එල්ලුම් ගහේ අමාරුම රාජකාරිය ගැන විශ්‍රාමික බන්ධනාගාර අධිකාරි කියන කතාව

2019-07-06 12:05:00       660
feature-top
කාලෙන් කාලෙට මතුවෙමින් යටයමින් තිබෙන නිමාවක් නැති කතාවක තවත් නොඇසු කතාවකි මේ. අපොයි අපි නම් ඕවා අහලා තියෙනවා, කෙනෙකු එසේ කියන්නට ද බැරි නැත. නමුදු ඇසූ කතාවක කොතැනක හෝ නොඇසු කතාවක් ද තිබෙන්නට පුළුවන. වයස් බේදයක් නැත, උස් පහත් බේදයක් නැත. මේ දවස්වල කාගෙත් මාතෘකාව එල්ලුම් ගහ ය, මරණ දඩුවම ය.

අවසාන වරට වැලිකඩ බන්ධනාගාරයේ එල්ලා මරා දමනු ලැබුවේ තිස්සමහාරාමයේ එච්. ජී. චන්ද්‍රදාස නොහොත් හොඳ පපුවා ය. හොඳ පපුවා එල්ලා මරණ දිනවල වැලිකඩ බන්ධනාගාරයේ නියාමකවරයෙක් ලෙස සේවය කළ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරි ලාල් වික්‍රසිංහ මහතා හමු වී අතීත කතා විමසුවෙමු.

එක්දහස් නවසිය හැත්තෑ එකේ දී ලාල් වික්‍රමසිංහයන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට බැඳෙන්නේ අනියම් නියාමකයකු ලෙස ය. 1978 සැරයන් තත්ත්වයට පත්වන ඔහු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ළාබාල ම සැරයන්වරයා වන්නේ ය. මෙහිදි ඔහුට එම තනතුර සඳහා සුදුසුකම් වන්නේ ඔහුගේ ක්‍රීඩා කුසලතා මෙන්ම වෘත්ති දක්ෂතාවන් පෙන්වීම ය. එක් අවස්ථාවක් වන්නේ අලුත්කඩේ හිරගෙදර අඩි විස්සක් උස තාප්පයෙන් පැන්න දරුණු ගණයේ අපරාධකරුවකු ව එ් තාප්පයෙන් ම පැන පොරබදා ඇල්ලීම ය. තවත් වරෙක කැලණි පෙරහැර දිනෙක බෝගම්බර සිරගෙදරින් පැන ගයිඩ් කෙනකු ලෙස සිරි සිරකරුවකු ඇල්ලීම ය. ඔහුගේ සේවා කාලය තුළ ඔහුට විවිධ අන්දමේ සිරකරුවන් ඇසුරු කරන්නට ලැබි ඇත. ඔහුගේ පියා වන පී. වික්‍රමසිංහ කලක් වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ලෙසින්ද කටයුතු කර ඇත.

“ඒකාලේ මගේ තාත්තා හිරගෙදර ගැන එල්ලුම් ගහ ගැන කියන කතා මට තාමත් මතකයි. තාත්තාට සිද්ධ වුණාලු දවසක් එල්ලුම් ගහට නියම වෙලා ඉන්න සිරකාරයෙක්ට එයාව එල්ලා මරණ දවස කියලා කියන්න. සාමාන්‍ය ෙයන් මරණ දවස නියම කරලා ආවාට පස්සේ ඒක එදාම සිරකරුට දැනුම් දෙන්න ඕන. ඒක තමයි බන්ධනාගාර නිලධාරියකුට තියෙන අසීරු ම කාර්යය. උදේ අටට සේවයට යන නිලධාරියා දවස ගතකරන්නේ සිරකරුවෝ අතර. තාත්තා එල්ලුම් ගහ තියෙන චැපල් එකේ සේවය කරලා තියෙනවා. සිරකරුවාට ඉන්න එක ම හිතවතා බන්ධනාගාර නිලධාරින්. සිරකරුවා තමන්ගේ සිතේ තියෙන හැම සිතුවිල්ලක් ම කියන්නේ නිලධාරියාට. නොදැනුවත්ව ම මේ දෙගොල්ලෝ අතර මානසික බැඳිමක් ගොඩනැඟෙනවා. දවසක් තාත්තා සේවයේ ඉන්නකොට ඔහුට පණිවුඩයක් ආවලු මට අසනීපයි කියලා. තාත්තා ගෙදර ඇවිල්ලා මට බෙහෙත් අරන් දීලා ආයේ වැඩට ගියේ පහුවදාලු. පහුවදා උදේ වැඩට ගිහිල්ලා වාට්ටුව අරින සද්දෙට සෙල්වල ඉන්න සිරකාරයෝ ඔක්කෝම කම්බිකූරු අතරින් බලමින් අහනවලු සර් දරුවට කොහොමද , බෙහෙත් ගත්ත ද? අහවල් දොස්තරට පෙන්නුවා නම් හරි නේද? ආදි වශයෙන් කියනවලු. ඒ කියන්නේ ඒතරමට ඔවුන් නිලධාරීන් සමඟ බැඳිලා ඉන්නේ. කොහොම වුණත් දවසක් මගෙ තාත්තාට පැවරුණාලු සිරකරුවකුට ඔහුව එල්ලා මරණ දිනය ගැන කියන්න. පණිවුඩය ආවට පස්සේ තාත්තා චැපල් එකේ සිරකරුවෝ ඉන්න සෙල්කාමරය ළඟින් එහෙට යනවලු; මෙහෙට යනවලු. තාත්තට හරි හිතට අමාරුයිලු කියන්න. හවස හතරට කලින් සිරකරුට දිනය දන්නලා පොත්වල ලියන්නත් ඕනලු. වෙලාව හවස තුනහාමාරලු. අන්තිමට තාත්තා සිරකරුට කතා කළාලු. තාත්තා හිරකාරයාට මෙහෙම කිව්වලු

“දැන් රටේ අපරාධත් වැඩියි. දැන් දිනත් එවනවලු.” සිරකාරයා කියනවලු, “ඒක තමයි සර් මුන්ට තේරෙන්නේ නැහැනේ, එළියේ අපරාධ වැඩිවෙනකොට අපේ බොටුව තමයි මිරිකෙන්නේ” කියලා. තාත්තා ආයෙමත් කියනවලු, ලැයිස්තුවකුත් ඇවිල්ලා තියෙන්නේ.

සිරකරු අහනවලු, “සර් මගෙ නමත් තියෙනවද?” කියලා. තාත්තා කිව්වලු, “ගමේ හාමුදුරුවෝ ගමේ මිනිස්සු පෙත්සමක් එවලා තියෙනවා. ඒකට හොඳ ප්‍රතිචාරත් ලැබිලා තියෙනවා.”

හිරකාරයා කියනවලු“දැන් තමයි සර් මගෙ රත්වෙලා තිබුණ පපුවට පිනි පොදක් වැටුණේ” කියලා.

ඉන් පස්සේ තාත්තා බොහෝම අමාරුවෙන් කිව්වලු ඔයාගෙ නමත් අහවල් දවසට තියෙන්නේ කියලා. හිරකාරයා අහනවලු “එතකොට පෙත්සම?” තාත්තා කිව්වලු “ඒක හරියයි” කියලා

හිරකායෙක් එල්ලා මරපු දවසට තාත්තා දවල්ට කාලත් නැහැ. එදාට ගෙදර ආවාමත් ගෙදර අය එක්ක කතා නැහැ. අපේ ගෙදර තිබුණා වෙනම බුදු කුටියක් .තාත්තා පහන් දල්වලා පිරිත් කියලා බුදුන් වඳිනවා. අපේ තාත්තා විතරක් නෙමෙයි කෙනෙක් එල්ලලා මරණ දවසට හිරගෙදර ඇතුළෙ කවුරුවත් වැඩි කතාබහක් නැහැ. හොඳම යාළු නිලධාරි මුහුණට මුහුණ හමු වුණත් හිනාවෙලා සුහඳව කතා කරන්නේ නැහැ. එදාට හිරකාරයෝ කෑම කන්නේ නැහැ. කෑම එහෙම්මම ඉතිරි වෙනවා. කාගේ කාගෙත් හිත්වලට ඒ දඩුවම බලපානවා.”

සිය පියා තමන්ට කියූ දේ මෙන්ම රාජකාරිය කරන සමයේ තමන් ලැබූ අත්දැකීම් ඇසුරෙන් වික්‍රමසිංහ මහතා එල්ලුම් ගහ ක්‍රියාත්මක වූ සමයේ තොරතුරු පවසන්නට විය.

“හොඳ පපුවා එල්ලලා මරණ කාලේ මට හොඳට මතකයි.

කෙනෙක් ගේ මරණ දිනය නියම වුණාට පස්සේ ඒ සිරකරුවාගේ ළඟම ඥාතියාට දිනපතා ඔහු බලන්නට එන්න පුළුවන්. නමුත් දිනේ එන්නට පෙර මාසයකට සැරයක් තමයි ඥාතින්ට එන්නට පුළුවන්. බොහෝ වෙලාවට ඥාතින් නෙමෙයි ඒ කාලේ එන්නේ යාළුවෝ. ගෙදරින් දෙන දෙයකුත් අරගෙන ඇවිල්ලා යාළුවෝ සිරකරු බලලා යනවා. නමුත් දිනේ ආවට පස්සේ අම්මා තාත්තා බිරිය හෝ සහෝදරයෝ තමයි එන්නේ. හුඟක් වෙලාවට එන්නේ අම්මා. ඥාතියෙක් ආවාම සිරකරුව පෙන්නන්නේ චැපල් එකේ තියෙන වෙනම තැනකට ගෙනැල්ලා. පඩි කිහිපයක් නැඟලා තමයි සිරකරු බලන්න එන්න ඕන. එතැන එහා මෙහා හරියට පේන්නේ නැහැ, මැදින් දැලක් ගහලා තියෙන්නේ. අම්මා පුතා බලන්න ආවාම අහනවා කෝ මගෙ පුතා කියලා. සිරකරු කියනවා මේ ඉන්නේ කියලා. අම්මා ආවාම අඬනවා; කියවනවා; හොඳ නරක ඇහුවේ නෑ කියලා බණිනවා. ඒක නේන්නම් අම්මේ කියලා පුතත් අඩනවා. තාත්තා ආවොත් කතා කරන්නෙම නැති තරම්. ඇස්වල කඳුළු පුරවගෙන එනවා යනවා දැකලා තියෙනවා.”

වික්‍රමසිංහ මහතා තම අත්දැකීම් පවසන විට අප සිතට ද දැනෙන්නේ කණගාටුවකි.

“එක එක්කෙනා එල්ලුම් ගහ ගැන කියද්දි එක එක කතා කියනවා. සමහර තොරතුරු අැත්ත නෙමෙයි.

චැපල් එකේ සෙල් කාමර විසි නවයක් තියෙනවා. මට මතක තියෙන කාලේ මරණ දඩුවම නියම වූ සිරකරුවෝ 15 විතර හිටියා. එක සෙල් එකක රඳවා සිටින්නේ එක්කෙනයි. මරණ දඩුවම නියම වන පිළිවෙලට තමයි ඔවුන් ඒ සෙල් වල ඉන්නේ. ඒ වගේම එල්ලුම් ගහේ කොකු තුනක් තියෙන්නේ මේ හේතුව නිසයි. හිරකරු තරබාරු නම්, එහෙමත් නැත්නම් අලුගෝසුවාට වඩා හුරු අත හසුරුවා ගැනීමේ ආදි හේතු නිසයි කොකු තුනක් තියෙන්නේ. දිනේ ආවට පස්සේ සිරකරුගේ ඉල්ලීම මත වෛද්‍යවරයා අනුමත කළොත් සිරකරු ඉල්ලන කෑම වේලක් දෙන්න අවස්ථාව තියෙනවා. සිරකරු ඉල්ලුවොත් මත්පැන් ප්‍රමාණයක් දෙන්නත් පුළුවන්කම තියෙනවා. කොහොම වුණත් ඔහු කැමති නම් කලින් දවසේ තමන් කැමති ආගමික නායකයකු ගෙන්නා ගන්නට පුළුවන්. නැත්නම් බොහෝ වෙලාවට හාමුදුරුවෝ වඩින්නේ සිරකරු එල්ලා මරණ දවසේ. දඩුවම ක්‍රියාත්මක කරන දවසේ උදෑසනින් සිරකරු සුදානම් කරනවා. ඒ අදාළ ඇඳුම අන්දවනවා. එල්ලුම් ගහ ගාවට ගියාට පස්සේ තමයි ඇස් දෙක වහන්නේ. ඊට පෙර දවසේ වෛද්‍යවරයා, අලුගෝසුවා හා අදාළ නිලධාරීන් එල්ලුම් ගහේ ක්‍රියාකාරීත්වය බලනවා. පුද්ගලයාගේ බරට වැලි කොට්ටයක් දමා උපරිම ගැස්ම අනුව නාභිගත ස්ථානය බලනවා. ඒ අනුව තමයි තොණ්ඩුවේ දිග ප්‍රමාණය තීරණය කරන්නේ. එල්ලුම් ගහට යන්නට සුදානම් කළාට පස්සේ සිරකරුට අවසන් වරට තම මුහුණ කණ්නාඩියකින් බලන්න දෙනවා. බොහෝ වෙලාවට සිරකරු කණ්නාඩියෙන් පෙනෙන තම මුහුණට බැණ වදිනවා; කණ්නාඩියට කෙළ ගහනවා. සිරකරු එල්ලා මරණ දවසට උදේ සිරගෙදර බොහෝම නිශ්ශබ්දයි. ඉස්සරහා තියෙන මහ දොරත් එතනින් එහා තියෙන දොරවලුත් ඇරලා තියෙන්නේ. උදේ අටයි පහ වනතුරු බලාගෙන ඉන්නවා ඉහළින් පණිවුඩයක් ඒවි ද කියලා සිරකරුගේ මරණ දඩුවම නතර කරන්න කියලා. ඒ පණිවුඩකරු එන්නේ මෝටර් සයිකලයකින්. ප්‍රමාද නොවී ඇතුළට ඒමටත්, අතීතයේ මේ පණිවුඩකරු පැමිණිමට බාධා නොවෙන්නත් තමයි දොරවල් ඇරලා තියෙන්නේ. මට මතකයි එච්. ජී චන්ද්‍රදාස නොහොත් හොඳ පපුවා මරණ දවස. මට ඔහු හා කතා කරන්න ලැබිලා තියෙනවා. ඔහු අන්තිම මොහොත දක්වා ම විශ්වාස කළා ඔහුට නිදහස ලැබේවි කියලා. ඔහු කිව්වේ දෙවියන්ගේ පිහිට ඔහුට තියෙනවා කියලා. හොඳ පපුවා අඩි පහයි පහක් විතර උසයි. ඔහුගේ පපුවේ හොඳ පපුවා කියලා කොටලා තිබුණා. මිනිස්සු මොන චණ්ඩිකම් කෙරුවත් අවසානයට ඔහුගේ පිහිටට කවුරුවත් නැහැ”

විශ්‍රාමික බන්ධනාගාර අධිකාරී වික්‍රමසිංහ මහතා පවසන්නේ සුසුමක් ද හෙළමිනි.

More News »