රාවණාගේ ගුවන්තොටුපළ 6ක් ශ්‍රීලංකාවේ-දඬුමොණරය ඇත්ත යානයක්-අවුරුදු 5000කට පෙරත් ඉන්දියාව නළ දරුවන් හදලා!

2019-01-18 10:58:00       581
feature-top
හින්දු ප‍්‍රවාදවලට අනුව මේ අවුරුද්ද වූ කලී කලියුග වර්ෂ ‘5120 ය. කලියුග වර්ෂය’ යනු බුද්ධ වර්ෂයට සහ ක‍්‍රිස්තු වර්ෂයට වඩා වෙනස් එකකි. රාම රාවණා යුද්ධය හටගන්නේ කලි යුගයේ මුල් හරියේදී යැයි කියනු ලැබේ. අටවිසි බුදුවරුන් අතුරෙන් විසිහත්වැනි බුදුවරයා වූ කාශ්‍යප බුදුන් වහන්සේ පිරිනිවන් පෑවේ කලියුගය නමැති යුගයේ මුල් කොටසේදී බව කියනු ලැබේ. ඉන්දියාවේ බරණැස් නුවර පිහිටි ගමක් වූ ඉසිපතනයේ මිගදාය නමැති වසමේ උපන් කාශ්‍යප බුදුහු වසර 2000 ක් ජීවත් වූ බවත් ඊට පෙර වැඩ වාසය කළ කෝනාගම සහ කකුසඳ යන බුදුවරුන්ගේ ආයුකාලය ඊටත් වඩා බෙහෙවින් වැඩිවූ බවත් ජනප‍්‍රවාදවල සඳහන් ය. මේ බුදුවරු සියලූම දෙනා ජීවත්වූ කාලය හඳුන්වනු ලබන්නේ ‘භද්‍රකල්පය’ ලෙසය. මේ ලිපියට නිමිත්ත වූ රාවණා රජතුමා ජීවත් වූයේද මේ භද්‍රකල්පයේය. භද්‍ර කල්පයක් යනු කුමක්ද? විද්‍යාත්මක ගණන් බැලීම්වලට අනුව භද්‍ර කල්පයකට අවුරුදු බිලියන 4.3 ක් තිබේ. ඉංගී‍්‍රසියෙන් aeon යනුවෙන් හඳුන්වන මෙකී භද්‍ර කල්පය පිළිබඳව බුදු දහමෙහි එන අර්ථකථනය මෙසේය; හැතැප්ම 8 ක් දිග, හැතැප්ම 8 ක් උස හැතැප්ම 8 ක් පළල කළු ගලක් වෙත අවුරුදු 100 කට වරක් එක මිනිසෙක් එම ගල්තලය සේද රෙද්දකින් වරක් පිරිමදී. මේ පිරිමැදීමෙන් කිසියම් දිනයක එම ගලගෙවී ක්‍ෂය වී අතුරුදන් වී යයිද ඒ සඳහා ගතවන කාලය භද්‍ර කල්පයකි.
 
 ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆
 
රාවණා රජු මිථ්‍යාවක්ද නැත්නම් සත්‍යයක්ද? මුළු මහත් ඉන්දියාවම පාහේ රාමායනය පිළිගන්නා නමුදු එම වීර කාව්‍යයේ ප‍්‍රධාන පාර්ශ්වකරුවා වූ රාවණා චරිතය මිථ්‍යාවක් හැටියට ශී‍්‍ර ලංකාව තුළදී අභියෝගයට ලක් කරනු ලැබේ. මේ අතර පසුගිය 3 වැනිදා සිට 7 වැනිදා දක්වා ඉන්දියාවේ පන්ජාබ් ප‍්‍රාන්ත කොටසට අයත් දිල්ලි නගරයේ අංක 144411 තැන පිහිටි Lovely වෘත්තීය විශ්වවිද්‍යාලයේදී පවත්වන්නට යෙදුණු ඉන්දියානු විද්‍යා සභාවේ 106 වැනි සැසි වාරයේදි රාවණා රජු විසින් නිපදවන ලද බවට සැලකෙන දඬු මොණරය ඇතුළු ගගන යාත‍්‍රා සමූහයක් තවදුරටත් මිථ්‍යාවක් නොවන බවත් සත්‍ය බවත් පිළිගැනීමට සිදු විය. මෙහිදී සභාව අමතා කතා කළ උගතුන් කිහිපදෙනෙක් රාවණා රජුගේ ගුවන් යානා තාක්‍ෂණයට අනුව අයිසෙක් නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය පිළිබඳ නියමයත් ඇල්බට් අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතා වාදයත්, ගුරුත්ව තරංග (gravitational Waves) පිළිබඳ නියමයත් මහාචාර්ය ස්ටීවන් හෝකින්ගේ කලූ කුහර පිළිබඳ නියමයත් කඩා වැටෙන බව කියා සිටියේය. අවලංගුවූ ගුරුත්ව තරංග නියමය වෙනුවට අලූතින් හඳුන්වා දෙන ගුරුත්ව තරංග නියමය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ නමින් නම් කළ යුතු බව සභාව අමතා කතා කළ කනන් ජෙගතලා කෘෂ්ණන් නමැති විද්‍යාඥයාගේ මතය විය. රාවණා රජුට ලංකාව තුළ ගුවන් තොටුපළ 24 ක් තිබූ බවද ඔහු කීවේය. ඉන්පසු සභාව ඇමතූ අන්ද්‍රා විශ්වවිද්‍යාලයීය මහාචාර්ය ජී. නාගේෂ්වර රාවෝගේ මතය වූයේ මෙයට වසර දහස් ගණනකට පෙර ජීවත් වූ ඉන්දියානුවන් නල දරුවන් බිහි කිරීමේ තාක්‍ෂණය දැන සිටි බවය. ඔවුන් මූල ෙසෙල (Stem Cells) ක‍්‍රමවේදය මගින් දරුවන් විශාල වශයෙන් බිහි කළ බවත් මේ අනුව එක් මවක විසින් දරුවන් 100 කට වඩා බිහි කරන ලද බවත් ඔහු කීවේය. මහා භාරතයේ එන කෞරවයන් එබඳු නල දරුවන් බවද ඔහු පෙන්වා දුන්නේය.
 
කුරු සහ කෞරව කතාව
 
රාවණා රජුගේ ගුවන් යානා තාක්‍ෂණය සහ ඔහු සතුව තිබුණා යැයි කියන ගුවන් යානා වර්ග ගැන මේ ලිපියේ පසු කොටසින් කතා කරන අතර කුරු සහ කෞරවයන් ගැන දැන් කතා කරනු ලැබේ. ඉන්දියානුවන්ගේ ඓතිහාසික වංශ කතාව ඇතුළත් මහාභාරතය නමැති කෞරව හෙවත් කුරු නමැති ජනයා විසූ කුරු ක්‍ෂේත‍්‍ර නමැති රාජධානියක් ගැන සඳහන් වේ. මෙයට අවුරුදු 3500 කට පෙර පැවැති පූර්ව ඓතිහාසික යුගයට අයත් ලෝකඩ යුගයේදී (Iron age) පැවැති මෙම රාජධානිය එකල ඉන්දියාවේ තිබූ ගෝති‍්‍රක ජනපදයකි. මේවා සොළොස් මහා ජනපද ලෙස ද හඳුන්වනු ලැබේ. කුරු රාජධානිය ගැන වේදග‍්‍රන්ථවලද සඳහන් ය. එකල කුරු රාජධානිය තුළ අප‍්‍රමාණ ජන සමූහයක් වාසය කළ අතර එබඳු ජන සමූහයක් හටගැනීමට නම් එක් පවුලක දරුවන් 100 ක් වත් සිටිය යුතු බව උපකල්පනය කෙරේ. කෞරව ජනයා මූල ෙසෙල දරු උපත් තාක්‍ෂණය සහ නල දරු උපත් තාක්‍ෂණය දැන සිටි බවට මහාචාර්ය නාගේෂ්වර රාවෝ් තර්ක කරන්නේ එකී සාධකයට අනුවය. (කුරු රාජධානියේ ආරම්භක රජු වන ද්රීතාර්ෂ්ට‍්‍ර සහ ඔහුගේ බිසවට දරුවන් 101 ක් සිිටියහ.
 
කනන් ජෙගතලා කෘෂ්ණන් නමැති පර්යේෂකයා විසින් අයිසෙක් නිව්ටන් සහ ඇල්බට් අයිින්ස්ටයින්ගේ ගුරුත්වාකර්ෂණ නියමයන්ට පහර ගසමින් ඉදිරිපත් කළ රාවණා රජුගේ ගුවන් යානා තාක්‍ෂණය ගැන දැන් සලකා බලමු. ලොව ශ්‍රේෂ්ඨතම මහාචාර්ය පදවිය ලෙස සැලකෙන්නේ එංගලන්තයේ කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ මහාචාර්ය පදවිය ය. 1664 දී මේ පදවිය පිහිටුවන ලද අතර එම පදවිය ලද ලොව දෙවැන්නා වූ අයිසැක් නිවුටන් ඇපල් ගසක් යට සිටියදී හිස මතට ඇපල් ගෙඩියක් පතිත වීම නිසා ගුරුත්වය පිළිබඳ අදහස ඉපැදිණ. (ඔහුගේ හිස මතට ඇපල් වෙනුවට පොල් ගෙඩියක් වැටුණි නම් සියලූ දේ වෙනස් වීමට ඉඩ තිබිණ). පෘථිවියෙහි ඇති ගුුරුත්වය නිසා ඇපල් ගෙඩිය පොළොවට ඇදී ආ බව නිව්ටන් තේරුම් ගත්තේය.
 
 රාවණා රජුගේ දඬු මොනරය මේ සියලූ ගුරුත්ව නියමයන්ට පටහැනිව කටයුතු කළ ගුවන් යානා වර්ගයකි. මහාරිෂි වාල්මිකී විසින් ලියන ලද කාණ්ඩ හතකින් ද පරිච්ෙඡ්ද විසි හතරකින්ද ශ්ලෝක හාරදහසකින්ද සමන්විත රාමායනය මගින් විස්තර කරන පරිදි දඬු මොනරය යනු ‘විමාන’ නමැති වර්ගයට අයත් ගුවන් යානයකි. එය කි‍්‍රයාකරන්නේ නියමුවාගේ චිත්ත ශක්තිය, ගුප්ත ශක්තිය (මන්ත‍්‍ර බලය) සහ රසදියවලිනි. මෙහිදී යානයේ ඉන්ධනය ලෙස රසදිය හඳුනාගනු ලැබේ. යානය හසුරුවන්නේ චිත්ත ශක්තිය මගිනි. ඉන්ධන හෙවත් රසදියවල ආධාරයට ගුප්ත ශක්තියද යොදා ගන්නා ලදැයි උපකල්පනය කළ හැකියි. මේ අතර ඉන්දියාවේ බැංගලෝරයේ ජයන් විශ්වවිද්‍යාලයේ K.R. Shruti නමැති ශිෂ්‍යාව විසින් ඇගේ උපදේශිකාවක වන මහාචාර්ය රාජිනි ජයරාම් යටතේ ලියන ලද ආචාර්ය උපාධි නිබන්ධනයේ පර්යේෂණ පති‍්‍රකාවක මෙසේ සඳහන්වේ. ‘ඇමරිකාවේ Minnesota විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් චිත්ත බලයෙන් පාලනය කළහැකි කුඩා හෙළිකොප්ටර් මොඩලයක් සාදන ලදී. මෙය යන්ත‍්‍රානුසාරයෙන් ගුවන් ගත කළ ද ගමන් කරන දිසාව සහ ගමන් කරන උස චිත්ත බලය මගින් පාලනය කළ හැකියි. එම විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Bin He ගුවන් යානයක් චිත්ත බලයෙන් පාලනය කළ මුල් වතාව එය ය. ජර්මනියේ Munich විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක්ද මේ හා සමාන පරීක්‍ෂණයක් කර ඇත. රාවණා රජු විසින් සීතා දේවිය පැහැරගෙන ඒමට යොදා ගන්නා ලද පුෂ්පක නමැති ගුවන් යානය ප‍්‍රමාණයෙන් නූතන Air Bus ගුවන් යානයක් හා සමානය. නූතන Air Bus යානයක 853 දෙනකුට ගමන් කළ හැකිය. රාම කුමාරයා ලංකාව ආක‍්‍රමණය කර සීතා දේවිය පුෂ්පක විමානයෙන් ආපසු කැඳවාගෙන යනවිට එම පුෂ්පක විමානය තුළ 400 කට වැඩි පිරිසක් සිටි බව සඳහන් ය.
 
කි‍්‍ර. පූ. හතරවන සියවසේදි (මෙයට අවුරුදු 2400 කට පෙර) ඉන්දියාවේ ජීවත් වූ භාරද්වාජ නමැති පඬිවරයෙක් ‘විමානික ශාස්ත‍්‍ර’ යනුවෙන් පොතක් ලියා තිබේ. එහි අත්පිටපත 1875 දී හමු විය. ‘විමාන’ ගුවන් යානයක් හසුරුවන හැටි, එය විවිධ දිසාවන්ට හරවා ගමන් කරන හැටි, දීර්ඝ ගමන්වලදී ගත යුතු ආරක්‍ෂක පියවර, කුණාටු සහ අකුණු වලින් ගුවන්යානය ආරක්‍ෂා කර ගන්නා ආකාරය, සූර්ය බලය ශක්තිය බවට පරිවර්තනය කරගන්නා ආකාරය යනාදිය ගැන එහි විස්තර තිබේ. මේ අතර විමාන ගුවන් යානයක් ඉදිකිරීම, ගුවන්ගත කිරීම, බිමට බෑම, කුරුල්ලන් යානය හා ගැටීම වළක්වා ගැනීම යන කරුණු අඩංගු ‘සමර සූත‍්‍රධර’ නමැති ඉපැරණි ග‍්‍රන්ථයක් ඉන්දියාවේ තිබේ. විමාන යානයක් කි‍්‍රයා කර ඇත්තේ ‘ප‍්‍රති ගුරුත්ව’ (Anti gravity) හෙවත් ගුරුත්වය මඩින බලවේගවලින් බව කියනු ලැබේ.
 
රාවණාගේ ගුවන් තොටුපළ
 
 රාවණා රජු සතුව ගුවන් තොටුපළ 6 ක් ශී‍්‍ර ලංකාවේ වී යැයි විශ්වාස කෙරේ. මහියංගනයේ වේරගන්තොට, හෝර්ටන්තැන්නේ තොටුපළකන්ද, උස්සන්ගොඩ, කුරුණෑගල වාරියපොල, මාතලේ වාරියපොල, මහියංගනයේ ගුරුළුපොත යන තැන්වල මේ ගුවන්තොටුපළ වූ බව සඳහන් ය.
 
 ⋆ ⋆ ⋆ ⋆ ⋆
 
 ඉන්දියානු විද්‍යා සභාවේ මෙවර සමුූළුවේදී රාවණා රජු සහ නළ දරුවන් ගැන කියූ කතා අවඥාවෙන් බැහැර කරන අයද වෙති. ඔවුන් කියන්නේ මේවා විද්‍යානුකූල තර්ක නොව අවිද්‍යානුකූල තර්ක බවය. පෙර කී විද්වතුන් දෙදෙනා විසින් දේශන පවත්වන ලද දිනට පසු දින එම කතාවලට විරෝධය පළ කළ පුවරු රැගත් පිරිස් දිල්ලිය පුරා සංචාරය කරන්නට වූහ. කෙසේ වුවද මේ කතාවෙන් පෙනී යන්නේ රාම කුමරු වෙනුවෙන් මෙන්ම රාවණා රජු වෙනුවෙන් පෙනී සිටින අය ද ඉන්දියාවේ සිටින බවය. එය ලංකාවේ රාවණා ලෝලීන්ට මහත් අස්වැසිල්ලක් ගෙන දෙනවා ඇත.

උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »