කාන්තා කෝච්චි පෙට්ටියේ නෑසුණු කතන්දර

2019-03-22 09:10:00       590
feature-top
    කාන්තා මැදිරියේ සීට් එකක් දෙන්නවත් කවුරුත් නෑ
    කාන්තා මැදිරියට ගොඩ වූ ගැබිනි කතකට කවුරුත්ම සීට් එකක් දීලා නැහැ. කාන්තාවන් පිරිසක් ඒ අම්මට කියලා තියෙනවා ‘බබා ලැබෙන්න ඉන්න හින්දා එක්සසයිස් එකටත් එක්ක හිටගෙන යන්න‘ කියලා.
    කාන්තාවන් වැඩිදෙනා නගින්නේ අනෙක් මැදිරිවලට
    පැසසුම් වගේම චෝදනාත් එල්ල වෙනවා

ලෝක කාන්තා දිනයට සමගාමීව කාන්තාවන් උදෙසා විශේෂ වැඩ සටහන් රැසක් ශ්‍රී ලංකාව පුරා ද ක්‍රියාත්මක විය. මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව වෙත කාගේත් අවධානය යොමුවූයේ ප්‍රධාන කාර්යාල දුම්රිය හතක කාන්තාවන් වෙනුවෙන් එක් කාන්තා මැදිරියක් බැගින් වෙන් කිරීමයි.

කාන්තා දුම්රිය මැදිරි වෙන් කිරීම ඇරැඹීමේ ඉතිහාසය අදින් වසර ගණනක් ඈතට දිව ගිය ද කල් යත්ම එය ක්‍රමයෙන් අභාවයට ගොස් ඇත. එහෙත් අදටත් සමුද්‍රදේවී දුම්රියේ එක් මැදිරියක් වසර ගණනක සිටම කාන්තාවන් වෙනුවෙන් වෙන්ව පවතී. එහෙත් අනෙක් ප්‍රධාන කාර්යාල දුම්රියන් හි එලෙස වෙන් කොට නැත.‍ පොදු ප්‍රවාහන සේවයේ යෝධයා ‍වන දුම්රිය සේවය එලෙස නව මුහුණුවරකින් කාන්තාවන් වෙනුවෙන් දුම්රිය මැදිරි වෙන් කිරීමේ සද්කාර්යය පිළිබඳ සමාජයේ පැසසුම් මෙන්ම ගැරහුම් ද ලැබෙන මොහොතක කාන්තා දුම්රිය මැදිරියක ගොස් ඒ ගැන අදහස් විමසා බලන්නට අපි කටයුතු කළෙමු.

විශ්‍රාමික විදුහල්පතිනියක වන නාගේන්ද්‍රන් මහත්මිය මාතලේ සිට නිතර කොළඹ පැමිණෙයි.

“ප්‍රධාන කාර්යාල දුම්රියවල කාන්තා මැදිරියක් වෙන් කිරීම ගැන මම සතුටු වෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවෙන් සහ ප්‍රවාහන අමාත්‍යාංශයෙන් මේ කර තිබෙන්නේ කාලෝචිත වැඩක්. අද අපි මාධ්‍ය මඟින් නිතර දෙවේලේ කාන්තාවන්ට සිදු වන හිංසා පීඩා අහනවා. දකිනවා. විශේෂයෙන්ම මඟතොටේදී තමයි මේ දේවල් සිදු වෙන්නේ. දුම්රියේ ගමන් කරන්නේ හුඟක් වෙලාවට දුර සිට සේවයට වාර්තා කරන කාන්තාවන්. ඔවුන්ට ආරක්ෂාකාරීව වගේම පහසුවෙන් යුතුව කාන්තා මැදිරියක ගමන් කරන්නට හැකියාව ලැබෙනවා. කාර්යාල කෝච්චිවල වගේම සෑම කෝච්චියකමත් කාන්තා මැදිරියක් වෙන් කරනවා නම් එය සතුටක්. “ නාගේන්ද්‍රන් මහත්මිය පවසන්නේ එලෙසිනි.

සිරියලතා මදනායක මහත්මිය බත්තරමුල්ල සෙත්සිරිපායේ සේවයේ නියුතු වෙයි. ඇය වසර ගණනාවක සිටම දිනපතා මීරිගම සිට කොළඹට පැමිණෙන්නේ ද කොළඹ සිට මීරිගම බලා යන්නේ ද දුම්රියෙනි.

“කාන්තාවන් වෙනුවෙන් කාර්යාල දුම්රියවල කාන්තා මැදිරි වෙන් කිරීම ගැන සතුටුයි. ඒත් යම්යම් දුර්වලතා තිබෙනවා කියා පෙනෙනවා. එකක් තමයි කාන්තා මැදිරිය බැලූ බැල්මට හඳුනා ගන්න අපහසුයි. එනිසා පිරිමි අය මේ මැදිරියට නොදැනුවත්ව ගොඩ වෙන අවස්ථා තිබෙනවා. එය කාටත් පහසුවෙන් හඳුනාගන්න පුළුවන් වන විදිහට පාටකින් හෝ යම් සලකුණකින් හෝ දක්වා තිබෙනවා නම් එය පහසුවක් වෙනවා. දෙවැනි සෙට් එකේ තමයි කාන්තා මැදිරිය තිබෙන්නේ.

දුර යන කාන්තාවන්ට නම් සාමාන්‍ය මැදිරිවල ගමන් කරන විට පිරිමියෙක් හෝ මඟදි නැගිටල ඉඩ දෙනවා. ඒ විදිහට මඟදි සීට් එක ෂෙයාර් කර ගන්නවා. එත් කාන්තා මැදිරියේදී එහෙම තියා දරුවෙක් කුසේ දරාගෙන ඉන්න ගැබිනි මවකටවත් සීට් එකක් දෙන්නේ නැහැ. මේ ළඟ දි දවසක ගැබිනි මවක් කාන්තා මැදිරියට ගොඩ වුණා. ඇයට කවුරුත්ම සීට් එක දුන්නේ නැහැ. කාන්තාවන් පිරිසක් ඒ අම්මට කියලා තියෙනවා ‘බබා ලැබෙන්න ඉන්න හින්දා එක්සසයිස් එකටත් එක්ක හිටගෙන යන්න‘ කියලා. එවිට එතැන සිටි තවත් කාන්තාවන් පිරිසක් ඔවුන්ට දොස් කියලා.“

කාෆ්රා අපට කොටුව දුම්රිය ස්ථානයේදී හමු වූ කාන්තාවක්. ඇයගේ පදිංචිය දෙහිවල. කාර්යාල සේවය නිමවා නිවෙසට යෑමට දුම්රියට නැඟීමට සිටිද්දියි ඇයව අපට හමුවුණේ.

“කාන්තාවන් වෙනුවෙන් මැදිරි වෙන් කිරීම ඉතා හොඳ පියවරක්. කාන්තාවන්ට කරදරයකින් තොරව ආරක්ෂිතව තමන්ගේ ගමන පාඩුවේ යන්න පුළුවන්. තවම මේ මැදිරි දාලා ලොකු කාලයක් ගත වෙලා නැහැ. මමත් කැමැති කාන්තා මැදිරිවල ගමන් කරන්න තමයි. තවම මේ මැදිරිවල විශාල තදබදයක් නැති වුණත් සැලකිය යුතු කාන්තාවන් පිරිසක් එනවා. යනවා. ඉදිරියේදී මේ මැදිරි කාන්තාවන්ගෙන් පිරී යාවි කියා හිතෙනවා.“

ඇය අපෙන් සුමගනිද්දී මහව බලා පිටත්ව යාමට නියමිත දුම්රිය දෙවන වේදිකාවට පැමිණියේය. බොහෝ කාන්තාවන් තමාගේ ජායාරූප ලබා ගන්නවාට අකමැත්ත ප්‍රකාශ කළ බැවින් ඔවුන්ගේ නම් පමණක් යෙදීමට අදහස් කළෙමු.

වසර තිහකට ආසන්න කාලයක සිට දුම්රියේ ගමන්කරන කොළඹ කොටුවේ ප්‍රධාන කාර්යාලයක සේවිකාවක වන ඉන්දු පෙරේරා ප්‍රකාශ කළේ, දුම්රියේ සේවයට පැමිණෙන ඇයට අත්දැකීම් රැසක් ඇති බවයි.

“කාන්තාවන්ට තරුණ ගැහැනු ළමයෙකුට තියා වැඩිහිටි කාන්තාවකට වුවත් දුම්රියේ දි සිදුවන හිරිහැර වැඩියි. ඒ නිසා මේ විදිහට කාන්තා මැදිරි ලබාදීම පිළිබඳව සතුටු වෙනවා.“

නම සඳහන් කිරීමට අකමැති වූ තවත් කාන්තාවක් කියා සිටියේ තමන් වසර පහළොවකට ආසන්න කාලයක් දුම්රියේ ගමන්කරන බවත් එම කාලය තුළ අවස්ථා කිහිපයක දී දුම්රියේ දී හිංසාවන්ට ලක්ව ඇති බවය. “හැමදාමත් වගේ එදත් කෝච්චියේ සෙනඟ පිරිලා ඉතිරිලා. මමත් තවත් බොහෝ කාන්තාවනුත් කිටි කිටියේ සෙනඟ අතර තෙරපෙමින් හිර වුණා. මේ අතර පාසල් දැරියකුත් සිටියා. මම දැක්කා ඒ හිරවීම අතර එක මිනිහෙක් මේ දැරියගේ පසුපස පෙදෙස අතගානවා. මම ඒ දෙස බලා සිටිනවා දැක ඒ මිනිසා ඔරවා බැලුවා. පසුව ඔහු ඉන්නොනැවතී මගේ ඇඟත් අත ගාන්න එනවා. එක විටම මම පැත්තකට ඇල වුණා. ඔහු වහාම අත ඉවතට ගත්තා. මිනිස්සු මේක දැක්කා. ඒත් සමඟ මරදාන නැවතුමේ දී ඒ මිනිහා බැස ගියේ මාත් එක්ක තිබුණු තරහට මගේ ඇගේ පැත්තක්ම අතගාගෙන. මේ වගේ කියන්න බැරි අනන්ත සිදුවීම් ප්‍රමාණයකට අපි මුහුණ පානවා. ඇත්තටම කාන්තා මැදිරියක් නෙමේ දෙක තුනක්ම කෝච්චියකට යොදනවා නම් ඒක ලොකු සතුටක්.

තවත් දවසක් කෝච්චියේ යද්දී මනුස්සයෙක් කාන්තාවකගේ ඇඟට හේත්තු වෙලා. ඒ කාන්තාව ඔහුට කිව්වා ටිකක් අයින් වෙන්න කියලා. ඒ මනුස්සය කෝච්චි පෙට්ටියටම ඇහෙන්න කිව්වා ප්ලේන් එකක යන්න කියලා. මේක ඒ මනුස්සයා කිව්වා විතරයි හැමෝම බක, බක ගාලා හිනා වුණා. ඒ කාන්තාව ලොකු ලැජ්ජාවකට පත් වුණා. කිසිම කෙනෙක් ඇය වෙනුවෙන් කතා කළේ නැහැ. අන්තිමට ඇය ඊළඟ ස්ටේෂන් එකෙන් බැහැලා ගියා“

මීළඟට අපට හමු වූ ඇය තස්මිලා. ඇය වෘත්තියෙන් හෙදියක්. නිතර දුම්රියෙන් ඇය කොළඹ පැමිණෙන්නේ ඇගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහාය. මේ ඇගේ අදහස්ය.

“කාන්තාවන්ට හිමි විය යුතු දෙයක් තමයි මේ සිදු කළේ. මෙය මීට පෙර තමයි ස්ථාපිත කරන්නට තිබුණේ. දුම්රියේ ගමන් කරන කාන්තාවන්ට ලැබුණු ලොකු නිදහසක් ලෙස මෙය මම දකිනවා. ඒත් කාන්තා මැදිරියක් තිබෙන නිසා අනෙකුත් මැදිරිවල යන කාන්තාවන්ට කාන්තා මැදිරියටම නඟින්න කියා බලපෑම් හිරිහැර එල්ල වෙයි ද දන්නෙ නැහැ. ඒ ගැනත් වගකිව යුත්තන් සිතා බලන්න ඕන.” සිනා මුසු මුහුණින් ඇය පවසයි.

අපත් සමඟ කතාබහ කළ බොහෝ කාන්තාවන්ගේ අදහස වූයේ කාන්තා මැදිරි ඇති කිරීම සතුටට කරුණක් වන බවය. එය නොකඩවා ක්‍රියාත්මක වියයුත්තක් බවයි.

එලෙස කාන්තා මැදිරි වෙන් කිරීම පිළිබඳ දුම්රිය පාලනාධිකාරියෙන් ද අපි විමසා සිටියෙමු. එහි දී දුම්රිය සාමාන්‍යාධිකාරී ඒම්. ජේ.ඩී. ප්‍රනාන්දු මහතා පවසා සිටියේ, ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සංකල්පයක් මත මෙය ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බවයි. ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, 'කාන්තාවන් හට නිතර නිතර පොදු ප්‍රවාහන සේවාවේදි සිදු වන අසීරුතාවන්ගෙන් හිංසනයන්ගෙන් බේරාගැනීම සඳහා ප්‍රවාහන අමැතිවරයා ප්‍රථම අදියර වශයෙන් මේ ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි.

මෙහි ඇති සාර්ථකත්වය මත ඉදිරියේදි අනික් දුම්රියන් හිද කාන්තා මැදිරි යෙදවීමට අපි තීරණය කරනවා. කාර්යාලයට යෑමට ඒමට ලංකාවේ දුම්රිය සේවාව භාවිත කරන මගීන්ගෙන් සියයට පනහකට අධික ප්‍රමාණයක් කාන්තාවන් බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය කළ සමීක්ෂණයකදී මේ වන විට හෙළි වෙලා තිබෙනවා. ඒ සමීක්ෂණයේදී වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා. දුම්රිය මැදිරි තුළදී වයස් සීමාවන් නොතකා සියලුම කාන්තාවන් විවිධාකාරයේ මානසික සහ ශාරීරික පීඩාවන්ට ගොදුරු වන බව. එම තත්ත්වය සහ කාන්තාවන් හා කාන්තා සංවිධාන, කාන්තා කටයුතු ඇමතිනිය කළ ඉල්ලීම්ද සැලකිල්ලට ගෙන කාන්තාවන්ටම වෙන්වූ දුම්රිය මැදිරි සේවාවක් ආරම්භ කිරීමට ප්‍රවාහන අමාත්‍යතුමා ගත් සාධනීය පියවරක් ලෙස මම මෙය දකිනවා.”

“පිරිමි පාර්ශ්වයෙන් ‍යම් යම් චෝදනා මෙයට එල්ලවෙනවා නේද?” අප ඇසූ පැනයට ඔහු පිළිතුරු දුන්නේ “ඔව්. පැසසුම් වගේම චෝදනාත් එල්ල වෙනවා තමයි. ඒක ඉතින් ස්වභාවය. කොහොම වුණත් කාන්තාවන්ගේ විශාල කැමැත්තක් මෙයට තිබෙනවා. ඒ වගේම මවු පියන්ටත් මෙතැනදී වගකීමක් තිබෙනවා තමන්ගේ දියණිය ආරක්ෂා සහිතව කාන්තා දුම්රිය මැදිරියක ගමන් කරවීමට.”යැයි අදහස් දක්වමින් ඔහු පවසයි.

“මීට කලකට ඉහත දුම්රියේ ගමන් ගත් තරුණියකට වූ අනුවේදනීය සිදුවීමක් මට මතක් වෙනවා. ඇය සම්මුඛ පරීක්ෂණයක් සඳහා සහභාගි වෙන්නට දුම්රියේ පැමිණ තිබෙනවා. දුම්රියේ මඟීන් අතර ගමන් කරන අතරවාරයේ එක්තරා පුද්ගලයෙක් ඇ‍ගේ ඇගට හේත්තු වෙන්න ඇවිත්. ඇය ඔහුගෙන් මිදිලා පැත්තකට වෙලා. කොහොම හරි ඇය මරදානෙන් බහින කොට ඇගේ කකුලින් ලේ ගලනවා. බලන කොට අර පුද්ගලයා ඇගේ කකුල දැලි පිහියකින් කපලා. ඇයට යන්නට සිදු වුණේ සම්මුඛ පරීක්ෂණයට නෙවෙයි අන්තිමේදි රෝහලටයි. එනිසා කාන්තාවන්ට ආරක්ෂිතව පීඩාවකින් තොරව ගමන්පහසුව සලසන්න මෙවැනි දෙයක් අරඹපු එක ගැන හැමදෙනාම සතුටු විය යුතුයි.” අප සමඟ අදහස් දක්වමින් දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණී සෙනෙවිරත්න එලෙස ප්‍රකාශ ක‍ර සිටියා.

කාන්තා දුම්රිය මැදිරි යෙදවීම පිළිබඳ පුරුෂ පාර්ශ්වයෙන් ද විවිධ අදහස් යෝජනා චෝදනා එල්ල වෙන බැවින් ඔවුන්ගේ අදහස් ද විමසීමට අපි අමතක නොකළෙමු.

වේයන්ගොඩ බලා පිටත්ව යාමට සිටි මනීෂ ජයතිලක පවසා සිටියේ, කාන්තාවන් වෙනුවෙන් වෙන් කර ඇති දුම්රිය මැදිරියේ කොතරම් ඉඩ තිබුණ ද සමහර කාන්තාවන් අනෙක් මැදිරිවල ට ඇතුළු වන බවයි. එනිසා තදබදය වැඩි වී අනෙක් මැදිරිවල පිරිස් තෙරපෙමින් යන විට කාන්තා මැදිරිය හිස්ව තිබීම කනගාටුවට කරුණක් බවය.

“අප‍ රටේ ගොඩක් දේවල් කිරිබත් කාලා බැලුන් පුම්බලා පටන් ගත්තත් ක්‍රියාත්මක වෙන්නේ බොහො ටික කාලයයි. මේ ආරම්භ කරපු වැඩපිළිවෙළ දිගටම ක්‍රියාත්මක වෙනවා නම් ගොඩක් හොඳයි.“ ඒ කාන්තා මැදිරි පිළිබඳ පිරිමින්ගේ හඬයි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »