සේද මාවතේ රහස් සොයා මන්නාරම් වරාය කැණීම් යළි ඇරඹේ

2019-01-05 10:59:00       591
feature-top
මහාතිත්ථය අතීතයේදී බොහොම සරුසාරය. සේද මාවතත්, අනුරපුර යුගයේ ප්‍රධාන වෙළෙඳ නගරය වූ නිසාත්, ඇගේ වටිනාකම වැඩිය. යුද්ධයේ අඳුරු සෙවණැලිවලින් මතු වූ කටුපඳුරුවලින් මහාතිත්ථය පසුකලෙක වනගත වූයේ ඒ, අතීත ශ්‍රී විභූතියේ සටහන්ද සිය සිරුරේ සඟවාගෙනමය. දැන් යුද්ධය අහවරය. පුරාවිද්‍යා නිලදරුවන් මේ සැරසෙන්නේ, කැලෑ පඳුරු අතරින් නික්ම, මහාතිත්ථයේ ඒ, ශ්‍රී විභූතිය යළි මතුකැර ගැන්මටය.

මාන්තායිහි මෙම පුරාවිද්‍යා කැණීමට උරදෙන්නේ, කැලණිය විශ්වවිද්‍යාලය සහ චීනයේ ෂිෂුවාන් විශ්වවිද්‍යාලයයි. ඒ, මීට වසර කිහිපයකට ඉහතදී ඇති කරගත් එකඟතාවක ප්‍රතිඵලයක් ලෙසිනි. ඒ සඳහා පුරෝගාමීත්වය දරන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි. ෂිෂුවාන් විශ්වවිද්‍යාලයේ පිරිසක් මේ ගැන විමර්ශන කටයුතු සඳහා පසුගිය දිනෙක ලංකාවට එන්නේ ඒ අනුවය.

“අපේ රටේ කෙරෙන පුරාවිද්‍යා කැණීම්වලට සහයෝගය දක්වන බවට මීට කාලෙකට කලින් මෙම විශ්වවිද්‍යාල දෙක අතර එකඟතාවක් පළවුණා. ඒ අනුවයි මෙම කැණීම් කටයුතු ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. චීන කණ්ඩායම මෙහි ආවෙ එහි මූලික කටයුතු සඳහායි” මහාචාර්ය බි.පී. මණ්ඩාවල පවසන්නේය. ඔහු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල්වරයාය.

ඔහු පෙන්වා දෙන්නේ, පුරාවිද්‍යාත්මක පර්යේෂණවලට අදාළ කටයුතු ගණනාවක් ඇරඹීම මෙම කාණ්ඩයේ අරමුණ වී ඇති බවයි. මාන්තායි කැණීම ඉන් ප්‍රධානය. ඊට අමතරව මේ දක්වා කෙරී ඇති පුරාවිද්‍යාත්මක පර්යේෂණ කැණීම්වලින් මතු වූ පුරාවස්තු පිළිබඳ දත්ත ගබඩාවක් සැකසීමත්, චීනයෙන් මෙරටට ආ දේශගවේෂකයන් පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කොට වාර්තා චිත්‍රපටයක් සැකසීමත් ඔවුන්ගේ අරමුණු අතර වේ.

අතීත මහාතිත්ථයේ සෞභාග්‍යවත් හැඩතල සොයා යාමේ දැවැන්ත පුරාවිද්‍යා කැණීම ඇරඹුණේ, මීට දශක තුනකට එහාදීය. එනම් එක්දහස් නවසිය අසූවේදීය. ඇමෙරිකාවේ චිකාගෝ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු වූ ජෝන් කාස්වෙල් සහ මෙරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් එක්ව ඒ කැණීම් කටයුතු මෙහෙය වූහ.

“මේක විශාල වරායක්. එය අශ්වලාඩමක හැඩයකින් යුක්තයි. මාතොට වෙළඳ වරායක් ලෙස පමණක් නොවෙයි, ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් තොරතුරු පවා මේ කැණීම්වලින් මතුකර ගන්නට එකල හැකියාව ලැබුණා” ආචාර්ය නිමල් පෙරේරා පවසන්නේය. ඔහු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාය. මාතොට හෙවත් මහාතිත්ථ වරාය පරිශ්‍රය අරභයා ආචාර්ය නිමල් පෙරේරාට ඇත්තේ මහා ළඟ පැරණි නෑකමකි. එහි වරින් වර කෙරුණු පර්යේෂණවලට සම්බන්ධ වීමෙන් මෙම නෑකම ගොඩනැඟී ඇත්තේය.

අතීත මහාතිත්ථ වරාය අපට කිහිප ආකාරයකින් වැදගත් වේ. එය එකල දකුණු ආසියාවේ ප්‍රධාන වරායන් අතරින් එකක් වන අතරම, අනුරපුර යුගයේ ප්‍රධාන වරායද වන්නේය. එමෙන්ම අනුරපුර යුගයේ ප්‍රධාන වෙළෙඳ නගරය ලෙසින්ද මාන්තායි අපට වැදගත්ය. එය එකල නැව් බඩු ගබඩා සහිත ජාත්‍යන්තර වරායකි. ජාත්‍යන්තර වෙළෙඳ භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථානයකි. නිමල් පෙරේරා මහතා පවසන පරිදි, වරාය භූමිය හෙක්ටයාර පනහද ඉක්මවයි. වරාය ඇතුළත පිහිටි ගොඩනැගිලිවල අවශේෂද එකල කැණීම්වලින් මතුකැර ගන්නට පර්යේෂකයන්ට හැකියාව ලැබිණි. වරායෙහි එක් ජැටියක් ද එක් පිවිසුම් මාවතක මීටර දෙසීයක පමණ කොටසක්ද එහිදී මතුකෙරිණි. පිවිසුම් මාවත මීටර දෙකයි දශම හතරක් පළල ය. එය සකසා ඇත්තේ, පිළිස්සූ ගඩොලු සහ බොරලු තට්ටු මත මුහුදු වැලි අතුරමිනි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ගල් යුගයේ අවසාන භාගයට අයත් තොරතුරු මතුකැරෙන්නේද මන්නාරමෙනි. “ඊට අමතරව ප්‍රාග් ඓතිහාසික යුගයේ ක්‍රි.පූ. 1800 ගණන් දක්වාම තොරතුරු එමගින් ලැබුණා. ඓතිහාසික යුගයෙත් ක්‍රි.ව. දෙවන සියවස පමණ දක්වා තොරතුරු මෙම කැණීම්වලදී සොයා ගැණුනා” නිමල් පෙරේරා පවසන්නේය. ඔහු පෙන්වා දෙන්නේ, දහවෙනි දොළොස්වෙනි සියවස දක්වාම මාතොට වරාය පැවැති බවට එහිදී තොරතුරු හෙළි වූ බවයි.

ඔහු පෙන්වා දෙන අන්දමට වරාය තිබි ඇත්තේ, දිය අගල් ආශ්‍රිතවය. විශාල දිය අග‍ලේ නැව් නවත්වන්නටත්, ඒවා යාත්‍රා කරවන්නටත් ඇතැයි සැලකේ. දිය අගල් දෙක භූමියේ ඈතට විහිදේ. දිය අගල් දෙකෙන් වට වූ ගොඩබිම් පෙදෙස අක්කර දෙතුන්සියයකටත් වඩා විශාලය.

මහාතිත්ථය එහි යටගියාව පුරාවට පාලනය කොට ඇත්තේ, අනුරපුර රජවරු අතිනි. ඔවුන් විසින් පත් කළ වරාය පාලකයන් එකල හඳුන්වා ඇත්තේ මහපුටුලද්දන් නමිනි. වරායේ නාවික කටයුතුවලින් අයබදු එකතු කිරීම ඔවුන්ගේ රාජකාරිය වී ඇත. සේද රෙදි, සහ අනෙකුත් වෙළෙඳ භාණ්ඩවලට එහිදී බදු අය කෙරිණි. මහාතිත්ථ තොටුපළෙන් හමු වූ ටැම් ලිපිය ඊට සාක්ෂි දරන්නේය.

ඊට අමතරව එකී කැණීමෙන් මතු වූ පුරාවස්තුද බොහොමයකි. ඉපැරිණි රෝම, චීන සහ අනෙකුත් විදේශීය කාසි, චීන මැටි බඳුන් කැබලි, වීදුරු බඳුන් කැබලි, වීදුරු පබළු, ආභරණ, කාර්නේලියන් පබළු ආදියද එහි විය. ආභරණ සහ තඹ ලෝහ නිපැයූ කම්හලක අවශේෂද එහි විණි. එම කැණීම්වලින් හමු වී ඇති චීන මැටි බඳුන් කැබලි ඔස්සේ චීන නාවිකයන්ගේ ආගමනයද, රෝම සහ ඉන්දියානු කාසි මගින් යුරෝපීය නාවිකයන්ට තිබූ නෑකමද හෙළිවන්නේය.

එක්දහස් නවසිය අසූවේදී ඇරඹුණු මෙම පුරාවිද්‍යා කැණීම් ඊට වසර හතරකට ‍පොරොතුව එනම් 1984 දී හදිසියේම අතරමඟ ඇනහිටිණි. ඒ, යුද්ධයේ භයංකර සෙවණැලි මන්නාරමටද පැතිරුණු නිසාය. ඉදින් මහාතිත්ථය යළි වනගත විය. ඒ ඉසව්ව ජන අවධානයෙන් මැකී ගියේය.

පුරාවිද්‍යා නිලදරුවන් හා එක්වෙමින්, කැලණිය විශ්වවිද්‍යාලයත්, චීනයේ ෂිෂුවාන් විශ්වවිද්‍යාලයත්, දැන් සැරසෙන්නේ ඒ අතීත ශ්‍රී විභූතියේ හැඩතල යළි සොයා යන්නටය. ෂිෂුවාන් විශ්වවිද්‍යාලයේ පිරිසක් ඉකුත් දහඅට වෙනිදා මෙරටට පැමිණියේ, ඒ සඳහා මාන්තායිහි භූමිය පිරික්සන්නටය. ඔවුහු ඉකුත් විසිහය වැනිදාවේ යළි මෙරටින් පිටව ගියෝ ය. “මාන්තායි කැණීමට අදාළව ඔවුන් ස්ථානයක් තෝරාගෙන තිබුණා. ලබන අගෝස්තු මාසයේදී එහි කැණීම් ආරම්භ කරන්න බලා‍පොරොත්තු වෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල, ආචාර්ය නිමල් පෙරේරා මහත්වරුද ඒ සඳහා සම්බන්ධ කරවීමට මම බලා‍පොරොත්තු වෙනවා” මහාචාර්ය මණ්ඩාවල පවසන්නේය.

ඉදින් පස්ගොඩැලි මත සැඟව ගිය අතීත මහාතිත්ථයේ විචිත්‍රවත් ශ්‍රී විභූතිය යළි එලෙසින්ම මතුකැර ගැන්මට අනාගතයේදී අපට හැකිවනු නිසැකය.

උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »