ශරීර හොරුන්ට වර­දින සාස්තරේ

2018-07-03 10:13:00       603
feature-top
මීග­මුව සිට හලා­ව­තට යන ගමනේ දී වයි­ක්කාල ප්‍රදේ­ශය පසු කරත්ම අපේ ඇස ගැසෙන්නේ මඟ දෙපස අලෙ­වි­යට තබා ඇති පිහි මන්නා ආදී යකඩ ආයුධ කඩ පෙළය. ඇතැම් විට ඔබ ඒවා මිලදී ගෙන තිබෙ­න්නට ද ඇත. එය ගනු­දෙ­නු­ව­කට පම­ණක් සීමා වන්නට ඇත. කේවල් කිරීම් ආදිය නිසා හිත් නොහො­ඳ­කම් ඇති වන්නට ද ඇත. ගිනි අඟු­රු­වල දැවෙන, කිණි­හි­රියේ තැළෙන, දඬු අඬුවේ තද­ වන ඔවුන්ගේ ජීවි­තයි මේ.

මීගමු - හලා­වත මාර්ගයේ වාහන වේග­යෙන් ඇදී යයි. ඒවා­යින් නැගෙන හඩට අම­ත­රව, නලා ද නාද කරයි. මේ සියලු බාධා කිරීම් මැද්දේ අපි ඔහු සමග කතා­වට එක් වීමු.

“අපි නව­න්දන්න කුලේට අයිති අය. අතී­තයේ දී රාවණ රජ්ජු­රු­වන්ට ආයුධ හැදුවා කියන්නේ අපි තමයි.” කතා­වට මුල පුර­මින් ලලිත් අබේ­රත්න පැව­සීය.

“ අපි පාර­ම්ප­රික කම්මල් කාරයෝ. මම සාස්තරේ ඉගෙන ගත්තේ තාත්ත­ගෙන්. ඔහු වැල­න්ට­යින් අබේ­රත්න. ගෙද­ර­කට අවශ්‍ය ඕනෑම යකඩ බඩු­වක් අපි හද­නවා. පිහි, මන්න, උදලු, කැති, හිර­මන, මාළු පිහි, මදින පිහි, අන්නාසි පිහි, දෙමළ පිහි, මුල්ලු, පොල් උල්, පොරෝ, ගිර, පොල් කඩන කෙකි ආදී ඕනෑම දෙයක්. මේක සාස්ත­ර­යක්. ඇඟ වෙහෙ­සන සාස්ත­ර­යක්. මේ සාස්තරේ දී බොරු කරන්න බැහැ. කොටින්ම කිව්වොත් ශරීර හොරුන්ට මේ සාස්තරේ පිහි­ට­ වන්නේ නෑ” ලලිත් කියන්නේ තමන් කරන කර්මා­න්තය ගැන ආද­ර­යෙනි.

එක් එක් රැකි­යා­වට අදාළ අභි­චාර විධි, සම්ප්‍ර­දා­යික පූජා විධි තිබේ. කම්මල් රස්සාව සම්බ­න්ධ­යෙන් ද එසේය. ඒ පිළි­බඳ ලලිත් කියන්නේ මෙවැනි කතා­වක්.

“අපි රාවණ පර­පුරේ ඉඳන් පව­තින අය. ගිනි දෙවි­යන් පුදපු අය. ගින්දර තමයි අපිව ජීවත් කරන්නේ. ගින්දර නැත්තං අපි බඩ ගින්දරේ. ඒ නිසා අපි ගින්දර පුද­නවා. අවු­රුද්දේ පළ­වෙනි දවසේ වැඩ ආරම්භ කරන්නේ ගිනි දැල්ල හදලා. ගිනි දැල්ලයි, ත්‍රිශූ­ලයි හදලා ගිනි දෙවි­යන්, රාවණා සිහි කිරීම සාම්ප්‍ර­දා­යික කම්මල් කාර­යෙක්ගේ දේව­කා­රි­යක්. ගිනි දැල්ල හැදුවේ නැත්තං වැඩ කෙරෙන්නේ නෑ. යකු­න්ගෙන් එන රස්සා­වක් මේක.” ගිනි මැළ­යට ඉහ­ළින් සවි­කර ඇති ත්‍රිශූ­ලය හා ගිනි දැල්ල පෙන්ව­මින් ලලිත් කියයි.

ජෝසප් මාමා කම්මලේ වැඩ කරන පැරැණියෙකි. ඔහු දෙස බැලූ පම­ණින් මේ සා විශාල කුළු ගෙඩි­යක් ඔසවා ගත­හැකි දැයි යන පැනය මතුවේ. අපට සිතුණා වැර­දිය. ඔහු විශාල කුළු­ගෙ­ඩිය ඔසොවා කිණි­හි­රිය මතට ඇද­බා­න්නේ­බොහෝ සැහැ­ල්ලු­වෙනි. හැට නව­වැනි වියේ පසු වන ඔහුගේ සම්පූර්ණ නම නෙවිල් ජෝසප් ය. “තාත්තා­ගෙන් තමයි මම සාස්තරේ ඉගෙන ගත්තේ. මගේ ජීවිතේ මතක ඇති දවසේ ඉඳලා කම්මල හුරුයි. පොඩි කාලේ ඉස්කෝලේ ගියත් මම වැඩි­දුර ඉගෙන ගත්තේ නැහැ. අවු­රුදු දහය දොළහ කාලේ ඉඳන්ම තාත්තා එක්ක කම්මලේ වැඩ කළා. තාත්තට මයි­න­හම ඇද්දා. මුළු දව­සෙම හම ඇද්දම හව­සට සත ගානක් හම්බ­වෙ­නවා කඩ­චෝරු කන්න. ඒක දෙන්නෙත් පඩි­යක් කියලා නෙමෙයි. කම්ම­ලට ආසාව ඇති වෙන්න. තාත්ත­ලගේ යුතු­කම වුණේ කර්මාන්තේ උග­න්වන්න. අද වගේ ඉස්කෝ­ල­වල යවලා ඉහ­ළ­ට­ උ­ග­න්වන්න ඕනැ­ක­මක් ඒ කාලේ තිබුණේ නෑ.”

මම බැන්දේ හැත්තෑ දෙකේ. මට ළමයි දෙන්නයි. දරුවෝ එක්කෙ­නෙ­ක්වත් මේ රස්සා­වට කැමති නෑ. අලුත් පර­ම්ප­රාව ඇඟේ දැලි කුණු ගාව ගන්න, දාඩිය දාන්න කැමති නෑ. මේක මේ හොරට කරන්න පුළු­වන් කර්මා­න්ත­යක් නෙමෙයි. වැඩ ඉගෙන ගනිද්දි මම තාත්ත­ගෙන් කොච්චර ගුටි කාලා, ටොකු කාලා ඇද්ද. ඒත් මම තාත්තා එක්ක තරහ වුණේ නැහැ. තාත්තා මට ඔහු දන්න හැම ශිල්ප­යක්ම ඉගැ­න්නුවා.”

ජෝසප් මාමා කියන්නේ සිය පියා ගැන මහත් ආඩ­ම්බ­ර­යෙනි, ගෞර­ව­යෙනි.

“කොලු කාලේ වගේ නෙවෙයි. දැන් අපිට හයිය නෑ‍. මම දැන් වය­සයි. මට බර වැඩ කර­න්නත් එපා කියලා දොස්ත­රලා කියලා තියෙන්නේ. ඒත් රස්සාව නැතුව ඇඳ­කට වෙලා ඉන්නේ කොහො­මද? දරු­වන්ට බරක් වෙන්න බෑ. අද කාලේ හැටි­යට උන්ටත් අමා­රුයි. මායි, ගෙදර උන්දැයි ජීවත් වෙන්නත් මේ හම්බ­වෙන වැටු­පෙන්. හිතේ හයිය තියෙන නිසා මේ දෑත් තාමත් යකඩ එක්ක ඔට්ටු වෙනවා” ජොසප් මාමා තම විය­පත් දෑත් පෙන්ව­මින් පව­සයි.

මේ ගම­නේදි අපට හමු වූ ලලිත් හා ජෝසප් මාමාට වඩා රෙජිස් හැරල්ඩ් වෙනස්ම කෙනෙකි. තම වෘත්තිය සම්බ­න්ධ­යෙන් ද ජීවි­තය සම්බ­න්ධ­යෙන් ද වෙනස්ම අද­හස් දර­න්නෙකි.

“අපි පාර­ම්ප­රික කම්ම­ල්කා­රයෝ. කම්ම­ල්කා­රයෝ කිව්වාම සම­හරු අපි කම්ම­ල්කා­රයෝ කියන්න ලජ්ජයි. ඒ වුණාට මහ­ත්තයෝ අපේ උද­විය නිසා තමයි අපේ රට අතීතේ දියුණු වුණේ. අපි දන්නවා අපිට තිබුණේ කෘෂි ආර්ථික රටක්. පෙර­දිග ලෝකයේ ධාන්‍යා­ගා­රය කියලා හැදි­න්වුයේ. ගොවි­තැ­නට ඕන නගුල. උදැල්ල හැදුවේ අපි. ඒ වගේම අපිට තියෙන්නේ යුද ඉති­හා­ස­යක්. ප්‍රසිද්ධ රජ­වරු ඔක්කොම යුද වීරයෝ. ඒ අයට යුද්ධ කරන්න ආයුධ හැදුවේ අපි. අද පරණ කඩ ගානේ රිංගලා දුනු කොළ හොයන් ඇවිත් පිහි මන්න හදා­ගෙන අව්කූ­ටකේ තියා­ගෙන ජීවිතේ ගැට ගහ­ගන්න දඟ­ල­නවා. අනු­රා­ධ­පුරේ පොලො­න්න­රුවේ ගල් කැට­යම්, පිළිම, සඳ­ක­ඩ­ප­හන් දුටු­වම මගේ හිතට ආඩ­ම්බ­ර­යක් දැනෙ­නවා, මේ නිර්මාණ කරන්න අවශ්‍ය ආයුධ හැදැවේ එදා අපේ මුතුන් මිත්තෝ නේද කියලා. පුදුම වෙනවා. නමුත් අද පර­ම්ප­රාව මේවා දිහෑ බල­න්නේ­වත් නෑ. මේ කර්මාන්තෙ වඳ වෙලා යනවා.”.

ඔහු පව­සන්නේ කන­ගා­ටු­වෙනි.

“පිට­ර­ටින් එන පිහිය එක්ක බලද්දි අපේ පිහිය මොන­ත­රම් ද? අපිට අපේ තාත්තලා පිහිය පණ පොවන්න කියලා දුන්නේ වතුර කැපෙන තර­මට. මුලින්ම හම ඇද්දේ රුපි­යල් හයට. මේ රස්සා­වට බැස්සේ අවු­රුදු 9-10 කාලේ ඉඳලා. ඉස්කෝලේ පහේ පන්ති­යට විත­රයි ගියේ. අවු­රුදු දහ­යක් විතර මම ගෝල­යෙක් විදි­හට හිටියා. මම වැඩ අල්ල ගත්තේ බලා­ගෙන ඉඳලා. බාසු­න්නැ­හැල ගෙන් අන­න්ත­වත් ගුටි කාලා ඇති. එත් අපට වැර­දුණේ නැහැ.”

කම්මලේ වැඩ­ක­රන්නන් කියන්නේ එද­වස ඔවුන් විදි අත්දැ­කීම්ය. අද වන විට වළ­ප­ල්ලට යමින් තිබෙන කම්මල් රස්සාව ගැන ඔවුන්ට දැන් ඇත්තේ දුකකි.

කම්හල් රස්සාවේ නිරත වන ඔවුන්ට ඇති අභි­යෝ­ගය පැහැ­දිලි කර­මින් තොර­තුරු කීවේ ක්‍රිස්ටි අබේ­ර­ත්නය.

“රස්සාවේ අව­දා­න­මක් නැතුව නොවේ. මට 2003 දී ලොකු අන­තු­රක් සිද්ද වුණා. බාසු­න්නැ­හැත් එක්ක ගිනි­යම් යක­ඩ­යක් තළද්දි එක පාර­ටම යකඩේ විසි­වෙලා ආවේ බඩට. දවස් 13ක් ඉස්පි­රි­තාලේ. රෝහලේ හිටපු කාලේ වතු­ර­වත් දුන්නේ නැහැ, සේල­යින් විත­රයි. මගේ බඩ ඇතුළ හොඳ­ටම තුවාල වෙලා තිබුණේ. ඉස්පි­රි­තා­ලෙන් ටිකට් කපං ආපු­ව­හම මාස හයක් ඇඳෙන් බහින්නේ නැතුව ඉන්න කිව්වා. මට එහෙම ඉන්න පුළු­ව­න්ක­මක් නැහැ. මාස තුනක් ඉඳලා මම සුපු­රුදු විදි­හට රස්සා­වට ආවා. මගේ මේ රස්සාව නිසා තමයි දරුවෝ රැකෙන්නේ. ලෙඩ දුක් වුණා කියලා මට පැත්ත­කට වෙලා ඉන්න බැහැ. දවස පුරා යකඩ එක්ක ඔට්ටු වුණාම රුපි­යල් 1200ක් ලැබෙ­නවා. ඔහු පව­සන්නේ දවසේ ජීවි­තය ගෙවන අයු­රුයි.

කම්මල යැයි කියූ සැණින් හිතේ මැවෙන්නේ මයි­න­හ­මයි. බලා සිටි­න්නට පහසු කාර්ය­යක් ලෙස සිතු­ණද මයි­න­හම ඇදීම ලෙහෙසි පහසු නැත. නව යන්ත්‍ර සුත්‍ර තිබුණ ද මයි­න­හම අඳි­මින් සාම්ප්‍ර­දා­යික ලෙස කම්මල් කර්මා­න්තයේ යෙදෙන නිව්ටන් පව­සන්නේ මෙවැනි කතා­වකි.

“දැන් මගේ වයස අවු­රුදු 65 යි. පොඩි කාලේ ඉඳන්ම රස්සාව හුරුයි. පස්සේ මං ආණ්ඩුවේ උළු පැක්ටේ­රියේ රස්සා­වට ගියා. ටික කල­කින් ඒක වැහුවා. ජීවත් වෙන්න රස්සා­වක් ඕන නිසා මම පාර­ම්ප­රික රස්සා­වට ආවා. මම තාම වැඩ කරන්නේ සාම්ප්‍ර­දා­යික විදි­හට. මම තාමත් මයි­න­හම අදි­නවා. මට ඉන්නේ ගෑනු ළමයි දෙන්නෙක්. ඒ නිසා මගේ පර­ම්පරා රස්සාව මගෙන් ඉව­රයි.” නිව්ටන් මාමා කියන්නේ කිණි­හි­රය මත තැබූ පුවක් කෑල්ල මුවේ තබා ගනි­මිනි.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »