බදුලු කෝච්චි පාරේ කුණු එකතු කළ පරි­සර මිතුරෝ

2019-01-21 10:50:00       679
feature-top
* කි:මී: 7ක් යන විට බෑග් 12ම කස­ළ­ව­ලින් පිරුණා.
* මඟ හමු­ වුණු දුම්රිය 8කට අයින් වුණා.
* මෙවර කසළ ඉවත් කළේ දෙවැනි වතා­වට

මිහි­දුම් සළු පොරවා ගත් කිරි­ග­ල්පොත්ත කඳු පන්තිය එක් පසෙ­කින් දිස් වන විට අනෙක් පසින් ශීඝ්‍ර කඳු බෑවුමේ වගා බිම් යායක් දක්නට ලැබෙන පට්ටි­පොළ දුම්රිය ස්ථානය, ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථාන අත­රින් සුවි­ශේෂ දුම්රිය ස්ථාන­යක් වන්නේ ශ්‍රී ලංකාවේ උසම දුම්රිය ස්ථානය වන නිසා ය. පට්ටි‍ෙ­පාළ දුම්රිය ස්ථානය පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 6,222 ක් ඉහ­ළිනි. පට්ටි­පොළ සිට බදුල්ල දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ KM 224 කණුව පිහිටි සම­ර්සෙට් ස්ථානය, ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධ­තියේ උසම ස්ථානය ලෙස හැඳින්වේ. සම­ර්සෙට් පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 6,226ක් ඉහ­ළිනි. එතෙක් කෙඳිරි ගාමින් ආයා­ස­යෙන් කඳු නැඟ­ගෙන පැමිණි බදුලු කෝච්චිය හති­ල­මින් කඳු බැසී­මට පට­න්ගන්නේ සම­ර්සෙට් සිට ය. බදුලු කෝච්චියේ කෙඳි­රිලි හඬ යට­පත් කර­මින් ගලා හැළෙන දිය ඇලි හඬ, වන මලින් වැසුණු කඳු අතර දෝංකාර දෙද්දි මහා රත් මල් යාය සහ යුකි­ලි­ප්ටස් වගාව මැදින් දුම්රිය ඉදි­රි­ය­ටම ගමන් කරන්නේ පට්ටි­පොළ පසු­ව­න­වාත් සමඟ හමු­වන අංක 18 දරන බිංගෙ­යට ය.

ඝන මීදුම් පටල ඉරා­ගෙන, හාත්පස වෙළා­ගත් අඳුර කපා­ගෙන බිංගෙ­යට ඇතුළු වන දුම්රිය ඉන් පිට­තට පැමි­ණෙන්නේ හොඳින් හිරු රැස් පතිත වන සම්පූ­ර්ණ­යෙන් ම වෙනස් වූ දේශ­ගු­ණික කලා­ප­ය­කට ය. උඩ­රට දුම්රිය මාර්ගයේ පට්ටි­පොළ ආශ්‍රිත ප්‍රදේ­ශය ඉතා වැද­ගත් කලා­ප­යක් වන්නේ මෙවැනි දේශ­ගු­ණික විප­ර්යා­ස­යන්ට ලක් වන, සොබා සෞන්දර්ය කැටි කර ගත් ප්‍රදේ­ශ­යක් වන බැවිනි. මෙම කලා­ප­යට දුම්රිය මගීන් විසින් බැහැර කරනු ලබන කසළ ඉවත් කර සොබා දහම් දිනි­ති­ය­ගෙන් උරුම වූ අලං­කා­රය තව­දු­ර­ටත් රැක ගැනීමේ අර­මු­ණින් පසු­ගිය දෙසැ­ම්බර් 23 වැනිදා කණ්ඩා­ය­මක් සත් කාර්ය­යක නිරත වූහ.

මෙම කණ්ඩා­ය­මට අයත් සංඛ්‍යාව 30 කි. මෙහි නඩේ ගුරා වන්නේ පන්නි­පි­ටිය ඇරැ­ව්වල පදිංචි රංජන් තිය­ඩෝර් ය. එම ගමේ ම පදිංචි සෝම­රත්න බණ්ඩාර, රංජන්ගේ සගයා ලෙස කට­යුතු කළේ ය.

“මම පරි­සර ගවේ­ෂ­ක­යෙක්. පරි­ස­රය ගවේ­ෂ­ණය කිරීමේ ප්‍රති­ඵ­ල­යක් විදි­හට උඩ­රට දුම්රිය මාර්ගයේ පට්ටි­පොළ සහ ඉද­ල්ග­ස්හින්න කලා­පය වැද­ගත් කලා­යක් හැටි­යට මම හඳුනා ගත්තා. මම පට්ටි­පොළ දුම්රිය ස්ථානා­ධි­පති හමු­වෙලා රේල්පාර දිගේ ඇවි­දින්න අහ­පු­වාම ඔහු ඊට අව­සර දෙන්න බැහැ කිව්වා. ඒත් අප­ද්‍රව්‍ය එකතු කිරීමේ වැඩ­ස­ට­හ­නක් සැල­සුම් කළොත් රේල්පාරේ ඇවි­දින්න අව­සර ලැබේවි කියලා මට හිතුණා. උඩ­රට දුම්රිය මාර්ගය දෙපස ප්ලාස්ටික් බෝතල්, ලන්ච් ෂීට් වැනි කසළ දාලා තියෙවා මම අන­න්ත­වත් දැකලා තියෙ­නවා. ඇත්තට ම උඩ­රට දුම්රිය මාර්ගය හරිම සුන්ද­රයි. ඒ සුන්දර පරි­ස­රය කස­ළ­ව­ලින් අසු­න්දර වීම වළක්වා ගන්න පුළු­වන් නම් හොඳයි කියලා මට හිතුණා. මගේ පරි­සර ගවේ­ෂ­ණය වගේම එයින් යහ­පත් වැඩක් කරන්න පුළු­වනි නේද කියලා මට හිතුණා. ඊට පස්සේ මම දුම්රිය සාමා­න්‍යා­ධි­කාරි හමු වුණා. ඒත් ඔහු අව­සර දුන්නේ නැහැ. නියෝජ්‍ය පරි­පා­ලන නිල­ධාරි විරාජ් මහ­ත්තයා කිව්වා රේල්පාරේ ඇවි­දින්න අව­සර දෙන්න බැහැ, ඒක නීති විරෝ­ධියි, ඒත් කසළ ඉවත් කිරිමේ යහ­පත් අර­මු­ණක් තිබෙන නිසා පරි­ස්ස­මෙන් ගිහින් ඒ වැඩේ කරන්න කියලා කිව්වා.” යනු­වෙන් ගම­නට අව­සර ලබා ගත් අයුරු විස්තර කර­මින් කතා­බ­හට මුල පිරුවේ රංජන් තිය­ඩෝර් ය.

රංජන් සිය චාරි­කාව හා හා පුරා කියා ආරම්භ කළේ 2017 වර්ෂ­යේදී ය. ඊට සෝම­රත්න බණ්ඩාර, උප­තිස්ස කරු­ණා­රත්න ඇතුළු 17 දෙනෙක් සහ­භාගි වූහ. පට්ටි­පොළ සිට ඉද­ල්ග­ස්හින්න අතර දුම්රිය මාර්ගයේ දෙපස තිබුණු අප­ද්‍රව්‍ය ඉවත් කිරීම එම ගම­නේදී සිදු කෙරිණි. 2018 දෙසැ­ම්බර් 23 වැනි දින ඔවුන් සහ­භාගි වූයේ දෙවැනි වතා­වට ය. මෙවර කණ්ඩා­යමේ තිස්දෙනා තෝරා ගැනුණේ පවුල් 4 ක සිටි යොවුන් පිරිස සහ ගමන් කළ හැකි මැදි­වියේ පසු­වන අයගෙනි.

රංජන් ඇතුළු කණ්ඩා­යම දෙසැ­ම්බර් 23 වැනිදා පන්නි­පි­ටි­යෙන් පට්ටි­පොළ බලා ගමන ආරම්භ කළේ පාන්දර 1.00 ට ය. උදෑ­සන ආහාර ගෙන පට්ටි­පොළ දුම්රිය ස්ථානා­ධි­පති හමු වී දැනු­ම්වත් කිරී­මෙන් අන­තු­රුව ඔවුන් දුම්රිය මාර්ග­යට පිවි­සියේ උදෑ­සන 8.00 ට ය. අප­ද්‍රව්‍ය එකතු කර දමා ගැනීම සඳහා ඔවුන් බෑග් 12 ක් රැගෙන ගිය අතර අංක 20 දරන බිංගෙය අස­ලට යන විට මෙම බෑග් සිය­ල්ලම පිරී අව­සන් විය. පට්ටි­පොළ සහ ඔහිය යන දුම්රිය ස්ථාන දෙක අතර තිබුණු කැලි­ක­ස­ළ­ව­ලින් සිය­ලුම බෑග් පිරී ඉතිරී යාමෙන් දුම්රිය මාර්ගය දෙපස අප­ද්‍රව්‍ය කොත­රම් ප්‍රමා­ණ­යක් තිබේද යන වග අපට මනාව පැහැ­දිලි වේ.

“රේල්පා­රට විසි කරලා තිබුණු අප­ද්‍රව්‍ය අතර වැඩි­පු­රම තිබුණේ ප්ලාස්ටික් කෝප්ප, ප්ලාස්ටික් බෝතල්. ඒ වගේම බිස්කට් පැක­ට්වල කවර, කෑම කොළ, වීදුරු මත්පැන් බෝතල් එහෙම තිබුණා. අපි කසළ එකතු කරන්න යන ගමන ගැන පට්ටි­පොළ, ඔහිය සහ ඉද­ල්ග­ස්හින්න දුම්රිය ස්ථානා­ධි­ප­ති­ව­රුන් වගේ ම ස්ථිර මාර්ග පරී­ක්ෂ­ක­ව­රුන් දැනු­වත් කර තිබුණේ. ස්ථිර මාර්ග පරී­ක්ෂක කිව්වා කසළ පුර­වපු බෑග් එක්තරා තැන­කින් තියන්න, ඒ අය ඩක්කු­වෙන් ඇවිත් ගන්නම් කියලා. අපි ඒ විදි­හට බෑග් තිබ්බා. මේ මාර්ගයේ කොයි තරම් කුණු තිබෙ­න­වාද කිය­නවා නම් ඔහි­යට යන විට අපේ බෑග් පිරුණ නිසා අපිට ඔහිය - ඉද­ල්ග­ස්හින්න අතර දුම්රිය මාර්ගයෙ කුණු එකතු කරන්න බැරි වුණා. අපේ ගමන ඔහි­යෙන් නව­ත්වන්න සිද්ධ වුණා. මුල්ම වතා­වෙදි නම් ඉද­ල්ග­ස්හින්න දක්වා ම කුණු එකතු කළා.” යනු­වෙන් රංජන් තිය­ඩෝර් පැව­සුවේ දුම්රිය මාර්ග­යට කුණු දැමීමේ ප්‍රව­ණ­තාව ඉහළ ගොස් ඇති බව අපට පසක් කර­මිනි.

ඔවුන්ගේ අප­ද්‍රව්‍ය එකතු කිරීමේ චාරි­කාවේ මුළු දුර කි:මි: 16 කි. එහෙත් ඔවුන්ට ඔහිය දක්වා යා හැකි වූයේ කි:මි: 07 ක දුරක් පමණි. මෙම කි:මි: 07 ක දුර දුම්රිය මාර්ගයේ කසළ එකතු කර­මින් යන විට ඔවුන්ට මුණ­ගැ­සුණු දුම්රිය 8කට පමණ මාර්ගයේ අයින් වීමට සිදු විය. මෙම කණ්ඩා­යම දුම්රිය මාර්ගයේ අප­ද්‍රව්‍ය එකතු කර­මින් ගමන් කරන බව දුම්රිය ස්ථානා­ධි­ප­ති­ව­රුන් විසින් දුම්රිය රිය­දු­රන් දැනු­ම්වත් කර තිබුණු බැවින් මෙම කණ්ඩා­ය­මට හමු වූ සෑම දුම්රි­යක් ම ඈත තියා ම නළාව හඬ­ව­මින් ධාව­නය කළේ ඔවුන්ට දුම්රිය මාර්ග­යෙන් ඉවත් වීමට කල්වේලා දෙමිනි. මෙම කණ්ඩා­යම පට්ටි­පොළ සිට ඉද­ල්ග­ස්හින්න දක්වා ගමන් කළේ නම් පසු කළ යුතු බිංගෙ­වල් ගණන 17 කි. එහෙත් ඔහිය දක්වා ගමන් කළ ඔවුන්ට පසු කළ හැකි වූයේ බිංගෙ­වල් 03 ක් පමණි.

“බිංගෙ­ව­ල්ව­ලින් යන විට නම් කැප් එකක් දාගෙන ටෝච් එකක් අරං යන්නම ඕනෑ. බිංගෙයි ඇතුළේ කළු­ව­රට ජංගම දුර­ක­ථ­නයේ ටෝච් එළිය ප්‍රමා­ණ­වත් වෙන්නේ නැහැ. ඒ තර­මට ම තද කළු­වර. කැප් එකක් දාගෙන නොගි­යොත් කුරු­ල්ලන්ගේ වසුරු වැටෙ­නවා. බිංගෙ­වල් ඇතුළේ වැහි­ළි­හි­ණි­යන් ඉන්නවා. සම­හර තැන්වල දිය සීරාව තියෙන නිසා ඔළු­වට වතුර වැටෙ­නවා.” යනු­වෙන් බිංගෙ­වල් ඇතු­ළ­තින් ගමන් කළ අත්දැ­කීම් රංජන් තිය­ඩෝර් විස්තර කළේ එලෙ­සිනි.

පෙර­වරු 11.30 වන විට ඔහි­යට පැමිණි පිරිස පැටීගේ කඩ­යෙන් දිවා ආහා­රය ගෙන පරි­සර ගවේ­ෂ­ණ­යක් ලෙසින් ඉද­ල්ග­ස්හින්න දක්වා දුම්රිය මාර්ගය දිගේ චාරිකා කිරී­මට සැර­සුණ ද ඔහිය ස්ථිර මාර්ග පරී­ක්ෂක දැනුම් දුන්නේ ඔහි­යෙන් ඉදි­රි­යට පයින් ගමන් කිරීම අන­තු­රු­දා­යක බවයි. ඊට හේතුව තද වර්ෂාව සමඟ නැඟුණු මීදුම සමඟ දිවි­යන් සහ ගෝනුන් උණු­සුම සොයා දුම්රිය මාර්ග­යට පැමි­ණී­මයි. ඉද­ල්ග­ස්හින්න දක්වා දුම්රිය මාර්ගය දිගේ ගමන් කිරීමේ අද­හ­සට නැව­තීමේ තිත තබ­න්නට සිදු වූයේ එබැ­විනි. එහෙත් ඔවුන් දුම්රියේ නැඟ ඔහියේ සිට ඉද­ල්ග­ස්හින්න දක්වා ගියේ විනෝ­දය පිණිස ය. ඉන් අන­තු­රුව බදුල්ලේ සිට කොළඹ බලා පැමි­ණෙන රාත්‍රි තැපැල් දුම්රියේ නැඟ නැව­තත් පට්ටි­පො­ළට පැමිණ එතැන් සිට ඔවුන් ගිය වාහ­න­යෙන් පන්නි­පි­ටිය බලා පිටත් වූයේ මේ වස­රේ­දිත් මේ ආකා­ර­යට උඩ­රට දුම්රිය මාර්ගයේ ඇති අප­ද්‍රව්‍ය ඉවත් කිරීමේ අපේ­ක්ෂා­වෙනි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »