ගහට ගහක් මොරටුවේදී මුණගස්වන ලොරි රියැදුරන්ගේ කතා වස්තුව

2019-04-25 12:18:00       689
feature-top
ඒ සැන්දෑවේ හතරවටින් කළුවර පැතිරෙමින් තිබිණි. කොළඹ සිට අවිස්සාවේල්ල දෙසට යන විට ඉහින් කනින් දහඩිය පෙරෙන්නට තරම් පරිසරය උණුසුම්ය. අප මීපේ පසුකර ඉදිරියට යද්දී දැඩි රස්නය මොහොතකට පහකර දමමින් උණුසුම් සුළඟ හා මුසු වූ වැහි පොදක් ගත වැදෙන්නට විය.

“කොහෙද ඉතිං මෙහෙම ගස් කපන කොට වැස්ස වහිවී යැ.” හිත නෝක්කාඩු කියන්නට පටන් ගත්තේය. හිතෙන් බණින ඒවා කාටවත් ඇහෙන එකක් යෑ.

“මෙතනම බදන්න බැරි කොටන් පටවපු ලොරි විස්සක් විතර තියෙනවා. තව මඟ එන ඒවත් ඇති. මේච්චර කල් ගිය ඒවා ගණන් බැලුවොත් කපපු ගස් ගණන මේච්චරයි කියලා කියන්න බැරිව ඇති.” ඡායාරූප ශිල්පි සුදම් පවසන්නේ කලකිරීම මුසු හඬිනි.

විදුලිය කැපීම නිසා අන්ධකාරය පැතිර තිබූ ඒ රාත්‍රියේ අප යමින් සිටියේ කෑගල්ල නල්ලතන්නිය ආදී දුර ප්‍රදේශවල සිට කොටන් පටවාගෙන එමින් තිබූ ලොරි රියැදුරන් ගැන සොයන්නටය. මහමඟටම දියවන ඔවුන්ගේ ජීවිතගැන ලියන්නය.

ඒ වන විටත් අප පසුකරමින් සිටි මීපේ ප්‍රදේශයේ මඟ දෙපස දැවැන්ත කොටන් පැටවූ ලොරි රැසක්ම නවතා තිබුණි.

මේ ඔවුන් හා කතා කිරීමට සුදුසුම වේලාවය. වැඩිය රෑ වන්නට බැරිය. ඔවුහු රාත්‍රී ආහාර ගැනීමට පෙර යමක් සප්පායම් වෙති. එවිට ඔවුන් හා කතා කරන්නට කාලයක් නැත. දිනචරියාව අනුව ඉන්පසු ඔවුහු ලොරිය ඇතුළේ හෝ ලොරිය යට හෝ කොටන් උඩ හෝ නිදන්නට වෙති. කොටන් ප්‍රවාහනය කරන රියැදුරන් සමඟ කතා කිරිමට සුදුසුම මොහොත වන්නේ සවස හයෙන් පසුවය. ඒ සුදුසුම වේලාවේ අපි ඔවුන් සොයා ගියෙමු.

“ඉතිං මොනවැයි දැන ගන්න තියෙන්නේ?”

මොරටුවට කොටන් බා එමින් ගමනේදි අපට අහම්බෙන් මෙන් හමු වූ නිමල් කරුණාරත්න විමසීය.

“මම අවුරදු තිහක් තිස්සේම කඳන් අදින එක තමයි රස්සාව විදිහට කරන්නේ. රස්සාවට ආව මුල් කාලේ දවල් රෑ දෙකේම කොටන් ලොරිවලට පාරේ යන්න පුළුවන්. දැන් එහෙම හිතෙන හිතෙන හැටියට පාරේ යන්න බැහැ. පොලිසියෙන් අවසර තියෙන්නේ උදේ හයේ ඉඳලා හවස පහ මාර වනතුරු පාරේ ගමන් ගන්න විතරයි. හවස පහ මාර පහුවුණොත් පාර අයිනට කරලා වාහනේ නතර කරන්න ඕන. ආයෙත් ඉතින් ගමන පටත් වෙන්නේ පහුවදා උදේ හයට. මම ඊයේ තමයි ලොරිය අරගෙන ආවේ. රෑ මෙතැන හිටියා. ඉන් පස්සේ උදේ හයට මොරටු ගිහිල්ලා කොටන් ටික බාලා , දැන් මේ දෙයියනේ කියලා ගෙදර යන ගමන්.”

කොටන් ඇදීමේ රස්සාවත් ලෙහෙසි පහසු නැත. බරවාහන ලයිසන් හිමි මේ රියැදුරන්ට සුක්කානම කරකවන තරම් රස්සාව පහසු නැත. එසේ කියන්නට හේතුව නම් කොටන් පිරවූ රථයක් අතර මඟදි කැඩුණහොත් ඔවුනට දහසකුත් එකක් ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදුවේ.

“ලොරිය අතරමඟක කැඩුණොත් පොලිසියේ පැමිණිල්ලක් දාන්න ඕන. ඒ වගේම ඒ වසමේ ග්‍රාම නිලධාරි හමුවෙලා ඔහුගේ වසමේ අපේ කොටන් පැටවූ ලොරිය කැඩුණු බවත් එය එදා රෑ එහි තියෙන බවත් දැනුවත් කරන්න ඕන. මේ ලියකියවිලි අරගෙන පහුවදා උදේට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඒ කටයුතු කරගෙන බලපත්‍ර අලුත් කරගෙන තමයි යන්න වෙන්නේ. ඉස්සර ඒ කියන්නේ මීට අවුරුද දහ පහළොවකට කලින්නම් පොලිසියෙන් හරිම කරදරයි. මඟ දිගට අපෙන් සල්ලි ගන්නවා. දැන්නම් තත්ත්වය හුඟක් වෙනස්. ඉස්සර හැමදේම කෙරුණේ අතයටින් මුදල් දීලා. ගස් කපන්නේ මුදලාලි කෙනෙක්. ඒවා පටවන්නේ තව මුදලාලි කෙනෙක්. ලී මුදලාලි අපට ගාණක් දෙනවා කොටන් පටවපු දවසට. ඉන් පස්සෙ ඒ කොටන් මොරටුවෙන් බෑවාම එතැන ඉන්න මුදලාලි ගෝලයාටයි මටයි රුපියල් පන්දාහක් දෙනවා. සමහර මාසවල අපි දෙපාරයි එන්නේ. අනිත් දවස්වලට වෙන මොකක් හරි කුලී වැඩක් කරගන්නවා. නැත්නම් ඉතිං ජීවත් වෙන්න ක්‍රමයක් නෑනේ.”

පනිට්ටුවක් ද රැගෙන ඒ අඳුරේ වෙල අද්දර ළිදෙන් නාන්නට යන ගමන මදකට නවතා අප හා කතා කළ ඔහු පැවැසුවේය . ඔවුන් දැන් කාලයක් තිස්සේම රාත්‍රියේදි කොටන් ලොරි නතර කරන්නේ මාවත්ගමත් මීපෙත් අතර මඟ අයිනේය. දැන් ඔවුන්ට ඒ මඟ හොඳින් පුරුදුය. ඒ ආසන්නයේ ඇති පින් ළිඳකින් නා ගන්නා ලොරි රියැදුරු හා ක්ලිනර් අසල හෝටලයකින් රාත්‍රි ආහාර ගනිති. දවසේ මෙහෙය නිමාකරමින් ඔවුන් රාත්‍රී නින්දට වැටෙන්නේ එක්කෝ ලොරිය ඇතුළේය. නැත්නම් ලොරිය මුදුනේය. එහෙමත් නැත්නම් කොටන් උඩය. එහෙමත් නැත්නම් ලොරිය යටය. වැස්ස දවස්වලට නම් ලොරිය යට නින්දට යෑම විහිළුවකි.

“ අහැපියවෙන්නේ නැහැ එක දිගට. මේක මේ කොළඹ අවිස්සාවේල්ල පාර. හැම වෙලේම වාහන යනවා. ඒත් තෙහෙට්ටුව වැඩිකමට නින්ද යනවා. වැස්ස දවස්වලට නම් ලොරිය යට නිදියන්න බැහැ. වහින්නේ නැහැ කියලා බිම නිදාගෙන වහින කොට ඇහැරිලා වැස්සේ තෙමීගෙනම ලොරියට නැග්ග වෙලාවල් නැතුවාම නොවෙයි.”

රාත්‍රි ආහාර ගෙන බුලත් විටක් ද සපමින් පැමිණී ඔහු අපට පැවැසූවේ එදා රාත්‍රිය ලොරිය යට ගතකරන්නට ඉටි කොළය සහ කොට්ටය අතට ගන්නා අතරේය.

මොවුන් සල්ලි උපයන්නේ බොහෝ දුක් කරදර විඳිමිනි. සිය දරුපවුල රක්ෂා කරන්නට ජීවිතයේ වැඩි කලක් මහමඟට දියකළ ලාල් පැවැසුවේ ඔහුගේ කතාවය.

“අවුරුදු දහ අටක් විස්සක් විතර වෙනවා මම මේ රස්සාවට ඇල්ලා. මම හැමදාම ආවේ ගෝලයා විදිහයට. දැන් මගේ වයස අවුරුදු පනස් දෙකයි. කොටනුත් පටවනවා. ඒහෙම කරෙන් කොටන් පැටෙව්වේ ඉස්සර. දැන් බූම් එක තියෙන නිසා අපිට ඒ තරම් අමාරුවක් නැහැ. මුල් දවස්වල අලිත් කොටන් පටවනවා. කොස් ගේනවා අඩුයි. බුරුත, තේක්ක, මහෝගනි කඳන් තමයි වැඩි පුරම පටවන්නේ. ගහක් කපන්න පටවන්න ආවාට ගියාට බැහැ. ඒවාට අදාළ නීති තියෙනවා. කොහොමත් ගහක් කපලා මාස තුනක් විතර යනවා ඒ ගහ මොරටුවට ගේන්න. මේ කොටන් ලොරියට අරන් මොරටුවේ අදාළ තැනට ගියාට පස්සේ කරන්නේ මම මේ උඩ ගැට ගහලා තියෙන ලණු පොටවල් ලිහනවා. ඉන් පස්සේ ලොරියේ දෙපැත්තේ වහලා තියෙන දොරවල් අරිනවා. කොටන් ටික බිමට දැම්මට පස්සේ අපේ රාජකාරිය අවසානයි. අපි ඉන් පස්සේ ගමට යන්න පිටත් වෙනවා. මම බොහෝ වෙලාට රෑ ගතකරන්නේ මෙන්න මේ අගු පිලේ.” කොට්ටයක් පැදුරක් නැතිව පොල් අතු කඩයක් අයිනේ තිබූ ලී බංකුවක නිදන්නට සැරසෙමින් ලාල් පැවැසීය. අපි පසුබා සිටියෙමු. මහ වෙලාවක් ගියේ නැත. ඔහු නින්දේය.

මේ මිනිසුන්ගේ ජීවිත පුදුමාකරය. අනුන්ට හම්බකරන්න වෙහෙසන මොවුන් අතරින් ආර්ථිකය සරුකරගත්තවුන් සිටිනවා ඇත්තේ අතළොස්සක් වන්නට ඇත. එක පෙළට නතර කළ කොටන් පැටවූ ලොරිවල රියැදුරන්ගේ රිය සහායකයන් කොයි කාගෙත් කතාව මෙසේය. මහමඟට ජීවිතය දිය කරන ඔවුන්ගේ හෙට දවස කෙබඳු වේවිද?

“ අවුරදු ගාණක්ම කළේ මේ රස්සාව. මම මගේ අම්මව දඹදිව වන්දනාවේ යැව්වා. දූවට උගන්න ගත්තා. කුඹුරු කෑල්ලක් ගත්තා. දැන් මම රස්සාවට එන්නේ පුරුද්දට වගේ. මට මතකයි මීට කාලෙකට කලින් වුණු සිදුවීමක්. ඒ කාලේ කොස් ගස් කපන්න පර්මිට් දුන්නෙ නැහැ. නමුත් එක තාත්තා කෙනෙක් දුවගේ විවාහයට දින නියම කරගෙන. සියල්ල කරන්න හදලා තියෙන්නේ වත්තේ තියෙන කොස් ගස් කපලා විකුණලා. නමුත් ඒවා කපන්න අවසර දීලා නෑ. ඒ තාත්තා ඇවිල්ලා ප්‍රාදේශීය ලේකම් මහත්තයාට අඬ අඬා සිද්ධිය කිව්වා. එතුමා තමන්ගේ නිලධාරින් යැව්වා සිද්ධිය ඇත්තද කියලා හොයලා බලන්න. නිලධාරීන් දැනුම් දුන්නා සිද්ධිය ඇත්තයි කියලා. ඉන් පස්සෙ ඒ තාත්තට කොස් ගස් ටික කපා ගන්න අවර දුන්නා. නමුත් දැන් එහෙම හදවත් තියෙන උත්තමයො හිඟයි. අපි කරන්නේ රස්සාව. ඒ වුණත් කොයිතරම් නම් මේ රස්සාවේ ප්‍රශ්න තියෙනවද?” අප හා එසේ පැවසුවේ ජයසිරිය.

අප එහි යන විට වැටෙමින් තිබූ වැහි බිදු අහස ගිලගත්තා සේය. රාත්‍රිය ක්‍රමයෙන් ළඟාවේ. එක පෙළට ගමන් ගත් රථ දැන් ගමන් ගන්නේ අතරින් පතරය. පනිට්ටු රැගෙන පිං ළිඳෙන් නාන්නට ගියවුන් දැන් පැමිණ තම තමන්ගේ ලොරි ඇතුළේය. ඇතැමෙක් නිදන්නට සැරසේ. පාර ද පාළුය. පැය දෙකකට ආසන්න වුවද විදුලිය නැත. පාරේ ඉඳහිට යන වාහනයක එළියෙන් එක පෙළට නතර කර ඇති ලොරි පෙළ දිස්වෙයි. මේ ලොරිවල පටවා තිබෙන්නේ ස්වාභාව දහමේ හුස්ම නොවේදැයි හිත අපෙන් ප්‍රශ්න කරයි. නැහැ මේ මිනිසුන්ගේ ජීවිතවල හුස්මයි. හිත තර්ක කරයි. වැරැද්ද කා පිට පටවන්නද. ගස් කැපීම ගැන නොව කොටන් ප්‍රවාහනය කරන මිනිසුන්ගේ ජීවිතවල ඇත්ත සොයා ගිය ගමනේ අවසානයේ අපේ හිත ළඟ නතර වූයේ කඳුළකි.

“මේ කඳන් පටවගෙන එනකොට දුක හිතෙන්නේ නැද්ද. මෙතැනට දැනෙන්නේ නැද්ද?” මම මගේ පපුවට අත තබාගෙන එක් ලොරි රියැදුරෙකුගෙන් නොව දෙතුන් දෙනෙකුගෙන් ඇසුවෙමි.

“ නැහැ මේක අපේ රස්සාව. අනිත් එක මේවා ඉබේ පැළවුණ ගස් නෙමෙයි. වවපුවා. මේ රූස්ස එක ගහක් කපන කොට එ අවට තියෙන පොඩි ගසුත් කැඩෙනවා. තාත්තලා සීයලා වවපු ගස් තමයි දැන් පුතාලා කපලා විකුණන්නේ. නමුත් ඉස්සර තරම් දැන් ලී බිස්නස් එක සරු නැහැ. ලොරි එන්නෙත් නෑ. මාසෙකට කොටන් ලෝඩ් දෙකක් විතර තමයි අපිට අරන් එන්න වෙලා තියෙන්නේ. අනිත් දවස්වලට අපි කුලී වැඩ කරනවා. දැන් ප්ලාස්ටික් බඩු තියෙනවානේ ලී බඩු වෙනුවට. ඉස්සර මොරටුවට එන්න ලොරි කුලිය රුපියල් දෙදහස් පන්සීයයි. දැන්නම් රුපියල් විසිපන්දහසක් වෙනවා කුලිය. ලොරියෙන් හම්බවෙන්නේ සොච්චමක්. දැන්නම් අඩු තරමේ පාළුවට ෆෝන් එකවත් ළඟ තියෙනවා. මීට අවුරදු විස්සකට තිහකට ඉස්සර මේ ජීවත හරිම දුෂ්කරයි. කෑම කන්න කඩයක් නෑ...අපි ඒ කාලේ පුදුම දුකක් වින්දේ ”

කෙනෙක් පවසද්දී අප වටා සිටි අනෙක් ලොරි රියැදුරෝ හා සහායකයෝ ඔහු පවසන දේ අනුමත කරමින් හිස් සොලවති.

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොටන් පැටවූ වැඩි ලොරි තොගයක් මොරටුවට එන්නේය. දෙවියන් බුදුන් සිහිකර ගමන පටන් ගන්නා ඔවුහු අතරමඟදි අරන්දර දේවාලයට, සමන් දේවාලයට, මාවත්ගම කතරගම දේවාලයට ආදි අතර මඟදි හමුවන දේවාලවලට පඬුරු දමමින් දෙවියන් සිහිකර පින්දෙමින් ගමනට ආශිර්වාද ලබා ගන්නාහ. ආපසු යන ගමනේදීත් එසේමය.

රාත්‍රිය මහ මඟ ගෙවා දමන මොවුන්ට නිවි සැනසිල්ලේ රැය ගෙවා දැමීමට ඉඩ දෙමින් අපි ඔවුන්ගෙන් සමුගතිමු

More News »