රළු පොළොව කෙම් බිමක් කළ රට රකිනා ඇත්තෝ

2019-04-09 09:36:00       683
feature-top
අක්කර දෙතුන් සියයක දේශීය වී වර්ග 26ක්
    ඔවුන්ම හැදූ වැවෙන් ගොවිබිමට ජලය
    ජලය පොම්ප කිරීම සූර්ය බලයෙන්
    වයසක ගවයන්ටත් කන්දකාඩුවේ නවාතැන්

සෝමාවතිය පෙනි පෙනී දකුණට හැරෙන පාර වැලිකන්දටය.

තවමත් තාර දමා නැති හෙයින්, එක වාහනයක් ගිය විට මුළු පාරම දූවිල්ලෙන් වැසී යයි‍.

කමක් නැත.

වළවල්වල වැටෙමින් කඩතොලුවල හැපෙමින් අමාරුවෙන් ගෙවා එන ඒ දුෂ්කර කිලෝ මීටර් තුන හතරකට පසු වංගුවේදී, ඔබට ඒ ක්ෂේම භූමිය මුණ ගැසෙනු ඇත.

ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් කන්දකාඩු ගොවිපළ, මේ කාෂ්ටක පරිසරයට සැබැවින්ම, කොළ පැහැයෙන් බබළන ‍ක්ෂේම භූමියක් මෙනි. මලින් පලතුරුවලින් බරව එහි බොහෝ වගා කටයුතු සිදුවන හෙයිනි.

‍එහෙත් ඒ, නිකම් නොවේ. එකසිය පණහක් දෙසියක් පමණ වන, ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන්ගේ මහන්සියේ ප්‍රතිඵල ලෙසිනි.

බ්‍රිගේඩියර් බුවනෙක ගුණරත්න ප්‍රමුඛ ඒ කණ්ඩායම, අවුරුද්දෙන් වැඩි කාලයක් පෑවිල්ල අල්ලන මේ බිම හා ඔට්ටුවන්නේ, සොබා දහමෙන් ලැබෙන සියලු ගැහැටවලට පිළියම් සොයමිනි. ඈතින් ගලා යන කන්දකාඩු ඇළත් සීමිත වැස්සත් හැරෙන්නට වතුර එන මඟක් ඔවුන්ට නැත. එහෙයින් බ්‍රිගේඩියර්වරයාගේ අදහසකට අනුව, මේ කණ්ඩායම වැවක් බඳින්නට වූයේ අත්හදා බැලීමකටය.

ඒ අත්හදාබැලීම බෙහෙවින් ම සාර්ථක විය. දැන් ඔවුන් වැව් පහක හිමිකරුවන් ය.

වාරි ඉංජිනේරුවකු පරයන ඒ දැනුමත් සිය කණ්ඩායමේ ශක්තියත් සමඟ බැඳි වැව්, ‘ඉසුරු 1, 2, 3, 4, 5’ ලෙස නම් කෙරුණේ ද එහි මහමොළකරු ව‍ූ බ්‍රිගේඩියර්වරයා විසින්මය.

දැන් ඒ වැව් දිය භුක්ති විඳින්නේ ගම්මු පමණක් නොවේ. උගුර කට වියළී දිය පොදක් සොයා ගමට ඇදෙන වල් අලි රංචුත්, මුවන්, ඉන්තෑවන්, ගෝනුන් ඇතුළු කැලෑ සතුනුත් හිතේ හැටියට ඒ දිය බී, පවස නිවා ගනිති.

අක්කර එකොළොස් දහස් ගණනක් විශාල වූ මෙම ගොවිපළ, කලෙක අග්නිදිග ආසියාවේ විශාලම කිරි ගොවිපළ බවට පත් විය. ඒ අතීතය පසුකොට පැමිණි මෙහි, අද සශ්‍රීක ඵලදාවකි. ඒ නෙළන ඵලදාව, පළමු කොට යුද හමුදා පරිභෝජනයට ය. කොටසක් ගම්මුන්ගේ පරිභෝජනය උදෙසා සහන මිලට විකිණීමටය. එහෙත් සුප්‍රසිද්ධ ‘කන්දකාඩු ෆාම් මී කිරි’ නම් කෝච්චියෙන් රට වටා යන්නේ, රහ දන්නා ගැනුම්කරුවන්ගේ ඉල්ලුමට අනුවය.

මෙහි අක්කර තුන් දහස් ගණනක් අස්වද්දා, ඇතිමුත් ඒ සියල්ල ගොවි බිම් ලෙස පමණක් ම නොවේ‍, සියල්ල සපිරි, මිශ්‍ර ගොවිපළක් ලෙසිනි.

පසෙක යායට වැවූ බටු, බණ්ඩක්කා, කැකිරි, පිපිඤ්ඤා, මෑ, බෝංචි, වගාවන් ය. ඒ පසු කර යනවිට පේර, කෙසෙල්, කජු, ටී.ජේ.සී. අඹ, වැවූ පලතුරු වගාවය.

කජු ගස් හාර දහසක් සහ අඹ ගස් තුන් දහස් දෙසීයක් අතරින් ඇවිද යන්නට ඔබට ලැබුණොත්... කුමක් සිතේ දැයි නොදනිමි. එහෙත්, වියළි සුළඟ හා මුසුව හමා එන ඒ අඹ කොළ සුවඳ මම නම්, රිසි සේ විඳගතිමි.

මාස ගණනකින් වැහි අල්ලක් වැටී නැති මේ මහ පොළොවත් ඒ ගහකොළත් දිය පොදකින් තෙත් කරන්නට ඔවුන් දරන වෙහෙස අපරිමිතය.

නිමක් නැති ඒ වෙහෙසට, අස්වැසිල්ලක් වූයේ ශ්‍රී ලංකා යුද හමුදා කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා වූ, බ්‍රිගේඩියර් බුවනෙක ගුණරත්න මහතාගේ අලුත් අදහසකි.

එනම්, මේ වගා බිමට කිලෝ මීටර තුනක් ඈතින් ගලා යන කන්දකාඩු ඇළෙන් සූර්ය විදුලිය බලය යොද‍ාගෙන, ජලය පොම්ප කිරීමය.

ඒ සඳහා පළමුව, ඇළ එහා කෙළවර හැදූ පතහකට වැව් ජලය පිරවිණි. එසේ එකතු වූ ජලය, ඒ කිලෝමීටර් තුන ගෙවා ගෙන මෙහා කෙළවර පතහකට එකතු කෙරිණි. ඉන්පසු, අක්කර පණහක් පුරා විහිදෙන මේ අඹ යායන්ට දිනපතා ඒ ජලය මුදා හරින්නේ විසිරි ජල ක්‍රමයට අනුව, බොහොම පරිස්සමටය.

ගිනි රස්නෙට පායන, දවා අළු කරන තරමට පිච්චෙන ඒ හිරු රැස්වලට දොස් නොකියන ඔවුන්, මේ බිමේ එය සම්පතක් බවට හරවා ගත්තේ එලෙස විදුලිය බලය උත්පාදනය කර ගනිමිනි.

එහෙත් මෙසේ ගෙනෙන සීමිත ජලයෙන් අක්කර දෙතුන් සියයක කුඹුරු යායක් අස්වද්දන එක ලෙහෙසි පහසු නොවේ. මහවැලි දිය ද ඔවුන්ට නොලැබේ.

දැන්, ඔවුන්ට සිදුව ඇත්තේ සිවිල් ජනතාව ගොවිතැන් කරන ‘අපත් වතුර’ සහ වැහි වතුර පමණක් ප්‍රයෝජනයට ගෙන වගා කටයුතු කරන්නට ය.

කළු හීනටි, සුදු හීනටි, මඩතවාළු, පච්චපෙරුමාල්, දහනල, සුවඳැල්, මා වී.... ඇතුළු දේශීය වී වර්ග 26 ක් මේ කුඹුරුවල ඔවුන් අද ද අස්වද්දන්නේ එවැනි ප්‍රායෝගික දුෂ්කරතා රැසක් මධ්‍යයේ ය.

එලවළු, පලතුරු වගාවට අවශ්‍ය පොහොර ටික සාදාගන්නේත් ඔවුන්මය.‍ ඒ, ගව ගාලෙන්, කුකුළු, එළු, බැටළු පට්ටිවලින් ගන්නා අපද්‍රව්‍ය කො‍ම්පෝස්ට් පොහොර බවට පත්කිරීමෙනි. මෙහි බැටළුවන් ඇති දැඩි වන්නේ අභිජනනය සඳහා පමණි.

එසේ ම ඔවුන් ගන්නා කිරි අස්වනු ගබඩා කරන්නට හැදූ, නවීන ශීතාගාරය අද ගම්මුන්ගේ ද කිරි අස්වනු ගබඩා කර තබන තැන බවටත් පත්ව තිබෙයි.

“අපේ කිරි දෙනුන්ගෙන් දවසකට ගන්නා කිරි ලීටර් 150 ක ප්‍රමාණය ගබඩා කර තබන්නයි මේ ශීතාගාරය හැදුවේ.

ඒත් ගමේ දුප්පත් මිනිස්සුන්ට කිරි ටික පහුවෙනිදා වෙනකම් තියාගන්න ක්‍රමයක් නැහැ. ඉතින් අපි මේ ශීතාගාරයේ ම ඔවුන්ගේ ඒ කිරිත් තැන්පත් කර තිබෙනවා...”

දිළිඳුකම තුරන් කිරීමේ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළට අනුව, වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරල් මහේෂ් සේනානායක මහතාගේ උපදෙස් පරිදි මේ සෑම කටයුත්තකදීම ගම්මුන්ට තැනක් දෙන්නටත් ඔවුන් සහභාගි කරවා ගන්නටත් තමන් ඇතුළු කණ්ඩායම කටයුතු කරන බවයි, බ්‍රිගේඩියර්වරයා පවසන්නේ.

“මේ වගා කටයුතුවල නියැළෙන බොහෝ සාමාජිකයන් ‘හමුදාගත’ සේවයේ අය. ඒ කියන්නේ, කෘෂිකර්මාන්තය සඳහාම, මේ ගමෙන් යුද හමුදාවට බඳවාගත් පිරිසක්. ඔවුන් හමුදාවට අයිතියි. හැබැයි හමුදා පුහුණුව නැහැ. නිල ඇඳුම් නැහැ. උසස්වීම් නැහැ. නමුත්, සාමාන්‍ය සොල්දාදුවකුගේම වැටුප ලබනවා. එහෙම සාමාජිකයින් 150 ක් පමණ මේ කන්දකාඩු ගොවිපළේ සේවය කරනවා.‍ මේ ක්‍රමය නිසා ඔවුන්ගේ ජීවිත අද උසස් තත්ත්වයට පත්වෙලා.‍ ආර්ථිකය යහපත්වෙලා.

ඒ වගේ‍ම පළමු වතාවට, මෙතෙක් පිටරටින් ගෙන්වූ ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය, ‘පිසූ ආහාර’ පැකට් අපිම නිෂ්පාදනය කරන්න පටන් ගත්තා‍. මේ ෆැක්ටරියෙන් ත්‍රිවිධ හමුදාවට විතරක් නෙවෙයි ලංකාවේ ඕනෑම ආයතනයකට මේ කල්තබාගත හැකි ක්ෂණිකව ආහාරයට ගත හැකි ආහාර පැකට්, අපෙන් ඇනවුම් කරන්න පුළුවන්. එය, යුද බිමේදී සොල්දාදුවන් ආහාරයට ගත් ආකාරයේ පෝෂණීය ආහාර පැකට්ටුවක්. මේ ෆැක්ටරියේ වැඩ කරන්නේ උසස් පෙළ සමත් ගමෙන් බඳවා ගත් ‘හමුදාගත’ තරුණියන්.

ඒ විතරක් නෙවෙයි, ජපන් ජබර කොළවලින් වියූ මලු, තොප්පි සහ විවිධ නිර්මාණ මේ ගොවිපළේම මහන්නෙත් අපේ ‘හමුදාගත’ තරුණියන්මයි. වෙළෙඳපොළට පළමු වතාවට හඳුන්වා දුන් පෝෂණීය ‘ස්පිරුලිනා’ බිස්කට් නිෂ්පාදනය කරන්නේ, මේ ගොවිපළේම ඒ වෙනුවෙන් වගා කරන ඇල්ගී විශේෂයකින්.

ඒ බිස්කට් අපි පිටරටත් යවනවා...”

ගොවිපළක් ඇතුළේ මෙවැනි දේ වෙන්න පුළුවන්ද.... ඔබට සිතේවි.

ඒත් ඒ තමයි, ඇත්ත.

නොකියාම බැරි අනෙක් වටිනාම කාරණය තමයි, මෙය සත්ව ඝාතනයෙන් තොර ගොවිපළක් වීම.

මේ ගොවිපළ ඇතුළේ ඉන්නා කිසිම සත්වයෙක් මස් පිණිස නොමරන එක ඔවුන්ගේ ප්‍රතිපත්තිය. වයසට ගිය එළදෙනුන් හා ගවයින් වෙනුවෙන් ම වෙන් කළ ‘අභයදාන කොටුව’, මේ සත්වයින්ගේ මහලු දිවිය ගෙවන

නවාතැන.

වයසට ගියත් මසට නොවිකිණී, සොබාවික මරණයක් ලැබෙන කල් නිදහසේ කා බී දිවි ගෙවන්නට ඒ මහලු ගවයින්ට අවස්ථාව උදාවී තිබීමයි, වටිනාම කාරණය.

එකල මේ ගොවිපළේ වැඩ කළ සුවිශේෂී චරිතයක් ගැනත් නොකියාම බැරි, කලෙක ඔහු මෙහිම කොටස්කරුවකු වූ නිසාමය‍ි.

1958, රුපියල් තුනේ පඩියට කන්දකාඩු ‍කිරි ගොවිපළේ කම්කරු රස්සාවට ආ ඔහු හින්නි අප්පුහාමිය. වයස 81 කි. ගේ දොර හදාගත්තේ ද ගොවිපළ පෙනෙන නොපෙනෙන දුරකිනි.

“මේ ෆාම් එක පටන් ගත්තේ ‘ඇන්කර්’ කියන සුදු මහත්තයා. ඒ කාලේ කිරි හරක් 15000 ක් හිටියා. අං වකුටු වෙච්චි ‘මූරා’ හරක් මෙහෙට ගෙනාවේ ඉන්දියාවෙන්. ලංකාවේ හැම පළාතකින්ම වගේ ගෙනත් බෝ කරපු විවිධ වර්ගයේ බටු හරක් මහ හුඟක් හිටියා. ඇන්කර් මහත්තයා ෆාම් එක ඇතුළේ ආවේ ගියේ අස්සයා පිටේ. ඒ මහත්තයා ගෙන්වපු අස්සයො දහ හතරෙන් එකෙක් පස්සෙ කාලෙක මටත් ලැබුණා. මගේ අස්සයාගෙ නම ‘නෝටි බෝයි’. මං මගේ හරක් ගාල බැලුවෙත් අස්සයා පිටේ යමින්.

මගේ රාජකාරිය වුණේ ගව ගාල හෝදන එක. තණ කොළ කපන එක. හරක් ලෙඩ වුණාම දොස්තර ළඟට අරන් ගියෙත් මං.

හරකුන්ට බෙහෙත් කරන්නම ෆාම් එක ඇතුළේ දොස්තරලා දෙතුන් දෙනෙක් හිටියා. ඒ කාලේ මං බැලුවේ 1000 ක් ඉන්න හරක් පට්ටියක්.

‍‍ෆාම් එක හොඳටම දියුණු කළේ ඇන්කර් මහත්තයා‍. හැබැයි, 1958 මං එනකොට ඒ මහත්තයා නවසීලන්තයට ගිහින්.

‍අපේ රටට වැඩ කරපු ඇන්කර් මහත්තයා, නවසීලන්තයට ගිහින්, කිරි හදලා ආපහු අපේ රටටම එවන්න ගත්තා. රටටම කිරි දීපු අපි රට කිරි බොන්න ගත්තා.

ඒ වෙනකොට ෆාම් එකේ හිටි හරක් ටිකත්, බාගෙට බාගයක් අඩුවෙලා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙයි පශු සම්පත් මණ්ඩලයෙයි අතින් අතට ‍ගිහින් අන්තිමේ 83 න් පස්සෙ කොටි කරදර කාලේ ‍මේ ෆාම් එක වල් වැදිලා, වැහිලම ගියා. බිල්ඩින් විනාශ වුණා. හරක් හුඟ දෙනෙක් නැති වුණේ හිටපු නිලධාරීන්ගේ වරදින්. ටික දෙනෙක් ආණ්ඩුවෙ ෆාම්වලට අරන් ගියා. තවත් ටිකක් පිටිපස්සෙ වැටෙන් පන්නලා මස් කඩේට දැක්කුවා. ෆාම් එක ආපහු පණගහලා ගත්තේ, යුද්දෙන් පස්සේ බාරගත්තු බුවනෙක මහත්තයා.

ඔය ඔක්කොම යුග දකිමින් 58 ඉඳන් වැඩ කරපු මං, විශ්‍රාම ගියේ 1991 අවුරුද්දේ. එතකොට මං ෆාම් එකේ ‘පශු ධන බාරකරු’. විශ්‍රාම ගිහිල්ලත් දැන් අවුරුදු 28 ක්. ඒත් තවමත් මං ඉඳහිට ෆාම් එක බලන්න යනවා....”

හින්නි අප්පුහාමිගේ මතකයට අනුව, මේ ගොවිපළ ඉතිහාසයේ අපේ රට කිරෙන් පෝෂණය වූ යුග කිහිපයක් පසුකර තිබිණි.

දරුණු යුද්ධයක නිමාවත් සමඟ යුද හමුදා කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා ලෙස පත්වූ බ්‍රිගේඩියර් බුවනෙක ගුණරත්න මහතා මේ අක්කර 11, 140 බාරගත්තේ කැඩී බිඳී ගිය සුන්බුන් සහිතව කැලෑවෙන් වැසී ගිය හිස් බිමක් ලෙසිනි.

යුද හමුදාපතිවරයාටත් ඔහුටත් අවශ්‍ය වූයේ අරමුණු තුනක් පෙරදැරිව මේ බිම යළි ගොඩනඟන්නටය. මහවැලි නිම්නයට අයත් මේ බිම පිටස්තරයන් අල්ලා ගන්නා එක වැළැක්වීම, පළමු කාරණය විය.

දෙවැන්න ගමේ මිනිසුන්ට රස්සා දීමය. ගොවිපළ යළි පණ ගැන්වීම, තුන් වැනි කාරණය විය. දැන් ඒ අරමුණු සියල්ල ඉටුවී හමාරය. ඒ සඳහා ගැළපෙන හොඳම කණ්ඩායම ඔහු තෝරා ගත්තේ ද යුද හමුදාවෙනි.

ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායට අයත් මේ කණ්ඩායමේ බහුතරය, කෘෂිකර්ම උපාධියක් ඇති කපිතන්වරුය.

අණ දෙන නිලධාරි, ලුතිනන් කර්නල් යූ.ඒ. කළුආරච්චි, ආචාර්ය මේජර් නිශාන්ත සහ නිලධාරි අණදෙන කපිතන් සඳරුවන් ප්‍රමුඛ කණ්ඩායම ඒ සඳහා සැදී පැහැදී සිටිති.

ඉදින් ගහකොළ, සතා සීපාවා ඇසුරේ ගෙවන මේ ජීවිතය වෙනස්ය.

විනය සහ දැඩි නීතිගරුක හමුදා නිල ඇඳුමට යටින් සිටින මේ මිනිසුන් සමූහය ඒ ජීවිතය විඳිනවා පමණක් නොව, රටට ආදර්ශයක් ද සපයනු පෙනේ.

More News »