කන්න නැති හමු­දාව

2018-06-29 11:43:00       567
feature-top
උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් පසුගිය කාලයේ කටයුතු කළේ දෙකෙළවර ඇවිළෙන විලක්කුවක් මෙනි. මේ නිසා ඒ රටේ නිලධාරී පන්තිය කටයුතු කළේත් දැවි දැවී ය. ඒ කාගේ කාගේත් ගිනි රස්නය තදින්ම දැනුණේ උතුරු කොරියා හමුදාවට කිවහොත් එහි වරදක් නැත. එහි අරුත අනෙකක් නොව, හැමවිටම රත් වී සිටින නායක කාරකාදීන් වෙනුවෙන් එඩියෙන් ඉදිරියට යා යුත්තේ හමුදාව බවයි. වෙනත් විදිහකට කිවහොත් එසේ ඉදිරියට යන්නේ අන්ගේ රෙජීමයට හරිහැටි කන්න දීගන්නවත් බැරිවුණු, කායිකව කිසියම් පමණකට දුර්වල වූ සාමාජිකයන් මිලියන ගණනකින් සමන්විත හමුදාව ය.

අන්ගේ හිතුවක්කාර සහ දඩබ්බර අදහස් ක්‍රියාවට නැංවීම අසීරුය. එපමණක් නොව ඒවා ක්‍රියාත්මක කිරීමට විශාල ජනතාවක් ද අවශ්‍ය ය. තම රටේ ආර්ථිකයටවත් ඉහිලුම් නොදෙන තරමේ සාමාජික සංඛ්‍යාවකගෙන් සමන්විත හමුදාවක් පවත්වාගෙන යන්නට අන්ගේ රටේ උන්ට මේ නිසා සිදුව තිබේ. සමහර තැනෙක සඳහන් වන අන්දමට එහි හමුදාවන් සියල්ලෙහි සිටින ස්ථිර සාමාජිකයන් සංඛ්‍යාව මිලියන 1.2 ඉක්මවයි. අවශ්‍ය වන විට සේවයේ යෙදවීම සඳහා තවත් මිලියන 1.2ත් මිලියන 6ත් අතර පිරිසක් සීරුවෙන් තබා ඇත. මේ දෙකොටසම නිරන්තයෙන්ම බරපතළ හමුදා පුහුණුවල යෙදවේ. කායිකව මෙන්ම මානසිකව දැඩි වෙහෙසකාරී වූ මෙම පුහුණුවීම්වල නිරත හමුදා සෙබළුන්ට හරිහමන් කෑමක් නැති බව බ්‍රිතාන්‍යයේ පළවන එක්ස්ප්‍රස් පුවත්පත සිය වාර්තාවකින් පසුගිය වසරේදී පෙන්වා දී තිබිණ. තමන්ට අවශ්‍ය ආහාර පාන තමන්ම සොයා ගත යුතුයැයි කියා උතුරු කොරියා බලධාරීන් සිය හමුදා සෙබළුන්ට දන්වා ඇති බව එහි සඳහන් වූයේය. ඒ අණ සමඟම සෙබළු තමන් සිටින ප්‍රදේශ අවට ගම්මානවලට කඩා වැදී ගොවිපොළවල තිබුණු දෑ මංකොල්ල කාගෙන එන්නට පෙලඹුණහ.

උතුරු කොරියාවේ පවත්නා “යන්ග් රෙඩ් ගාර්ඩ්” වැඩ පිළිවෙළ අතිශයින්ම අමානුෂික එකකි. මේ වැඩපිළිවෙළ ආරම්භ වූයේ 1970දී පමණ ය. එමඟින් කෙරෙන්නේ එරට හමුදාවට අවශ්‍ය සාමාජිකයන් බඳවා ගැනීමයි. එලෙස බඳවා ගන්නේ වයස අවුරුදු 15ත් 17ත් අතර තරුණයන් ය. එය ළමා හමුදාවක් පවත්වාගෙන යෑමට සමාන දෙයකි. මේ තරුණ දරුවන්ව දැඩි පුහුණුවකට යටත් කෙරෙන අතර ඔවුන්ට ලබා දෙන්නේ ආහාර සහ නිල ඇඳුම් පමණක් බව සඳහන් වේ.

හමුදා සාමාජිකයන්ට කන්න දෙන්න ඒ හැටි සැලකිල්ලක් නොදැක්වුවත් ගණන් මිනුම් නැති මහා ධන සම්භාරයක් උතුරු කොරියාව සිය යුද ශක්තිය තර කරන්නට යොදවන බව සැබෑවකි. එසේ යෙදවෙන මුදල එරට අයවැයෙන් කෙතෙක් ප්‍රමාණයක්ද යන්න රහසකි. රටේ අයවැයෙන් 15.8%ක් හමුදා කටයුතුවලට වැය කරන බව, ඒ ගැන ප්‍රශ්න කරන උදවියට උතුරු කොරියා බලධාරීන් දෙන උත්තරයයි. එරට අය වැයෙන් 25%ත් 38%ත් අතර මුදලක් වෙන්කර තිබෙන්නේ උක්ත කාර්යය සඳහායැයි සමහරු අනුමාන කරති.

උතුරු කොරියා හමුදාව නා නා ප්‍රකාර අවි ආයුධවලින් ශක්තිමත් ය. න්‍යෂ්ටික අවිවලට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානය තහනම් කළ දරුණු ලේසර් අවිත් එහි ඇත. ලේසර් කිරණ අවි, මිනිසුන් අඳ තත්ත්වයට පැමිණවීමෙහිලා සමත් සඳහන් වේ. ZM – 87 යන නමින් හැඳින්වුණු මාරක ලේසර් අවි දුසිම් දෙකක් පමණ, ලේසර් අවි භාවිතය තහනම් කරන්නට පළමුව චීනය සතුව පැවැතියේය. එකල අනුමාන කළ නොහැකි තරමේ ලේසර් අවි ප්‍රමාණයක් උතුරු කොරියාව සතුව තිබුණු බව දන්නෝ දනිති. ඒ අවි උතුරු කොරියාවේ අද වුව පරිහරණය කෙරෙන බව යුද අවි පිළිබඳ විශේෂඥයෝ පවසති.

සබ්මැරීන බලය අතින් ඇමෙරිකා එක්සත් ජනපදය ද අබිබවා සිටින්නේ උතුරු කොරියාවයි. ඒ හැරුණු විට යුද ටැංකි 4000කට අධික සංඛ්‍යාවකුත්, රොකට් ලෝන්චර 2500 වැඩි ප්‍රමාණයකුත්, කාල තුවක්කු 6500කුත් ප්‍රහාරක ගුවන් යානා 1000කට වැඩි ගණනකුත් උතුරු කොරියාව සතුය. මේ සා මහා ද අවි ප්‍රමාණයක් තිබෙන්නේ වර්ග කිලෝමීටර 120,540ක වපසරියක ආරක්ෂාව වෙනුවෙනි. එය පුදුම සහගත යුද ශක්තියකි. උතුරු කොරියා අවි ගැන දන්නා ඇතැම් අය කියන්නේ මෙකී ප්‍රහාරක ගුවන් යානාවලින් වැඩි ප්‍රමාණයක් ඉන්ධන නැතිකම නිසාම අහසට නැංවිය හැකි මට්ටමක නැති බවකි. පැරණි බව හේතුවෙන් යුද ටැංකිවලින් සහ තුවක්කුවලින් සෑහෙන සංඛ්‍යාවක් කෙළින් කරන්නට බැරි වගත් ඇතැම් තැනෙක සඳහන් වේ. තැන තැන එවැනි වාර්තා පළ වුණාට සත්‍ය තත්ත්වය කුමක්ද යන්න ගැන ස්ථිර තොරතුරක් නැත.

එසේ වුවත් උතුරු කොරියාවට ශක්තිමත් රසායනික අවි වැඩපිළිවෙළක් ඇති බව නම් බැහැර කළ නොහැකිය. න්‍යෂ්ටික අවි නිරන්තයෙන්ම අත්හදා බලමින් එහි ශක්තිය ලෝකයට පෙන්වූ අන් තම රටේ රසායනික අවි ගැන තොරතුරු සැමවිටම වසන් කරන්නේය. පළමු ලෝක යුදයේදී භාවිතයට ගැනුණු ක්ලෝරීන්, ෆොස්ජීන්, සහ මස්ටර්ඩ් වායු මෙන්ම නවීන ලෝකයේ භාවිතයට ගැනෙන සාරින්, VX වැනි රසායනික අවිත් එහි ඇති බව පැවසේ. සාරින්, VX වැනි රසායනිකයන් මනුෂ්‍ය ශරීරයේ ස්නායු අඩපණ කර මරණය පමුණුවන්නට සමත් ඒවා ය. වඩාත් බරපතළම සහ කනගාටුදායකම තත්ත්වය එරට රසායනික අවි, එරටෙහි බන්ධනාගාර රැඳවියන් සහ කම්කරු කඳවුරුවල සිටින ශ්‍රමිකයන් යොදාගෙන අත්හදා බැලීමය.

සයිබර් ප්‍රහාර එල්ල කළ හැකි උපන් හපනුන් සිටින්නේත් උතුරු කොරියාවේම ය. සයිබර් ප්‍රහාර එල්ල කිරීමට උතුරු කොරියාව සතු හැකියාව ලොව අන් කිසිදු රටක් සමඟ සැසඳිය නොහැකි බව බොහෝදෙනාගේ අදහසයි. මේ කතාව වඩාත් හොඳින් තහවුරු කෙරුණේ 2014 වසරේදී උතුරු කොරියා හැකරුන් කළ “සෝනි හැක්” සයිබර් ප්‍රහාරයෙන් පසුවයි. ඒ ප්‍රහාරයෙන් පසු තවත් සයිබර් ප්‍රහාර රැසක් දකුණු කොරියාවට එල්ල කරන්නට උතුරු කොරියාව වග බලාගෙන තිබිණ. එවැනි ප්‍රහාර මඟින් දකුණු කොරියාවේ බැංකුවල, රාජ්‍ය ආයතනවල පමණක් නොව දකුණු කොරියා ජනාධිපති කාර්යාලයේ පරිගණක යන්ත්‍රවලත් ක්‍රියාකාරිත්වය අවුල් වී ගියේය. මේ සියලු ප්‍රහාර එල්ල කෙරුණේ බියුරෝ 212 යනුවෙන් නම් කරන ලද උතුරු කොරියානු මධ්‍යස්ථානයක සිටයි.

මේ සා මහා අවි සහ හමුදා බලයක් අතැතිව අන් කොහේ යන්නට තනන්නේද යන්න කිසිවකු දන්නේ නැත. කොහොම වුණත් ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවෙන් පසුවවත් ලෝකය සාමාකාමී තැනක් බවට පත් කරන්නට අන් හවුල් වන්නේ නම් විශාල යහපතක් බව නොකියා බැරි ය.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »