කාත්තන්කුඩිය අරාබියක් වූ හැටි

2019-05-28 10:20:00       699
feature-top
ඔස්ට්‍රේලියාවේ මර්ඩොක් සරසවියේ ව්‍යාපාර හා පරිපාලන අංශයේ ආචාර්ය ශ්‍රී ලාංකික මුස්ලිම් විද්වතකු වන අමීර් අලි විසින් ලියන ලද ඉංග්‍රීසි ලිපියක පරිවර්තනයකි.

පෙරදිගින් ඉන්දියන් සාගරයද, අපරදිගින් කලපුවද, දකුණෙන් සහ උතුරෙන් පිළිවෙළින් අරයම්පති සහ මන්චන්තොඩුවායි දෙමළ ගම්මානවලින් ද වට වූ මඩකලපු දිස්ත්‍රික්කයේ පිහිටි කාත්තන්කුඩි සියයට සියයක්ම මුස්ලිම් ජනගහනයක් සහිත නගරයකි.

වර්ග කිලෝමීටර් 6ක සීමිත බිම් ප්‍රදේශයකට හිමිකම් කියන කාත්තන්කුඩියේ ජනගහනය 50,000කට ආසන්න වේ. ඉතාම ජනාකීර්ණ ප්‍රදේශයක් වන මෙහි සීමිත ඉඩ ප්‍රමාණය 60කට අධික පල්ලි, දුසිම් අඩකට වැඩි පාසල්, රෝහල, ප්‍රධාන පාර සහ අතුරු පාරවල් වැනි පොදු ස්ථානවලට වෙන් කළ පසු එහි වාසය සඳහා සුදුසු භූමිය ඉතුරු වන්නේ ඉතාම සීමිත ප්‍රමාණයක් වේ.

ඒ නිසා වාසස්ථාන ඉදි කිරීමේදී තිරස් අතට ව්‍යාප්ත වනවාට වඩා අහස දෙසට විකල්ප තෝරාගැනීමට මෙහි වැසියන්ට කාලය පැමිණ ඇත. මේ තත්ත්වය වඩාත් උග්‍ර වන්නේ දියණියන් සිටින පියවරුන්ටය. මක්නිසාද යත් දියණියක් විවාහ කරදෙන විට වාසයට සුදුසු නිවසක් තෑගි දීමේ පුරුද්දක් මෙහි වැසියන් අතර පවතින බැවිනි.

කාත්තන්කුඩි වැසියන්ගේ ජීවන පරමාදර්ශ දෙකක් තිබේ. ඔවුහු ව්‍යාපාරික කටයුතුවල නිරත වෙති. එසේම ඉස්ලාම් ආගමික කටයුතුවලට ද කැප වෙති. කාත්තන්කුඩි වැසියන්ගේ බහුතරය මෑතක් වන තුරුම ගොවියන්, තොරොම්බල්කාරයන්, සුළු වෙළෙන්දන්, සිල්ලර වෙළෙන්දන් ලෙස ජීවිකාව කරගෙන ගිය අතර මේ අයට අයත් කඩ සාප්පු රට වටා විවිධ ප්‍රදේශවල පැවැතිණි.

කාත්තන්කුඩියෙන් පැමිණි කපුටකු හෝ මිනිසකු නැති ස්ථානයක් මේ රටේ නැතියි ප්‍රකට කියමනක් පවතින්නේ මේ මිනිසුන්ගේ ව්‍යාපාරික ශූරභාව මතු කර පෙන්වීමටයි. ව්‍යාපාරික කටයුතුවලට ඇදී යෑම නිසා පිරිමි ළමයි පස්වැන්න හෝ හයවැන්න පසු කරන විටම පාසලට සමු දෙති. ගැහැනු ළමයි පස්වැන්න පසු කරන්නේ ඉතාම කලාතුරකිනි.

ආණ්ඩුව මේ රටේ මුලින්ම මධ්‍ය මහා විද්‍යාල ආරම්භ කළ 1930 දී කාත්තන්කුඩියේ ද මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයක් ආරම්භ කළ ද මේ නගරයෙන් මුලින්ම ලංකා විශ්වවිද්‍යාලයට ශිෂ්‍යයකු ඇතුළත් වූයේ 1960 තරම් පසු කාලයේය. ඒ ශිෂ්‍යයා ද විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබන විට අධ්‍යාපනය ලැබුවේ කොළඹ සහිරා විද්‍යාලයේය.

බහුතර සිංහල ව්‍යාපාරික පන්තියේ සහ සුළුතර දෙමළ ව්‍යාපාරික පන්තියේ ආක්‍රමණශීලී නැඟීම නිසා වර්තමානයේ ව්‍යාපාරවල තත්ත්වය වෙනස් වෙමින් පවතියි. ව්‍යාපාරික ප්‍රජාවක් ලෙස ඉතිහාසයේ නමක් දිනා සිටි මුස්ලිම්වරුන්ට තම ආර්ථික පැවැත්ම සඳහා වෙනත් ජීවන මාර්ගවලට පරිවර්තනය වීමට සිදු වී ඇත.

විශේෂයෙන්ම එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සහ අනෙක් දෙමළ කණ්ඩායම් මුස්ලිම් ව්‍යාපාරිකයන්ට හිංසා කිරීමට පටන් ගැනීමත් ඔවුන්ගේ ගොවිබිම්වලට කඩාවැදීමත් නිසා ඔවුන්ට එකම විකල්පය ලෙස ඉතුරු වූයේ අධ්‍යාපනයයි. 1970 දශකයේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට එක් වූ වෙනස්කම් රැසක් සමඟ උසස් අධ්‍යාපනයට සැමට සමාන ඉඩ ප්‍රස්ථා හිමි වීම නිසා සහ තමන්ගේ ප්‍රජාවට සේවය සැලසීමට කැප වූ මුස්ලිම් අධ්‍යාපන ඇමතිවරයකුගේ මඟ පෙන්වීම නිසා කාත්තන්කුඩි මවුපියෝ ද තම දරුවන්ගේ අධ්‍යාපනය ගැන උනන්දුවක් දැක්වීමට පුරුදු වූහ. එහි ප්‍රතිඵලය වූයේ කාත්තන්කුඩියෙන් පිරිමි සහ ගැහැනු පාර්ශ්ව දෙකෙන්ම වෛද්‍යවරුන්, නීතිඥවරුන්, දන්ත වෛද්‍යවරුන් සහ ගුරුවරුන් වැනි විද්වතුන් බිහි වීමයි.

රටපුරා සිංහල සහ දෙමළ ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන පවත්වාගෙන ගිය කාත්තන්කුඩි වැසියෝ තරගකාරීත්වය නිසා ඒවා වසා දමමින් කාත්තන්කුඩි ප්‍රදේශයටම ඒවා රැගෙන ආහ. මේ නිසා කාත්තන්කුඩි කෙළින් වීදිය මේ වන විට රටේ විශාලතම සහ කාර්ය බහුලම ව්‍යාපාරික මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය වී තිබේ.

කාත්තන්කුඩි යනු භක්තිය සහ ලාභය පදනම් කරගත් සෞභාග්‍යයෙන් ආඪ්‍ය වූ මුස්ලිම් පුරවරයකි. 2009 වසරේදී මුස්ලිම් සුළුතරය සඳහා වන ජර්නලයේ 29 වැනි වෙලුමේ අංක 2 කලාපයේ 2009 ජූනි කලාපයට මා ලියූ “ශ්‍රී ලංකාවේ නැඟෙනහිර පිහිටි කාත්තන්කුඩි - මුල්ලාවරුන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ නාගරික සංකීර්ණය ඉස්ලාම් කල්ලිවාදීන් සහ වාර්ගික - ජාතිවාදය අතර ගැටුමක් ” යන ලිපියෙන් පහත උපුටා දැක්වීම සිදු කරමි. මෙහි දැක්වෙන කොටසේ සුළු වෙනස්කම් සිදු කර ඇත.

“කෙසේ වෙතත් 1970න් පසු කාලයේදී මේ ප්‍රදේශයේ ආගමික ස්වරූපයට නවතම බලපෑමක් ඇති විය. එය සිදු වූයේ මැදපෙරදිගට විශේෂයෙන්ම සෞදි අරාබියට ගොස් පැමිණි මුස්ලිම් කම්කරුවන් ගෙනි. සෞදි සිට පැමිණි අය වහාබි සිතුවිලි සහ ඇදහිලි රැගෙන ආහ. ඔවුහු සුෆිවාදය, එහි සියලුම පුද පූජා සහ ඊට බැඳුණු සියලුම ආචාර සමාචාර ප්‍රතික්ෂේප කළහ. සුෆිවාදය නවීන ආටෝප සාටෝපවලින් පිරීගිය බැවින් පිරිසුදු ඉස්ලාමය වෙත කිඳා බැස එහි ශුද්ධත්වය සමඟ බද්ධ විය යුතු බව ඔවුන්ගේ විශ්වාසය විය.

කාත්තන්කුඩියේ පවා සම්ප්‍රදායික සාරිය සහ සරම වෙනුවට මැද පෙරදිග හිජාබය සහ ත්‍රෝබය යන ඇඳුම් කාන්තාවන් සහ පිරිමින් අතර වේගයෙන් ප්‍රචලිත වන්නට විය. අත්දැකම් රහිත නව ඉමාම්වරු සංගීතය, සිනමාව සහ අනිකුත් ආකාරයේ කලා රසවින්දනයන් සහ සමාජ විනෝදාස්වාදන හෙළාදකිමින් කතා කරන්නට පටන්ගත්හ. ඔවුන් දෙමළ කතා කරන අතරතුර අරාබි යෙදුම් බහුලව භාවිත කිරීමට පටන් ගැනීම මඟින් දේශීය මුස්ලිම් සංස්කෘතිය අරාබිකරණය වන බව පෙන්නුම් කරන්නට විය”.

“ප්‍රමුඛ මවුලවිවරයකුගේ පුතකු වූ කාත්තන්කුඩි වැසි මවුලවි අබ්දුල් රාවුෆ් සහ මරදමුණේ සමස්ත ලංකා තරිකතුල් මුෆිහිදීන් සංවිධානයේ සභාපති එම්. එස්. අබ්දුල් පේල්වන් සුෆිවාදයේ ආගමික නීත්‍යනුකූලභාව සහ එහි චාරිත්‍ර රැසක් ගැන විශ්වාස තැබූහ.

කාත්තන්කුඩියේ ආගමික ප්‍රතිවිරෝධතා සම්බන්ධව රාවුෆ්ට දීර්ඝ ඉතිහාසයක් තිබිණි. එහෙත් පේල්වින්ගේ බලපෑම ආවේ බොහෝ ප්‍රමාද වී එනම් 1990 තරම් පසු කාලයේ දී ය. රාවුෆ් සහ පේල්වින් කරළියට එන්නට බොහෝ කලකට පෙර සිටම ජනතාව අතර සූෆි අදහස් ක්‍රියාත්මකව පැවැතිණි. එකල ප්‍රධාන ධාරාවේ උලමාවරු සහ සූෆි අනුගාමිකයන් අතර වරින් වර සුළු මත ගැටුම් ඇති වුවද ප්‍රසිද්ධියේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වූයේ නැත. 2006 වසරේ පේල්වන්ගේ මරණයත් සමඟ නිවාස සහ දේපළ විනාශ කරමින් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු විය. මේ ආකාරයෙන් වහාබ්වාදී ඉස්ලාම්වාදය කාත්තන්කුඩි ප්‍රදේශයේ ඉස්මතු වන්නට පටන් ගැනීමත් සමඟ ආගමික කල්ලිවාදයක් ද දේශපාලනයට එකතු වන්නට විය. කාත්තන්කුඩියේ සාමය ඇනහිටිමින් සාම්ප්‍රදායික ආගමික පදනමක සිට ආගමික අන්තවාදය වෙත පරිවර්තනය වනු දැකගත හැකි විය”.

එදා මේ ලිපිය පළ වූ දින සිට අද වන තෙක් කාලය ඇතුළත කාත්තන්කුඩියේ කෙළින් වීදියේ රටඉඳි ගස් සිටුවා, ගෙවල් දොරවල් කඩ සාප්පුවල අරාබි බසින් ලියූ සංකේතවලින් හැඩගන්වා, මුළු ප්‍රදේශයම පුංචි අරාබියක සිරියට පරිවර්තනය වී තිබේ. මෙහි වැසියෝ යේමනයේ කහටාන් ප්‍රදේශයේ සිට පැමිණි අය බව කියමින් එහි නම කහටාන්කුඩි ලෙස වෙනස් කළ යුතුයැයි මතයක් ද ඉදිරියට ගෙන ඒමට පිරිසක් උත්සාහ කළත් එය ව්‍යර්ථ විය. සෞදියේ ධනවත් තෙල් ව්‍යාපාරික පවුලක් වන කහ්ටාන්ලාගේ ඩොලර් ආකර්ෂණය කරගැනීම සඳහා මේ උත්සාහය දරා ඇති බව පසුව අනාවරණය විය.

මිනිසුන්ගේ සිත්සතන්වලට වහාබිවාදය ඇතුළු වීමටත් මනස අරාබිකරණය වීමටත් පෙර සිටම කාත්තන්කුඩි වැසියෝ ආගමික වශයෙන් සාම්ප්‍රදායික මතවාදයක් දැරූහ. කෙසේ වෙතත් ඒඇදහිලි සහ අභිචාර විධිවලට හින්දු ආගමික සම්ප්‍රදාය ද මුසු වී ඒවා මේ නගරයේ මිනිසුන් සමාජීය වශයෙන් එකමුතු කර තැබීමට විශාල මෙහෙවරක් ඉටු කරනු ලැබිණි.

උදාහරණයක් වශයෙන් ඉස්ලාමික දින දසුනේ තුන්වන මාසයේ දී මෙහි පල්ලි මහම්මද්තුමාගේ උපන් දිනය රාත්‍රී 12ක් තිස්සේ උත්සවාකාරයෙන් සමරනු ලබයි. මෙහිදී සන්ධ්‍යා යාච්ඤාවෙන් අනතුරුව පැමිණ සිටින සියලුම දෙනාට නොමිලේ ආහාර බෙදාදෙනු ලබයි. බොහෝ විට ඒ ආහාරවලට ගිතෙලින් පිසූ බත් නැති වන්නේ නැත. මෙහිදී බාල, තරුණ, මහලු සියලු දෙනාම එක් වී සතුට බෙදාගනිමින් කාලය ගත කරති.

මේ ආකාරයෙන්ම ඉස්ලාමික දින දසුනේ අට වැනි මාසයේදී මුස්ලිම් පල්ලි දෙකක උලමාවරු විසින් බුකාරි හදිත් එකතුව කියවනු ලබන කාල සීමාව උදා වේ. ඒ කටයුතු අවසන් වන්නේ ද නොමිලේ ආහාර බෙදාදීමෙනි.

රාමසාන් අවසානයේ පැවැත්වෙන ඉද් උත්සවය කාත්තන්කුඩි කෙළින් වීදිය උත්සව සිරියෙන් පිරී යන සමයකි. එදාට ආහාර කුටි, විනෝදාස්වාදන ක්‍රීඩා කුටි, සංගීතය සහ විනෝදාස්වාදන කටයුතුවලින් ප්‍රදේශය පිරී යයි.

1980 දශකයෙන් පසුව වහාබ්වාදය පැතිර යෑමට පටන් ගැනීමත් සමඟ මේ සියල්ල අතුරුදහන් වී ගිය අතර පොදු මහජන හමුවීම් සහ සමාජශීලී අවස්ථා එම සමාජයෙන් නැති වී ගියේය. ශුද්ධ වූ ඉස්ලාම්වාදයේ නාමයෙන් උත්සවවල පැවැති උත්සවකාරී ස්වභාවය අතුරුදහන් ව ගිය අතර ආගමික කටයුතුවල පැවැති සමාජ විද්‍යාත්මක ස්වරූපය නැතිව ගියේය.

1960 ගණන්වලදී කාත්තන්කුඩි ප්‍රදේශය, තබ්ලී ජමාත් (ඔන්‍) මිශනාරි සේවය ගැන රට පුරාම ප්‍රසිද්ධියට පත් වී සිටියේය. ගුරුවරුන්, ශිෂ්‍යයන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් සහ ව්‍යාපාරිකයන් දින තුනකට, සති තුනකට හෝ ඇතැම් විට මාස තුනකට සියලු වැඩ අත්හැර සාමකාමී ලෙස ආගමික කටයුතුවල නිරත වෙති. ඔවුහු කිසිම විටෙකවත් ප්‍රතිවිරුද්ධ මත දැරූ අයව විවේචනය කළේ නැත.

වහාබිවාදය විසින් සලාෆ්, සිසම්වාදය, සුෆිවාදය, පූජනීය ස්ථාන වන්දනාමාන කිරීම සහ අනෙක් සියලුම නවීන එකතු කිරීම් ප්‍රතික්ෂේප කෙරිණි. එය 1990 දශකයේ දී කාත්තන්කුඩි ප්‍රදේශයට ආගමික ප්‍රචණ්ඩත්වය රැගෙන ආවේය. කාත්තන්කුඩියේ තබ්ලී ජමාත් සංවිධානය වහාබ් අන්තවාදීන් අතට පත් විය.

ජාතික තව්හිද් ජමාද් සංවිධානය ආරම්භ වන තුරු කාත්තන්කුඩියේ ආගමික ප්‍රචණ්ඩත්වයක් ඇති වූයේ නැත. එය ශ්‍රී ලංකා තව්හිද් ජමාද් මවු සංවිධානයෙන් 2015 වසරේ දී කැඩී වෙන්ව ගියේය.

2000 වසරත් 2015ත් අතර කාලයේ නවීන තාක්ෂණය අතට පත් වීමත් සමඟ, නව මුස්ලිම් තරුණයන් ගේ සිතුවිලි වේගවත් පරිවර්තනයකට ලක් විය. ලැප්ටොප්, ස්මාර්ට් ෆෝන්, අන්තර්ජාලය ඔස්සේ ලෝකයේ ඕනෑම තැනකින් අසීමිත තොරතුරු සජීවීව දැන ගැනීමට ඔවුන්ට හැකි විය. ඉරාකයට, ලිබියාවට, ඇෆ්ඝනිස්තානය, සිරියාවට සහ යේමනයට සිදු වූ ප්‍රහාර සජීවීව දුටු ඔවුන් ඕනෑම දෙයකට පොලඹවා ගැනීම අපහසු කටයුත්තක් වූයේ නැත.

අල්කයිඩා, තලෙයිබාන්, බොකෝහරාම්, අයිඑස්අයිඑස් සහ තවත් රැඩිකල්වාදී කල්ලි මුස්ලිම් උලමාවරුන්ට එරෙහි ආගමික යුද උන්මාදයක් ඇවිළවූ අතර ඇතැම් මුස්ලිම් තරුණ කොටස් වෛරය දේශනා කරන මේ සංවිධාන කෙරෙහි ආකර්ෂණය වූහ.

උමාත් අල් ඉස්ලාම් යනු මුස්ලිම් ප්‍රජාව එකම ප්‍රජාවක් ලෙස එක මිටකට එකතු කරන අපූර්ව සංකල්පයකි. ඉබ්නු කල්දුන්ගේ අරාබි සංකල්පයක් වන අසාබියාට වඩා එය විශ්වීය මෙන්ම පරිපූර්ණත්වයෙන් පිරුණකි.

උමා යන වචනය අල් කුරානයේ වාර 62ක් පමණ යෙදී ඇත. එක් අවස්ථාවක එය පෙනෙන්නට ඇත්තේ “උමාතාන් වහීදාතාන්” යනුවෙනි. එහි අදහස අන්තවාදයට නොගොස් මධ්‍යස්ථවාදී වන්න යන්නයි. මහම්මත්තුමා තම අවසාන ගෝලයා පෙන්වූ මෙකී ඒකීයත්වය ඉතා ඉහළින් අගය කළේය.

උලමා සංකල්පය සියලු මුස්ලිම්වරුන් එකට එක් කළ අතර එයින් ඔවුන්ට සහනයක් සහ විඳවනු ලබන අනෙක් මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් ජාතිය හෝ වාර්ගිකත්වය ඉක්මවා ගිය සංවේදීතාවක් ඇති කෙරිණි. නවීන තාක්ෂණය සහ සමාජ ජාලා ඔස්සේ මේ නව සංකල්පය ශක්තිමත් වී වැඩිණි. මේ නවීන තාක්ෂණයට සහ තොරතුරු සන්නිවේදන මාධ්‍ය වෙත නැඹුරුවක් ඇති උගත් සහ සැලකිය යුතු හැකියා ඇති ඇතැම් මුස්ලිම් පිරිමි සහ කාන්තාවෝ රැඩිකල් දේශකයන් වෙත සහ අල් කුරානය සහ හදිත් සම්බන්ධ ඔවුන්ගේ වැරැදි අර්ථ කථන වෙත ආකර්ෂණය වූහ. මේ තරුණ තරුණියෝ අයිඑස්අයිඑස් සටන්කාමීන් සමඟ එක්වී සටන් කිරීමට ලොව විවිධ ප්‍රදේශවල සිට පැමිණියහ.

මේ නිසා කාත්තන්කුඩියේ NTJ සාමාජිකයන් සහ ඔවුන්ගේ දීප්තිමත් දේශක සහරාන් හෂීම් විදේශයක අතකොළුවක් වූවාදැයි සැකයක් පවතියි. කෙසේ වෙතත් සහරාන් අයිඑස්අයිඑස් කල්ලිය සමඟ සම්බන්ධ දැයි යන්නට තවම ස්ථාර පිළිතුරක් සොයාගෙන නැත.

සමස්ත ලංකා ජමෙයිතුල් උලෙමා සංවිධානයක් මෙන්ම කාත්තන්කුඩියට විශේෂ වූ ජමෙයිතුල් උලෙමා සංවිධානයක් ඇති අතර මේ සංවිධාන දෙක විසින්ම NTJ සහ ඔවුන්ගේ නරුම ජිහාඩ්වාදය හෙළා දකිති.

කාත්තන්කුඩි වැනි ජනාකීර්ණ ප්‍රදේශයක රහස් සඟවා තබාගැනීම අපහසු දෙයකි. කාත්තන්කුඩි තොරතුරු මාර්ගවලින් අප සොයාගත් කරුණක් වන්නේ සහරාන් ජිහාඩ්වාදය ප්‍රචලිත කරනවාටත් වඩා උලමාවරුන්ට ප්‍රහාර එල්ල කිරීමට වැඩි උනන්දුවක් දක්වා ඇති බවයි. රටක සුළුතර ජනතාවක ලෙස ජීවත් වන මුස්ලිම් ප්‍රජාව අයිඑස්අයිඑස් වැනි ත්‍රස්ත සංවිධානයක් සමඟ එක්වී කැලිපට් රාජ්‍යයක සිහිනයක් වෙනුවෙන් සටන් කරනවාද නැති නම් ඒ ආකාරයේ සියලු විදේශ ත්‍රස්තවාදයට එරෙහිව මාතෘ භූමිය වෙනුවෙන් සටන් කරනවාද යන්න ගැන කල්පනා කළ යුතුය.

උම්මා සහ වතන් අතර නිරන්තර ගැටුමක් පවතියි. මේ ගැටුමට පිළිතුර කුරානයේ උම්මාතන් වසාතන් උපදෙස් මාලාවේ සඳහන් වේ. එය කුඩා කාලයේ සිට දරුවන්ට ඉගැන්විය යුතුය. එසේම පල්ලිවල දී පූජකවරුන් කියා දිය යුතුය. ඉස්ලාමයේ ප්‍රධාන ධාරාවේ ගුරුවරුන් මේ ඉගැන්වීම මඟහැරීම නිසා NTJ මේ දෙක අතර සිර වී සිටියි. එහෙත් මුස්ලිම් ප්‍රජාවේ දීර්ඝ කාලීන පැවැත්ම වෙනුවෙන් උම්මා සහ වතන් අතර මේ ගැටුම විචක්ෂණ ලෙස පාලනය කරගත යුතු වේ.

අන්තවාදය මුලිනුපුටා දැමිය හැක්කේ ආරක්ෂක අංශවලටවත්, ආණ්ඩුවටවත් නැති නම් ජනාධිපතිවරයාටවත් නොව මුස්ලිම් ජනතාවටමය යන මහාචාර්ය කුමාර් ඩේවිඩ්ගේ මතයට මම එකඟ වෙමි. එය ආගමික සහ දේශපාලන නායකත්වයෙන් සිදු කෙරිය යුතු ඉල්ලීමකි. අපට කීමට ඇත්තේ කාත්තන්කුඩි සහ මුස්ලිම් ප්‍රජාව එහි දේශපාලනඥයන් සහ උලෙමාවරුන් විසින් අමතක කරදමා ඇති බවයි.



More News »