ගිනි මැලයක උණුසුම විඳිමින් ගල් ගුහාවක රැයක්...

2018-10-22 12:14:00       81
feature-top
ගත සිත නිවනා සොඳුරු සැරිසර විශේෂාංගය සමඟ බැඳී සිටින රසඳුන පාඨක ඔබ සමඟ අප මේ පැමිණ සිටින්නේ සැබෑ ලෙසම පරිසරය සමඟ ඒකාත්මික වෙමින් ගත කළ හැකි සුන්දර ස්ථානයක් වෙතයි. ගම්පහ දිස්ත්‍රික්කයත් කෑගල්ල දිස්ත්‍රික්කයත් (බස්නාහිර පළාතත් සබරගමුව පළාතත්) වෙන්වන මායිමේ පිහිටි අල්ගම ශ්‍රී ක්‍රාෆ්ට් විලේජ් නම් වූ මේ සොඳුරු නවාතැනේ අප සිටින්නේ ඉතා දුෂ්කර වුවත් අපූර්ව අත්දැකීම් සමුදායක් ජීවිතයට ලබාගත් චාරිකාවක් අවසන් කරමිනි. කැලේ මැදින් ගොස් නිල්වලාගල කන්ද නැග ඉන්පසු අල්ගම ඇල්ලේ කළු දිය වළේ දියනා දිය පහර දිගේ ආපසු පැමිණි අපට සමීර සූදානම් කර තිබුණේ ඉතා රසවත් දිවා ආහාර වේලකි. ගමේ ගොවියන් වගා කරනා සහල් වලින් පිසූ බත්, ගමේ එළවළුවලින් පිසූ ව්‍යාංජන කිහිපයක් සහ මාළු සමග සකස් කර කෙසෙල් කොළේ එතූ බත් පත සැබැවින්ම රසවත්ය. තුන පහ රසය සමඟ කොච්චි මිරිස් රසය දිවට දැනෙන මෙම බත්පත පිළිබඳව සමීර අපූරු විස්තරයක් කරයි.

‘‘අපි මෙතැනට එන අයට කෑම සූදානම් කරන්නේ ගන්නා ආහාරයේ රසය ගුණය වගේම පෝෂණය පිළිබඳවත් හිතලා. විශේෂයෙන් මේ කෑම පිසින්න ගන්නා හාල් එළවළු තුනපහ හැම එකක්ම මේ අවට ගම්මානයෙන් තමයි සපයා ගන්නේ. කොහිල අල, දලු, මුරුංගා, වම්බටු, මෑකරල්, බණ්ඩක්කා, පලා වර්ග වගේ ගමේ ගෙවතුවල වගා කරන එළවළු අරගෙන කරපිංචා, ඉඟුරු, රම්පේ, කොච්චි, මිරිස්, ලූනු ගල් වංගෙඩියේ දාලා කොටලා තුනපහ එක්ක කෑම රසවත් කරන්න ගන්නවා. මෙහි එන අයට අපේ කුස්සියේ උයනවා බලන්න පුළුවන්. ඒ වගේම අපි කිසිම අවස්ථාවක ආහාර වල රසය ගන්න සුප් කැට, අජිනමොටෝ වැනි කෘත්‍රිම රසකාරක පාවිච්චි කරන්නේ නැහැ. මේ එළවළු සමඟ තමන් කැමැති විදිහට මස්, මාළු හෝ බිත්තර එක්ක අපි කෑම වේලක් දෙන්නේ සැබෑ විදිහටම දේශීය ආහාර වේලක ඇති රස ගුණ පිළිබඳව අත්දැකීම් ලබා දෙන්නයි. ටික දෙනෙක් නම් කෙසෙල් කොළයේ ඔතා දෙනවා. වැඩි පිරිසක් පැමිණි අවස්ථාවල මැටි වළං වල බුෆේ ක්‍රමයට ආහාර ගත හැකියි.‘‘

දිවා කාලය අවසන්ව ඇති නිසා ගතට සිසිල් බවක් දැනේ. අපගේ මීළඟ අත්දැකීම වන්නේ මෙහි ඇති කන්ද මුදුනේ පිහිටි ගුහාවේ රාත්‍රියක් (Cave night) ගත කිරීමයි. අද දවසේ අප ලැබූ අත්දැකීම් පිළිබඳව කල්පනා කිරීමේදී සැබැවින්ම මෙය අපට තවත් අලුත් රසවත් අත්දැකීමක් වන බවට සැකයක් නැත.

‘‘අපේ මෙම පරිසර පද්ධතිය විඳින්න එන්නේ ඒකාකාරී කාර්යාල ජීවත ගත කරන අය, එහෙමත් නැතිනම් බොහෝ වෙහෙසවී අධ්‍යාපන කටයුතු, ව්‍යාපාරික කටයුතුවල යෙදිලා ඉන්න අය සිත නිදහස් කරගන්නයි. එහෙමත් නැතිනම් හැමදාම ඉන්න පරිසරයෙන් ඈත්වෙලා සිතට සැහැල්ලුවක් ලබා දෙන්නයි. තවත් සමහරු ඉන්නවා ගම් වල හැදිලා වැඩිලා පසුව නගරයට ගිහින් පදිංචිවෙලා ජීවත් වෙන අතරේ එදා වින්ද අත්දැකීම ලබන්න අවස්ථාවක් හොයනවා. ඒ අයට අවස්ථාව නැහැ මොකද ගම, එදා හිටි පරිසරය එහෙම පිටින්ම නාගරීකරණයට අහුවෙලා. මේ නිසා මානසිකව ලොකු පීඩාවකට ලක්වෙලා. ලෙඩ රෝගවලට ගොදුරු වෙලා. අපි ඔවුන්ට ලබා දෙන්නට උත්සාහ කරන්නේ මේ ඒකාකාරී බවෙන් මිදෙන්නට ජීවිතවලට අවශ්‍ය නිදහසයි. පරිසරය එක්ක ගැටිලා, ගහකොළවලින් පිරුණු නිල්පාට පරිසරයේ සිසිලස විඳිමින් සීතල දිය පහරක පහස ලබලා සිත් වල ඇති පීඩනය නිදහස් කළාම ජීවිතය ආයත් අලුත් වෙනවා. නැවුම් වෙනවා.‘‘

කතා බහ අතරේ සංඛ අපූරු සංග්‍රහයක් සූදානම් කර ඇත. ජෝගුවක ගෙනා දුම් දමන බෙලිමල් වතුර පොල් කටුවකට දමා හකුරු කෑල්ලක් සමඟ පානය කිරීමද රසවත් අත්දැකීමකි.

‘‘මෙතැනට එන අයට තේ වෙනුවට දෙන්නේ මේ වගේ දේශීය පානයක්. බෙලිමල්, ඉරමුසු, පොල්පලා වෙගේ දෙයක් අවශ්‍ය නම් කීප වරක් වුණත් අපි ලබා දෙනවා. මේ හැම දේකින්ම අපි ලබා දෙන්නට උත්සාහ කරන්නේ එදා අපේ මුතුන් මිත්තන් නීරෝගීව ජීවත් වුණු රහස කියන්නයි. තවමත් අපි සතුව තිබෙන ස්වභාවික පරිසරය සමඟ එකතු විම තුළින් ජීවිතවලට ලැබෙන වටිනාකම වටහා දෙන්නටයි.‘‘

දවසේ මෙහෙවර නිමා කරමින් ඉර අවරින් බැස යන්නට සූදානම් වෙයි. අපට කන්ද නැග ගල් ගුහාව වෙත යන්නට කාලය පැමිණ ඇති බව අඟවමින් කළු පැහැති බල්ලා සමීර අවට දැවටෙයි.

‘‘මෙයා තමයි කළුවා. මේ ගමන් වලට හරිම කැමැතියි. අපි මෙයා එක්ක යන එකේ වටිනාකම් කිහිපයක්ම තිබෙනවා. විශේෂයෙන් අඳුර වැටෙන්නට ආසන්න මේ වගේ වෙලාවට සතෙක් සර්පයෙක් හිටියොත් කළුවාට ඒක දැනෙනවා. ඒක අපේ ආරක්ෂාවට හොඳයි.‘‘

හාත්පස අඳුර වැටීගෙන එයි. අපි ගුහාව වෙත යන්නට පිටත්වීමු. ගමනට අවශ්‍ය අඩුවැඩිය සංඛ සහ සමීර අතය. ලන්තෑරුම් දෙකක්, විදුලි පන්දම් දෙකක් කොට්ටා පැදුරු සහ රාත්‍රී ආහාරයට රොටී පුළුස්සන්නට අවශ්‍ය අඩුවැඩිය මේ අතර තිබේ.

අපි සෙමෙන් සෙමෙන් කන්ද නැග්ගෙමු. පළමු කොටස එතරම් අමාරු නැතිමුත් ගල උඩට නගින්නට ඇත්තේ පහළට එල්ලා වැටෙන් විශාල වැලක් හෝ ගසක මුලක් අල්ලාගෙන තරමක් දුෂ්කර ලෙසය. පැය භාගයක පමණ ගමනකින් පසු අප ගුහාව වෙත ළඟාවීමු. හිරු බැස යන්නට ආසන්නය. බටහිර අහසම රත්පැහැ ගැන්වී ඇත. කුරුල්ලෝ රංචු පිටින් කැදැලි කරා පිසා සලති. වෙනදා අප මේ වේලාවට බොහෝවිට කාර්යාලය නිමවී නිවෙසට එන අතර මග දුම්රියේ හෝ බස්රියේය. වාහන හඬ, මිනිසුන්ගේ ඝෝෂාකාරී හඬ හෝ රූපවාහිනියේ විවිධ වැඩසටහන් අතරේය. එහෙත් දැන් ඒ කිසිවක් නැත. ඇසෙන්නේ රාත්‍රිය උදාවන්නට පෙර මොනවා හෝ සොයාගන්නට සැරසෙන සියොතුන්ගේ නාදයත් ඉඳහිට කෑ ගසන වඳුරකු වැනි සතකුගේ හඬක් පමණය.

‘‘මේ ගුහාව නිකම් සාමාන්‍ය ගල් ගුහාවක්. ආදී යුගයේ මිනිස්සු ජීවත් වෙලා තිබෙන්නේ ගල් ගුහාවල. නිදාගෙන තියෙන්නේ ගල් ගුහාවල. ක්‍රමයෙන් මිනිසා දියුණු වෙනකොට ගෙවල් හදාගත්තා. මුලින්ම කටුමැටි පැල්පත්, ඉන්පස්සෙ උළු ගෙවල් ඉන්පස්සේ මාලිගා මේ වගේ තමන්ට තිබෙන විදිහට නිවාස හදාගත්තා. සමහර ගෙවල් වායු සමීකරණය කරලා. ඒ විදියට ගත්තම අපි ජීවත් වෙන්නේ කොන්ක්‍රීට් ගොඩක. බිත්ති හතරකට කොටුවෙලා. එහෙත් කූඩාරමක හෝ මේ වගේ ගල් ගුහාවක රාත්‍රියක් ගත කරන විට ලැබෙන අත්දැකීම මොනතරම් සිතට නිදහසක් ගෙන දෙනවාද කියන දේ අත්විඳලාම බලන්න ඕන.‘‘ අඳුර දැඩිවෙද්දී ලන්තෑරුමෙන් විහිදෙන එළියෙන් ගුහාව ආලෝකවත් වී තිබේ.

සමීර කතාබහ කරන අතරේ සංඛ ගිනිමැලය ගසන්නට සූදානම් වෙයි. ඒ සඳහා අවශ්‍ය දර කලින් සූදානම් කර තිබේ.

සීතල දැඩිව දැනෙන කාලයක නම් මේ ගිනිමැලය ගුහාව ඇතුළට වන්නටත් සාමාන්‍ය දිනයක් නම් ගුහාවේ කට ආසන්නයට වන්නටත් ගසයි.

‘‘ගිනි මැලයක් ගසන්නේ එදා සිට ගුහාවල සිදුකළ ස්වාභාවික ආරක්ෂණ ක්‍රමය විදිහටයි. මේ විදිහට ගිනිමැලය ගහපුවම එළිවෙන තුරුම තිබෙනවා. ගුහාව පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමෙන් අඩි සියයක් හෝ ඊට ටිකක් වැඩි උසක. මෙහි හත් අට දෙනකුට පහසුවෙන් නිදාගන්න පුළුවන්. මෙතැනට එන අයට අවශ්‍ය නම් සින්දුවක් කියලා විනෝද වෙන්න අවස්ථාව තිබෙනවා. ඒත් ඒක උපරිම රාත්‍රී 10 හෝ 11 වෙනතුරු පමණයි. ‘‘

සංඛ අපට රාත්‍රී ආහාරය සඳහා රොටී පුච්චන්න සූදානම් කරයි. අපි ගොඩක් වෙලාවට මේ ගුහාවේ රාත්‍රිය ගත කරන අයට පොල් රොටී තමයි සූදානම් කරන්නේ. පිටි අනාගෙන ඇවිත් මෙතැනම පුච්චනවා. අවශ්‍ය නම් තමන්ටම හදාගන්න අවස්ථාව දෙනවා. ලුණු මිරිස අපි පහළින් හදාගෙන තමයි එන්නෙ. ඉස්සර මිනිස්සු මේ වගේ ගිනි මැලයක් ගහගෙන මස් පුච්චාගෙන තමයි කාලා තියෙන්නේ. අවශ්‍ය නම් බාබකියු එකක් දාන්නත් අවස්ථාව දෙන්න පුළුවන්.‘‘

කොච්චි ලුණු මිරිස් සමඟ උණු උණු පොල්රොටී සැබැවින්ම රසවත්ය. එය අපි නිවෙසේ සාදාගන්නා රොටියක වඩා රසවත් බවින් වැඩි යැයි සිතේ. රැහැයියන්ගේ ඒකාකාරී හඬ ඇසෙන මුත් රාත්‍රිය නිහඬය. නිසසලය. ඒ නිහඬ බව බිඳ දමන්නේ එක්වරම කන්ද පීරා හමා යන සුළං රැල්ලක හෝ හඬින් හෝ ගිනි මැලයේ ඇති දර කොටයක් පුපුරා යන හඬිනි. අපි මඳක් නිසොල්මනේ හිඳ මේ නිහඬ බව අත් වින්දෙමු.

තරු පිරි රාත්‍රී අහස හරි අපූරුවට පෙනේ. අහසෙහි තැනින් තැන ඒ තරු අතර විවිධ වර්ණ පදාසයන් පෙනේ. මම ශාන්ට එහි ඡායාරූපයක් ගන්නැයි කීවෙමි. එහෙත් එය ඡායාරූපයට නඟන්නට සුවිශේෂී ක්‍රමවේද අනුගමනය කළ යුතු වෙයි.

‘‘අපි අද උදේ නැග්ග නිල්වලාගල කන්ද මුදුනට අවුරුද්දේ එක්තරා කාල වකවානුවක ක්ෂීර පථය පේනවා. මේක පියවි ඇහැට පේන්නෙ මේ වගේ තරු ගොඩක් එක්ක වර්ණ වෙනසක් විතරයි. ඒත් චමෝද් චතුරංග දෙල්පෙආරච්චි කියන තරුණ ඡායාරූප ශිල්පියා අන්තර්ජාලයෙන් ඒ ගැන අධ්‍යයනය කරලා දවසක් ඇවිත් මේ ඡායාරූපය ගත්තා.‘‘ සමීර ඔහුගේ ජංගම දුරකතනයෙන් ඡායාරූපයක් පෙන්වයි. සැබැවින්ම විස්මිතය. තරු ලක්ෂ ගණනකින් සුසැදි ක්ෂීර පථය සැබැවින්ම සුන්දරය. මම අහස දෙස නෙත් යොමාගෙන බොහෝවේලාවක් සිටියෙමි. නෙත්වලට වෙහෙස දැනේ. අපි නිදාගතිමු.

යළි අප අවදිවූයේ තොර තෝංචියක් නොමැතිව නැගෙන කුරුල්ලන්ගේ ගීත නාදයෙනි. ඉර නැගෙන්නට ආසන්න නිසා අහස රෝස පැහැවී පෙනේ. ඒ වෙනවිටත් සංඛ අපට කෝපි සාදා තිබේ. ඈත කඳු යාය පිසගෙන හමාඑන සිසිල් මඳ නල සුවදායකය. කුරුල්ලන් කෑම සොයා යන්නට පෙර ගීත ගයමින් දවසේ මෙහෙවර ආරම්භ කර තිබේ. අවට පෙනෙන පැණිගල වත්ත කන්ද, බඹර ගල කන්ද ඇතුළු කඳුයාය මීදුමෙන් පිරී මවන්නේ චමත්කාර ජනක දසුනකි. නිතර දකින බහුලව ඉන්න කුරුල්ලන්ට අමතරව සිවුරුහොරා, සුදුරෙදිහොරා වැනි දකින්නට අපහසු අපේ රටට ආවේණික කුරුල්ලන් වර්ග 14ක් පමණ මේ ඉසව්වේ දකින්න පුළුවන්. මේ කන්දේ තියෙන ගස්වල ගෙඩි හැදෙන කාලයට තමයි උන් වැඩිපුරම දකින්න ලැබෙන්නේ. බොහෝ වේලාවට අපි උදේට කන්න කොච්චි ලුණු මිරිස් එක්ක මඤ්ඤොක්කා තම්බලා හෝ කට්ට සම්බල එක්ක ඉඳි ආප්ප සූදානම් කරනවා.‘‘

සිතට මෙන්ම ගතටද පුදුම නිදහසක් සැහැල්ලුවක් දැනේ. පෙරදින රැයේ අප ගත කළ ගල් ගුහාවට දැන් එළිය වැටී ඇත. නිවීගිය ගිනිමැල අළු ගොඩක් බවට පත්ව තිබේ. අපි සෙමෙන් සෙමෙන් කන්ද බසින්නට පටන් ගතිමු. ඒ මුහුණ කට සෝදා උදෑසන ආහාරය ගෙන තවත් අලුත් දවසක් ආරම්භ කළ යුතු බැවිනි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »