බෙන්ස් මතුකර මාර්කස් මකා දමමින් ලියූ මෝටර් රථයේ ඉතිහාස පොත

2018-11-07 12:23:00       44
feature-top
ලද දෙයින් සතුටු නොවූ මිනිසුන් කිහිපදෙනෙකු තම මනසේ මායා සැබෑ කර ගනු පිණිස දිගින් දිගටම කළ පර්යේෂණ සහ අත්හදාබැලීම් රාශියක ප්‍රථිපල ලෙස මෝටර් රථය භාවිතයට එක්විය. එය මේ ගෙවී යන මොහොත වන විටද අත්හදාබැලීම්වලට ලක් වෙමින් පවතින අතර එහි අනාගතය කෙසේ වේදැයි කිසිවකුට නිශ්චිතව පැවසිය නොහැකිය. එයට හේතුව ඒ තරමට මෝටර් රථය ‍නවීකරණයන්ට ලක් වීමය. ලෝක මෝටර් රථ ඉතිහාස පොතේ පිටු පෙරළමින් යන විට මුණගැසෙන්නේ හරි අපූරු සිද්ධි දාමයකි.

මෝටර් රථය තාක්ෂණික යුග අනුව කොටස් කිහිපයකට බෙදා දැක්විය හැකිය. ඒ අතරින් අප අද ඔබ වෙත ගෙන එන්නේ අභ්‍යන්තර දහන හෙවත් Internal combustion යුගයේ අතීත සිදුවීම් මාලාවකි.

මෝටර් රථයේ ආරම්භක යුගයේ නොයෙක් අත්හදාබැලීම් කරමින් සිටි නිර්මාණ ශිල්පීන්ට තම නිර්මාණ ඉදිරියට ගෙන යෑමට තිබූ ලොකුම බාධාව වූයේ ඒ සඳහා ගැළපෙන ඉන්ධන සොයා ගැනීමට නොහැකි වීමයි. එහෙත් තම උත්සාහය අත් නොහැරි ඇතැම් නිර්මාණකරුවෝ මේ සඳහා නොයෙක් ගෑස් වර්ග මිශ්‍ර කරමින් බලය උත්පාදනය කළ හැකි ඉන්ධන සපයා ගැනීමට දැරූ උත්සහයන් ගැන ඉතිහාස පොතේ සඳහන් වී තිබෙනවා. ඒ අනුව ලෝකයේ ආරම්භක අභ්‍යන්තර දහන එන්ජිම සඳහා බලය උත්පාදනය කර තිබෙන්නේ ගෑස් උපයෝගී කර ගනිමින්.

1806 වසරේදී ස්විස්ටර්ලන්තයේ ඉංජිනේරුවකු වූ ෆ්‍රැන්කොයිස් ඉසාක් ඩි රිවාස් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වායූන් මිශ්‍ර කර දහනය කරමින් අභ්‍යන්තර දහන එන්ජිමක් නිපදවූ බවට වාර්තා ලැබී තිබෙනවා.

1826දී ඉංග්‍රීසි ජාතික සැමුවෙල් බ්‍රවුන් හයිඩ්‍රජන් බලයෙන් අභ්‍යන්තර දහන එන්ජිමක් ධාවනය කරවීමට සමත් වූවා.

මේ අතරින් වඩාත් සාර්ථකම නිර්මාණය බිහි කර තිබෙන්නේ බෙල්ජියම් ජාතිකයෙක්. ඔහු හයිඩ්‍රජන් බලයෙන් ධාවනය කළ හැකි තනි සිලින්ඩරයේ එන්ජිමක් නිපදවීමට සමත් වූ අතර එය පැරිස් නුවර දී සිදු කළ අත්හදා බැලීමේ ධාවනයකදී කිලෝමීටර් නවයක දුරක් ධාවනය කරවීමට සමත් වී තිබෙනවා. ඒ සඳහා ගත වී ඇත්තේ පැය තුනක් පමණක් බවයි ඉතිහාස වාර්තා පෙන්වා දෙන්නේ.

මේ අන්දමින් ගෑස් බලයෙන් ධාවනය වන රථ අතරට ගල් අඟුරු බලය එක් කිරීමට තවත් නිර්මාණකරුවන් සමත් වන්නේ 1800 දශකය ගෙවී යෑමටත් පෙර.

අපගේ කතා නායකයා වන මාර්කස් හෙවත් සිග්ෆ්‍රීඩ් මාර්කස් අපට හමුවන්නේ මෙන්න මේ සන්ධිස්ථානයේදී. සිග්ෆ්‍රීඩ් මාර්කස් උපතින් ඕස්ට්‍රො - හංගේරියානුවෙක්. ඇත්තටම කියනවා නම් ඔහු යුදෙව්වෙක්. මේ ලෝකයට බොහෝ නව නිර්මාණ එක් කළ යුදෙව් රුධිරයට මාර්කස් උරුමකම් කී නිසාමදෝ ඔහු ස්වකීය නිර්මාණශීලී මනස මෙහෙයවමින් ලොව ප්‍රථම ද්‍රව ඉන්ධන අභ්‍යන්තර දහන එන්ජිම නිපදවීම සමත් වූවා. මේ ‍එන්ජිම සහිත මෝටර් රථය සමස්ත ලෝකයේ මෝටර් රථ අතර පෙරළියක් සිදු කිරීමට සමත් වූවා. මේ මෝටර් රථය හඳුනා ගැනීමේ පහසුව පිණිස ප්‍රථම මාර්කස් මෝටර් රථය ලෙසින් නාමකරණය වන්නේ එයින් වසර ගණනාවකට පසුවයි.

තමා මේ සිදුකරන්නේ විප්ලවයක් බව නොදැන සිටියද මාර්කස් ස්වකීය ප්‍රථම නිර්මාණයෙන් පමණක් සෑහීමකට පත් වන්නේ නැහැ. ඉන්පසුව ඔහු අත්හදා බලන්නේ ද්‍රව ඉන්ධන, අඩු වෝල්ටීයතාවකින් (Ignition) දහනය වන ක්‍රමවේදයකින් යුත් එන්ජිමක් නිපදවීමටයි. මේ සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගනිමින් ලෝකයේ මෝටර් රථ සඳහා වන ප්‍රථම පේටන්ට් බලපත්‍රය වෙනුවෙන්ද ඉතිහාස ගත වීමට සිග්‍ෆ්‍රීඩ් මාර්කස්ට හැකියාව ලැබුණා. ඉතිහාසඥයන් පෙන්වා දෙන්නේ මාර්කස්ගේ මේ දෙවැනි නිර්මාණය එයින් පසු ලෝකයේ බිහිවූ සියලුම අභ්‍යන්තර දහන එන්ජින් සඳහා මූලාකෘතියක්, නිදර්ශකයක් වූ බවයි.

1889දී මාර්කස් තමන්ගේ දෙවැනි ම‍ෝටර් රථය නිපදවන්නේ ආසන හතරක්ද එයට යොදමින්. ඒ අනුව මෙය වර්තමාන මෝටර් රථයට නෑකම් කියන ආසන්නතම ආදිතමයා ලෙසින්ද නම් කළ හැකියි. මේ මෝටර් රථය අදටත් වියානාහි තාක්ෂණික කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත්තේ ඉතිහාස පොතේ නියමිත ස්ථානය මාර්කස්ට ලබා දීමේ සටනේ නොසැලෙන සාක්ෂියක් ලෙසින්.

නූතන මෝටර් රථයේ ආරම්භක පියවර තබණු ලැබුවේ සිග්ෆ්‍රීඩ් මාර්කස් විසින්. ඒ සම්බන්ධයෙන් කිසිදු තර්කයක් ‍නොමැති වන තරමට ඉතිහාසගත සාක්ෂි ඕනෑ තරම්. කොටින්ම කිවහොත් ජීවත්ව සිටියදීම ඔහු නූතන මෝටර් රථයේ නිර්මාතෘ ලෙසින් විරුදාවලි පවා හිමිකර ගත්තා.

එහෙත් ඔහු උපත ලබා සිටි යුගය සමස්ත ලෝකයට මෙන්ම ඔහුටද සාධාරණය ඉටුකළ යුගයක් වූයේ නැහැ. ඒ ලෝක යුද්ධ දෙකක් අතර සමස්ත මානව වර්ගයා අපා දුක් විඳි කාලයක්. මේ යුදමය වාතාවරණය අතර යුරෝපාකරයේ, විශේෂයෙන්ම ඔස්ට්‍රියාව, හංගේරියාව, ප්‍රංසය ඇතුලු මෝටර් රථයේ අංකුර බිහිවෙමින් පැවති රටවල බලය නාසීන් විසින් ප්‍රබල ලෙස තහවුරු කර තිබුණා. තමන් විසින් විනාශ කරමින් සිටින යුදෙව්වන්ගේ නමින් මෝටර් රථයේ ආරම්භය සටහන් වනු දැකීමට නාසීන් කිසිදු කැමැත්තක් දැක්වූයේ නැහැ. එනිසාම ඔවුන් කළේ මෝටර් රථ සම්බන්ධයෙන් තවත් නව නිර්මාණ බිහි කරමින් සිටි කාර්ල් බෙන්ස්ට සියලු ගෞරවය ලබා දීමට කටයුතු කිරීමයි.

ඒ අතරම මාර්කස්ගේ නම සියලු වාර්තාවලින් මකා දැමීමටත්, ඔහුගේ ස්මාරක, ඔහු සම්බන්ධව සටහන් යොදා තිබූ පෙළපොත් සියල්ල විනාශ කිරීමටත් නාසීන් කටයුතු කළා. ඒ වෙනුවට කාර්ල් බෙන්ස්ට සියලු ගෞරව හිමි වූවා.

එහෙත් යුද්ධය සේම ඒ සියල්ල අවසන් වූ දිනයක් පැමිණියා. ලෝක ඉතිහාසයේ සිග්ෆ්‍රීඩ් මාර්කස්ට හිමි විය යුතු ස්ථානය ඔහුටත්, කාර්ල් බෙන්ස්ට හිමි විය යුතු ස්ථානය ඔහුටත් වෙන්ව සාධාරණ ලෙස හිමිවූවා.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »