අර­න්ත­ලා­වට ‘භව­නක්’ ගෙනා ‘යෝධයා’ මහ­ත්තයා

2019-01-23 12:27:00       679
feature-top
* පායන කාලෙ දව­සකට ළිඳෙන් වතුර ලීටර ලක්ෂ­යක් අර­ග­න්නවා
* ‘භවන’ ළිඳ කැපුවේ තනි­යම
* කඳ­වුරේ සෙබ­ළුන්ට වැවක් හැදුවා

අර­න්ත­ලාව යන නම ඇසෙත්ම අපි තව­මත් තිගැ­ස්සෙ­න්නෙමු. මුළු ලොවම කම්පා කර­ව­මින් 1987 ජූලි 02 වන දා භික්ෂූන් වහන්සේ 31 නමක් ඝාත­නය කර­මින් සිදු වු අර­න්ත­ලාවේ තිර­ශ්චීන ඝාත­නයේ බිහි­සුණු මත­කය තව­මත් හිතේ ගැඹුරු පතු­ලක තැන්පත් වී අප කොන­හ­මින් හිඳී.

එහෙත් මර­ණයේ සෙවණැලි දකි­මින් මේ ගම්මා­න­වල ජීවත් වෙමින් සිටි, තව­මත් ජීව­ත්වන මිනිස්සු අස­රණ කර දැමුවේ ත්‍රස්ත­වා­දය පම­ණක්ම නොවේ. පායන කාල­යේදී මේ මිනි­සුන්ට බීමට දිය පොදක් සොයා­ග­න්නට පහසු වූයේ නැත. නවීන ලෝකයේ සමාජ සුබ­සා­ධ­න­යට ගැනෙන කිසිම දෙයක් නොලද මේ මිනිස්සු එදත් ජීවත් වූයේ දුගී­බවේ අන්තිම අඩි­යේය. මේ මොහො­තේත් ඒ යථා­ර්ථය එසේ­මය.

ඒ වක­වා­නුව වන විට හමුදා කඳ­වු­රක්, විශේෂ කාර්ය බළ­කායේ කඳ­වු­රක් යනු ප්‍රදේ­ශයේ සාමාන්‍ය මිනි­සුන්ට ජීවි­තය පිළි­බඳ බලා­පො­රොත්තු ඇති කරන තැනකි. අර­න්ත­ලාව බක්මි­ටි­යාවේ එවක සිට පැවත එන විශේෂ කාර්ය බළකා කඳ­වු­රක් තිබිණි. වර්ෂ 2006 දී මෙම කඳ­වුරේ සේව­යට එක්ව සිටි ප්‍රධාන පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යෙක් වූයේය. නමින් ශාන්ත ජය­ති­ල­කය. අර­න්ත­ලාව ගම්මා­නයේ එව­කට පිහි­ටුවා තිබූ විශේෂ කාර්ය බළකා කඳ­වුරේ ස්ථානා­ධි­ප­ති­ව­රයා ලෙස පත් වූයේ ඔහුය. ඔහු වෙනස් විදිහේ මිනි­සෙකි. ඔහු සිය රාජ­කා­රිය ආරම්භ කළේ අන්ත පීඩා­වට පත් මනු­ෂ්‍ය­යන් පිරි­සක් සම­ගය. අර­න්ත­ලාව එක් අත­කින් කාන්තා­ර­යකි. වැසි ලැබෙන්නේ වසරේ එක් කාර්තු­වක් පමණි. පායන සමයේ එක සීරු­වට වැටෙන චණ්ඩ හිරු කිරණ පොළොව ආස­න්නයේ ඇති සෑම දිය පොදක්ම වාෂ්ප කර දැම්මේය.

මර­ණ­යට අභි­යෝග කර­මින් සිය ගණන් සිවිල් මනු­ෂ්‍ය­යන්ගේ ජීවි­තා­පේ­ක්ෂාව තහ­වුරු කළ මේ කඳ­වු­රු­ගත සෙබ­ළුන්ට අවු­රුද්දේ මාස හය­කට ආසන්න කාල­යක් බොන්න­ට­වත් දිය පොදක් තිබුණේ නැත. කඳ­වුරේ අත්‍ය­වශ්‍ය ජල පහ­සු­කම් නොති­බිණි. සෙබ­ළුන්ගේ සියලු අව­ශ්‍යතා සැපි­රීම සඳහා වතුර රැගෙන ආවේ මහ­ඔය ප්‍රදේ­ශයේ සිට බවු­සර මඟිනි. ඒ තත්ත්වය පොලිස් පරී­ක්ෂක ශාන්ත ජය­ති­ලක බෙහෙ­වින් පීඩා­වට පත් කළේය. කඳ­වුරේ එදි­නෙදා පරි­පා­ලන කට­යුතු මේ පසු­බිම තුළ දුෂ්කර විය.

මේ අත­ර­තුර වැසි සමයේ දී සක්‍රීය වී මාස කීප­යක් තිස්සේ ගලා­ගෙන යන දිය කඳුරු කීප­යක් කඳ­වුර අස­ලින් ගලා­ගෙන යන ආකා­රය ශාන්ත ජය­ති­ලක නිරී­ක්ෂ­ණය කළේය. ඔහු එම දිය කඳුරු කීපය එක් කර කුඩා ප්‍රමා­ණයේ වැවක් නිර්මා­ණය කළ හැකි ආකා­රය ගැන අව­ධා­නය යොමු කළේය. ඔහු සිය කඳ­වුරේ සෙබළ පිරිස සමඟ කට­යුත්ත ආරම්භ කළේය.

පස් පිර­වෙ­මින් කුඩා වෑ කන්දක් නිර්මා­ණය කෙරිණි. අව­සා­නයේ වෑ කන්දේ ඉදි­කි­රීම් කට­යුතු නිමා විය. වැසි සමයේ කුඩා වැව දියෙන් පිරී ඉතිරී ගියේය. වසර පුරාම පව­ත්වා­ගත හැකි ජල සංචි­ත­යක් කඳ­වුරු පරි­ශ්‍රයේ නිර්මා­ණය විය. වසර ගණ­නක් තිස්සේ නිය­ඟ­යෙන් බැට කමින් දුෂ්කර ක්‍රියා­වක යෙදුණු විශේෂ කාර්ය බළ­කායේ සෙබළ මුළු­වට මෙන්ම ගම්වා­සී­න්ටත්, ඒ අවට සැරි සරන සතා සීපා­වු­න්ටත් දිය පහස නිවා­ග­න්නට මේ වැව මහෝ­ප­කාරී විය. එහෙත් මේ උත්තම සංක­ල්පය ප්‍රායෝ­ගික කළ ඒ උතුම් මනු­ෂ්‍යයා අද ජීව­තුන් අතර නැත. එය වෙනම ඛේද­වා­ච­ක­යක් වූ කතා­වකි.

එදා පොලිස් පරී­ක්ෂක ශාන්ත ජය­ති­ල­ක­යන් තැබූ පිය­වර තවත් යෝධ ඉල­ක්ක­යක් වෙත රැගෙන යෑමට මේ වන විට අර­න්ත­ලාව විශේෂ කාර්ය­බ­ළකා කඳ­වු­රු­ගත සෙබළු කට­යුතු කර­මින් සිටිති. අප ඒ ස්ථාන­යට යන විටත් ඔවුහු ඒ සද්කා­ර්යයේ නිර­ත­වෙ­මිනි.

අර­න්ත­ලාව ජය­ති­ල­කා­රා­මා­ධි­පති මොර­ටුවේ විම­ලා­නන්ද හිමි ඇතුළු මහා සඟ­රු­ව­නගේ ආශි­ර්වා­දය මැද විශේෂ කාර්ය බළ­කායේ සහ­කාර පොලිස් අධි­කාරි පිගේරා සහ අර­න්ත­ලාව කඳ­වුරේ ස්ථානා­ධි­පති පොලිස් පරි­ක්ෂක නිරෝ­ෂන්, පොලිස් පරි­ක්ෂක පඩි­විට, උප පොලිස් පරී­ක්ෂ­ක­ව­රුන් වන ගයා­ෂාන් සහ චාමර ඇතුළු නිල­ධා­රීහු එම අව­ස්ථා­වට එක්වී සිටි­යහ. ඔවුන් අර­න්ත­ලාව කඳ­වුරු භූමියේ පිහිටි ඔවුන්ගේ වැව මිනි­සුන් වෙනු­වෙන් පුළුල් කර­දීමේ කට­යුත්ත අරඹා හමා­රය.

නිය­ඟ­යෙන් පිඩා විඳින අර­න්ත­ලාව ගම්වා­සින්ට දිය බිඳක් ලබා දී කුඹුරු අක්කර දෙතුන් සිය­ය­ක්වත් යල මහ දෙක­න්නයේ වගා කර­න්නට සැල­සීම වැව පුළුල් කිරීමේ අර­මුණ වූ බව කියැ­විණි. මේ සංක­ල්පය ඉප­දවූ අද ජීව­තුන් අතර නැති ශාන්ත ජය­ති­ල­ක­යන් මේ ඇර­ඹුම පුරාම ජීව­මාන වන අයුරු දක්නට ලැබිණි. වෑ කන්ද පුළුල් කරන පරි­ශ්‍රයේ සිට මෑත නිලන ගහ­කොළ දෙස බලා­ගෙන සිටින අපට මේ කතාව කිවේ අර­න්ත­ලාව ජය­තිලකා­රාම විහා­රා­ධි­පති මොර­ටුවේ විම­ලා­නන්ද හිමි­යෝය.

“මීට වසර ගණ­නා­ව­කට පෙර මේ කඳ­වුරේ අණ­දෙන නිල­ධාරී ලෙස කට­යුතු කරන ලද ජය­ති­ලක මහතා අද ජිව­තුන් අතර නොසි­ටි­යත් කව­දා­වත්ම ඔහු අපිට අම­තක වෙන්නේ නැහැ. මේ විහා­ර­ස්ථා­නය හදන්න මුල් වුණේ අපේ ජය­ති­ලක මහ­ත්ත­යයි. මෙම විහා­ර­ස්ථා­නයේ සංඝා­වා­සය, පරණ විහා­රය, ධර්ම ශාලාව, වැසි­කිළි ඇතුළු විහා­ර­ස්ථා­නය මුළු­ම­නින්ම වාගෙ ගොඩ නැඟුවේ මෙතු­මන්ලා විසින්. ඔහු මේ සියල්ල කළේ කොටි කල­බල මැද. හතර වටින් කොටි ගහද්දි ගම්මා­න­ව­ලට පැනලා මිනි­සුන් මැරෙන්න නොදී ආරක්ෂා කර­ගන්න ගමන්.”

“ජය­ති­ලක මහතා ගිය මඟ යමින් නැව­තත් වැව විශාල කර ප්‍රති­සං­ස්ක­ර­ණය කිරීම ගැන හරිම සතු­ටුයි. අපේ ගමේ පවුල් 200ක් පමණ සිටි­නවා. ඒ වැවෙන් අඩුම තර­මින් එක පවු­ල­කට එක් කුඹුරු අක්ක­ර­ය­ක්වත් ලබා දී වගා කරන්න හැකි වුණොත් ඇත්ත වශ­යෙන් හේන් ගොවි­තැ­නින් ජිවත් වෙන ගම්මා­නයේ ජන­යාට එය මහා සහ­න­යක් වෙනවා“ විපු­ලා­නන්ද හිමියෝ කීහ.

අර­න්ත­ලාවේ පදිංචි බී. එම්. අප්පු­හාමි එතැ­නට ඇවිත් සිටි­යේය. ඔහු අප හා කතා­වට එක් විය.

“අපි ජීවත් වෙන්නේ හරිම අප­හ­සු­වෙන්. මෙම ගම්මා­න­යට දින­ප­තාම වගේ හරක් සහ අලි විශාල පිරි­සක් පැමි­ණෙ­නවා. ඒ නිසා ජන­යාට වගා කර­ගන්න බැරි වෙලා තියෙ­නවා. ගමට ජලය නැහැ. මේ ගමට ඒ කාලයේ කොටි­න්ගෙන් පුදුම කර­ද­ර­යක් තිබුණේ. ගොඩක් දෙනෙක් මරලා දැම්මා. අපිට සහ­නා­ධාර මල්ලක් එපා. අපිට වගා කරන්න ජලය ටිකක් දෙන්න. වන අලි සහ ගව­ය­න්ගෙන් වන හානිය නවතා දමන වැඩ­පි­ළි­වෙ­ළක් හදන්න. විශේෂ කාර්ය බළ­කායේ මහ­ත්ව­රුන් හදන වැවෙන් වතුර අපට ලැබු­ණොත් ඒක ගමට ලොකු සෙතක්. මේ කඳ­වුරේ ස්ථානා­ධි­ප­ති­ව­රයා වෙලා හිටපු ජය­ති­ලක මහ­ත්තයා අපූරු මනු­ස්ස­යෙක්.

මම දව­සක් අර­න්ත­ලාව කවු­ඳ­රට ආවා. නමුත් එහි ස්ථානා­ධි­ප­ති­ව­රයා හිටියේ නැහැ. පස්සෙ මම හොයන්න යද්දි ඔහු පාර අයිනේ ළිඳක් හාර­නවා. තනි­යෙන් දහ­ඩිය දාගෙන වැඩ. පුදුම කෙනෙක්. කිසි අප­හ­සු­තා­වක් නැතිව වැඩ කර­නවා. ජන­තාව වෙනු­වෙන් පුදුම කැප වීම­කින් තමයි ඔහු වැඩ කළේ.”

අර­න්ත­ලාව සී. එම්. ජය­රත්න ඒ මත­කය අලුත් කළේය.

“ජය­ති­ලක මහ­ත්තයා වතුර පොදක් නැතිව හිටපු මිනි­සුන්ට ළිං කිහි­ප­යක් හදලා දුන්නා. හැම­දාම නිය­ඟ­යෙන් බැට කාපු අපිට එ්ක මහා අස්වැ­සි­ල්ලක් වුණා. එතුමා පාර අයිනේ විශාල ළිඳක් කැපුවා. ගමේ අය කියන්නේ එ්කට භවන කියලා. ඒක මහා පුදුම ළිඳක්. ඒකෙන් දව­සට බවු­ස­ර්ව­ලට වතුර ලීටර ලක්ෂ­යක් ගහ­නවා. ඒත් එතෙන වතුර හිඳෙන්නේ නැහැ. පායන කාලෙට මේ පැත්ත පළාතේ ළිං ඔක්කෝම හිඳෙ­නවා. ඒ්ත් ජය­ති­ලක මහ­ත්තයා හැදුව භවන කියන ළිද හැම නියං කාලෙ­ටම සව­සට වතුර ලීටර ලක්ෂ­යක් ගන්න පුළු­වන්. පායන කාලේ අපිත් වතුර ගන්නේ එකෙන්. ඒ මහ­ත්තයා ඒ ළිඳ කැපුවේ පුදුම තැනක. භුමිය පිළි­බඳ මහා දැනු­මක් එතු­මාට තිබ්බේ. මංග­ල­ගම පාලම ළඟ ඉඳලා කිලෝ මීටර් තුන­හා­ම­රක් දුරට අර­න්ත­ලාව නුව­ර­ග­ලට වෙන­කල් වතුර නැහැ. අපි පුදුම විදි­හට පීඩා විඳින්නේ. අර­න්ත­ලා­වට මහා සේව­යක් කරපු ජය­ති­ලක මහ­ත්ත­යාට කට්ටිය කියන්නේ යෝධයා කියලා. ඇත්ත­ටම එතුමා යෝධ වැඩ­මයි කළේ.”

බොහෝ දෙනෙක් ඇලුම් කරන ගම්මා­න­යක් ගොඩ නඟන්න වෙහෙස මහන්සි වුණු මේ සොඳුරු මිනි­සාට 2011 සැප්තැ­ම්බර් 25 වන දා අව­ස­නා­වන්ත දින­යක්ම විය. නොවැ­ට­හෙන කාර­ණ­යක් මත ඔහු සහ­කාර පොලිස් අධි­කා­රි­ව­යෙ­කුට වෙඩි තබා ඔහුද වෙඩි තබා ගෙන මිය ගියේය.

“වෙනස්ම චින්තන ධාරා­වක් සහිත මිනි­හෙක්. ඔහු ගමක් ගොඩ­නැ­ඟුවා. හරි­යට ආණ්ඩු­වක් වගේ... ඒ වගේ මනු­ස්ස­යෙක් මේ තත්ත්ව­යට පත්වේවි කියලා කාට­වත් අද­හ­ගන්න බැරි වුණා. එදා මුළු අර­න්ත­ලා­වම පම­ණක් නොවෙයි. මුළු විශේෂ කාර්ය බළ­කා­යම කම්පා වුණා. ඇසූ­වන් යෝධයා මහ­ත්ත­යාගේ අකල් වියෝ­වෙන් ඇඬුවා.”

ඔහු මිය ගොස් වසර අටක් ගතව ඇත. එහෙත් අර­න්තලා ජනයා යෝධයා මහ­ත්තයා සිහි කරන්නේ අදත් ඔහු ජීව­මා­නව ඉන්නවා තරමේ ආද­ර­යෙනි. ඔහු අර­න්ත­ලාව විශේෂ කාර්ය බළකා කඳ­වුර ඉදි­රි­පිට මහා මාර්ගය අසල ඉදි කර තිබෙන විශාල පැන්තා­ලි­යෙන් මේ මඟ යන කොයි කවු­රුත් දිය පහස නිවා ගිනිති.

ගමක් වෙනස් කර ගම­කට ජීවය දුන් අපුරු මිනි­සාගේ බිරිය ඒච්. ඒ. සේපා­ලිකා සිය දිය­ණි­යන් තිදෙනා සම­ඟින් රත්න­පුර ප්‍රදේ­ශයේ වාසය කරයි.

“මහ­ත්ත­යාගේ ජිවි­තයේ පළමු තැන තිබ්බේ රාජ­කා­රි­යට. දෙවැනි තැන තමයි පවුල් ජිවි­ත­යට තිබ්බේ. අර­න්ත­ලා­වට ගියාම කාන්තා­ර­ය­කට ගියා කියලා මහ­ත්තයා කිව්වා. ඒ ඉන්න ගමන් මහ­ත්තයා පැළ සිටෙව්වා. වැවක් හැදුවා. 2006 තමයි මහ­ත්තයා අර­න්ත­ලා­වට ගියේ. නුව­ර­ග­ල­තැන්න පාස­ලට පරි­ග­ණක පාසල් උප­ක­රණ දුන්නා. පන්සල් හැදුවා. ළිං හැදුවා. මර­ණ­යෙන් හර­කුන් බේරලා අහිං­සක මිනි­සුන්ට දුන්නා. .

“ඒ හැම දේම කළේ දහ­ඩිය මහ­න්සි­යෙන් දුක් විඳලා කැප වීම් කරලා. තමන්ට ලාභ මහ­න්සි­යක් බලා­ගෙන නෙවෙයි. මහ­ත්ත­යාට දේශ­බන්දු සහ දේශ­පුත්‍ර යන ගෞරව සම්මාන දෙකක් හිමි වුණා. මහ­ත්තයා මිය යන්න මාස 03ක සිට වෙන­දාට වඩා කල්ප­නා­වෙන් හිටියේ. ගොඩක් වේලා­වට හැම දෙයක්ම ඇවිල්ලා කිය­නවා. නමුත් සම­හර දේවල් මහ­ත්තයා අපිට දුක හිතෙයි කියලා කියන්නේ නැතිව ඉඳලා තියෙ­නවා. මහ­ත්තයා මිය ගිය දවසේ උදේ මටයි දුවලා දෙන්නෙ­කු­ටයි කතා කළා. අනෙක් දුවට දවල් වෙලා කතා කර­න්නම් කිවා. එත් දවල් වෙද්දි අපිට අහන්න ලැබුණේ නරක ආරං­චි­යක්. ”

ඔහු ජීව­තුන් අතර නැත. එහෙත් ඔහුගේ උතුම් සංක­ල්ප­නා­වන් තව­මත් ජීව­මා­නය. ඔහු ගිය මඟ යමින් ගමට දිය­වර දෙන්නට ඔහුගේ සහෝ­දර නිල­ධාරි පිරිස් කැපවී සිටිති. කොතැ­නක හෝ වර­දක් සිදු වී අවා­ස­නා­වන්ත අව­සා­න­යක් අත්වූවා වන්නට පුළු­වන. වැද­ගත් වන්නේ පුද්ග­ල­යෙ­කුගේ අව­සා­නය නොවේ. ජීවි­තයේ අව­සා­නය තෙක් ඔහු සමා­ජ­යට දායද කළ යහ­පතේ ප්‍රමා­ණය ය. එය තීර­ණය කරන්නේ සමා­ජය විසිනි

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »