අකුණු ගහන විදුලි කොටන කතා පුවත සිත කළඹන

2018-12-19 11:01:00       567
feature-top
අකුණු ගහනවා දැක ඇති මුත් අකුණෙහි ගැඹුරු කතාව ගැන ඔබ ඇතැම්විට නොදන්නවා වන්නටත් පුළුවනි. වායු ගෝලයේ ඇතිවන විද්‍යුත් විසර්ජනයක් නිසා අකුණු සිදුවන බව සරලම සත්‍යයයි. අකුණු ගැසීමේදී ඇතිවන විදුලි කෙටීම නිසා අකුණක් හදිසියේ ඇති වී නැති වී යන ආලෝකයක් විදියට දිස්වෙයි. බොහෝදුරට අපට අකුණක් සමඟ මහත් ශබ්දයක් ඇසෙයි. අකුණු ගැසීම ඇති වන්නේ වායු ගෝලයෙහි සිදුවන විද්‍යුත් විසර්ජනයක් නිසා බව මුල් වරට ලෝකයට පෙන්වා දුන්නේ බෙන්ජමින් ෆ්රැක්ලීන් විසිනුයි. ඒ වසර 1752දී.

වැසි කුණාටු සහිත කාලගුණයක් පවතින විටෙක පොළොව මතුපිට ද වායු ගෝලයෙහිද විද්‍යුත් ස්වභාවය සාමාන්‍යයෙන් පවතිනවාට වඩා වෙනස් වෙනවා. මෙවිට වලාකුළුවල ඇති ධන ආරෝපණය වර්ධනය වී අති විශාල විද්‍යුත් ශක්තියක් රැස් කරගන්නවා. වලාකුළුවල ඇති ආරෝපණය හේතුවෙන් පොළොව මතුපිටද ආරෝපණයක් ඇති වෙනවා.

මේ අවස්ථාවේදී ඒ ආරෝපණ දෙක අතර ඇති වාතයේ පරිවරණ ශක්තිය බිඳ වැටීමෙන් ඒවා අතර විද්‍යුත් විසර්ජනයක් ඇති කරනවා. මෙහිදී විශාල ගිනි දලුවක් නිකුත් වෙනවා.
ක්ෂණික දීප්තිමත් ආලෝකයක් විදියට අප දකින්නේ එයයි. විදුලි කෙටීමක් විදියට අප හඳුන්වන්නේ මේ සංසිද්ධියයි.

විදුලි සැරය ගමන් කරන මාර්ගය ඔස්සේ ඇති වාතය රත් වීමත්, විඝටනය වීමත්, අයනීභවනය වීමත් නිසා වාතයේ පවතින පීඩනය එක්වරම ඉහළ යනවා. ගෙරවීම ඇති වන්නේ මෙසේ එක්වරම පීඩනය වෙනස් වීම නිසයි. ආලෝකය අධික වේගයකිනුත් ශබ්දය ඊට වඩා අඩු වේගයකින් ගමන් කරන නිසා අපට හෙණ හඬ ඇසෙන්නේ විදුලි කෙටීමක් දැකීමෙන් මොහොතකට පසුවයි.

සාමාන්‍ය වලාකුළු දෙකක් අතර ගසන අකුණක් කිලෝමීටර් 30ක් පමණ දික් වීමට පුළුවන්. වලාකුළකින් පොළොවට එන අකුණක් කිලෝමීටර් එකහමාරක් පමණ වෙන්න පුළුවන්.

අකුණක ස්වභාවය තුන් වැදෑරුම් ඒවා නම් දෙබල අකුණු, අතල අකුණු හා බෝල අකුණු වශයෙන්. දෙබල අකුණ ගඟක් වගේ නැමි නැමී යන ආලෝක ධාරාවක්. එය බොහෝ විට අපට දිස්වෙන්නේ දෙබලක් විදියට අතු බෙදී යන ආකාරයෙන්.

අතල අකුණ නියමාකාරයක් නැතිව ක්ෂිතිජය පුරා පැතිරෙමින් මුළු අහසම එළිය කරන්නක්. ඇත්ත වශයෙන්ම නම් එය ක්ෂිතිජයෙන් ඔබ්බෙහි ඇති වන දෙබල අකුණුවල පරාවර්තනයක්.

බෝල අකුණකදී සිදුවන්නේ සෙ.මි. 10-12ක් විෂ්කම්භය ඇති රත් පැහැති ගිනි බෝලයක් වලාකුළුවලින් නිකුත් වී අඩු වේගයකින් පොළොව කරා ඇවිත් එහි හැපී පුපුරා යෑමයි.

ඇතැම් විට එය බිම හාවී පෙරළී ගොස් බාධකයක් හමුවූ පසු පුපුරා යනවා.

අකුණුවලින් නිවෙස් ආරක්ෂා කර ගැනීම සඳහා අකුණු සන්නායක (ඹ්ඪඨඩබදඪදඨ ඛ්ධදඤභජබධප) සවි කිරීම සිරිතක්. අකුණක් වැදීමෙන් යමකු සිහි නැතිව ගියගොත් ඒ තැනැත්තාට වහාම කෘත්‍රිම ශ්වසනය ලබා දීම කළ යුතුයි. නැතිනම් අවදානම්. කෙසේ වෙතත් අකුණු ගහනවා දැක තිබුණා වුණත් ඒ ගැන දැනුවත්ව සිටීම ඔබට වඩාත් ප්‍රයෝජනවත් වේවි.

උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි

More News »