ධාතු­සේන රජුට ඇළ හදන හැටි කියා­දුන් නීල­ගි­රියේ යක්කු

2018-11-06 04:02:00       54
feature-top
උතුරට හැරී ගලන යෝධ ඇළ දිගේ ඉදිරියට යන අපිට ඊළඟට හමුවන්නේ මානෑවයි. මානෑව යනු ප්‍රාග් ඓතිහාසික මානව ශිෂ්ටාචාරයක රහස් රැසක් සඟවාගත් පෙදෙසෙකි. මානෑව නමින් වූ වැවක්ද, කන්දක්ද ඇති අතර වැවට පිටුපා ඇති කන්දේ සිදුකළ පුරාවිද්‍යාත්මක පර්යේෂණවලින් මේ වැදගත්කම් අනාවරණය කරගෙන තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ මහාචාර්ය ජිනදාස කටුපොත මහතා මානෑව කන්ද ආශ්‍රිත විද්‍යාත්මක පර්යේෂණ සිදුකළ ප්‍රවීණයෙකි. ඔහුගේ අර්ථ දැක්වීම් අනුව මානෑව කන්ද කඳු ශිඛර කිහිපයකින් යුතු කඳු වැටියකි. මහාපාලී පොකුණ නමින් හඳුන්වන විශාල පොකුණක් මෙම කඳු මුදුනෙහි පිහිටා තිබේ. විජයාවතරණයට පෙර යක්ෂ ගෝත්‍රිකයින්ගේ වාසස්ථානයක් වූ මෙහි ඔවුන් විසින් ඉදිකළ ගොඩනැගිලි සහ විවිධ වාස්තු විද්‍යාත්මක නිර්මාණවල කොටස් හඳුනාගෙන ඇත.

ඉපැරණි දේශගුණික වෙනස්වීම් නිසා නිර්මාණය වූ විශාල ගල් කැබලි හෙවත් අගම්ගල් රාශියක්ද මෙම කඳු මුදුනේ ඇති බව මහාචාර්ය ජිනදාස කටුපොත සිය වාර්තාවක දක්වා ඇත. මෙම කඳු යායේ අභ්‍යන්තර උමං පද්ධතියක් හඳුනාගත හැකි බවත්, ගල් ගුහා රාශියක් ඇති බවත්, යක්ෂ ගෝත්‍රිකයින් සිය සටන් පුහුණු වූ කසපිටියක් ලෙස මෙම ස්ථානය භාවිත කර ඇති බවත් ඔහුගේ පර්යේෂණ වාර්තාවල සටහන් තබා තිබේ.

මිලියන 120ක අතීතයක සාක්කි

මහින්දාගමනයෙන් පසු යක්ෂ ගෝත්‍රිකයින්ගේ කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් මේ ස්ථානය සංඝාවාසයක් බවට පත්ව තිබේ. එම කාලයේදී ‘විෂකුම්භණ’ නමින් ඉදිවූ චෛත්‍යයක නටඹුන් අදද මෙම කඳු මුදුනේ පවතින බව කියැවේ.

මහාචාර්ය ජිනදාස කටුපොත ගේ සම්පූර්ණ වාර්තාවේ සංක්ෂිප්තය සැලකූ කල වසර මිලියන 120කට ඔබ්බෙන් වූ අතීතයක සාක්කි මෙම කඳු වැටියෙන් හෙළිවන බව සඳහන්ය. මෙහි පරිහානිය අනුරාධපුරයේ බිඳවැටීමත් සමඟ ම සිදුව ඇති බවත් ඉන්පසු මෙම කඳුවැටිය ආශ්‍රිත ඉදිකිරීම් විනාශ වීම සහ ගරාවැටීම ඇරඹී ඇති බවත් එහි කියැවේ.

ගන්තිරියාගම හන්දිය පසුකොට යෝධ ඇළ බැම්ම දිගේ මානෑවට යන අතරමඟ යෝධ ඇළ බැම්මෙන් පහළ කොටස ලෙස හමුවන්නේ ගන්තිරියාගම වැවේ ඉහත්තාවයි. ඒ අනුව යෝධ ඇළ බැම්ම ඒ කොටසේදී දෙපසින්ම ජලයෙන් සීමා වී ඇත. වැවෙහි පෙනෙනුයේ විල්ලු ස්වභාවයකි. වියළි කාලයේදී සිඳී යනු ඇතැයි සිතිය හැකි ඒ කොටස අප එහි යන විට නම් වතුරෙන් පිරී තිබිණි. විවිධ පන් වර්ග, කුඹුක් වැනි ශාකද, කිරල, කදුරු වැනි ගස් වර්ගද එම විල්ලුවෙහි වැවී තිබේ. වී කුරුලු කූඩු, කොකුන්ගේ කැදලි ආදියද බහුලව දකින්නට ලැබිණි.

පොදුවේ පන් ලෙස හැඳින්වුවද, අපේ රටේ හමුවන පන් වර්ග රාශියකි. කුඹුරු වගාවේදී වල් පැළෑටියක් ලෙස සලකනු ලබන බැවින් කෘමිනාශක මගින් පාලනය කළද වැව් ආශ්‍රිතව තවමත් විවිධත්වයෙන් යුතු පන් වර්ග හඳුනාගත හැකිය.

තුනැස්ස, බෝල තුනැස්ස, මහ කුඩමැට්ට, කුඩමැට්ට, හීන් කුඩමැට්ට, මොට්ලු යන පන් වර්ග ලංකාවේදී හඳුනාගත හැකි පන් වර්ගයන්ය. ඒවායින් බොහොමයක් යෝධ ඇළ මායිමේ ගන්තිරියාගම වැව් ඉස්මත්තේ දැකගත හැකිය. එම පන් වර්ගවලට අමතරව පළල් පත්‍ර සහිත වල් පැළෑටි සේ සැලකෙන දිය හබරල, දිය ගෝවා සහ දිය හබරලද ගන්තිරියාගම වැව් ඉස්මත්තේ විල්ලු කොටසේදී දැකගත හැකිවිය.

යෝධ ඇළ දිගේ ඉදිරියට යන විට පෙර අපට හමුවූ කැකිරාව - තලාව මාර්ගය යළිත් හමුවේ. ගන්තිරියාගම වැව මැදින් සෘජුව වැටී ඇති එම මාර්ගයේ පැමිණෙන්නේ නම් යෝධ ඇළ පාලමේ සිට එම ස්ථානයට ඇත්තේ මීටර 200ක පමණ දුරකි. එහෙත් පළමුව කැකිරාව- තලාව මාර්ගයේ පාලම හමුවූ තැන සිට මෙතැනට යෝධ ඇළ බැම්ම දිගේ ඇති දුර කිලෝමීටරයකටත් වඩා වැඩිය. ඒ යෝධ ඇළේ හැටිය. වංගු සහිතව නිස්කාංසුවේ ගලා බසින යෝධ ඇළ කලාවැවේ සිට වැඩි බිම් ප්‍රමාණයක් සරු කරලීමේ අටියෙන් එලෙස ගලන බවත්, අතීත රජ දවස අනුරාධපුරයට ඉක්මනින් වතුර ගෙනයාමේ වුවමනාවක් නොවූ බවත් එමගින් පැහැදිලිය.

තලාව පාරට සමාන්තරව යෝධ ඇළ දිගේ යන අපිට ඊළඟට හමුවන්නේ ගන්තිරියාගම මහින්ද මහා විද්‍යාලයයි. ඊට නුදුරෙන් යෝධ ඇළෙන් එගොඩවන්නට ඇති පාලමෙන් යන්නේ නම් මානෑව ගම්මානයට යන්නට හැකිය. අසා තිබූ මානෑවේ අසිරිය සියැසින් දකින්නට උවමනා නිසාම යෝධ ඇළෙන් මෑත්ව මානෑවට යන්නට අපි තීරණය කළෙමු.

විජය රාජ වංශය ඇරඹෙන්නට පෙර මෙරට වාසය කළ රාක්ෂ (යක්ෂ) ගෝත්‍රිකයින්ගේ ප්‍රාදේශීය රාජ්‍යයන්ගෙන් එකක් පිහිටා තිබී ඇත්තේ මානෑවේය. එකල එම ජනපදය හඳුන්වා ඇත්තේ නීලගිරි ජනපදය ලෙසය. වරිග පූර්ණිකාවට අනුව ලංකාවේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන රාජ්‍ය දෙකක් තිබිණි. ඉන් එක් රාජ්‍යයක් වී ඇත්තේ මහගිරි රාජධානියයි. නීලගිරි ජනපදය එම රාජ්‍යයට අයත් එක් උප රාජධානියකි.

විජයාවතරණයෙන් සහ මහින්දාගමනයෙන් පසු ඇතිවූ නව තත්වයන් සමඟ සිව්හෙළයේ අධිකාරීත්වය ගිලිහී ගොස් විජය රාජවංශයට අනුගත වූ මෙම ගෝත්‍රිකයින්, නීලගිරි කඳුවැටිය සඟසතු කොට එහි පාමුල ජීවත්වන්නට පටන්ගෙන ඇත. යක්ෂ ගෝත්‍රිකයන් විසින් රචිත ත්‍රිපිටක අටුවා ග්‍රන්ථ, වෛද්‍ය ග්‍රන්ථ වැනි ග්‍රන්ථ රැසක් නීලගිරියේ (මානෑව කන්දේ) මුණමුර පුස්තක ලෙනෙහි සුරක්ෂිතව පැවතී තිබේ. ක්‍රි. ව. 412-434 මහානාම රජ සමයේ උර්දුලන් නීලවේලඳු නම් ආක්‍රමණික සෙන්පතියෙකු විසින් මෙම මුණමුර පුස්තක ලෙන ගිනි තබා විනාශ කරන ලදී.

සිත් පිත් නැති පරදෙස්සකු විසින් ගිනි තැබූ පුස්තක ලෙනේ ගිනිදැල් අතරින්, මානෑව කන්දේ භාවනායෝගීව විසූ මානාපවි නඛාධම්ම හිමියන් බේරා ගත් පුස්තක අතළොස්සක් ඉතිරිව පැවතුණි. එම පුස්කොළ අතළොස්ස අතර ඉතිරිව තිබූ දේ එක්කර සෙංකඩගලපුර රාජාධිරාජසිංහ සමයේදී රාජකරුණා වංශයේ මානෑවේ කිරිමැණිකා පියුමලිපාලී නම් රවිශෛලාශ (රාජකරුණා) යක්ෂ වංශික කුමරියගේ දෙටු සොයුරු විසින් ප්‍රකට වර්ගපූර්ණිකාව ඇතුළු පංචරක්ඛාවලිය රචනා කොට තිබේ. අදද මෙම පැරණි ග්‍රන්ථ මානෑව ආශ්‍රිතව ජීවත්වන රාජකරුණා පරම්පරාවේ ප්‍රභූන් සතුව පවතින බව අපට පැවසුවේ මානෑව මහානාම පුරාණ විහාරයේ විහාරාධිපති මඩුමානේ පේමානන්ද හිමියන්ය.

“මානෑව විහාරය රජමහා විහාරයක් නොවෙයි. මහින්දාගමනයෙන් පස්සේ මානෑව ගම වරින්වර බටහිරට සංක්‍රමණය වෙලා තියෙනවා. යක්ෂ ගෝත්‍රිකයින්ගේ වටිනා පුස්තක තිබුණු නිසා ඒවා ලබාගන්න වරින් වර යුගවලදි සතුරු ආක්‍රමණ ආව නිසා මේ තත්වය උදාවෙලා තියෙනවා. මානෑවේ ජනශ්‍රැතිය ගැන පර්යේෂණ කරන මානෑවේ විමලරත්න හිමියන් හමුවන්නට පුළුවන් නම් ඒ පිළිබඳ විස්තර ගන්න පුළුවන්.”

උන්වහන්සේගේ තොරතුරු සටහන් කරගත් අපි බොහෝ ආන්දෝලනයට පත් වර්ගපූර්ණිකාවේ අගමුල සොයා යන්නට අරමුණු කොට ගත්තෙමු.

අඩු උසක සිට

වැඩි උසකට වතුර

මානෑව විහාරයේ සිට මානෑව කන්දට සැතපුම් එක හමාරක පමණ දුරක් තිබේ. නමුත් සැතැපුම් භාගයක දුරින් පිහිටි මානෑව වෑකන්දට ගොඩවූ කල වැවත් කන්දත් හොඳින් දැක ගන්නට පුළුවන. විහාරාධිපති හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ අපි විහාරස්ථානය මැදින් විහිදෙන ගුරු පාර දිගේ වැවට යන්නට සූදානම් වුණෙමු.

“ධාතුසේන රජතුමා කලාවැවේ යෝධ ගල් කුට්ටි ඇතිරුවේ කොහොමද කියල ගොඩක් දෙනෙක් පුදුම වෙනවා. මානෑවේ යක්ෂ ගෝත්‍රිකයින්ගේ දක්ෂකම් ධාතුසේන රජතුමා නිහතමානීව ප්‍රයෝජනයට අරන් තියෙනවා. කලා වැවටත්, යෝධ ඇළටත්. යෝධ ඇළේ තාක්ෂණය පුදුම එකක්. අඩු උසක ඉඳලා වැඩි උසකට වතුර ගෙනියන ස්වභාවික ඇළක් ලෝකයේම නෑ. ඒ තාක්ෂණය මානෑවේ යක්ෂ ගෝත්‍රිකයින් ලබාදුන් එකක් කියල විශ්වාස කරන. ඒත් මානෑව වැවට පහළින් තියෙන කුඹුරු යායට අදටත් වතුර නෑ. මේ කුඹුරු යාය අවුරුදු තුනකින් වගා කරලා නෑ.”

“ඉතින් ඔච්චර දක්ෂ යක්ෂ ගෝත්‍රිකයින්ට තමන්ගේ ගමට වතුරගන්න ක්‍රමයක් හැදුවේ නැද්ද?”

“හැදුවා. ඒක තමයි කලාවැවේ ගොඩ සොරොව්ව. ධාතුසේන රජතුමාගෙ විශේෂ නියෝගයකින් හදපු එකක්. ඒ සොරොව්වෙන් පුලියන්කුලම වැවට වතුර ගෙනත්, එල්ලංගා පද්ධතිවලින් මානෑවට වතුර ගේන්න ක්‍රමයක් තිබුණා. ඒත් දැන් ඒ ගොඩ සොරොව්ව හරහා පුලියන්කුලම වැවට වතුර එවන්නේ නෑ.”

කලාවැවේ ගොඩ සොරොව්ව ගැන අපි පෙර ලිපියක සටහන් තැබුවෙමු. එදා එහි වැදගත්කම ගැන මෙවැනි කතාවක් අසන්නට ලැබුණේ නැත. යෝධ ඇළේ කිලෝමීටර ගණනාවක් පහළ මානෑවේදී හෙළිවන්නේ කලාවැවත්, යෝධ ඇළත් නිර්මාණය කරන්නට දායක වූ යක්ෂ ගෝත්‍රිකයින්ගේ වගාබිම්වලට ජලය සපයන්නට ධාතුසේන රජතුමාගේ විශේෂ අවසරයකින් මෙම ගොඩ සොරොව්ව නිර්මාණය කර ඇති බවයි.

පුලියන්කුලම වැවට යළි වතුර දෙන්න

මානෑව සහ අවට ගම්වල ගොවි සමිති එක්වී මෙම ගොඩ සොරොව්ව ඔස්සේ පුලියන්කුලම වැවට වතුර සැපයීම යළි අරඹන ලෙස ඉල්ලා ජනාධිපතිවරයාටත්, හිටපු කෘෂිකර්ම ඇමැතිවරයාටත් ලිඛිතව දන්වා තිබේ. එහෙත් ඒ ගැන මෙතෙක් කිසිදු අවධානයක් යොමු නොවීම ගැන ඔවුන් ඉන්නේ කනගාටුවෙනි.

විහාරාධිපති හිමියන් පෙන්වූ මඟ ඔස්සේ මානෑව වැවට යන අපට පුරන්ව ගිය හේනක වූ විශාල ගසෙක පැල් රකින්නට තැනූ තට්ටුවක් දැකගත හැකි විය. ඒ අසලම සිටි වැඩිහිටියෙකු අප දැක තොරතුරු විමසන්නට වූයේ අප එම පෙදෙසට ආගන්තුකයෙකු වූ බැවිනි.

“මහත්තේල දන්නවද රෑනගිරව් කතාව…”

ඔහු විමසන්නේ ධර්ම ශ්‍රි කල්දේරා ශූරීන් 1967දී අධ්‍යක්ෂණය කර, ඒ. එම් සේනානායක නිෂ්පාදනය කළ රෑනගිරව් චිත්‍රපටය පිළිබඳවය.

එකම ගම්මානයක දිවි ගෙවූ තරුණ යුවළකගේ ප්‍රේමයට හරස් කැපූ තරුණියගේ පාර්ශවයේ ඥාතීන්ට ගිනි බිඳ තරුණිය රැගෙන යන දඩබ්බර පෙම්වතෙකුගේ කතාව එහි අන්තර්ගතවි තිබිණි. දිසා සහ සුමනා යනු එම පෙම් යුවළගේ නම්ය.

අපි ඒ ගැන දන්නා බව කීවෙමු.

“අන්න ඒ කතාව පනස් ගණන්වල මේ ගමේ සිද්ධ වුණු ඇත්ත කතාවක්. ආං අර පේන ඉසව්වේ තමයි ඒ කාලේ ගම තිබුණේ. හේන් තිබුණේ වැව ඉහත්තාවේ. එක ළඟ හේන් දෙකක වගා කරපු පවුල් දෙකක් අතර තමයි ඔය සිද්ධිය හටගත්තේ. ඒ ජෝඩුව පොලිසියට බයේ ගමෙන් වහං වෙලා ගිහින් තිබුණා. ගමේ අය හිතුවේ ඈත පැත්තක ඇති කියලා. ඒත් අවුරුදු දෙකකට විතර පස්සේ මානෑව කන්ද මනින්න ආව පුරාවිද්‍යා මහත්තුරුන්ට මිනිස් ඇටකටු වගයක් හමුවෙලා තිබුණා. ඒ වෙලාවේ ඇඳුම්වලිනුයි, තුවක්කුවෙනුයි තමයි ගම දැනගත්තේ ඒ දෙන්නත් මියැදිලා කියලා. සමහරවිට දඩබ්බර දිසා අතින් හෝ එහෙමත් නැත්නම් සතෙකුට අහුවෙලා වෙන්න පුළුවන්”

රෑන ගිරා ජෝඩුවයි…හාද වෙලා ආදරෙයි...

රෑන ගිරා ජෝඩුවයි...

වනන්තරේ වෙනසක් නෑ පෙම් සිතුවිළි පෑදේ...

සිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදේ...

වනරේඛා මැද සීතල හෙවණේ...අත්වැල් බැඳ යන ආදර ගමනේ...

හුරතල් දැනිලයි දුක් ගිනි නිවුණේ...සිනහ කුසුම් තොල් පෙති අග පිපුණේ..

ධර්මසිරි ගමගේ ශූරීන්ගේ පද රචනයට, කේමදාසයන් සංගීතවත් කළ, පණ්ඩිත් අමරදේවයන් ගැයූ රෑනගිරව් සිනමා සිත්තමේ ගීත මතකය අලුත් කරගත් අපි මානෑවේ වැවේ අසිරිය දැක යළිත් යෝධ ඇළ බැම්ම සොයා පැමිණියෙමු.

යෝධ ඇළ දිගේ යන අපේ ගමනට එක් කළ යුතු යමක් ඔබටත් ඇත්නම් outofboxsrilanka@gmail.com  ලිපිනයෙන් අපට ලියන්න.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »