මඩුවන්වෙල කළු කුමාරයා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ මඩුවන්වෙල දිසාවේ

2018-08-07 11:30:00       408
feature-top
මඩුවන්වෙල මහා දිසාවේ හැඳින්වීමට පැරැන්නන් විසින් “මඩුවන්වෙල කළු කුමාරයා” යන අන්වර්ථ නාමය යොදාගන්නා ලද්දේ ඔහුගේ පෙනුමෙහි පැවති සුවිශේෂී ස්වභාවය හේතුවෙනි. කාල වර්ණයෙන් හා තේජස් පෙනුමෙන් යුක්ත වූ මඩුවන්වෙල මහා දිසාවේගේ ජන්ම නාමය වූයේ මඩුවන්වෙල විජයසුන්දර රාළහාමිගේ ශ්‍රීමත් ජේම්ස් විලියම් මඩුවන්වෙල ය. වර්ෂ 1844 සැප්තැම්බර් මස 11 වන දින දී මඩුවෙන්වෙල වලව්වෙහි මෙලොව එළිය දුටු මඩුවන්වෙල මහ දිසාවේ සිය ජීවන ගමන අවසාන කරන්නේ ද තමා ජන්මය ලද ස්ථානයෙහිදීම ය. ඒ වසර අසූ පහක් ආයු වළඳා අවසන වර්ෂ 1930 සැප්තැම්බර් මස 06 වනදා යි. මඩුවන්වෙල මහ දිසාවේ සුවිශේෂී පුද්ගලයෙකු වන්නේ ඔහු පැතිරවූ බල පරාක්‍රමය හේතුවෙනි. ඉංග්‍රීසීන් කෙරෙහි ප්‍රසාදයක් නොතිබුණ බව පැවසුන ද ඔහු ඉංග්‍රීසි පාලන ව්‍යුහය තුළ විවිධ නිලතල දරමින් සිය රාජකාරීන් ඉටුකළේ ය.


මඩුවන්වෙල මහ මොහොට්ටාල විසින් ලන්දේසි මං පහරන්නෙකු වූ ඔතලයාගේ හිස රාජ අණක් පරිදි කන්ද උඩරට රජුට භාරදීම හරහා මඩුවන්වෙල පරපුරට ලැබුණු මඩුවන්වෙල නින්දගම, තවදුරටත් විධිමත්ව පාලනය කරගෙනයාමට ප්‍රාදේශීය පාලකයෙකුටත් වඩා බලවත් වූ මඩුවන්වෙල මහ දිසාවේට හැකි විය. මඩුවන්වෙල නින්දගමේ සංකේතය ගෝන හිස ලෙස සැලකේ. ඊට හේතුව මඩුවන්වෙල පරපුර විසින් කන්ද උඩරට රජුගේ අණ පරිදි සුදු ගෝනෙකු අල්ලා දී දෙවන වරටත් නින්දගමක් ඈඳාගත් බැවිනි. මඩුවන්වෙල දිසාවේගේ මව්පියන් ඔහු කුඩා කාලයේදීම මියගිය හෙයින් දිසාවේ ඇතිදැඩි වූයේ බලංගොඩ විසූ සිය පියාගේ මවගේ සෙවනෙහි ය. ඉගෙනීමට මහත් සමත්කමක් දැක්වූ දිසාවේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව උගත්තේ ය.

කතෝලික පාසල් සෙවනෙහි අධ්‍යාපනය හැදෑරූ නමුත් ඔහු භක්තිමත් බෞද්ධයෙකු වූ අතර උපන් ගමට මහත් සේ ආදරය දැක්වූ පුද්ගලයෙකු විය. මහත්මා ගාන්ධිගේ ගමන්මඟ මහත් සේ අගය කළ පුද්ගලයෙකු ලෙස මඩුවන්වෙල දිසාවේ සැලකේ. මඩුවන්වෙල පරපුර විසින් මඩුවන්වෙල මුදලින්දාරාමය ඉදිකර අක්කර 50ක භූමි භාගයක් සන්නසක් මඟින් එකී විහාරයට පූජා කරනු ලැබූ අතර, පනාමුර කාවන්තිස්ස රජමහා විහාරය ප්‍රතිසංස්කරණය කරමින් බෞද්ධාගමෙහි පුනර්ජීවනය උදෙසා ද කටයුතු කරන ලද බව පැවසේ. සිය පරපුරෙහි පූර්වකාලීනයන්ගේ මැදිහත්වීම මත පෝෂණය වූ මෙකී ආගමික සිද්ධස්ථාන නඩත්තු කිරීම සහ පවත්වාගෙන යාම උදෙසා පසුකාලීනව පහළ වූ මඩුවන්වෙල මහ දිසාවේ ද කැප වූ බව සඳහන් ය.


මඩුවන්වෙල වලව්වේ සඳකඩ පහන
පරිපාලනයේ දක්ෂතා හේතුවෙන්ම ඉංග්‍රීසි පාලනය තුළ ඉංග්‍රීසි අධිරාජ්‍යයේ ආදායම් නිලධාරියා ලෙස මඩුවන්වෙල දිසාවේව පත්කරන ලදී. තව ද ඉංග්‍රීසි ආණ්ඩුව විසින් ඔහුව නඩු අසන්නෙකු ලෙස ද පත්කර තිබුණි. සිය වලව්වෙහි ඉදිකරන ලද අධිකරණ ශාලාව තුළ දී ඔහු විසින් නඩු විභාග කිරීමේ අධිකරණ කටයුතු සිදු කරන ලදී. ඇතැම් අවස්ථාවන්හි දී ප්‍රමාද වී වැඩ කරන ඉංග්‍රීසි ඒජන්තවරයන්ට පවා දිසාවේ විසින් දඬුවම් පමුණුවා ඇත. එමෙන්ම කිසිදු ගරුසරුවක් නොමැතිව තමාව අශ්ව කෝච්චියෙන් නෙරපීමට කථිකා කළ ඉංග්‍රීසි තරුණයන් දෙදෙනෙකුව එළියට ඇද දමා තනිවම තම ගමන යාමට තරම් ඔහු තේජවන්තයෙකු වූ බව කියැවේ. වර්තමාන දෙනියාය, රක්වාන මාර්ගය කොලොන්න මඩුවන්වෙල හරහා කැපීමට ඉංග්‍රීසීන් විසින් යෝජනා කරන ලද අතර මඩුවන්වෙල දිසාවේ ඊට තදින්ම විරුද්ධ විය. ඔහුගේ විරුද්ධත්වය අබිබවා යාමට ඉංග්‍රීසි පාලකයන්ට ද ‍නොහැකි විය.

විවිධ අවස්ථාවන්හි එවන් අර්බුදකාරී තත්ත්වයන් ඇති වූ නමුදු, තම වලව්වට පැමිණෙන ඉංග්‍රීසීන්ට සිංහල ක්‍රමයට අනුව මනා ලෙස සැලකිලි සත්කාර දැක්වීමට තරම් මඩුවන්වෙල දිසාවේ වැදගතෙකු විය. මඩුවන්වෙල ප්‍රදේශය පැවතියේ කන්ද උඩරට සහ පහතරට අතර කලාපයෙහි වන අතර වර්ෂ 1815න් පසුව ඉංග්‍රීසීන් විසින් සිය බල පරාක්‍රමය දිවයින පුරා පතුරවන තෙක්ම, හැකි සෑම අවස්ථාවකම උඩරට රජුට අවනත වෙමින් උඩරට අණපනත් ක්‍රියාවට නැංවීමට මඩුවන්වෙල දිසාවේ පරපුරෙහි පූර්වගාමීන් බැඳී සිටියහ. මඩුවන්වෙල දිසාවේ ද ඉංග්‍රීසි ආණ්ඩුවෙහි නිලධරයෙකු වූ නමුදු, හැකි සෑම අවස්ථාවකම සිංහල ක්‍රමයට අනුගතව කටයුතු කිරීමට උත්සාහ කළේය.

උදෑසනම අවදිවෙමින් වලව්වේ කටයුතු ආරම්භ කිරීමට පුරුදු වී සිටි මඩුවන්වෙල දිසාවේ අතිශය ශක්තිමත් පුද්ගලයෙකු විය. ඇත්, අස්, රිය සේනාව සිටිය දී පවා පයින් ගමන් කිරීමට ඔහු මහත් අභිරුචියක් දැක්වූවේය. දිසාවේට ආයුධ සන්නද්ධ සේවක බලඇණියක් සිටි අතර ඉංග්‍රීසීන් ඔහු සමග කිසිදු ආරවුලක් ඇති කර නොගැනීමට එය ද හේතුවක් විය. මඩුවන්වෙල දිසාවේ සිය පාලන කලාපය තුළ සිටි සියලු වැසියන්ට එක සේ සලකන ලදී. සියලු ජාතික උත්සව ඉතා ඉහළින් සැමරූ ඔහු සිංහල අලුත් අවුරුද්ද වැනි දිනයන්හි දී සියලු ගම්වාසීන්ට තෑගිභෝග පිරිනැමීමට තරම් කාරුණික හා ත්‍යාගශීලී වූයේ ලු.


මඩුවන්වෙල දිසාවේගේ දෙවන භාර්යාව වූ කලවානේ කුමාරිහාමි 
පළමු භාර්යාවගේ අභාවයෙන් පසුව දියණිය සමග හුදෙකලා වූ දිසාවේ නැවත වරක් විවාහ විය. තම දියණියට රුචි කාන්තාවකට මල් මාලය පළඳවා මෙකී පිළිගැනීම සිදුකර ඇත. මෙසේ දෙවන වරට විවාහ කරගත් මඩුවන්වෙල කුමාරිහාමි මහත් භක්තියෙන් යුතුව සිය යුතුකම් සහ වගකීම් ස්වාමියාත් දරුවාත් කෙරෙහි ඉටු කළ බව කියැවේ.

කෙසේ නමුදු සිය ජීවිතයේ අවසාන භාගයෙහිදී දැඩි ලෙස රෝගාතුර වූ දිසාවේ ශල්‍යකර්මයකට පවා මුහුණ දුන්නේ ය. දොස්තර ආර්. එල්. ස්පිටල් විසින් මඩුවන්වෙල දිසාවේගේ පාදයේ ශල්‍යකර්මයක් සිදු කළ අතර නිර්වින්දනය වීමකින් තොරවම එකී ශල්‍යකර්මයෙහි වේදනාව දරාගැනීමට මඩුවන්වෙල දිසාවේ සමත් වූ බව කියැවේ. ශල්‍යකර්මයෙන් මසකට පසුව රෝගාතුරව වාසය කළ දිසාවේ දිනෙක අසාධ්‍ය තත්වයට පත් වූ අතර ඒ බව වටහාගත් ඔහුගේ විශ්වාසවන්තම සේවකයා වූ ජුවානිස් වහාම මුදලින්දාරාමයට දිව ගොස් මේ බව සබරගමු පළාතේ ද්විතීයික සංඝනායක පදවිය දැරූ ශ්‍රී සාරානන්ද හිමියන්ට සැල කළේය. උන්වහන්සේ පැමිණ බණ දේශනා කිරීමෙන් අනතුරුව දිසාවේ විසින් උන්වහන්සේට පූජා භාණ්ඩ පූජා කිරීම ද සිදුකරන ලදී. ඉන් අනතුරුව උන්වහන්සේ විසින් පිරිත් දේශනා කරමින් සිටිය දී දෑත් බැඳගෙනම ජුවානිස්ගේ උකුළ මතට පතිත වන මඩුවන්වෙල දිසාවේ සිය ශරීරය නමැති නවාතැන අතහැර සිය සුසුම් පොද නිසල වාතලයට මුසු කරයි.


මඩුවන්වෙල වලව්ව විචිත්‍ර අයුරින් පවත්වා ගත් දිසාවේ 
ඔහුගේ මරණයෙන් ඉනික්බිති වර්ෂ 1962 දී ඔහුගේ දියණිය වූ මඩුවන්වෙල පුංචි කුමාරිහාමි ද මිය යන අතර, අනතුරුව මඩුවන්වෙල වලව්වේ හිමිකාරීත්වය ලංකාවේ ප්‍රථම කථානායක වූ ප්‍රැන්සිස් මොලමුරේ විසින් හිමිකරගන්නා ලද්දේ ය.  


(under the courtesy of roar.media web)

More News »