තේ දලු යට සැඟවෙන කඳුළු

2018-11-10 11:00:00       74
feature-top
උදාවී ඇති දේශපාලන උණුසුමට වැසී ගිය ද, වතු කම්කරුවන්ගේ වැටුප් අර්බුදය තවමත් විසැඳී නැත. තම මූලික වැටුප රුපියල් දහසක් කරන්නැයි ඉල්ලා සිටි‍න වතු‍ සේවකයෝ ඒ වෙනුවෙන් පසුගියදා කොළඹදී උද්ඝෝෂණයක් ද පැවැත්වූහ. මේ සඳහා වතුකරයේ පිරිස කොළඹට පැමිණීම මෙන්ම තරුණ පිරිස් වැඩි වශයෙන් සහභාගි වීම නිසා මෙතෙක් පැවැති වතු උද්ඝෝෂණ වලට වඩා වෙනස් ස්වරූපයක් ගත්තේ ය. එහෙත් ප්‍රශ්නය පැරැණි ය; වසර ගණනාවක් තිස්සේ නොවිසඳුණකි.

බ්‍රිතාන්‍ය පාලන කාලය තුළ මෙරට වතු වගාව ව්‍යාප්ත විය. එකල වතුවල සේවයට සිංහලයන් මෙන්ම ලංකාවේ සිටි දෙමළ ජනතාව ද කැමැති වූයේ නැත. බ්‍රිතාන්‍ය මෙයට විසැඳුම් සෙවුවේ දකුණු ඉන්දියාවෙනි. ඒ අනුව එකල තමිල්නාඩුවේ සිටි දෙමළ ජනතාව ලංකාවට ගෙන ආවේ සුන්දර ලෝකයක් පිළිබඳ ඔවුන්ට මවා පෙන්වමිනි. මේ අවදියේ තමිල්නා‍ඩුවේ කොලරා වසංගතය පැතිර ගොස් තිබුණු අතර හැමදාමත් පීඩාවට පත්ව සිටි තමිල්නාඩු ජනතාවට එය කබලෙන් ළිපට වැටීමක් විය. ඉතා අසරණ තත්ත්වයට පත්ව සිටි ජනතාවට ලංකාව සුරපුරයක් බව පෙන්වනු ලැබී ය. එමෙන් ම මේ රටේ තේ ගස් යට උම්බලකඩ සහ පොල් පහළ වන බවට ද ප්‍රචාරය කළේ ය. මේ රැවටීමත්, එල්ල වූ බලපෑමත් මත දකුණු ඉන්දියානුවන් විශාල පිරිසක් ලංකාවට නැව් මගින් පිටත් කෙරිණ. කෙසේ මෙසේ වතු සේවයට පැමිණි ඔවුහු දැනට සියවස් එක හමාරකට වැඩි කාලයක් ලංකාවේ පදිංචිකරුවන් ලෙස ජීවත්වේ. පළමු අවස්ථාවේ සිටම රැවටීමට සහ බලහත්කාරයට ලක්වූ මේ ජනතාව අදට ද ගෙවන්නේ එකී ජීවතයේම දිගුවකි. එහිදී ඔවුන් ප්‍රකාශ කරන පරිදි ඔවුන්ගේ ජීවිත ගෙවෙන්නේ ඉතා දුක්ඛිත තත්ත්වයක ය.

තලවකැලේ ලිඳුල වතුයායේ දී හමුවූ මූර්ති කියන්නේ එහි තවත් එක් කතාවකි.

“මම අවුරුදු 20ෙක විතර ඉදන් මේ වතුයායේ වැඩ කරනවා. මගේ පවුලේ සාමාජිකයින් 5ක් ඉන්නවා. දරුවෝ ‍තුන්දෙනාගෙන් දෙන්නෙක් ඉස්කෝලේ යනවා. මමයි, නෝනයි දෙන්නම ජීවත් වෙන්නේ වත්තේ වැඩ කරලා හම්බවෙන මුදලින්. දෙන්නම වැඩකරලත් අපිට මාසෙකට රුපියල් 10,000.00ක් අතට එන්නේ නැහැ. සමහර මාසවල සේරම අඩු කරගෙන රුපියල් 6000ක් විතරයි ලැබෙන්නේ.”

වතු සේවකයන් කියන ආකාරයට වතු කම්කරුවකුගේ දිනක මූලික වැටුප රුපියල් 500.00කි. එයට පවතින තත්ත්වය අනුව තේ මිලේ හැටියට රුපියල් 30.00ක් ද, දිනකට නෙළන ලද දලු ප්‍රමාණය කිලෝ 18කට වැඩිනම් රුපියල් 140.00ක් ද, වැඩ කළ දින ගණන මාසයේ දින ගණනින් 75% වැඩිනම් දිනකට රුපියල් 60.00ද ලෙස එකතුව රුපියල් 730 මුදලක් ලැබේ. එහෙත් මේ සියල්ල සම්පූර්ණ වී පඩියක් ලබා ගැනීමේ හැකියාවක් වතු කම්කරුවන් ගෙන් 80%කට වත් නැත. වැසි රහිත මාස වලදී ‍නෙළන්නට තේ දලු නැත. එමෙන් ම වැසි කාලයේදී අසනීප කෙළවරක් නැත. ‍මෙයට අමතරව ‍හදිසි ආබාධ, ලෙඩ රෝග හමුවේ රුපියල් 730.00ක දිනක වැටුප ඔවුන්ට සිහිනයකි.

“මෙම සොච්ච්ම් මුදලින් තමා අපි කන්න බොන්න ඕනෑ. ළමයි පාසල් යවන්න ඕනෑ. මඟුල් ගෙදරකදී, මළ ගෙදරකදී යන සියලු වියදම් අපි බලා ගන්න ඕනෑ. විදුලි බිල්පත් ගෙවන්න තියෙනවා. ළමයිට උගන්වන්න තියෙනවා. මේ ඔක්කොටම රුපියල් 500.00යි තියෙන්නේ.” මූර්ති කියයි. ‍

වතු සේවකයන් අද පවා ජීවත්වන්නේ බ්‍රිතාන්‍ය පාලනය කාලයේ ඉදිකළ ලැයිම් කාමරවල ය. ඒවා බොහොමයක් මිහිපිට අපායන් බඳු ය. එක් කාමරයක් පමණක් ඇති මේවායේ සනීපාරක්ෂක පහසුකම් ඇත්තේ ඉතාම අවම වශයෙනි.

“මේ සේවකයෝ ජීවත්වෙන්නේ අඩි 10ක් දිග පළල තියෙන කාමර වලයි. එක පවුලක හය හත් දෙනා ඉන්නවා. සමහර විට ‍මේවායේ පවුල් දෙක, තුන ජීවත් වෙනවා. හුඟක් වතුවල ලයින් කාමර අවුරුදු 100 -200ක් විතර පැරැණියි. ඒවායේ වහලවල තියෙන ටකරං වලින් වැසි දිනවලට වතුර කාන්දු වෙනවා. හරියට නිදාගන්න විදිහක් නැහැ. මේ පඩියෙන් පවුලේ අයටවත් කන්න දෙන්න බැරි තරමට අපි පත්වෙලා. දරුවන්ට පෝෂණීය ආහාර වේලක් ලබා දෙන්න විදිහක් නැහැ. මේ නිසා දරු‍වෝ මන්ද පෝෂණයට ලක්වෙලා. අධ්‍යාපන කටයුතු හරි ආකාරව කරගන්න බැරි නිසා අද බොහෝ කම්කරුවන්ගේ දරුවන් පාසල් අධ්‍යාපනය අතර මග නතර කරලා කොළඹ කඩවල්වල වැඩ කරනවා.”

“මේ රටේ ආර්ථීකයට විශාල සේවයක් කරන අපිට ඇයි මේ විදියට සලකන්නේ. සමහර කාලවලට වතුවලදි අපි බඹරු, දිවි වගේ සත්තුන්ගේ ප්‍රහාරවලට ලක් වෙනවා. ලෙඩ රෝග වලට ලක්වෙන කම්කරුවන් ඉස්පිරිතාලෙට ගෙනියන්න පහසුකමක් නැහැ. සමහර වතුවල වතුර නැහැ. එහෙම තියාගෙනත් කම්කරුවෝ වැඩ කරනවා.”

මූර්ති මේ කියාගෙන යන්නේ තමන්ගේ ජීවිත වල පවතින ඛේදවාචකය ය.

එපමණක් නොව ‍බොහෝ ලැයිම් කාමරවල භූමිතෙල් භාවිතය අධික ය. කම්කරුවන් කියන ආකාරයට මසකට භූමිතෙල් ලීටර් 12-15ක් අතර ප්‍රමාණයක් ඔවුන්ට වැයවේ. මේ සඳහා ද වැටුපෙන් විශාල මුදලක් වැය වන බව වතු කම්කරුවෝ කියති.

තමා අත් විදින මේ කටුක ජීවිතයෙන් ගොඩ ඒමට තිබෙන එකම මාර්ගය ලෙස ඔවුන් දකින්නේ තම ශ්‍රමයට සරිලන සාධාරණ වැටුපක් ලබා ගැනීම ය. රජයේ සේවකයන්, ‍පෞද්ගලික අංශයේ සේවකයන් වාර්ෂිකව විවිධ ආකාරයෙන් වැටුප් සහ තම දීමනා වැඩි කරගත්ත ද, වතු සේවකයන්ට ඒ සඳහා අවස්ථාව ලැබෙන්නේ වසර දෙකකට වරක් අස්සන් කෙරෙන අවබෝධතා ගිවිසුමෙනි. මේ තීරණ ගැනීම කරනුයේ වෘත්තීය සමිති සහ හාම්පුතුන්ගේ සංගමය කරන සාකච්ඡා මගිනි. මේ ගිවිසුමට අනුව වර්ධනය විය යුත්තේ කම්කරුවන්ගේ වැටුප පමණක් නොවේ. කම්කරු සුබසාධනය, සනීපාරක්ෂක පහසුකම් ආදිය ද වර්ධනය විය යුතු ය. එහෙත් ඒවා ඉටුවන බවක් පෙනෙන්නට නැත.

මෙහිදී වතු සේවකයෝ වසර කිහිපයක සිට තම වැටුප ලෙස රුපියල් 1000ක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිති. ඒ සෑම අවස්ථාවකම එයට නිසි විසඳුමක් ලැබුණේ නැත. මේ සම්බන්ධයෙන් දේශපාලන බල අධිකාරියට මෙන්ම ‍වතු හාම්පුතුන්ට ද චෝදනා එල්ල වේ. මේ සම්බන්ධයෙන් අපි කඳුරට ජනතා පෙරමුණේ ලේකම් ඒ. ‍ලෝරන්ස් මහතා ගෙන් අදහස් විමසා සිටියෙමු.

“තේවතු වල වැඩ කරන කම්කරුවෝ 150,000ක් විතර ඉන්නවා. මේ අයගෙන් බහුතරයක් ප්‍රධාන පක්‍ෙවල වෘත්තීය සමිතිවලට අයිති අයයි. ඒ වෘත්තීය සමිතිවලින් තුනක් තමයි හාම්පුත්තුන්ගේ සංගමය සමඟ සාකච්ඡාවට යන්නේ. අනෙක් ඒවා මේ සාකච්ඡාවලට සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් තවත් 30,000ක විතර කිසිම වෘත්තීය සමිතියකට බැඳිලා නැහැ. එතකොට ඒ අ‍යගේ අවශ්‍යතා ගැන මෙතෙන්දි කතා කෙරෙන්නේ නැහැ. සාමාජික තත්ත්වය මත අපේ වෘත්තිය සමිතියත් මෙතෙන්ට යන්නේ නැහැ. එතකොට අපිට පුළුවන් මේ සාකච්ඡාවලට බලපෑමක් කරන්න විතරයි. එතැනින් එහා දෙයක් කරන්න බැහැ.”

එමෙන්ම මේ වෘත්තීය සමිතිවල පවතින අසමගිය නිසා වැටුප් ප්‍රශ්නය විසැඳීමක් සිදු නොවන බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සම්බන්ධීකරණ ලේකම් පෙරියසාමි ප්‍රදීපන් පවසයි.

“මෙතෙන්දී වෘත්තිය සමිති කටයුතු කරන්නේ තමන්ගේ පිරිස වැඩිකර ගැනීම මුල් කරගෙනයි. එක වෘත්තීය සමිතියක් එකක් කියනවා. තව පිරිසක් වෙනත් එකක් කියනවා. එතකොට මෙතැන ගැටුමක් ඇතිවෙනවා. ඒකේ වාසිය හාම්පුත්තු ගන්නවා. එතකොට මේ ප්‍රශ්නය විසැඳෙන්නේ නැහැ.”

වතු හාම්පුතුන් සමඟ සාකච්ඡා මේසයට වාඩිවන වෘත්තීය සමිති තුනක් තිබේ. එහි ප්‍රධාන සාමාජිකයා ලෙස කටයුතු කරන්නේ ලංකා වතු කම්කරු කොංග්‍රසයයි. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී මුත්තු සිවලිංගම් මහතා මේ චෝදනාවලට මෙසේ පිළිතුරු දෙයි.

‍ෙඅපි කිසිම වෙනසක් කරන්නේ නැහැ. රුපියල් 1000ක මූලික පඩිය විදිහට අපේ වතු සේවකයන්ට ලැබෙන්න ඕනෑ. ඒ හැරෙන්න වෙන විකල්පයක් අපිට නැහැ. මේ ප්‍රශ්නයට හාම්පුත්තු වගේම ආණ්ඩුවත් වගකියන්න ඕනෑ. වෘත්තිය සමිතිවලට විතරක් අත දිගු කරලා හරියන්නේ නැහැ.”

2015 වර්ෂයේදී ද වසර දෙකකට වරක් වැඩිවිය යුතු වැටුප් වර්ධකය ගැන හාම්පුත්තුන්ගේ සංගමය සහ වෘත්තීය සමිති අතර සාකච්ඡා ආරම්භ විය. එහෙත් එම වර්ෂයේදී වතු සමාගම් පාඩු ලබන බව පවසා වැටුප් වර්ධක ලබාදීම මාස 18කට කල් දැමී ය. එහි අවසාන ප්‍රතිඵලය ලෙස කම්කරුවන්ට එදා ද සිදුවූයේ සියල්ල කරබා ගෙන සිටීමට ය.

ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගවලින් එකක් වන්නේ තේ අපනයයයි. එක්දහස් නවසිය අසූව සහ අනූව දශකයන්හි ලෝකයේ ප්‍රධාන තේ අපනයනකරුවා වූයේ ලංකාව ය. 1990 වර්ෂයේදී තේ අපනයනයේ වාර්තාවක් තබමින් ලංකාව තේ කිලෝ ග්‍රෑම් මිලියන 215.6 අපනයනය කරනු ලැබිණ. ඒ ‍එකල ලොව අධිකතම වශයෙන් ලොව තේ අපනයනය කළ රට වශයෙනි. 2015 වර්ෂය වන විට රටේ සමස්ත තේ වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර 202.4ක් විය. 2015 වර්ෂයේදී ලංකාවේ තේ අපනයනයෙන් බිලියන 182.05ක ආදායමක් උපයනු ලැබීය. 2017 වර්ෂයේදී සමස්ත නිමි තේ නිෂ්පාදනය කිලෝ ග්‍රෑම් මිලියන 307.4ක් විය. එමෙන් ම‍, තේ වගාව නිසා සෘජු හා වක්‍ර රැකියා ලක්ෂ 10ක් පමණ ලංකාවේ බිහිවී තිබේ.

මෙලෙස රටේ ආර්ථිකයට විශාල බලපෑමක් කරන තේ කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යෑමේදී කම්කරුවන්ගේ කාර්ය භාර්ය ඉතා වැදගත් වේ. කෙතරම් තාක්ෂණය දියුණු වුවද අප රටේ වතු කම්කරුවන්ගේ සහාය නොවන්නට මේ කර්මාන්තයට ඉදිරියට පවත්වගෙන යෑම අභියෝගයකි. ‍වෙනත් කරුණු කෙසේ වෙතත් මේ ගැටලුව ගැන සිතාවත් කර්මාන්තයේ ඉදිරිය වෙනුවෙන් කම්කරුවන් වෙනුවෙන් පියවර ගැනීම බලධාරීන්ගේ යුතුකමක් සහ වගකීමක් වනු ඇත‍.

කෙසේ වෙතත් වතු කම්කරුවෝ ද තමන් මුහුණ දෙන ප්‍රශ්නවලින් ගොඩ ඒමට උත්සාහයක් දරන බවක් පෙනෙන්නට නැත. ඔවුන් නියෝජනය කරන දේශපාලන අධිකාරියට ද එවැනි වුවමනාවක් තිබෙන බව පෙනෙන්නේ නැත. විශේෂයෙන් ම මේ ජනතාව නිදහස් ලෙස සිතා කටයුතු කරන ප්‍රජාවක් බවට පත්වුව හොත් දේශපාලනඥයන්ගේ අරමුණු ඉටුවන්නේ නැත. ඒ නිසා දේශපාලනඥයන් ද කැමැති මේ ජනතාව ළිං ගෙම්බන් සේ තබා ගැනීමට ය.

එහෙත් කඳුරට ජනතා පෙරමුණේ ලේකම් ඒ. ‍ලෝරන්ස් පවසන්නේ මෙබඳු අදහසකි.

“වතුකම්කරුවන්ගේ දියුණුවට දේශපාලනඥයෝ වැඩ කරලා තියෙනවා. ඒවගේම එහි ප්‍රතිඵලත් තියෙනවා. මේ ජනතාවගේ දරුවෝ විශ්වවිද්‍යාලවල ගිහින් තියෙනවා. දැනටත් 500ක විතර පිරිසක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා තියෙනවා. ඒ අතරින් වෛද්‍යරු, ඉංජිනේරුවොත් බිහිවුණා‍‍. එතකොට ජනතාවට යම් දෙයක් අපි කරලා තියෙනවා. නමුත් අනෙක් ප්‍රදේශ එක්ක බලද්දි සාපේක්ෂව මදි කියලා පිළිගන්නවා”

වතුකරයේ ජනතාව අතර තිබෙන ප්‍රධානම ගැටලුව මත්පැන් භාවිතයයි. සත්‍යවශයෙන් ම මේ තැබෑරුම් නිර්මාණයේද පියවරු වූයේ බ්‍රිතාන්‍ය ජාතිකයෝ. තේ වතු වල වැඩ කිරීමට ඔවුන් සේවකයන් ගෙන ආ අතර ම ඔවුහු ඊළඟට මේ ප්‍රජාව වෙසෙන වතුවල රේන්ද කර්මාන්තය ද ආරම්භ කළෝ ය. දවස පුරාම වත්තේ වැඩකර හම්බ කරගන්නා මුදල මං කොල්ල කන මාවතක් ද බ්‍රිතාන්‍යයෝ හඳුන්වා දුන්හ. අරක්කු විකිණිම ආරම්භ වුයේ ඒ අනුව ය. ඒ සෑම වත්තකම වාගේ තැබෑරුමක් ආරම්භ කෙරිණ. මහන්සි වී අමාරුවෙන් සොයාගත් සොච්චමෙන් වැඩි පංගුවක් වතු සේවකයෝ බීමට වැය කළහ. වතුකරයේ සෑම ප්‍රශ්නයකම ආරම්භය සේවකයන්ගේ මතවතුර පානයයි. මේ පිළිබඳව වඩාත් හොඳින් පරේයේෂණය කළ අයකු වරක් ප්‍රකාශ කර තිබුණේ දිනකට හැටන් නගරයේ පමණක් අරක්කු, බියර්, සහ රා ලොරි තුනක් පමණ විකිණෙන බව ය. එමෙන් ම කුඩා නගරයක් වන කොටගල තැබෑරුම් 6කට වැඩි ප්‍රමාණයක් පිහිටා තිබේ.

ආර්ථික ප්‍රශ්නය උග්‍ර කරවන්නා සේම මත්පැන් නිසා උග්‍ර වූ තවත් සමාජ ගැටලු රැසක් ද දැකිය හැකි ය. කාන්තා හිංසනය, ළමා හිංසනය, මන්ද පෝෂණය, අධ්‍යාපනය පිරිහීම ඒ අතර දිනෙන් දින උග්‍ර වේ. මේ තත්ත්වය තවත් පැහැදිලි වන්නේ ‍රටේ වතු වගා කරන සෙසු දිස්ත්‍රික්ක හා සැසදීමෙනි.

මේ කුමන දේ ගැන කතාකළ ද වතු කම්කරු ජනතාව අද ඉල්ලන්නේ තමන්ගේ ශ්‍රමයට සාධාරණ වැටුපකි. සාමාන්‍යයෙන් රටේ වෙනත් ප්‍රදේශවල කුලී වැඩ කරන අයකු දිනකට රුපියල් 1500-2000ක් අතර මුදලක් අය කරති. එවැනි පසුබිමක වතු කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීමේ අසාධාරණයක් පෙනෙන්නේද නැත.

එහෙත් හාම්පුතුන් නගන තර්කයක් දෙස ද මෙහිදී අවධානය යොමු කළ යුතුය. ඔවුන් කියන්නේ මේ නිසා කර්මාන්තයට බලපෑමක් ‍එල්ල විය හැකි බවය. කෙසේ වෙතත් මෙහිදී අවධාරණය කළ යුතු තවත් දෙයක් තිබේ. එනම් දැන් දැන් වතු කම්කරුවන් වෙනත් රැකියා කරා යොමුවන බවක් තිබීමය. ඔවුන්ගේ ඊළඟ පරම්පරා වතුවලින් ඈත් වෙමින් තිබේ‍. මෙය ද කර්මාන්තයේ හෙට දවසට යහපතක් නොවන බව කිව යුතු ය.

වතු සේවයේ යෙදෙන අයකුගේ දරුවන්ගේ උපරිම අධ්‍යාපනය බොහෝ විට සාමාන්‍ය පෙළ දක්වා සීමා වේ. ඒ මට්ටමට ළඟාවන්නේ කලාතුරකින් අයෙක් නැත්නම් කිහිප දෙනෙකි. බහුතරය ඉන් ඔබ්බට යන්නේ නැත. එයට හේතු කිහිපයක් තිබේ. පළමුව වතු දරුවන් වීම මත ඔවුන්ට සමාජයෙන් පිළිගැනීමක් ලැබෙන්නේ නැත. දෙවනුව උසස් පෙළ හැදෑරීමට තරම් ප්‍රමාණවත් පහසුකම් ‍වතු දරුවන්ට නැත. මේ නිසාම ඔවුන්ට අවශ්‍ය වන්නේ කොළඹට ගොස් අතට කීයක් හෝ සොයා ගැනීම ය. ඒ අනුව‍ කොළඹට පැමිණෙන ඔවුහු නාට්ටාමි රස්සාවේ සිට කළ හැකි සෑම දෙයක්ම කරති. ගෘහ සේවය, සමාජ ශාලා තවත් ඔවුන් එනතුරු බලා සිටින රැකියා ය. මේසේ හරි හම්බ කරගත් කීය‍ක් හෝ වියදම් කර දෙමළ සිනමා නළුවකු ලෙස සන්ග්ලාස්, ඇඳුම් පැලඳුම් රැගෙන නැවත වත්තට යන මොවුන්ව වත්තේ සෙසු තරුණ පිරිස් අනුකරණය කරති. චක්‍රයක් ලෙස සිදුවන මේ ක්‍රියාව නිසා ක්‍රමයෙන් වතු වගාවට කම්කරු හිඟයක් මතුවන අතරම දරුණු සමාජ ඛේදවාචකයක් ද නිර්මාණය කෙරේ.

මේ සියල්ල අතරේ මූර්ති පවසන තවත් අදහසක් ද මෙහි සඳහන් කළ යුතු ය.

“අද තේ කිලෝ එකක් රුපියල් 1000 කටයි විකුණන්නේ. මම දවසේ වැටුප සඳහා තේ කිලෝ 20ක් අනිවාර්යෙන්ම නෙළන්න ඕනේ. මේ තේ කිලෝ 20න් තේ කුඩු කිලෝ 5ක් නිෂ්පාදනය කරන්න පුළුවන්. එතකොට අපි එක්කෙනෙක් දවසකට රුපියල් 5000ක් හොයලා දෙනවා. ඇයි එහෙම තත්ත්වයක් තියෙද්දි වතු කම්කරුවෙක්ට රුපියල් 1000ක් දෙන්න බැරි”

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »