සම­නොළ කන්ද ගැන විදේ­ශි­ක­යන් කියූ ලස්සන කත­න්දර

2018-12-15 09:18:00       589
feature-top
මුලින්ම පැමිණි විදේ­ශි­කයා මහා ඇලෙ­ක්සැ­න්ඩර් රජු

සම­න්ගිර මත බුදු­ර­ජා­ණන් වහන්සේ සිරිපා ලාංඡ­නය පිහි­ටු­වන ලද්දේ ඉඳු­නිල් මැණි­කක් මත බව ජන­ප්‍ර­වා­දයේ පැවසේ. නමුත් අද එම සිරි­ප­තුල පිහිටා ඇත්තේ කළු ගලක් මතයි. යථෝක්ත ‍ඉඳුනිල් මැණිකේ ආර­ක්ෂාව සඳහා එය වැසී යන ලෙසින් මේ කළු ගල්ත­ලා­වෙන් වසා ඇති බවත්, එය නිශ්ශං­ක­මල්ල රජ­තුමා විසින් කර­වන ලද බවත් ජන­ප්‍ර­වා­දයේ පවතී.

ශ්‍රී පාද­ස්ථා­නය සොයා ගැනීම පිළි­බඳ ජන­ප්‍ර­වාද රැසක් පවතී. එයින් එකැ­කින් කියැ­වෙන්නේ නිශ්ශං­ක­මල්ල රජ­තු­මාගේ මල් උය­නක මල් හොරු ඇල්ලීම සඳහා එහි රැක සිටි අත් පා නැති කොටෙකු විසින් අල්ලා ගනු ලැබූ සුරං­ග­නා­වි­ය­කගේ පාර පෙන්නීම මත එම කොටාගේ මැදි­හ­ත්වී­මෙන් නිශ්ශං­ක­මල්ල රජ­තුමා සිරි­ප­තුල පිහිටි ස්ථානය සොයා ගත් බවකි. තවත් මත­යක් වන්නේ වළ­ගම්බා රජ­තුමා ශ්‍රීපා­ද­ස්ථා­නය සොයා ගත් බවකි. සිරිපා වන්ද­නාව ඇර­ඹුණේ කුමන කාල­ය­ක­දැයි ස්ථිර­වම කිව නොහැකි වුවත් 11 වැනි සිය­වසේ සිට සිරිපා වන්ද­නාව ඇරැ­ඹුණු බවට සාධක හමුවේ. ක්‍රි.ව. 1055 - 1110 දක්වා පොලො­න්නරු‍වේ රජ කළ මහා විජ­ය­බාහු රජ­තුමා පිහි­ටුවා ඇති අඹ­ග­මුව සෙල් ලිපි­යෙන් පැහැ­දිලි වේ. මහා විජ­ය­බාහු රජ­තුමා ශ්‍රීපා­ද­ස්ථා­නය වෙනු­වෙන් කරන ලද සේවාව එහි සඳ­හන් වේ. එතු­මාගේ වන්දනා ගම­නින් පසු දේශීය රජ­ව­රුන් හා රාජ්‍ය නාය­ක­යන් මෙම ස්ථානය වන්දනා කළ බවට ලිඛිත සාධක බොහෝය. මේ අය අතර කීර්ති ශ්‍රී නිශ්ශං­ක­මල්ල දෙවැනි පැර­කුම්බා, තෙවැනි විම­ල­ධ­ර්ම­සූ­රිය, ශ්‍රී වීර­ප­රා­ක්‍රම නරෙ­න්ද්‍ර­සිංහ හා ශ්‍රී විජය රාජ­සිංහ යන රජ­වරු හා ජන නාය­කයෝ ද වෙති. එමෙන්ම විදේ­ශි­කයෝ ද සිරිපා වන්ද­නාවේ ගොස් විස්තර සඳ­හන් කර ඇත්තාහ.

ඈත අතී­තයේ සිටම මෙහි පැමිණි දේශ ගවේ­ෂ­ක­යන්, විවිධ ගත් කතු­ව­ර­යන්, නාවි­ක­යන් හා වෙළෙ­න්දන් වැනි අය විසින් සඳ­හන් කරනු ලැබූ කුතු­හ­ලය හා විස්මය දන­වන කතා පුවත් බොහො­ම­යකි. සිංහ­ල­යන් සම­නොළ කන්ද නමින් ද, ඉංග්‍රීසි ජාති­ක­යන් ‘ඇඩම්ස් පීක්’ යනු­වෙන් ද හඳු­න්වන සම­නොළ කන්ද මුස්ලිම් ජාති­ක­යන් විසින් ‘බබා අද­ම­ලින්’ යනු­වෙන් හඳු­න්වනු ලැබේ. හින්දු භක්ති­ක­යන් ‘ශිව නඩි පාදම්’ යනු­වෙන් හඳු­න්වන අතර පෘතු­ගී­සින් විසින් ‘පිකෝද ඇඩම්’ යන නමින් හඳු­න්වනු ලැබීය.

බුදු­ර­ජා­ණන් වහන්සේ තුන්වැනි වරට ලංකා­වට වැඩි අව­ස්ථාවේ සබ­ර­ග­මුවේ සුමන සමන් නමැති නාය­ක­යාගේ ආරා­ධ­නය පරිදි සම­නොළ කන්ද මුදුනේ ශ්‍රී පතුල පිහි­ටු­වාලූ බව සිංහල වංශ­ක­තා­වල මෙන්ම සම­න්ත­කූට වර්ණ­නාවේ ද සඳ­හන් වේ. මේ බෞද්ධ­යන්ගේ මත­යයි. මහ­න්මත් ආගම අද­හ­න්නන්ගේ විශ්වා­සය වන්නේ ආදම් පව් සේදීම සඳහා සම­නොළ කන්ද මුදුනේ තනි පාද­යෙන් සිට­ගෙන සිටි නිසා ඔහු ගේ පා සට­හන නොමැ­කෙන ලෙස එහි සට­හන් වූ බවයි. ශිව දෙවි­යන් ‘තාණ්ඩව’ නැටුම සඳහා පොළො­වට පැමිණි දිනෙහි ඔහු‍ගේ පා සට­හන සම­නොළ කන්ද මුදුනේ තැබූ බව හින්දු භක්ති­ක­යන්ගේ විශ්වා­ස­යයි.

විදේ­ශි­ක­යන්ගේ විස්තර අනුව මුලින් ම සිරිපා වන්ද­නාවේ පැමිණි විදේ­ශි­කයා මහා ඇලෙ­ක්සැ­න්ඩර් රජ­තු­මාය. ඒ බැව් පර්සි­යන් ජාතික අෂ්රාජ් නමැති කවියා පව­සයි. දහ­වැනි සිය­වසේ අව­සාන භාගයේ දී සුමා­ත්‍රාව හරහා මුහුදු ගම­න­කින් ලංකා­වට පැමිණි චීන ජාතික ‘චාඕ ජූ කුමා’ නමැති වෙළඳ අධි­කා­රි­ව­ර­යෙකු විසින් සම­නොළ කන්ද ගැනත් එව­කට සිටි රජු ගැනත් විස්ත­ර­යක් කර ඇත. ඔහු සඳ­හන් කර­නුයේ මෙම දිව­යිනේ ‘සිලන්ති’ නමින් කන්දක් ඇති බවත් එහි මුදුනේ අඩි හත­කට වඩා දිග මිනිස් පා සට­හ­නක් දක්නට ලැබෙන බවත් ය.

13 වැනි සිය­වසේ අග භාග­යේදී ‘ජෝන් ද මරි­ඤ්ඤේල්ලි” නමැති බිෂොප් වරයා ලංකා­වට පැමි­ණි­යේය. ඔහු සම­නොළ කන්ද ගැන කර ඇති විස්ත­රය අනුව සෙලාන් (සම­නොළ) කන්ද මත ස්වර්ගය ඇතැයි සම­හරු විශ්වාස කරති. උස් වූ මෙම කන්ද මුදුන සුදු වලා­කු­ළු­ව­ලින් වැසී ඇත. මෙම කන්දේ පහළ කොටසේ කදිම තැනි­ත­ලා­වක් වේ. කන්ද පාමුල ශුද්ධ ජීවිත ගෙවන පැවිද්දෝ වෙසෙති.

දේව දූත­යන් විසින් අල්ලා­ගෙන එන ලද ආදම් ‘සෙලාන්’ (සම­නොළ) කන්දේ විලට එහා­යින් මුදා හළ බවත් ආදම් ඒ අසල ගලක දකුණු ප ය තැබුව බවත් මෙම බිෂො­ප්ව­ර­යාගේ සට­හ­නෙහි තව­දු­ර­ටත් සඳ­හන් වේ. මෙම පා සට­හ­නෙහි දිග අත්ලෙන් දෙක හමා­රක් පමණ බවත් ඔහු පව­සයි. වන්ද­නාවේ ගිය සියලු දෙනාම මෙම පා සට­හන මැන්න බව මරි­ඤ්ඤේල්ලි සඳ­හන් කරයි. සම­නොළ කන්ද අවට ප්‍රදේ­ශය කෙසෙල්, පොල්. කොස් හා නොයෙ­කුත් පල­තු­රු­ව­ලින් පිරි උය­නක සිරි ගන්නා බවත් ආදම් හා ඒව මේ උයනේ ජීවත් වූ බවත් ඔහු වැඩි­දු­ර­ටත් සඳ­හන් කරයි.

පර්සි­යානු ජාති­ක­යෙකු වන ‘ඉබ්න් තමුර් දාබ්බේ” සිරිපා වන්ද­නා­වෙන් පසු ලියූ විස්ත­ර­යක ඇත්තේ ‘සෙර­න්දිබ්” (ලංකාව) දිව­යින දිග හා පළල පර­සිංහ 80 ක් (සැත­පුම් 320 ක්) බවයි. පාරා­දී­ස­යෙන් ආදම් පන්නා ඇත්තේ මෙහි ඇති උසම කන්දක බවත් මෙම දිව­යි­නට ගොඩ බැසී­මට දින විස්ස­කට පෙර මුහුද මැදදී කන්ද දුටුව බවත් ඔහු කියා ඇත. ඔහු ද කියා ඇත්තේ මෙම කන්ද මුදුනේ ආදම්ගේ පා සට­හන ඇති බවයි. කන්ද මුදු­නෙන් විදුලි කෙටී­ම­කදී ඇති­ව­න්නාසේ ආලෝ­ක­යක් පැති­රෙන බවද ඔහු වැඩි­දු­ර­ටත් පව­සයි.

ක්‍රි.ව. 1321 - 24 කාලයේ ලංකා­වට පැමිණි ඉතාලි ජාතික ‘ඔඩො­රික්” නමැති පූජ­ක­ව­රයා හිස් දහ­යක් ඇති පුදුම කුරු­ල්ලෙකු සිටින රටක් ලෙස ලංකාව හඳුන්වා තිබේ. පූජ­ක­ව­රයා සම­නොළ කන්ද ගැනද විස්තර කර ඇත. “මෙම රටෙහි විශාල කන්දක් ඇති බවත් ආදම් තම පුත්‍රයා ගැන අවු­රුදු 100 ක් දුක් වූයේ මෙම කන්ද මුදුනේ සිට යැයි මිනි­සුන් කියන බවත්” ඔඩො­රික් පූජ­ක­ව­රයා සඳ­හන් කරයි.

අබූ අබ්දුල්ලා මහ­ම්මන් ඉබන් බතූතා නමැති ලෝක ප්‍රසිද්ධ දේශා­ට­කයා ලංකා­වට පැමිණ සිරිපා වන්ද­නාවේ ගොස් ඇත. ඔහු ලංකා­වට බැසී­මට දින නම­ය­කට පෙර සම­නොළ කන්ද දුටු බව සඳ­හන් කරයි. කන්ද නැඟී­මට පාර­වල් දෙකක් ඇති බවත් ඉන් එක පාරක් ‘ආදම්ගේ මාවත’ ලෙස හා අනික් පාර ‘ඒවගේ මාවත’ ලෙස හැඳි­න්වෙන බවත් ඉබන් බතූතා ගේ විස්ත­ර­යෙහි සඳ­හන් වේ. එකල තිබූ මාවත් ගල් පඩි කපා යකඩ කූඤ්ඤ සවි­කර තිබූ බවත් වන්ද­නාවේ යන උද­විය මෙම දම්වැ­ල්වල එල්ලී ගමන් කළ බවත් එවැනි දම්වැල් දහ­යක් තිබුණු බවත් ඔහු වැඩි­දු­ර­ටත් සඳ­හන් කරයි.

ඉබන් බතූතා සිරිපා ලාංඡ­නය ගැන විස්තර කර­නුයේ මෙසේය. එකො­ළොස් විය­තක් දිග අපේ ආදම් පියාගේ පාද ලාංඡ­නය කඳු මුදුනේ එළි­ම­හන් තැනක වේ. වරින් වර පැමිණි චීන වන්ද­නා­ක­රු­වන් මෙම ගලෙන් මාපට ඇඟිල්ල හා අවට කොටස් කඩා­ගෙන ගොස් ‘සෙයි­කන්’නුවර සිද්ධ­ස්ථා­න­වල තබා ඇත. වන්ද­නා­ක­රු­වන් මුතු මැණික්, රත්ත­රන් හා රිදී ආදිය පූජා කොට ආදම් පියාගේ පා වැඳ ඇත. මා යන විටදී ද මැණික් ගල් කිහි­ප­යක් හා රන් රිදී කෑලි කිහි­ප­යක් ද තිබුණි. ඒවා මා සමඟ ගිය මාර්ගෝප දේශ­ක­යාට දුනිමි”

දින තුනක් සම­නොළ කන්ද මුදුනේ සිට වැඳුම් පිදුම් කර ආපසු එද්දී දුටු අරුම පුදුම ගසක් ගැන සඳ­හන් කරන ඉබන් බතූතා එම ගස ඇවි­දින ගසක් ලෙස හඳු­න්වයි. කන්ද මුදුනේ සිට බලන විට ගස කන්ද මුදුනේ තිබෙන ලෙසක් පෙනෙන බව කියන ඔහු එහි කොළ බිමට නොවැ­ටෙන බවත් ඒ නිසා කොළ­යක් අහුලා ගැනී­මට නොහැකි වූ බවත් පව­ස­මින් සම­නොළ කන්ද ගැන විස්තර අව­සන් කර ඇත.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »