අභ්‍යව­කා­ශ­යට පවා දිස් වන මහා ශාන්තිකර කසළ ගොඩ

2018-11-01 01:47:00       34
feature-top
කුණු නැත්නම් කසළ දැන් අපට විසඳාගත නොහැකි ප්‍රශ්නයක් බවට පත් වෙලා. විශේෂයෙන් නොදිරන පොලිතීන්, ප්ලාස්ටික්, ෆෝම්, නයිලෝන් වැනි ඒවා භාවිතයෙන් පසු අක්‍රමවත් ලෙස පරිසරයට බැහැර කිරීමෙන් මේ පරිසර විනාශය සිදු වනවා. සැබැවින්ම ඇතැම් රටවල් මෙම කුණු සම්පතක් බවට පත් කරගෙන තිබුණත් අප වැනි රටවල් අවිධිමත් ලෙස මෙම කසළ බැහැර කිරීම නිසා මුළු ලෝකයටම බලපාන විශාල පරිසර විනාශයක් සිදු වෙලා.

ඔබ දන්නවාද තැන තැන දමන කුණු අවසානයේ මහා සාගරය වෙත ගොස් නවතින බව? අක්‍රමවත් ලෙස බැහැර කරන කුණු හා කානු පද්ධති දිය පහරවල් හා එක් වී ගංගාවලින් මුහුදට එකතු වනවා. දියවැල් වලට හසු වී ගැඹුරු මුහුද වෙත මේවා ගමන් කරන නිසා මිනිසාට එහි බරපතළකම පෙනෙන්න වසර ගණනාවක්ම ගතවූයේ මෙම කුණු කිසිවකුගේ ඇස නොගැටුණු නිසායි. ලෝකය පුරා තැනින් තැන විසිරී පවතින මෙම කුණු ගොඩවල් අතරින් විශාලම කුණුගොඩ වන්නේ ‘මහා ශාන්තිකර කසළ එකතුව‘යි (Great pacific garbage patch). කැළි කසළ ට්‍රිලියන 1.8ක් පමණ අඩංගු මෙම එකතුව වර්ග කිලෝමීටර් මිලියන 1.6 ක් විශාල වනවා. මෙහි විශාලත්වය ආසන්න ලෙසින් ශ්‍රී ලංකාව මෙන් 25 ගුණයක් වනවා. අභ්‍යවකාශයට පවා දිස්වන මෙම කැළිකසළ නිසා සමුද්‍ර ජීවිතයට සිදු වන්නේ මහා විනාශයකි.

වසර ගණනක සිට ටිකෙන් ටික මෙසේ එකතු වූ කැළිකසළ ඉවත් කිරීම ඉතාම අසීරු අධික පිරිවැයක් යන ක්‍රියාවක් නිසා මෙතෙක් කල් මේ පිළිබඳ නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවූවද නෙදර්ලන්ත ජාතික නිපැයුම්කරුවෙක් වන බොයාන් ස්ලාට් විසින් ආරම්භ කරන ලද ‘Ocean Cleanup’ නම් ලාභ නොලබන ආයතනය විසින් පසුගිය මසදී ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක ව්‍යාපෘතියක් ආරම්භ කරන ලද්දේ මෙම කැළිකසළවලින් අපේ සාගරය බේරාගැනීමටයි. 24 හැවිරිදි මෙම තරුණයා නිර්මාණය කරන ලද U හැඩති ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන කසළ එකතු කරන යන්ත්‍රය හඳුන්වනු ලබන්නේ කාටූන් චරිතයක් වන Pac Man යන අන්වර්ථ නාමයෙනි.

වසර 18දී එනම් බොයාන් විසින් ආරම්භ කරනු ලැබූ මෙම ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යෑමට අවශ්‍ය මුදල් පොදු මහජනයාගෙන් ලැබී තිබෙන අතර මෙහි පරීක්ෂණ චාරිකාව සැන් ෆ්රැන්සිස්කෝහිදී සිදුකරනු ලැබුවේ තවත් වසර පහකින් මහා ශාන්තිකර කසළ එකතුවෙන් බාගයක් සාගරයෙන් ඉවත් කිරීමේ අරමුණ ඇතිවයි. ඔබ මෙම ලිපිය කියවමින් සිටින මොහොත වන විටත් වෙරළට සැතපුම් 1400ක් දුරින් තිබෙන කසළ එකතුව වෙත සැන් ෆ්රැන්සිස්කෝහි සිට Pac-Man ගමන් කරමින් තිබෙනවා.

U හැඩැති මෙම යන්ත්‍රය සුළඟේ දිශාව සමඟින් කසළ වැඩියෙන්ම තිබෙන ස්ථාන වෙත ගමන් කර ඒවා කොටු කරගන්නවා. එසේ කොටු කරගන්නා කසළ ඒවා එකතු කරන නෞකාවලට පහසුවෙන්ම ගොඩබිම වෙත රැගෙන ගොස් කසළ ප්‍රතිචක්‍රිකරණය කිරීම සිදු කරනවා. අඩි දහයක් පහළට විහිදෙන දැළක්ද මෙම වැඩය හා සම්බන්ධ වී තිබෙන්නේ සම්පූර්ණයෙන්ම පා නොවෙන කසළද එක් රැස් කරගැනීමටයි. ඔබ නොසැලකිලිමත්ව පරිසරය ගැන නොසිතා සිදු කරන කුඩා කුඩා දෑ බොහෝ කලක් ගත වන විට මෙවැනි සංකීර්ණ ගැටලු ඇති කරන්නේ ස්වභාවධර්මයේ පැවැත්මට පවා හානි කරමිනි. මේ නිසා නිසි ලෙස කසළ බැහැර කිරීම ඔබ සැමගේ යුතුකමක් බව සිතෙහි තබාගන්න.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »