ප්ලාස්ටික් භාවි­ත­යට තිත තැබූ මායා­ව­රුන්ගේ නග­රය

2018-11-28 01:27:00       57
feature-top
ශ්‍රී ලංකාව නැත්නම් මේ අප ජීවත්වන පුංචි දිවයින ලෝකයේ ඇති සුන්දරම වාසනාවන්ත රටක්. මේ නිසා අතීතයේ සිට මෙය හඳුන්වන්නේ ඉන්දීය සාගරයේ මුතු ඇටය නමින්. පෙරදිග ලෝකයේ ධාන්‍යාගාරය ලෙසින්ද හැඳින්වූ අපේ රට අතීතයේ කුළුබඩු, තේ වැනි දෑ සඳහා ලෝකයේම ප්‍රසිද්ධ වී තිබුණා. එහෙත් වර්තමානය වන විට අපේ රට ලෝකප්‍රකට වී තිබෙන්නේ ඉතා නරක ආකාරයෙනි. මේ සුන්දර රට පරිහානියට ලක් කරන්නේ එහි ජීවත් වන අපිමයි.

ලෝකයේ තිබෙන බොහෝ රටවලට වඩා අපේ රට ප්‍රමාණයෙන් හා ජනගහනයෙන් ඉතාම කුඩා වූවත් සියදිවි නසා ගැනීම් අතින් හා මත්පැන් පරිභෝජනය අතින් ශ්‍රී ලංකාව මුල් රටවල් අතර තිබෙන බව කනගාටුවෙන් වූවත් පැවසිය යුතුයි.

මෙවැනි කළු පැල්ලම් ලැයිස්තුවට අලුතින්ම එකතු වූ අපකීර්තිය වන්නේ ලෝකයේම වැඩියෙන්ම මුහුදට ප්ලාස්ටික් එක් කරන රටවල් අතර ලංකාවට පස් වැනි තැන හිමිවීමයි. මේ තරම් කුඩා රටක් මුළු ලෝකයක් අතුරින් මෙවැනි ස්ථානයකට උරුමකම් කියන්නේ අපේ නොසැලකිලිමත් බව හා අවබෝධයක් නැතිකම නිසා බවත් කනගාටුවෙන් වුවත් සඳහන් කළ යුතුයි.

ඒ නිසාම අද ‘අතැඹුල‘ විශේෂාංගයෙන් අප ගෙන එන්නේ තමන්ගේ රට ඉදිරියටම තබා කටයුතු කරමින් ප්ලාස්ටික් භාවිතයට තිත තැබූ රටක් ගැන තොරතුරු කියන්නටයි.

මීට මාස කිහිපයකට පෙර ගෝතමාලාවේ සැන් මිගුවෙල් පෙටාපා නගරය (San Miguel Petapa) එහි නගරාධිපතිතුමාගේ අණ මගින් සියලුම ‘එක්වරක් භාවිත කරන ප්ලාස්ටික්’ එනම් පොලිතින් කවර, ප්ලාස්ටික් කෝප්ප පිඟන්, වතුර බෝතල් වැනි දෑ තහනම් කරන ලද්දේ එවැනි ප්ලාස්ටික් ද්‍රව්‍ය මිනිසුන් පාරවල් අවට විසිකළ පසු වැස්සත් සමඟ කුණු කානු ඔස්සේ ගොස් අවසානයේ ගංගා හා විල්වලට එකතු වන නිසායි.

ප්ලාස්ටික් මගින් සිදු වන දැවැන්ත පරිසර හානිය පිළිබඳ නිවෙසින් නිවෙසට ගොස් දැනුම්වත් කිරීම නිසා මෙහි නගර වැසියන්ගෙන් මෙම ව්‍යාපෘතියට ලැබී තිබෙන්නෙ ඉතා සතුටු දායක ප්‍රතිචාරයකි. මායාවරුන්ගෙන් පැවත එන මෙම වැසියන් විසින් ඉතාම සතුටින් තම සාම්ප්‍රදායික ප්ලාස්ටික් ආදේශක භාවිත කරනු ලබයි.

එනම් කෙසෙල් කොළ, පන් මලු වැනි දෑ ප්ලාස්ටික් වෙනුවට ඔවුන් භාවිත කරන්නේ අපිට ආදර්ශයක් සපයමිනි. අපේ රටේත් මෙම ප්ලාස්ටික් තහනම් කරනු ලැබූවත් එය සාර්ථක වී නැත්තේ වෙළෙන්දන් හා පාරිභෝගිකයන් යන දෙපිරිසම මේ සඳහා සහයෝගය නොදැක්වීම නිසයි.

මෙම කුඩා නගරයේ පමණක් නොව මේ වන විට ගෝතමාලාවේ නගර කිහිපයක්ම මෙම ක්‍රියා පිළිවෙත අනුගමනය කරමින් සිටියි. ප්ලාස්ටික් භාවිතා කිරීම නවතා දැමූ නගර වැසියන් එයින් නොනැවතී තමා අවට පරිසරය පිරිසුදු කිරීමටත් පටන්ගෙන තිබේ.

ඔවුන්ගේ නගරය අසල තිබෙන විල මොවුන් පිරිසුදු කරන්නේ ඔවුන්ගේම කාලය, මුදල් හා ශ්‍රමය වැය කරමිනි. එහි එකම අරමුණ වන්නේ අතීතයේ පටන් භාවිතයට ගත් ඔවුන්ගේ විල හෙට උපදින පරපුරටත් එලෙසින්ම උරුම කර දීමයි.

ලෝකයේ වැඩියෙන්ම ලස්සන හා සංචාරක ආකර්ෂණය හිමි වන අපේ රට එලෙසින්ම අපේ දූ දරුවන්ට අයිති කර දීම අපේ යුතුකමක් වගේම වගකීමක් බව අප සියල්ලන්ම සිහියේ තබාගත යුතුයි.

බස් රථයේ, දුම්රියේ යන විට ජනේලයෙන් එළියට කුණු වීසි කරන, විනෝද චාරිකාවක් ගිය පසු එම ස්ථානය කුණු දමා විනාශ කරන, ගෙදර කුණු පාරේ විසි කරන, අපි ත‍ෙවකකු විසින් අපේ රට සාදන තෙක් බලාගෙන සිටීම නිසා අද අපිට මෙවැනි තත්ත්වයකට පත් වීමට සිදු වී තිබේ.

මේ නිසා අප සියලු දෙනාම ටොෆි කොළයක් පවා බිම නොදමා සියලුම කසළ නිසි අයුරින් බැහැර කිරීමට කටයුතු කිරීමට අදිටන් කරගත යුතුයි. හැකි සෑම විටම පොලිතින් උර වෙනුවට පන් හෝ රෙදිවලින් සෑදූ මලු භාවිතා කළ යුතුය. රටේ අනෙකුත් මිනිසුන් හැදීමට පෙර තමන් හරි දෑ කරන පුද්ගලයකු බවට පත් විය යුතුය. එසේ නැති වුවහොත් නුදුරු අනාගතයේදීම අපේ ලස්සන රට ඉන්දීය සාගරයේ කුණුගොඩ යන නාමයෙන් ලෝකයේ අනෙක් රටවල් විසින් හඳුන්වනු ඇත

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »