සිංහරාජයේ සිටින අලින්ට මොකද වෙන්නේ?

2019-01-17 10:53:00       33
feature-top
අලි බැලීමත්, බලි බැලීමත් අපට ඇතිවෙන දෙයක් නොවේ. එහෙත් අද අපේ අලි පරපුරට සිදුව ඇති කනගාටුදායක ඉරණම අනුව නම් අපේ දූ-දරු පරපුරට අනාගතයේ අලි බලන්නට අවස්ථාවක් දිගටම පවතීදැයි සැකයක් පවතී.

අලුත්ම සංඛ්‍යාලේඛන අනුව 2018 වසරේ අපේ අලි 310ක් පමණ මරණයට පත්ව ඇත‍. ඉන් 61ක්ම මරණයට පත් වී ඇත්තේ හක්කපටස්වලට ආහාර මිශ්‍ර කර අලින්ට ලබාදීම මඟිනි. මීට අමතරව දුම්රියේ ගැටීමෙන් අලි ඇත්තු හා පැටව් 20ක් පමණ පසුගිය වසරේ මරණයට පත් වූහ.

ඒ සමඟම අලි පහරදීම් නිසා පසුගිය වසරේදී පුද්ගලයන් 95ක් පමණ මිය-ගොස් ලක්ෂ ගණන් වටිනා දේපළ හානි වී ඇති බවද වනජීවී ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මෙබඳු අලි ගැටලු මධ්‍යයේ සිංහරාජයේ සිටින අවසන් අලි දෙදෙනා පිළිබඳව යළි මුළු රටම කතාවෙන තත්ත්වයක් ඇතිවී ඇත. සිංහරාජයේ කලින් අලි තිදෙනකු සිටි බවත්, ඉන් එක් අයකු දැන් නැති බවත් පෙන්වා දෙන ‘වැසි වනාන්තර සුරකින්නෝ’ සංවිධානය පවසන්නේ මේ දිනවල ඒ සිටින අලි මිනිස් ජනාවාස අසල ප්‍රදේශවලට පැමිණෙමින් සිටි බවයි. ඒ අනුව ඉදිරියේදී ඒ ප්‍රදේශවල අලි-මිනිස් ගැටුම් ඇති වීමට ඉඩ ඇති බවත් ඒ සංවිධානය පෙන්වා දෙයි.

මේ අතර ‘සුරකිමු ශ්‍රී ලංකා’ සංවිධානයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පවසන්නේ සිංහරාජයේ සිටි අලි දෙදෙනාගෙන් එක් අලියකු දැන් අතුරුදන් වී ඇති බවයි. ඒ අනුව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් උන්වහන්සේ පෙන්වා දෙති.

මේ පිළිබඳව වන ජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් එන්.ජී.සී. සූරියබණ්ඩාර මහතා පැවසුවේ මේ අලි දෙදෙනාගෙන් එක් එක් අලියා වෙන වෙනම වාසය කරන අවස්ථා ඇති බවයි. කෙසේ වුවත් අතුරුදන් වූ අලියා සොයා වනජීවී නිලධාරින් ක්‍රියා කරන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

ලෝක උරුම සිංහරාජය ආශ්‍රිතව වර්තමාන වැඩිහිටි පරම්පරාව අනුව ඔවුන් කුඩා කාලයේදී අලින් 17ක් පමණ සිංහරාජ වනාන්තරයේ ජීවත්ව තිබේ. එතරම් අලි ප්‍රමාණයක් සිටියදීත් ඔවුන් මිනිසා සමඟ ගැටීම්වලින් තොරව මනා සහජීවනයකින් යුක්තව ජීවත් වී ඇත. එසේ සහජීවනයෙන් ජීවත් වූ අලි රංචුවේ සංඛ්‍යාව වර්තමානය වන විට තුන් දෙනකු දක්වා පහත වැටී ඇති අතර, අදට දැකගැනීමට හැකියාව ඇත්තේ පිරිමි අලින් දෙදෙනෙකු පමණි. තුන් වැනි අලියාට සිදු වූ දෙය අදටත් අභිරහසකි. ගම්වාසීන්ගෙන් දැනගැනීමට හැකි වූයේ වෙඩි පහරකට ලක් වූ අලියාගේ ලේ තැවරුණු තැන් කිහිපයක් පමණක් අවසන් වරට දැක ගැනීමට හැකි වූ බවයි.

‘වැසි වනාන්තර සුරකින්නෝ’ සංවිධානය පවසන පරිදි වර්තමානයේ වෙසෙන අලි දෙදෙනා තමන්ගේ ආහාර අවශ්‍යතාව සපුරාගැනීම සඳහා වාර්ෂිකව සිදු කරන්නා වූ සංක්‍රමණ රටාවේ වසරේ මුල් මාස කිහිපය ගත කරන්නේ සිංහරාජයේ උතුරු මායිම ආශ්‍රිත ප්‍රදේශවලයි. අනෙක් කාල වකවානුව තුළ වන බිමෙහි අභ්‍යන්තරය දක්වා ගමන් කර අනෙකුත් මායිම් දක්වා ගමන් කරයි. මේ සංක්‍රමණ රටාව ඔවුන්ගේ පාරම්පරිකව පැවත එන්නා වූ ජානමය සංක්‍රමණික රටාවක් බව විද්වතුන්ගේ මතයයි.

එදා විශාල අලි ප්‍රමාණයක් සමඟ සහජීවනයෙන් ජීවත් වූ ජනයාට අද අලි දෙදෙ‍ෙනකු සමඟ සහජීවනයක් ඇති කරගැනීමට නොහැකි වී ඇත්තේ සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව සිදුවන දැව හෙළීම, වල්ලපට්ට කැපීම, කසිප්පු පෙරීම, පතල් හැරීම වැනි විවිධ වූ ජාවාරම්වල යෙදෙන්නන්ට මේ අලි දෙදෙනා බාධාවක් බැවින් ඔවුන් අලි දෙදෙනාට ඇසිඩ් ගැසීම, ඇණ පටි තැබීම, වෙඩි දැමීම වැනි නොයෙක් හිරිහැර නිරන්තරයෙන් සිදු කිරීම නිසා අලි දෙදෙනා ප්‍රචණ්ඩවීම නිසා බව ගම්වාසීහු පවසති. එම හේතු නිසා මේ වනවිට සිංහරාජයේ අලි දෙදෙනා මිනිස් ජීවිත කිහිපයකට ම හානි පමුණුවා ඇත. මේ අලි දෙදෙනා බොහෝ විට ගැටුම් ඇති කර ඇත්තේ පොතුපිටිය සහ රක්වාන අතර ඇති ගම්මාන කිහිපයක ජනතාව සමඟින් ය. එහෙත් සිංහරාජයේ අලින් බොහෝ විට සිංහරාජය අවට ඇති සියලු ගම්මාන ආශ්‍රිත ප්‍රදේශ කරා ගමන් කළත් එම ගම්මානවල ජනතාව සමඟින් ගැටුම් ඇති වී ඇති බවක් වාර්තා නොවන තරම්ය‍. කෙසේ නමුත් අලින්ට සුදුසු වටිනා පරිසර කලාපයක් වන වළන්කන්ද, හඳපාන්ඇල්ල වැනි ප්‍රදේශවලට අලියා ගමන් කිරීම නිසා මේ ප්‍රදේශවල පිහිටි රජවත්ත, කෝපිකෑල්ල, තේ කොරටුව, මානික්කවත්ත වැනි ගම්මානවල අලි දෙදෙනාගේ ක්‍රියාකාරිත්වය වැඩි වී ඇත.

පසුගිය සමයේ මේ අලි දෙදෙනා අල්ලා වෙනත් ප්‍රදේශයකට රැගෙන යෑමට ගත් උත්සාහයේදී ගම්වාසීන්, පරිසර සංවිධාන සහ සිංහරාජ අලියාට ඇලුම් කරන පරිසරවේදීන්ගේ දැඩි විරෝධය මත අලි දෙදෙනා සිංහරාජ වනබිමෙන් විතැන් කිරීමට නොහැකි විය. ඒ හේතුව නිසා පසුගිය සමයේ හිටපු වනජීවී ඇමැතිතුමා විසින් මේ අවසන් වන අලි දෙදෙනා කොටු කර තැබීම සඳහා හෙක්ටයාර 30ක පමණ කුඩා භූමි කොටසක් දොලේකන්ද ප්‍රදේශයේ ස්ථාපිත කිරීම ඇරඹූ අතර එහි භූමියේ පිහිටීම හා ප්‍රමාණය අනුව එය ඉතා අසාර්ථක ක්‍රමයක් බව ප්‍රදේශවාසීන් හා පරිසරවේදීන් විසින් පෙන්වා දෙන ලදී. හෙක්ටයාර 11000ක වපසරියක් පුරා වාර්ෂිකව සැරි සරන අලින්ට එම හෙක්ටර්යාර 30ක භූමි ප්‍රමාණය කෙසේවත් ප්‍රමාණවත් නොවේ. එය අලි දෙදෙනා සිරකිරීමක් තවත් ප්‍රචණ්ඩකාරී තත්ත්වයකට ගෙන යාමක් පමණක් බවත් වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය පෙන්වා දෙයි.

නව වසර උදාවත් සමඟම අලි දෙදෙනා නැවතත් සිංහරාජ උතුරු මායිමට සංක්‍රමණය වී රක්වාන, 4 කණුව ප්‍රදේශයේදී දැකගැනීමට හැකි විය. පසුගිය කාලයේ සිදුවූ සිදුවීම් සහ එහිදී මතු වූ විවිධ වූ කරුණු කාරණා සලකා බලද්දී මෙවර පැමිණි අලි දෙදෙනාගේ ජීවිතවලට තර්ජන එල්ල වීමට හැකියාව ඇත. විධිමත් ක්‍රම වේදයක් සමඟින් අලි දෙදෙනාට සහ ගම්වාසීන්ට සුවිශේෂී ආරක්ෂාවක් සැලසීම අත්‍යවශ්‍යම කරුණක් වී පවතී. දැනට ප්‍රදේශය පුරා වන අලින් ගැවසෙන බවට අනතුරු ඇඟවීමේ පුවරු සවි කර ඇතත් එය ප්‍රමාණවත් නොවන අතර අලි දෙදෙනාට GPS/ GSM/ රේඩියෝ කරපටි පැලඳවීම මඟින් සංචරණ ප්‍රදේශ අධ්‍යයනය, එමඟින් අලින් ගැවසෙන ප්‍රදේශ පිළිබඳ ගම්වාසීන් දැනුම්වත් කිරීම, රාත්‍රි කාලයේ එම ප්‍රදේශයන් හි අතුරුමාර්ග ආලෝකවත් කිරීම, එම ප්‍රදේශය තුළ වනජීවී නිලධාරීන්ගේ සංඛ්‍යාව වැඩි කිරීම, මුර සංචාරයේ යෙදීම ආදි ක්‍රියා මාර්ග සිදු කිරීම මඟින් අලි දෙදෙනා සහ මිනිසුන් අතර ඇතිවන ගැටුම අවම කිරීමට හැකියාව ලැබේ‍‍. වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා අනෙකුත් වගකිව යුතු ආයතන එක්ව අලි දෙදෙනා සහ ගම්වාසීන් රැක ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා මෙන් වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය වනජීවී අමාත්‍යාංශයෙන් හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටී. නැතහොත් තවත් මිනිස් ජීවිතයකට හෝ වැරදිකරුවකු නොවන දැවැන්තයෙකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වනු ඇත. මේ අතර රුහුණු විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයනාංශයේ පාරිසරික භූගෝල විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය මංජුල කරුණාරත්න මහතා පැවසුවේ මේ අලි දෙදෙනා බේරාගැනීමට ප්‍රදේශයට ස්ථිර වන ජීවී කාර්යාලයක් ස්ථාපිත කළ යුතු බවයි.‍

ඒ සමඟම ‘ගජ මිතුරෝ’ වැනි ප්‍රජා සහභාගිත්ව වනජීවී කළමනාකරණ ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීම කළ යුතු බවත්, ඒ සඳහා ප්‍රදේශයේ පරිසර සංවිධාන සමඟ එක් වී කටයුතු කළ යුතු බවත් මංජුල කරුණාරත්න මහතා පවසයි. රක්වාන-පොතුපිටිය මාර්ගයේ මේ අලින් හමුවීමේ වැඩි ඉඩ-කඩක් තිබේ. වංගු සහිත මාර්ගයේදී එකවර අලි හමු වී අනතුරු සිදු වීම වැළැක්වීම සඳහා මාර්ග දෙපස එළි-පෙහෙළි කිරීම ප්‍රයෝජනවත් වනු ඇති අතර, අලි නිතර ගැවසෙන ප්‍රදේශවලදී අලින්ට සම්මුඛ වීමේ අවස්ථා අවම කිරීමටද කටයුතු කළ යුතුව ඇත.



උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »