදුණු රෝගියා එවැනි ස්ථානයක තබා මුලින්ම පවුලෙන් වෙන් කරනු ලැබුවේය. ඔහුට නිදාගන්නට සැලැස්වූයේ කොහොඹ කොළ ඇතිරුමක් මතය. කුටිය දිනකට කිහිප වරක් කහ දියර ඉස විෂබීජ හරණය කරනු ලැබුවේය. එහි උලුවස්සේත් කොහොඹ කොල එල්ලනු ලැබිණි. නිවෙසේදී රෝගියාගේ කෝප්පය පිඟාන පවා වෙන් කෙරෙිණි. නිවෙසේ වැසිකිළියවත් රෝගියාට භාවිත කරන්නට දුන්නේ නැත.

රෝගියාට සලකන්නේ එක් පුද්ගලයෙකි. ඔහු පවුලේ දැනුම් තේරුම් සහිත පුද්ගලයාය. බොහෝ විට ඔහු සිය බාහුවේ පෙරුම්කායම් කැබැල්ලක් බැඳගත්තේය. රෝගියා අතපත ගාන්නට ගොස් තමන්ටත් බෝ නොවී පවුලේ අනික් අයටත් රෝගය නොපැතිරෙන සේ කටයුතු කරන්නට තරම් ඔහු සවිඥානික විය. මේ නිරෝධායන කාලය තුළ යන්තමින්වත් බාහිර සමාජය හා සන්නිවේදන කටයුතු කරන පුද්ගලයාත් ඔහුය. ගැමි වහරින් ඒ තැනැත්තා හැඳින්වූයේ 'සකියා දෙහෙට්ටියා' නමිනි.

ප්‍රතිශක්තිකරණය වැඩි කිරීම

ලෙඩාට හෙදකමට අමතරව ප්‍රතිශක්තිකරණය වැඩි කරන පෙරුම්කායම්, කොත්තමල්ලි, වෙනිවැල්, පත්පාඩගම් වැනි දේ කෑමට බීමට ලබා දුණි. පුරාණ ගැමි සමාජයේ පොදුවේ ආහාර සම්ප්‍රදායක් තිබිණි. දේශගුණය අනුව ඔවුහු කෑම වර්ග වෙනස් කළහ. උෂ්ණ කාලෙට කෑමට ගත්තේ කිරි, දීකිරි, කොහිල වැනි සීතල කෑමය. බලමාලු, ඉත්තෑමස්, ගෝනමස් වැනි උෂ්ණාධික ආහාර මේ කාලයේ දී ඔවුහු කෑමට නොගත්හ. ගොවි ගම්මානවල පැවැත්ම රැඳී පැවතුනේ ජව සම්පන්න ශ්‍රම ශක්තිය මතය. වැඩ කිරීමට නම් පත්තියන් කෑම ගත යුතුය යන සම්මතය තිබිණි. උෂ්ණාධික කාලවල වැඩි කැලරි ප්‍රමාණක් සහිත ආහාර ගැනීම සිදු නොවුණි. මේ අත්දැකීම මත පිහිටා වසංගත රෝග වැළඳුණු තැනැත්තාට කැලරි ප්‍රමාණය අධික ආහාර නොදී හොඳම එළවළු සමඟ බත් දෙන්නට පැරැන්නෝ කටයුතු කළහ.

දැඩි නිරෝධායන කාලය තුළ සාමාජ වගකීම

රෝගය වැළදී දින 14කට පසු රෝගියාව නෑවීම සඳහා ගෙවත්තේ ඈත වෙනම අතුපැලක් තැනුවේය. නාවන වතුර භාජනයට ප්‍රතිශක්තිය ඇති කරවන පැඟිරි කොළ, කොහොඹ කොළ එක් කරනු ලැබුවේය. නාවන දිනයේදී රෝගියා එතෙක් ඇඳ සිටි රෙදිකඩ රැගෙන පිලුස්සා දැම්මේය. අනතුරුව එළඹෙන දින 07 රෝගය බෝ වීමේ කාල සීමාව බැවින් රෝගියා පමණක් නොව මුළු නිවැසියන්ම ඉතා දැඩි ලෙස සමාජයෙන් වෙන් වූහ. මේ කාලයේදී රෝගියාට මෙන්ම පවුලේ අයටත් වැවේ පොදු නාන මංකඩ සපුරා තහනම් විය. කිසිම සමාජ කටයුත්තකට එක් වීම තහංචි විය. මේ කාලය තුළ ලෙඩාව නෑවීම සඳහා වැවේ ඈත කෙළවරක වෙනත් මංකඩක් හදා ගනු ලැබුවේය.

මේ වකවානුව පුරාම මේ නිවෙසේ මගහැරෙන ගොවිතැන් කටයුතු, මෙන්ම නිවෙසට අවශ්‍ය ආහාර, එළවළු සැපයීම සමාජ වගකීමක් කොට ගෙන තිබිණි. අත්හැරුණු ගොවිතැන් කටයුතු අත්තමට සිටින පිරිස විසින් පතවාගෙන ගියේය. අවට ගැමියන් විසින් අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ඉදිකඩ අසලින් තබා නිවෙස තුළට ඒ බව සන්නිවේදනය කිරීම සිදු විය. ඒ ද්‍රව්‍ය නිවෙස තුළට රැගෙන යන්නේ සකියා දෙහෙට්ටියා විසිනි.

නිරෝධායනය නිමා කළ බවට වූ සන්නිවේදනය

දෙයියන්ගෙ ලෙඩ සමඟ හුදකලා වූ පුද්ගලයාට ඒ අවස්ථාව දෙවිවරුන් හා ඔවුන්ගේ පැවැත්ම පිළිබඳ විශ්වාසයක් ඇති කර සමාජ ජීවිතයේ අධ්‍යාත්මික ශික්ෂණය තහවුරු කිරීමට යොදා ගැනුණි. රෝගය වැළඳුන මුල් වකවානුවේ රෝගියා වෙත පැමිණෙන ගමේ වෙද අත්තප්පා, ගුරුන්නාන්සෙ හෝ කපුරාල දෙවියන්ගේ ගුණ සිහිකර මතුරා පඬුරක් ගැටගසා බාරයක් වීම සිදුවිය. භාර වන්නේ ගමේ පන්සලට ගොස් බුදුන් වැඳ කිරි උතුරුවා, කිරි ආහාර පුජා කර දෙවියන්ට පින් පෙත් අනුමෝදම් කිරීම සඳහාය. දරුවන්ට රෝගය වැළඳුන විට එය පත්තිනි අම්මාගෙන් ඇති වූ දෝෂයක් සේ සලකා කිරි අම්මාවරුන්ගේ දානයකට භාර වීම සිදුවිය. මේ භාරය ඔප්පු වන්නේ රෝගියා නාවා දින 7ක් යෑමෙන් අනතුරුවය.

දින හතෙන් අනතුරුව කොහොඹ අතු ඉවත් කෙරිණි. පිදුරු වෙනිය ඉවත් කෙරිණි. ඉන් අසල්වැසියන්ට නිවෙසේ කිලි ඇරුණු බවට සන්නිවේදනය විය. බාරය ඔප්පු කිරීමෙන් ඒ පණිවුඩය සමාජයට සන්නිවේදනය විය. මේ සමස්ථ නිරෝධායන ක්‍රියාවලියෙන් ප්‍රකාශයට පත් වූ යථාර්ථයක් තිබිණි. ඒ පුද්ගලයාට සමාජය පිළිබඳ ඇති වගකීම හා සමාජයට පුද්ගලයා සම්න්ධව ඇති වගකීම් සහගත බැඳීමය. සමාජයක සාමාජීය වගකීම පිළිබඳ හැඟීම පුද්ගලයාගෙන් ගිලිහී යන මොහොතක ඒ සමාජයේ සමස්ථ ක්‍රියාන්විතය බිඳ වැටෙන්නේය.

දැන් අප මේ අත් විඳිමින් ඉන්නේ ඒ අශිෂ්ටත්වයේ දුර්ගුණය සමස්ථ සමාජය මත හෙණයක් සේ පතිත වීමේ කම්පනයයි..(ස්තුතිය: සිංහල ජනශ්‍රැතිවේදී මාමිණියාවේ ඉලංගසිංහ )



උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »