රටම කල­බල කර­මින් රුව­න්මැලි මහා සෑයේ සිදු වන රහ­සි­ගත මෙහෙ­යුමේ හෙළි­ද­රව්ව

2019-10-26 09:48:00       145
feature-top
ජ්‍යේෂ්ඨ ඉංජිනේරු ගැමුණු සිල්වා රුවන්මැලි මහ සෑරදුන්ගේ කොත පරීක්ෂාකරන අයුරු

බොදු ජන­තා­වගේ හද­වත බඳු රුව­න්මැලි මහ සෑ රදුන්ගේ තවත් ප්‍රති­සං­ස්ක­රණ කට­යු­ත්තක් මේ දින­වල සිදු වෙමින් පවතී. එහෙත් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචා­රය වන්නේ සුබ­වාදී අද­හස් නම් නොවේ. තාක්ෂ­ණික ප්‍රයෝග ඔස්සේ චෛත්‍ය රාජ­යා­ණන්ගේ චෛත්‍ය ගර්භය ස්කෑන් කිරී­මට සුදා­නම් වන බවත් එහි ඇති ශක්තීන් උක­හා­ගෙන එයට හීන වූ ශක්තීන් ඇතුළු කිරී­මට කට­යුතු කරන බව­ටත් කොත් වහ­න්සේගේ රන් ආලේප සූරා දැමී­මට සුදා­නම් වන බව­ටත් එලෙ­සම මහා සෑය වටා ගසා ඇති පලංචි නිසා එහි ගර්භ­යට හා පේසා වළ­ලු­ව­ලට හානි සිදු වන බව­ටත්, මහා සෑයේ අකුණු සන්නා­ය­කය හොරෙන් ගල­වා­ගෙන යන විට පොලිස් අත්අ­ඩං­ගු­වට පත්ව ඇති බව­ටත් වන ප්‍රචාර තව­මත් අඩු­වක් නැතිව මුහුණු පොතේ මෙන්ම වෙබ් අඩ­වි­ව­ලද වාර්තා වෙමින් පවතී.

 

ඒ පුවත් ඇසූ­වන් තැති ගන්වන හේතු­වක් තිබේ. ඒ වෙබ් අඩවි වාසී බාල­යන් ප්‍රචා­ර­ණය කරන අතා­ර්කික ගොං කතා නොවේ. යම් උත්තම බල­යක් මේ මහා දාගැබ සතුව ඇති නම් එය උරා­ග­න්නට හැකි අධ්‍යා­ත්මික උප­ක­රණ තව­මත් නිප­දවා නැත. මේ ගර්භය ස්කෑන් කළාට සොයා­ගත හැකි විශේෂ යමක් නොවේ. ද්‍රෝණ­යක් ධාතු නිධන් කළ බව මහා­වං­සයේ සඳ­හන් මහා සෑය එක්ද­හස් අට­සීයේ මැද භාගය වන විට පැව­තියේ සුන්බුන් වූ පස් කන්දක් ලෙසිනි. ඒ වන විට එහි ගර්භය බොහෝ නිධන් හොරුන් පහරා තිබිණි. අප මේ දකින්නේ දුටු­ගැ­මුණු මහ රජුන් කළ මහා චෛත්‍ය කර්මා­න්තය නොව, වර්ෂ 1872 දී නාර­න්විට සුම­න­සාර හිමි­යන් විසින් ආරම්භ කරන ලදුව අප්‍ර­මාණ බාධක මධ්‍යයේ ප්‍රති­සං­ස්ක­ර­ණය කළ හුනු බදාම සහිත මහා­සෑයේ හැඩය ය.

සූරා­ග­න්නට රත්ත­රන් කන්දක් මේ කොත් වහ­න්සේගේ නැත. මහා­සෑයේ හත­රැස් කොටුවේ ධාතු නිධන් කිරීමේ ගම්භීර උත්ස­වය පැවැ­ත්වුණේ වර්ෂ 1933 දෙසැ­ම්බර් මාස­යේය. ඒ වන විට සෑය ප්‍රති­සං­ස­ක­ර­ණය ආරම්භ කළ නාර­න්විට සුම­න­සාර හිමියෝ අප­වත් වී සිටි­යහ. උන්ව­හ­න්සේගේ ප්‍රයා­මය අති­ශය අප­හසු අඩි­ය­කට පත් වූ අව­ස්ථා­වක උන්ව­හන්සේ හා එක් වී මේ සද්කාර්ය දිග­ටම පව­ත්වා­ගෙන යෑමට කැප වුණු රන්සි­රි­නල් වෙද රාල­හාමි අති­ශය රෝගා­තු­රව සිටි­යේය. අඩි 26ක් උස කොත් වහන්සේ නමක් පිත්ත­ලින් නිර්මා­ණය කිරී­මට වෙද රාල­හාමි පිළි­ම­ත­ලාවේ ශිල්පීන් පිරි­සක් වෙත පවරා තිබිණි.

පුරා දශ­ක­යක් තිස්සේ කළ එම කොත්ව­හ­න්සේගේ බර ටොන් හයකි. පිළි­ම­ත­ලාවේ සිට කොළ­ඹට රැගෙන ආ කොත් වහ­න්සේගේ ස්‌වර්ණා­ලේප කිරීමේ කට­යුත්ත සුබ මොහො­තින් ආරම්භ කරනු ලැබුවේ රන්සි­රි­නෙල් වෙද රාල­හා­මිගේ බිරිය වූ මැටි­කො­ටුවේ හාමිනේ විසිනි. එදා කොත් වහ­න්සේගේ ස්වර්ණා­ලේප කට­යුතු අව­සන් කිරී­මට තුන් මසක් ගත විය. අන­තු­රුව බැති­ම­තුන්ගේ වන්ද­නා­මා­නය සඳහා කොත් වහන්සේ ඇව­රි­වත්තේ සුමි­ත්‍රා­රා­මයේ තැන්පත් කරනු ලැබ තිබී වර්ෂ 1940 පොසොන් පෝ දිනයේ ( ජූලි 17) දී මහා­සෑ­යට පල­ඳ­වනු ලැබීය.

මහා සෑයේ කොත්ව­හන්සේ මත තබ­න්නට චූඩා­මා­ණි­ක්‍යය ලැබෙන්නේ බුරුම රජයේ පරි­ත්‍යා­ග­යක් ලෙසිනි. එය අඩි­යක් පමණ උස පළි­ඟු­වකි. ඒ චූඩා­මා­ණි­ක්‍යය මහා සෑයට පූජා කිරීමේ උත්තම කට­යුත්ත සම්බ­න්ධී­ක­ර­ණය කළෝ බුරු­ම­වාසී යූ.වින­යා­ලං­කාර හිමි­යෝය. අප දන්නා භෞතික වටි­නා­ක­මක් සාධක සහි­තව ලේඛ­න­ගත වන්නේ චූඩා­මා­ණි­ක්‍යය සම්බ­න්ධ­වය. එය සවි කර තිබෙන්නේ රන් ආධා­ර­ක­යක් මතයි.

ඒ ආධා­ර­කය සැර­සී­මට රත්ත­රන් කිලෝ 5.5ක් සහ රිදී කිලෝ 69ක් යොදා­ගෙන තිබිණි. එහි සවි කර තිබුණු අති­ශය වටි­නා­ක­මක් සහිත මැණික් ගල් සංඛ්‍යාව 4796කි. කුකු­සක් ඇති කර­ග­න්නවා නම් ඒ සම­බ­න්ධ­වය.

තමන්ගේ සංස්කෘ­තියේ මහා ශුද්ධ සංකේ­තය වූ මහා සෑය මත තමන්ට රහ­සින් කරන මහා කර්තව්‍ය කුම­ක්දැයි ඔවුන් තුළ කුකු­සක් ඉප­දීම අරු­ම­යක් නොවේ. එම කුකුස දේශ­පා­ලන හා අතා­ර්කික උන්ම­න්ත­ක­යන් විසින් අශ්ලී­ලව ප්‍රයෝ­ජ­න­යට ගැනීම මේ රටේ හැටිය. දැන් අවශ්‍ය වන්නේ මේ කට­යු­ත්තට ඍජු සේ සම්බන්ධ පාර්ශ්ව­ය­න්ගෙන් විම­සු­මකි.

 

අට­ම­ස්ථා­නා­ධි­පති ආචාර්ය

පල්ලේ­ගම ධම්ම­ර­ක්ඛිත සිරි­නි­වාස නාහිමි

‘‘මේ දින­වල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ රුව­න්මැලි මහා සෑයේ ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු සම්බ­න්ධ­යෙන් පැතිර යන අසත්‍ය තොර­තුරු හා කට­ක­තා­ව­ලට සමා­ජය තුළ මතුව ඇති සැක සංකා දුරු කොට නියම තත්ත්වය පැහැ­දිලි කිරී­මට අපි පසු­ගිය දා මාධ්‍ය සාක­ච්ජා­වක් කැඳෙව්වා. රුව­න්මැලි මහා සෑය කියන්නේ බෞද්ධ­යන්ගේ අති පූජ­නීය ස්ථාන­යක්. මේ ස්ථානයේ අව­සා­න­යට සිදු කළ ප්‍රති­සං­ස්ක­රණ කට­යුත්ත තමයි රුව­න්මැලි මහා සෑය බැඳලා ඊට කොත් වහන්සේ පැල­ඳ­වීම.

ඒ කොත් වහන්සේ පල­ඳ­වලා මේ වන විට වසර අසූ­වක් පමණ වෙනවා. ඒත් ඒ පිළි­බඳ කිසිම කෙනෙ­කුගේ හෙවිල්ක් බැලි­ල්ලක් තිබුණේ නැහැ. විහා­ර­ස්ථා­නය භාරව සිටින භික්ෂූන් වහන්සේ වශ­යෙන් අපේ අට­ම­ස්ථා­නයේ සිටින සිය­ලුම භික්ෂූන් වහන්සේ එකතු වෙලා රුව­න්මැලි මහා සෑය ගැන සාකච්ජා කළා. අවු­රුදු 80කින් මේ කොත් වහන්සේ පිළි­බඳ කවු­රු­න්වත් සොයා බලා නැහැ. ඒ නිසා දැන් එයට මොනවා වෙලා තිබෙ­න­වාද?, මොන තත්ත්ව­ය­කද මේක තියෙන්නේ?, මේක තව­දු­ර­ටත් ආරක්ෂා කර පව­ත්වා­ගෙ­න­යෑ­මට මොන­වත් කළ යුතු ද?, නැති නම් මේ ලෙසම පවත්වා ගෙන යන­වාද? කියන කාරණා අපි සාකච්ඡා කරලා තමයි බලා­පො­රොත්තු වුණේ මෙහි ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු සිදු කරන්න.

බිම ඉඳලා බැලු­වට රුව­න්මැලි සෑයේ කොත් වහන්සේ පෙනෙන්නේ නැහැ. එනිසා එතැ­නට ගිහි­ල්ලාම බැලු­වොත් තමයි මේකෙ තත්ත්වය අව­බෝධ කර ගන්නට පුළු­වන්. එ් නිසා එයට සුදුසු වන ලෙස මහ­සෑ­යට කිසිම හානි­යක් නොවන ආකා­ර­යට මේ පලංචි සවි කරලා ඒ මතින් ගොස් එය බලා ගන්න තමයි මෙය සූදා­නම් කළේ.‘‘ උන් වහන්සේ පව­සති.

 

රුව­න්මැලි සෑයේ භාර­කාර

පල්ලේ­ගම හේම­ර­තන හිමි

‘‘පසු­ගිය සති දෙක තුන තුළ සමාජ මාධ්‍ය ජලා ඔස්සේ ස්වර්ණ­මාලී සෑ රදුන්ගේ ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු ගැන පැතිර යමින් තිබෙන අසත්‍ය කතා­වට සෘජු­වම යමක් කිව යුතු කෙනා මමයි. රුව­න්මැලි සෑයේ භාර­කා­ර­ත්වය මම භාර­ගෙන මේ වන විට දශක දෙක­කට වැඩි කාල­යක් වෙනවා. මේ කාලය තුළ කෙරෙන ඉතාම විශාල පින්ක­මක් ලෙස මෙය මම දකි­නවා. පුරා­විද්‍යා අධ්‍යක්ෂ ජන­රාල්ගේ අව­ස­රය ලබා ගෙන (මෙහි පලංචි ඉදි­කි­රීම උදෙසා) මහා සෑයේ නව ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු අපේ නායක ස්වාමීන් වහන්සේ සමඟ සාකච්ජා කිරී­මෙන් පසුව විශ්ව­පා­රමී ආය­ත­න­යට පැවැ­රුවා.

අපි මේ කරන කට­යුත්ත අමුතු දෙයක් නොවෙයි. වාර්ෂි­කව රුව­න්මැලි මහා සෑ රදුන්ගේ හුනු පිරි­යම් කිරීම සිදු කර­නවා. වර්ෂ කිහි­ප­ය­කට වරක් කොත් වහ­න්සේගේ පිළි­ස­කර කිරී­මක් සිදු කර­නවා. ඒ සඳහා ඉතා විශාල ‍ධනයක් වැය වෙනවා. ඒ ධනය වැය කරන්න කැමැති සැදැ­හැ­ව­තෙකු ඉදි­රි­පත් වුණොත් අපි ඒ අනුව ඒ කට­යුතු සිදු කර­නවා. සෑයේ සුදු හුනු පිරි­යම් කරන ආකා­ර­යට පලං­චිය බැඳලා අපේ පාර­ම්ප­රික ශිල්පීන් මේ කොත් වහන්සේ ගේ කට­යුතු සිදු කර­නවා.

විශ්ව­පා­රමී පද­නමේ අතීත ක්‍රියා­දා­මය පිළි­බඳ දැඩි විම­ර්ශ­න­යක යෙදිලා තමයි අපි එය සිදු කළේ. මේ අයගේ වැඩ­වල ඇති ක්‍රම­වත් බව විද්‍යා­ත්මක බව වගේම වග­කීම් සහ­ගත බව අපි අධ්‍ය­ය­න­යට ලක් කළා. ඒනිසා මේ වතාවේ මේ කට­යුතු මේ අයට භාර දුන්නා. ඒ අයත් මෙයට කැමැ­ත්තෙන් ඉන්නවා. ඒ අනුව මහ සෑයේ කොත් වහන්සේ ගේ ස්වර්ණා­ලේප කිරීම, අබ­ලන් වී ඇති අකුණු සන්නා­ය­කය නැවත ප්‍රකෘ­ති­මත් කිරීම, ඒ වගේම නවීන තාක්ෂ­ණ­යෙන් යුතු විදුලි පද්ධ­ති­යක් ස්ථාපිත කිරීම මේ ප්‍රති­සං­ස්ක­ර­ණ­ව­ලට අතු­ළත් වන ඉක්ම­නින් කළ යුතු කාර්ය හැටි­යට පෙනෙ­නවා.

ඒ වගේම මමත්, නායක හාමු­දු­රු­වන් වහ­න්සේත් රෝගා­තුර වී ඉන්නේ. ඒ නිසා අපට උණ බට ඉණි­මඟේ නැඟලා මේ කොත් වහන්සේ දකි­න්නට උඩට නගින්න බැහැ. ඒ නිසා යම් තර­මක පහ­සු­වෙන් චෛත්‍ය රාජ­යා­ණන් වහන්සේ මුදු­නට ගිහිල්ලා මේ කරන කට­යුතු හරි­යට බලා­ගන්න පුළු­වන් වෙන ආකා­රයේ පහසු ක්‍රම­යක් සලසා දෙන්න කියලා විශ්ව­පා­රමී ආය­ත­නයේ ප්‍රභාත් නානා­ය­ක්කාර මහ­ත්ත­ය­ගෙන් ඉල්ලී­මක් කළා. එනිසා තමයි ඉතා විශාල මුද­ලක් වැය කරලා මේ පලං­චිය බැන්ඳේ.

පුරා­විද්‍යා අධ්‍යක්ෂ ජන­රා­ල්ගෙන් අව­ස­රය ඉල්ලා හිටියා මහ­සෑ­යට කිසිදු ආකා­ර­යක හානි­යක් නොවන ආකා­ර­යෙන් ඉදි කරන්න අව­සර දෙන්න කියලා. එතැන දී පුරා­විද්‍යා අධ්‍ය­ක්ෂ­තු­මාත් මෙරට සිටි ජ්‍යේෂඨ ඉංජි­නේ­රු­ව­ර­යකු වන ගැමුණු සිල්වා මහ­තාගේ උප­දෙස් මත එයට අව­සර දුන්නා.

නමුත් මහ සෑයේ කොත් වහ­න්සේගේ ස්වර්ණා­ලේප සඳහා සහ එහි ප්‍රති­සං­ස­ක­රණ කට­යුතු සඳහා පුරා­විද්‍යා අධ්‍යක්ෂ ජන­රාල්ගේ අව­ස­රය ඉල්ලුවේ නැහැ. මොකද එයට අව­සර අවශ්‍ය වන්නේ නැහැ.

පලං­චි­යට පම­ණයි අපි එතු­මාගේ අව­සර ඉල්ලුවේ. අනෙක එදා මේ කොත් වහන්සේ මහ සෑයේ සවි කර­න්නට පෙර ප්‍රභාත් නානා­ය­ක්කාර මහ­තාගේ මහ­ගෙර නිවෙසේ සාලයේ තැන්පත් කරලා මහ­ජ­න­තා­වට වන්දනා මාන කරන්න සල­ස්සපු එකක්. එනිසා මම විශ්වාස කර­නවා මේ ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු සඳහා ඉතාම සුදුසු පුද්ග­ලයා අපේ නායක ස්වාමීන් වහන්සේ තෝරා­ගෙන තිබෙ­නවා.

 

පුරා­විද්‍යා අධ්‍යක්ෂ

ජන­රාල් පී. මණ්ඩා­වල

රුව­න්මැලි මහා සෑයේ පලං­චිය ඉදි කරන්න නායක ස්වාමීන් වහන්සේ මගෙන් අව­සර ඉල්ලූ විට මමත් අපේ අති­රේක අධ්‍යක්ෂ ජන­රා­ල්තු­මාත් ඒ ගැන බැලුවා. බැලු බැල්මට පෙනුණේ මේ පලං­චිය අති­වි­ශාල එකක් බවයි. අපිට පෙනී ගියා පලං­චියේ දිග පළල වැඩියි කියා. අපි ආචාර්ය ගැමුණු සිල්වා මහ­ත්ත­යට ඒ ගැන පැවැ­සුවා. මේ රටේ දැවැ­න්තම පුර­විද්‍යා සංර­ක්ෂණ කට­යුතු පසු­පස සිටිය අත්දැ­කීම් බහුල විශි­ෂ්ටම ඉංජි­නේ­රු­ව­රයා ඔහුයි. පසුව එතුමා එම ස්ථාන­යට කැඳ­වා­ගෙන ගිහින් නිරී­ක්ෂ­ණය කරලා එතු­මාගේ උප­දේ­ශ­ක­ත්වය යටතේ අව­සර ලබා දෙන්නට අප කට­යුතු කළා.

එතුමා අපට ලිඛිත නිර්දේ­ශ­යක් ලබා දුන්නා. පලංචි සෙට්ව­ලින් තමයි එය ඉදි කර තිබෙන්නේ. සුළ­ඟට ඔරොත්තු දෙන ආකා­ර­යට චෛත්‍ය­යට හානි­යක් නොවන්න, එහි ගර්භ­යට හානි­යක් නොවන්න චෛත්‍යට අතක් දිගු කරන්න තරම් දුර­කින් ඉඩක් තබා තමයි පලං­චිය ඉදි කර තිබෙන්නේ. ඒ අනුව ගැමුණු මහ­ත්තයා කොත් වහන්සේ ළඟ­ටම ගිහිල්ල බලලා අපිට පිටු තුනක වාර්තා­වක් සහිත නිර්දේ­ශ­යක් ලිඛි­තව ලබා දී තිබෙ­නවා මේ පලංචි ඉදි­කි­රී­මෙන් කිසිම ආකා­ර­යක හානි­යක් චෛත්‍ය­යට සිදු නොව බවට.

ඒ වගේම ඉදි­රි­යේදී මේ කට­යුතු සඳහා පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ සහ රාජ්‍ය ඉංජි­නේරු සංස්ථාවේ ඉංජි­නේ­රු­ව­රුන්ගේ සහාය සහ අද­හස් ලබා­ගැ­නී­මට නිය­මි­තය.

අව­සා­නයේ අප මේ පිළි­බ­ඳව විම­සන්නේ මෙරට දැවැන්ත පුරා­විද්‍යා සංර­ක්ෂණ කට­යුතු සිය­ල්ල­කම පාහේ පිටු­පස සිටින ප්‍රාඥයා වන ජ්‍යෙෂ්ඨ ඉංජි­නේරු ආචාර්ය ගැමුණු සිල්වා­ගෙනි.

 

ආචාර්ය ගැමුණු සිල්වා

‘‘ඇත්ත­ටම කොත් වහන්සේ දුටු විට මට බය හිතුණා. කොත අඩි 26ක් උසයි. උඩට ගියාම කොතේ කෑලි අතර යම් ඈත්වී­මක් මට දකි­න්නට පුළු­වන් වුණා. එය නෙමෙයි එතැන තිබුණු භයා­න­කම වැඩේ. චූඩා­මා­ණි­ක්‍යයේ වටේට එහි ආර­ක්ෂා­වට යොදා ඇති අකුණු සන්නා­ය­කය වැඩ කරන්නේ නැහැ. එහි අර්ත් එක කැඩිලා. ඒක නැතිව චූඩා­මා­ණි­ක්‍ය­යට අකුණු සැර වදි­න්නට පුළු­න්කම තිබුණා. දැනට මෙතැන වැඩ කරන්න අවශ්‍ය නිසා තාව­කා­ලික අකුණු සන්නා­යක හයක් ඒ වටා සවි කර­න්නට අපි කට­යුතු කළා. එක පාරක් මම ජේත­ව­නා­රා­මයේ වැඩ කරන කාලේ අකු­ණක් ගහලා මිනි­සුන්ට වැදුණා.

අනෙක තමයි ලයිට් එක යොදා තිබෙ­න්නෙත් චූඩා­මා­ණි­ක්‍යට බොහොම කිට්ටු­වෙන්. එය වොට් දාහක එකක්. එවැනි ධාරි­තා­ව­කින් යුතු ලයිට් එකක් ගැහු­ව­හම චූඩා මාණි­ක්‍යය රත් වෙනවා. ඒ සිය­ල්ලම ගලවා මෙයට උචිත පරිදි ලයිට් හා අකුණු සන්නා­යක යොදන්න මම උප­දෙස් දුන්නා.

ඒක සවි කරන තුරු පලංචි ගල­වන්න බැහැ. ඒ වගේම මේ චූඩා­මා­ණි­ක්‍යය සවි කරන ලද කොතේ මට පෙනෙන පරිදි රන්පැ­හැති ආලේප තමයි ගල්වා තිබෙන්නේ. මේ ප්‍රති­සං­ස්ක­රණ අනුව පිට­රට මිනිස්සු තමයි මෙහි රන් වැඩ­ක­ට­යුතු සඳහා පැමි­ණෙන්නේ. මම හිතන්නේ ඒ වැඩ කට­යුතු ඉවර වෙන්න මාස­යක් පමණ යයි. මේ සඳහා කොප­මණ විය­ද­මක් යන­වාද? අපි විම­සීමු.

අප ශ්‍රී මහා බෝධියේ දෙවන රන් වැටට රත්ත­රන් ආලේප කළා. දැනට අවු­රුදු විසි­තිස් ගණ­න­කට පෙර ඒ කාලේ මිලි­යන 63ක් පමණ වැය වුණා. මෙයත් කෝටි ගණ­නක් යන වැඩක්. එයින් පසුව තව පර­ම්පරා ගණ­න­කට කොතේ පිළි­ස­කර කිරීම් කරන්න අවශ්‍ය වන්නේ නැහැ.

ඒ වගේ­ම­චූඩා මාණි­ක්‍යයේ යම් පැළී­මක් ඇති වී තිබෙන බව මට නිරී­ක්ෂ­ණය වුණා. එය ස්වාභා­වි­කව ඇති වූ වක් විය හැකියි. මට මත­කයි අපි මේ වගේ පල­න්දපු කොත්මලේ චෛත්‍යයේ චූඩා මාණි­ක්‍ය­යත් යම් ස්වභා­වික හේතු­වක් නිසා වෙන්න පැළී­ම­කට ලක් වුණා. ඉන් පස්සේ අපි නැවත බුරු­ම­යෙන් වඩ­ම්මලා එහි කොත් වහ­න්සේට පැළැ­න්දුවා. ‘‘ ඔහු පව­සයි.

 

විශ්ව­පා­රමී පද­නම යනු කුමක්ද?

ඊට උත්තර දෙන්නේ එම පද­නමේ කට­යුතු කරන නීතීඥ පූජිත ඉප­ල­හේ­වාය.

මෙය සිය­යට සීයක්ම ශ්‍රී ලංකික සමා­ග­මක්. එය බු.ව 2445 වසරේ දී රුව­න්මැලි මහා සෑ රදුන් යළි ගොඩ­නැ­ඟීමේ භාර­දූර කාර්යේ දී ප්‍රධාන මුල්‍ය­මය දාය­ක­ත්වය දර­මින් තම ධනය නොම­සු­රුව පූජා කළ මහා­ධා­න­ප­තියා ලෙසට ඉති­හා­ස­ග­තව ඇති රන්සි­රි­නෙල් කුමා­ර­සිංහ වෙද මහ­තාගේ අඩි­පාරේ ගමන් කර­මින් එම පර­පුරේ පස් වන පර­ම්ප­රාවේ ප්‍රභාත් නානා­ය­ක්කාර මහතා විසින් නිර්මා­ණය කළ පද­න­මක්. ඔහු ඇතුළු එම පවුලේ සෙසු සාමා­ජි­ක­යන්ගේ යාව­ජීව සාමා­ජි­ක­ත්වය යටතේ විශ්ව­පා­රමී පද­නම ලියා­ප­දිං­චියේ සිට මේ දක්වා ක්‍රියා­ත්මක වනවා. ප්‍රභාත් නානා­ය­ක්කාර පවුලේ පුද්ග­ලික ධන ආයෝ­ජ­න­යෙන් ගොඩ­න­ඟා­ගත් අර­මු­ද­ල­කින් විශ්ව­පා­ර­මිය නඩත්තු වන්නේ.

2008 වසරේ ලාභ නොල­බන සමා­ග­මක් වශ­යෙන් ලියා­ප­දිංචි කරලා තියෙන්නේ. මෙය සමා­ග­මක ඉන්න අධ්‍ය­ක්ෂ­ක­වරු යටතේ වගේ පාල­නය වෙන්නේ නැහැ. එහි මුල්‍ය කට­යුතු පිළි­බඳ සියල්ල භාරව සිටින්නේ ප්‍රභාත් නානා­ය­ක්කාර මහ­තායි. එයට මහ­ජ­න­තා­ව­ගෙන් හෝ වෙනත් කිසිම ආය­ත­න­ය­කින් වෙනත් කිසිදු මුද­ලක් එකතු කරන්නේ හෝ ලැබෙන්නේ නැහැ. පිට­ර­ට­කි­න්වත් කිසිදු මුද­ලක් ලැබෙන්නේ නැහැ. මේ පුණ්‍ය කට­යුතු සඳහා විය­දම් කරන සියලු මුදල් නානා­ය­ක්කාර මහ­තාගේ පවුලේ ව්‍යාපා­ර­ව­ලින් ලැබෙන මුදල්. එමෙන්ම මේ සංවි­ධා­න­යට කිසිදු නාය­ක­යෙක් නැහැ.

බුද්ධ­ග­යාවේ , දළදා මාලි­ගාවේ රන් දොරටු, ශ්‍රී මහා බෝධින් වහ­න්සේගේ රන් වැට, ඉදි කිරීම් ඒ අත­රින් කීප­යක්. මේ කිසිම තැනක අපේ කාගේ­වත් පෞද්ග­ලික නම් ගම් නැහැ. විශ්ව­පා­රමී සංවි­ධා­නයේ නම පම­ණයි යොදන්නේ. එයට හේතුව තමයි සාමා­ජි­ක­යන් හැටි­යට අපි දිවු­රු­මක් දෙනවා අපි පුණ්‍ය කට­යු­ත්තක යෙදෙ­නවා නම් කව­දා­වත් නම ප්‍රචා­රය කරන්න පෙල­ඹෙන්නෙ නැහැ කියලා. ඒක නිසා තමයි මෙතැ­නදී ජන­තා­ව­ටත් මාධ්‍ය­ය­ටත් මේක කවුද කරන්නේ, කවුද මේක පිටු­පස ඉන්නේ කියන සැකය ඇති වුණේ. අද වන තුරුත් මේ නම් එළි­යට නොඑන්න ඉඩ තිබුණා එවැනි තත්ව­යක් රටේ ඇති නොවී තිබුණා නම්.

 

අකුණු සන්නා­ය­කය හොරා ගත්තා ද?

රුව­න්මැලි සෑයේ අකුණු සන්නා­ය­කය සොරා­ගෙන යද්දී පොලිස් අත්අ­ඩං­ගු­වට ගෙන ඇති බවට පැතිර යන කතා­වට පිළි­තුරු දෙන්නේ උතු­රු­මැද පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති ප්‍රතාප් සඳු­න්ග­හ­ව­ත්තය.

“පැමි­ණි­ලක් ලැබී තිබුණා... අපි ඒ ගැන පරී­ක්ෂණ පව­ත්වන විට බීමත් පුද්ග­ල­යෙකු අකුණු සන්නා­ය­ක­යක් සමඟ අත්අ­ඩං­ගු­වට ගත්තා. එත් එය රුව­න්මැලි මහා සෑයේ නොවන බව පරී­ක්ෂණ වලින් ඔප්පු වුණා. එම අකුණු සන්නා­ය­කය මෑත­කදී ප්‍රදා­න­යක් ලෙස ජේත­ව­නා­රා­ම­යට ලැබුණු එකක්. එය එම චෛත්‍යයේ ඉහළ නොව බිම සවි කර තිබුණු එකක්.



More News »