හිඟා නොකා හිඟා කෑ අම්පාරේ මිරි­දිය ධීව­රයා ගොඩ ගිය හැටි

2019-01-02 07:22:00       684
feature-top
* 2017 අම්පාරෙ මාළු අස්වැන්නේ වටි­නා­කම රුපි­යල් කෝටි 140යි
* පිට­ර­ට­ව­ලි­නුත් මේ ආද­ර්ශය බලන්න එනවා
* ධීව­ර­යන්ට තොටු­ප­ළේදීම ඉතුරුම් හා අස්වැන්න වටි­නා­කම අඩංගු ඩිජි­ටල් බිලක්
* හැම දෙන කුම ආර්ථි­කව ශක්ති­මත්...

වැව් දියෙන් දිවි සරි කර­ගන්නා අම්පාරේ ධීව­ර­යන්ට මීට වසර ගණ­නා­ව­කට පෙර අත්ව තිබුණේ ඉතා දුක්ඛිත ඉර­ණ­මකි. නිසි කළ­ම­නා­ක­ර­ණ­යක් නැතිව තම තමන්ට හිතු­මතේ කොට ඔරු­වක නැඟී ධීවර කට­යුතු කර­ගෙන ගිය අම්පාරේ ධීව­ර­යන්ට එදා රුපි­යල් දෙතුන් සිය­යක් තබා කෑමට මාළුවකු අල්ලා­ගැ­නීම ද පහසු වූයේ නැත.

ඇතැම් මාළු විකු­ණන්නෝ මාළු විකු­ණ­න්නට රැගෙන ආහ. එක මාළු වැළක අඟල් තුන හත­රක් පමණ දිගැති තිලා­පි­යන් පහ­ළො­වක විස්සක් අමුණා තිබෙනු පෙනිණි. මිරි­දිය ධීවර කට­යුතු කළ ධීව­රයෝ වැව්ව­ලට තහ­නම් දැල් දැමූහ. තමන්ට රිසි සේ කුඩා මාළු පැටවුන් පවා ඇල්ලූහ. මත්ස්‍ය සම්පත කළ­ම­ණා­ක­ර­ණය සම්බ­න්ධව කිසිම අව­බෝ­ධ­යක් ඒ මිනි­සුන්ට නොති­බිණි. අඟල් දෙක තුනේ දැල් දම­මින් මුළු මත්ස්‍ය සම්ප­තම ඔවුහු හූරා ගත්හ.

එව­කට පැවති එල්.ටී.ටී.ඊ තර්ජන නිසා ද ඇතැම් වැව්වල ධීවර කර්මා­න්තය අත්හ­රි­න්නට ධීව­ර­යන්ට සිදු විය.

වර්ෂ 1990 වන විට ලංකාවේ මිරි­දිය ජලා­ශ­ව­ලින් ධීව­ර­යන්ට ටොන් 12,000ක් පමණ මත්ස්‍ය අස්වැ­න්නක් වස­ර­කට ලබා­ගැ­නී­මට හැකි විණි. එම සමයේ අම්පාර වැව්ව­ලින් ද ලැබුණේ වස­ර­කට මත්ස්‍ය ටොන් හය සියකි. එසේ නැති නම් ටොන් හත්සි­ය­යකි. එව­කට පැවති රජය ද මිරි­දිය ධීවර කට­යුතු සඳහා රජයේ සහ­යෝ­ගය නොදිය යුතු බවට වූ ඔළ මොට්ටළ තීන්දු­වක් ගත්තේය. මත්ස්‍ය පැටව් වැව්වල තැන්පත් කිරීම ඇන­හි­ටිණි. ලංකා­වේම ධීවර කට­යුතු මන්ද­ගාමි ස්වභා­ව­ය­කින් යුක්ත විය. කළ­ම­ණා­කා­රණ කට­යුතු මන්ද­ගාමී විය. තම තමන්ට අභි­මත පරිදි තහ­නම් කර තිබු කුඩා ප්‍රමා­ණයේ කොටු ඇති දැල් භාවි­ත­යෙන් ධීව­රයෝ වැඩි වැඩි­යෙන් මාළු අල්ලන්ට උත්සාහ කළහ. අව­සා­නයේ වැව්වල මත්ස්‍ය සම්පත බෝවීම නැව­තිණි. ධීව­ර­යන්ට හොද්ද­ක­ට­වත් මාළු­වෙකු අල්ලා ගැනී­මට නොහැකි විය.

නැව­තත් 1994න් පසු ලංකාවේ මිරි­දිය ධිවර කර්මා­න්තය සදහා රාජ්‍ය අනු­ග්‍ර­හය ලබා දීමට තීන්දු විය. වර්ෂ 1994 දී අම්පා­රට මිරි­දිය ධීවර පරී­ක්ෂ­ක­යෙකු ලෙස රෝහිත ප්‍රනාන්දූ පැමි­ණෙද්දී අම්පාරේ ධීවර තත්ත්වය පැව­තියේ එලෙ­සය. මෙකල රාජ්‍ය අනු­ග්‍ර­හය ද නො අඩුව ලැබීම නිසා මත්ස්‍ය පැටව් වැව්වල තැන්පත් කිරීම, දැල් ආම්පන්න ලබා­දීම, යාත්‍රා ලබා දීම සහ ධීවර ගම්මාන ඇති කිරීම ඇතුළු විවිධ වැඩ සට­හන් මිරි­දිය ධීවර කර්මා­න්තය ඉලක්ක කර­ගෙන දිගින් දිග­ටම සිදු විය.

ඒ සම­ඟම තමන්ට ඇවසි පරිදි තහ­නම් දැල් භාවිත කළ ධීව­ර­යන් දැනු­වත් කර­මින්, අම්පාර දිසාවේ සතර දිග් භාගයේ තිබුණු වැව් සොයා ගිය ධිවර පරී­ක්ෂක රෝහිත ප්‍රනාන්දු දිගින් දිග­ටම ධීව­ර­යන් නිසි කළ­ම­නා­ක­ර­ණ­ය­කට ලක් කර­න්නට පටන් ගත්තේය. ඇතැම් විට රැය පුරා ඔරු­වල නැඟී මහ සීතලේ වැව් පුරා සර­මින් තහ­නම් දැල් භාවිතා කළ අය අත්අ­ඩං­ගු­වට ගනු ලැබූහ. අම්පාර පුරා­ ධීවර සංගම් ඇති කර­මින් ටිකෙන් ටික ධිව­ර­යන් නිසි කළ­ම­නා­ක­ර­ණ­ය­කට ලක් කර­මින් එම ජලා­ශ­වල මිරි­දිය ධීවර කට­යුතු නිවැ­රැදි දිශා­න­ති­ය­කට යොමු කෙරිණි. ඒ කට­යු­තු­ව­ලට සම­හර අය දැඩි විරෝ­ධ­යක් දැක්වුව ද පසුව නව වැඩ­පි­ළි­වෙළ හා එක්ව­න්නට වූහ.

අම්පාර දිස්ත්‍රි­ක්කයේ ප්‍රධා­න­තම ජලා­ශය ඉඟි­නි­යා­ගල සේනා­න­යක සමු­ද්‍රය ය. එම ජලා­ශය සහ තවත් ජලාශ 07ක ද, මධ්‍යම ප්‍රමා­ණයේ ජලාශ 14ක ද, කුඩා නොසි­ඳෙන ජලාශ 60ක සහ කාලීන ජලාශ 50ක ද මේ වන විට මිරි­දිය ධීවර කර්මා­න්තය ඉතා සාර්ථ­කව සිදූ වෙමින් පවති. ඒ අනුව ගත් කළ අම්බ­ල­න්ඔය, පල්ල­න්ඔය, පන්න­ල්ගම, නාම­ල්ඔය, ආදි වැව් සම­ඟින් මේ වන විට දිගා­ම­ඬුල්ලේ හෙක්ට­යාර් 26,000ක පමණ ජල ධාරි­තා­වක් තුළ ධීවර ව්‍යාපෘති ක්‍රියා­ත්ම­කව තිබේ. එම නිසා ධීව­ර­යන්ගේ ආදා­යම ද මේ වන විටත් ඉහළ නැංවී ඇත.

එදා බිළී පිත්ත­කින් හෝ මාළු ඇල්ලූ ධීව­රයා අතට අද වැවෙන් ගොඩට එද්දි තොටු­පොළේ දීම එම අව­ස්ථාවේ ඇල්ලූ මාළු ප්‍රමා­ණය පිළි­බඳ සහ මාසික ඉතිරි කිරීම් ඇතුළු සියලු තොර­තුරු සම­ඟින් පරි­ග­ණක ඇසු­රෙන් බිල්ප­තක් ලැබේ.

අම්පාරේ විශා­ල­තම මත්ස්‍ය නිෂ්පා­ද­න­යක් සිදු වන සහ අක්කර 1, 20, 000ක් පමණ අස්වැ­ද්දී­මට දිය­වර සප­යන ඉඟි­නි­යා­ගල සේනා­නා­යක සමු­දු­රෙහි මිරි­දිය ධීවර සමි­තියේ කළ­ම­නා­කරු ඩබ්. නන්ද­ලාල් මෙසේ අද­හස් දැක්විය.

“අවු­රුදු 20කට පෙර තිබු තත්ත්වය සහ අද මේ වන විට තිබෙන ධීවර තත්ත්වය සලකා බැලිමේ දී අහ­සට පොළොව වගේ විශාල වෙන­සක් සිදු වෙලා තිබෙ­නවා. එදා කොට ඔරු­ව­ලින් වැවේ ගිය ධීව­රයන් සියලු දෙනා­ටම අද ෆයි­බර් ඔරු ලැබිලා තිබෙ­නවා. ලංකාවේ ප්‍රථම වතා­වට අම්පාරේ මිරි­දිය ධීවර කට­යු­තු­ව­ලට නව ප්‍රව­ණ­තා­වක් එක් කළ අපේ ධීවර පරි­ක්ෂක රෝහිත ප්‍රනාන්දූ මහතා විසින් තොටු­ප­ළේ­දීම ධීව­ර­යාට තමන් එදි­නෙදා ඇල්ලූ මාළු ප්‍රමා­ණය පිළි­බ­ඳව සහ මේ වන තෙක් එම ධීව­රයා කර ඇති ඉතිරි කිරීම් පිළි­බ­ඳව සවි­ස්තර බිල් පතක් දෙනවා. එම නිසා ධීව­ර­යාට ධීවර සමිති හරහා කරන කට­යුතු පිළි­බ­ඳව විධි­මත් බවක් ලැබී තිබෙ­නවා. ඒ නිසා විශාල පැහැ­දී­මක් සහ ලොකු විශ්වා­ස­යක් ඇතිව තිබෙ­නවා.

ධීව­ර­යින් එදි­නෙදා අල්ලා ගන්නා ලද සිය­ලුම මාළු අස්වැන්න අපි ධීවර සමි­තිය හරහා මිල දී ගන්නවා. එම ධීව­ර­යන්ට අපි එම අව­ස්ථා­වේම අදාළ මුදල් ගෙව­නවා. සම­හර අය දින කිහි­ප­යක් එම මුදල් එකතු කර ලබා­ග­න්නවා.” නන්ද­ලාල් මහතා පැවු­සු­වේය.

ඉඟි­නි­යා­ඟල ධීවර සමි­තියේ සභා­පති ජෝයි ෆ්රැන්සිස් ඩයස් මහ­තාය. ඔහු අප හා සංවා­ද­යට එක්වන්නේ මෙසේය.

“වැව්වල ධීවර කට­යුතු ඉතා සාර්ථ­කව ක්‍රියා­ත්මක වෙනවා. ඊට අම­ත­රව අපි එදි­නෙදා ධිව­රයා ලබන ආදා­ය­මින් සිය­යට දහ­යක් සමි­ති­යට ලබා­ගෙන කොට­සක් ධීව­ර­යාට ඉතිරි කිරීම් වශ­යෙන් බැංකු ගිණු­මක තැන්පත් කර­නවා. කොට­ස­කින් වැවට නැව­තත් මාළු පැටවුන් දම­නවා. එක වැවක එක තොටු­ප­ළක් යන සංක­ල්පය නිසා මෙම වැව්වල කට­යුතු දියුණු වෙන්න හේතු­වක් වුණා.

සේනා­නා­යක සමු­ද්‍රයේ මත්ස්‍ය අභි­ජ­න­නය සිදු­වන ප්‍රදේ­ශ­යක තවත් තොටු­ප­ළක් ආරම්භ කරන්න මොන­රා­ගල ප්‍රදේ­ශයේ දේශ­පා­ල­ක­යෙක් සහ තවත් නිල­ධා­රි­යෙක් දැඩි උත්සා­හ­යක් ගන්නවා. එහෙම වුණොත් දියුණු වු සේනා­නා­යක සමු­ද්‍රයේ ධීවර කට­යුතු කඩා වැටෙ­නවා. මත්ස්‍ය අභි­ජ­නන කට­යු­තු­ව­ලට හානි වෙනවා. ධීවර ඇම­ැති­තු­මා­ගෙන් ඒ කට­යුත්ත නවතා දමන ලෙස ඉල්ලා සිටි­නවා. මේ අයු­රින් මෙම වැව් ක්‍රම­වත් කිරිමේ පුර්ණ ගෞර­වය හිමි වන්නේ ජල­ජීවි ව්‍යාප්ත සහ­කාර අධ්‍ය­ක්ෂ රෝහිත ප්‍රනාන්දුට.” යැයි ජෝයි ඩයස් පැව­සු­වේය.

මේ වන විට ඉඟි­නි­යා­ගල ජලා­ශයේ ධීව­රයෝ 450 දෙනක් ඔරු 89කින් රැකි­යාවේ යෙදි සිටිති. නිසි කළ­ම­නා­ක­ර­ණ­ය­කින් එම ජලා­ශයේ ධීවර කට­යුතු සිදු කරන බැවින් වසර පුරාම මෙම ධීව­ර­යන්ට හොඳ ආදා­ය­මක් ලබා ගැනී­මට හැකිව තිබේ. මේ වන විට අම්පාරේ මිරි­දිය කර්මා­න්තයේ අසි­රිය බැලීම සඳහා නොක­ඩවා ජනයා ඇදී එති. එයට හේතුව මනා කළ­ම­නා­ක­ර­ණ­යෙන් යුතු ක්‍රම­වත් වැඩ පිළි­වෙ­ළක් ඔස්සේ අම්පාර ධිවර කර්මා­න්තය ගොඩ නැඟී ඇති ආකා­ර­යයි.

එදා ධිවර පරී­ක්ෂ­ක­යකු වශ­යෙන් අම්පාර ධීවර කර්මා­න්තය උඩු යටි­කරු කළ වත්මන් ජල­ජීවී ව්‍යාප්ති සහ­කාර අධ්‍ය­ක්ෂක රෝහිත ප්‍රනාන්දු මෙසේ සිළු­මි­ණත් සමඟ සිය අද­හස් බෙදා ගත්තේය.

“මේ වන විට අම්පාරේ ඔරු 1020කින් ධීව­ර­යන් 4000කට ආසන්න පිරි­සක් ධීවර කට­යු­තු­වල යෙදෙ­නවා. තවත් 2000ක පමණ පිරි­සක් අර්ධ වශ­යෙන් ධීවර කර්මා­න්තයේ යෙද­නවා. මේ වන විට වාර්ෂි­කව ටොන් 12000ක් පමණ අම්පා­රෙන් මාළු නිෂ්පා­ද­නය සිදූ කර­නවා. ඇතැම් දින­වල ඉඟි­නි­යා­ගල සේනා­නා­යක සමු­දු­රෙන් පම­ණක් මාළු ටොන් 1000ක් පමණ අල්ල­නවා. එලෙස ධීවර කර්මා­න්තය දියුණු කිරී­මට මට හැකි වුණේ අම්පාරේ ධීව­ර­යන්ගේ කැප­වීම නිසයි. මේ සඳහා හිටපු ධීවර ඇමැ­ති­ව­රුන්ගේ, ජාතික ජල­ජීවි අධි­කා­රියේ හිටපු සභා­ප­ති­ව­රුන් සහ වත්මන් සභා­පති නුවන් මද­ව­න්ආ­රච්චි මහතා, අධ්‍ය­ක්ෂක ජන­රාල් නිමල් චන්ද­රත්න මහතා, ව්‍යාපෘති අධ්‍ය­ක්ෂිකා කේ. බි. සි. පුෂ්ප­ලතා මහ­ත්මිය ඇතුළු නිල­ධා­රින් මතු වන සෑම ගැට­ලු­ව­ක­දීම මට උදව් උප­කාර කර­මින් සහ­යෝ­ගය දැක්වුවා. අම්පාර හිටපු මහ දිසා­ප­ති­වරු මෙන්ම වත්මන් මහා දිසා­ප­ති­තු­මන් ද මේ දියු­ණු­වට විශාල උද­ව්වක් වුණා.

මේ වන විට අම්පාරේ ධීව­ර­යන්ගේ කට­යුතු ඉහළ නැංවී ඔවුන් හොඳ නිවාස සාදා­ගෙන තිබෙ­නවා. ක්‍රම­වත් ලෙස ඉතිරි කිරි­ම්වල යෙද­නවා. මුල දී කිලෝ­ව­කින් රුපි­ය­ලක් තමයි අපි සමි­ති­යට ගත්තේ. දැන් කිලෝ­ව­කින් රුපි­යල් 20ක් සමි­ති­යට ගන්නවා. මේ වන විට අම්පාරේ ධීවර සමිති ඉතා හොඳ ශක්ති­මත් මට්ම­කට ඇවිල්ලා තියෙන්නේ.

අම්පාර දිස­ත්‍රි­ක්ක­යට වස­ර­කට මත්ස්‍ය ඇගි­ල්ලන් ලක්ෂ 120ක් පමණ අව­ශ්‍යයි. මේ වන විට මත්ස්‍ය ඇගි­ල්ලන් ලක්ෂ 100ක් පමණ අම්පාරේ ජන­තාව විසින් නිප­ද­වනු ලබ­නවා. 2017 වසරේ පම­ණක් අම්පා­රෙන් නිප­දවූ මත්ස්‍ය නිෂ්පා­ද­නයේ වටි­නා­කම රුපි­යල් මිලි­යන 1400කට ආස­න්නයි. මෙම මුදල තනි­ක­රම බැර වුණේ ග්‍රාමිය ආර්ථි­ක­ය­ටයි. විශ්ව­වි­ද්‍යාල සහ විදේශ රට­ව­ලින් පවා මේ අයු­රින් අම්පාරේ ධීවර කර්මා­න්තය ඉහ­ළ නැංවීම අධ්‍ය­යනය කරන්න පැමි­ණෙ­නවා. රෝහිත ප්‍රනාන්දු පවසා සිටි­යේය.

2017 වසර වන විට ලංකාවේ මිරි­දිය මත්ස්‍ය නිෂ්පා­ද­නය ටොන් 82540කි. ඉන් 12.5%ක් හෙවත් මෙට්‍රික් ටොන් 10430ක් අම්පා­රෙන් ලැබී තිබිණි. එය ලංකාවේ දිස්ත්‍රි­ක්ක­ය­කින් ලබා­දෙන වැඩිම දාය­ක­ත්ව­යයි.

මේ පල්ලං­ඔය ජයන්ති වැව් හිටපු සභා­පති පි.ඩි. සිරි­පාල ඒ ගැන කී කතා­වය.

“අපේ තාත්තා තමයි වැවේ මුලින්ම මාළු ඇල්ලුවේ. ඒ කාලේ දව­සට රුපි­යල් 200කවත් ආදා­ය­මක් ගන්න බැහැ. සම­හර දව­ස්වල කීය­ක්වත් නැහැ. රෝහිත ප්‍රනාන්දු මහතා ඇවිල්ලා ධීවර සමි­ති­යක් පිහි­ටු­වලා විධි­මත්ව වැවේ කට­යුතු සිදු කර­ගෙන යන ක්‍රම­යක් හැදුවා. වැවට මාළු පැටව් දුන්නෙ නොමිලේ. කවු­රු­වත් මාළු පැටව් දුන්නේ නැහැ. ඉස්සර අපි මාළු පැටව් මුලින්ම දාන්න රුපි­යල් 600ක් සමි­තියේ සාමා­ජි­ක­ය­න්ගෙන් එකතු කළා. සම­හරු එදා රත්ත­රන් බඩු උකස් කරලා තමයි ඒ සල්ලි දුන්නේ. දැන් අපි අවු­රු­ද්ද­කට වැවට අපේ සමි­තියේ මුද­ල්ව­ලින් රුපි­යල් ලක්ෂ 60ක මාළු පැටව් තැන්පත් කර­නවා. ධීව­ර­යෙ­කුගේ පවුලේ මර­ණ­ය­කදි රුපි­යල් ලක්ෂ­යක් ගෙව­නවා.

එදා හාල් සේරු බාග­යක් ණයට දුන්නෙ නැති මුද­ලා­ලිලා දැන් ධීව­ර­යෙ­කුට රුපි­යල් 5000ක් වුණත් ණයට දෙනවා. සමි­ති­යෙන් දෙදෙ­නෙ­කුට රැකියා දීලා තියෙ­නවා. මට දරු­වන්ට හොඳට උග­න්වන්න පුළු­වන් වුණා. මට දැන් ලොරි දෙකක් තියෙ­නවා. වෙළ­ඳ­ස­ලක් පව­ත්වා­ගෙන යනවා. මට දියුණු වෙන්න පුළු­වන් වුණේ මේ වැඩ­පි­ළි­වෙ­ළට පින් සිදු­වෙන්න. දැන් අපි සමි­ති­යෙන් අවු­රු­ද්දට බෝනස් මුද­ලක් දෙනවා. සම­හරු රුපි­යල් පන­ස්දහ හැට දාහ ගන්නවා. රජයේ සේව­ක­යෙ­කුට රුපි­යල් දහ දාහක් අවු­රු­ද්දට ණයක් විදි­යට දෙන්නේ. නමුත් ධීව­ර­යන් වාර්ෂි­කව එකතු කරපු මුදල් තමයි ඉතිරි කරලා දෙන්නෙ. ඒ ආකා­ර­යට ධීවර ආර්ථී­කය ශක්ති­මත් වෙලා තියෙ­නවා. ලංකාවේ හොඳම ධීව­රයා සහ හොඳම තොටු­ප­ළත් අපේ ධීවර තොටු­පො­ළට හිමි වුණා. දැන් අපි ශක්ති­මත් යැයි සිරි­පාල මහතා පවසා සිටි­යේය.

නැති බැරි­කම උර මත තබා­ගෙන අහස කුස දෙස බලා හූල්ල­මින් සිටි අම්පාරේ ධීව­රයෝ රට­ටම පණි­වි­ඩ­යක් දෙති. ඒ උත්සා­හ­යෙන් සහ නිසි කළ­ම­නා­ක­ර­ණ­යක් සහි­තව සාමූහි­කව කට­යුතු කිරි­මෙන් ජය ලැබිය හැකි බවය.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »