සෙනෙහෙ මාමලාට සෙනෙහස දෙන්න

2018-06-22 10:03:00       565
feature-top
මහඔය ගලන්නේ ඕනෑවට එපාවට ය. වැස්ස නැති නිසා එහි වතුර පහර සැර නැත. තැනින් තැන ගල් මතු වී ඇතැම් තැනෙක වතුර පිරීගිය වළවල්ය. එනිසාම දෝ මහ ඔය අමුතුම සුන්දරත්වයක් ගෙන ඇත. මහ ඔයට ඉහළින් ඇත්තේ අබලන් ව ගිය යකඩ පාලමයි. හමන දැඩි සුළඟ නිසාම පාලමට ගොඩවීමට හිත අදිමදි කරයි.

“කොහොමද මෙතැනින් යන්නේ?“

“මෙතැනින්ම තමයි යන්න වෙන්නේ“

හිත බියෙන් ගැස්සෙයි. නමුදු ගමන යායුතුමය. දෙපැත්තේ කම්බි අල්ලාගෙන හිත දැඩි කරගෙන පාලමට ගොඩවීමි. ගැමියෝ දෙතුන් දෙනකුම අප පිටු පසිනි. වසර දෙසීයකට වඩා පැරණි යකඩ පාලමට යොදා ඇත්තේ ලෑලිය. දැන් ඒ ලෑලි දිරාගොස්ය. බයෙන් බයෙන් අඩි තබමින් අපි පාලමෙන් එගොඩ වීමූ. කැඩුණු බිඳුණු යකඩ පාලම ආසන්නයෙන්ම තවත් පාලමක් ඉදිවෙමින් තිබේ. අරුමය නම් එසේ පාලමක් ඉදිවෙමින් තිබියදීත් ගමට යන්නට පාලමක් නැතැයි කියමින් ගම්මුන් මැසිවිලි නැඟීමය.

“අලුත් පාලම හැදුනම ගම්මුන්ට කරදරයක් නැහැ නේද? හෙට අනිද්දා වැඩ ඉවරවෙන්නත් ළඟයි වගේ“

“අවුරුදු හයක් තිස්සේ මේ පාලමේ වැඩ. අපි අද ඉවරවෙයි හෙට ඉවරවෙයි කිය කියා බලාගෙන ඉන්නවා. අපේ තිබුණ පාලමත් හොඳටම අබලන්. මේ යකඩ පාලම කැඩිල ගියාට පස්සේ අපට යන එනමන් නැහැ“.

ගුණතිලක පවසන්නේ හිතේ අමාරුවෙනි.

“වටේටම ගම්වල පාලම් හැදුණා එත් අපේ පාලම හැදෙන එක තමයි තවමත් නොකෙරුණේ.“

ගැමියෝ මැසිවිලි නඟති.

අපට උඩුකුඹුර ගම හමුවන්නේ මහියංගණ කොළඹ පාරේ ගොස් තිස් පහ හන්දියෙන් බැස ගිය විටය. එවිට උඩුකුඹුර ගමට කෙටි මාර්ගයෙන් ඉක්මනින් යෑමට පුළුවන. නමුදු ඒ ගමන ප්‍රමාද වන්නේ පාලම අබලන් බැවිනි. උඩුකුඹුර ගමට යාමට තවත් මාර්ගයක් තිබේ. ඒ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලින් ඇති පාර ය. ගමට යන්නට බස් රථයක් නැති හෙයින් ගමට යායුත්තේ ත්‍රීරෝද රථයකිනි. නමුත් ඒ යාහැක්කේද ගම කෙළවරට පමණි.

“ගමට යන්න ත්‍රීවිල් එකට රුපියල් දාහට වඩා වියදම් වෙනවා. අපි හරිම අමාරු තත්ත්වයකට පත්වෙලා ඉන්නේ. “

තවමත් නගරයේ අරුමෝසම් වලින් විකාර නොවූ උඩුකුඹුර ගම ගැමිසිරිය අතින් ඉහළය. ගොඩ මඩ ගොවිතැනින් ජීවිකාව ගෙනයන ගැමියන්ට ඇති එකම ගැටලුව ගමට යන්නට ඇති පාලම ඉදි නොවීමය.

“පෝප් පිටිය පාලමට මුල්ගල තිබ්බේ දෙදහස් දොළහ අවුරුද්දේ. අපිට හීනයක් හැබෑ වුණා වගේ අලුතින් පාලමක් හැදෙන එක. ගමේ අයත් උදව්වට ආවා. මුල් දවස්වල ඉක්මනින් වැඩ කෙරුණා. ඒත් තවමත් පාලම හදලා ඉවර නැහැ. වැස්සහම මහ ඔය උතුරලා යන්න පිරෙනවා. දැන් පාලමේ ලෑලි හොඳටම දිරලා. මගෙ පුතා ඉස්කොලේ ඇරිලා එද්දි පාලමේ ලෑල්ලක් අස්සෙන් වැටෙන්න ගියා. මම ඒ ළඟම හිටපු නිසා එදා දරුවා බේර ගන්න පුළුවන් වුණා. දැන් ළමයි ඉස්කොලේ යනකොට හැමදාම අම්මා තාත්තා පාලම ගාවට එනවා. දරුවෝ තනියම යවන්න අපට බයයි. මේ පාලමත් එක්කම මේ අවට හදන්න ගත්ත අනෙක් පාලම් ඔක්කොගෙම වැඩ ඉවරයි. අපිට තමයි මේ අසාධාරණය වුණේ.“

ගුණතිලක පවසන්නේ කනගාටුවෙනි.

උඩුකුඹුර ගැමියන් ජීවත් වන්නේ කෘෂිකර්මාන්තයෙනි. ඔවුන්ගේ ජීවිත අබලන් පාලම කොතෙක් බලපෑම් කර ඇතිදැයි තේරෙන්නේ මේ කතා ඇසු විටය.

“අපේ ගමේ පස හරිම සාරවත් ඕනෑම දෙයක් වැවෙනවා. අපි බෝංචි, තක්කාලි, බටු මිරිස් වගේම කුරක්කන් වවනවා. මේ දේවල් පොළට අරන් යනවා. වෙළන්දොත් ගමට එනවා. නමුත් දැන් ගමට එන්න හරි මඟක් නැති නිසා වෙළෙන්දෝ එන්නේ නැති තරම්. අපි වෙළෙන්දන්ව ගෙන්න ගන්නේ පණිවිඩයක් යවලා. වෙළෙන්දා එන්නේ පාලම ළඟට විතරයි. අපි එළවළු ගෝනි ටික අරගෙන පාලම ළඟට ආවට පස්සේ තමයි වෙළෙන්දා ගාන කියන්නේ. එයා කීයයි කිව්වත් අපි දීලා යනවා. මහියංගණය පොළට යනවා නම් මහ පාන්දර යන්න ඕන. පේනවනේ පාලමේ හැටි. කළුවරේ යන්න අමාරුයි. මේ නිසා දැන් අපිට අපේ අස්වැන්නට හරිහමන් මිලක් ගන්නවත් බැහැ. කාලෙකට වඳුරන්ගෙන් රිළවුන්ගෙන් හරිම කරදරයි. අවුරුද්දේ මේ කාලෙට හැමදාම මේ ප්‍රදේශයට තද හුළං. ඒ කාලෙට අපි කිසිම දෙයක් වගා කරන්නේ නැහැ. “

සෙනෙහෙ මාමා පවසන්නේ ගැමියන්ට විදින්නට සිදුව ඇති දුක් ගැහැටය.

දරුවෝ ඉස්කෝලේ යන්න ඕන. පන්ති යන්න ඕන. එයාලා පාන්දර ගියාම එන්නේ රෑවෙලා. ඒ නිසා අපි ටික දවසක් උඩුදුම්බර පදිංචි වෙලා හිටියා. ගමට පාලමක් ලැබෙනවා කිව්වම අපි හුඟක් සතුටු වුණා. පාලමේ වැඩ කෙරෙනවා දැක්කම අපි තවත් සතුටු වුණා. ගමට පාලම හැදෙනවා කිව්වම සමහරු නම් විරුද්ධ වුණා. එහෙම වුණේ ත්‍රීවිල්වලට පාඩු වෙන නිසා. පාලමේ වැඩවලට අවශ්‍ය යන්ත්‍ර ගේන දවසේ ගමේම අය ඒකට උදව් කළා. පාරවල් පටු නිසා ඒ විශාල යන්ත්‍ර පාලම ගාවට ගන්න ගොඩක් මහන්සි වෙන්න සිදු වුණා. දැන් අමාරුම හරිය කෙරිලා ඉවරයි. යකඩත් දාලා තියෙන්නේ. එත් මේ වැඩේ තාමත් අතරමඟ.“

සීලවතී කුමාරි පවසන්නේ ඉදිවෙමින් පවතින පාලමේ අලුත්ම තත්ත්වය ගැනය.

මේ ගැමියෝ තමන්ගේ නැතිබැරිකම් කියන්නේ නැත. ඔවුන්ට ඇත්තේ එකම ඉල්ලීමකි. ඒ තමන්ට ඉක්මනින් පාලම ඉදිකර දෙන ලෙසය. දැන් දැන් ගොවිතැන් කටයුතු වලට ද පාලම හරස් වී ඇත්තේය.

“පාලම හොඳට තිබුණ කාලේ අපි ගමේ කුඹුරු හාන්න අත්ට්‍රැක්ටර්, මී ගවයෝ ගෙනිච්චේ පාලමෙන්. පාලම අබලන් වුණාට පස්සේ අපි හරිම අමාරුවක වැටුණේ. ඔයේ වතුර හිඳුණු කාලෙට නම් කඹයක් දාලා ගවයෝ ටික එහා මෙහාට දක්ක ගන්නවා. අපි ගවයන්ව දක්කන්නේ පාලමේ ඉඳගෙන. නමුත් දැන් ඒක කරන්න හැටියක් නැහැ පාලම අබලන් නිසා..“

ජයතිස්ස පවසන්නේ පොදුවේ කාටත් ඇති ප්‍රශ්නය. ගැමියෝ සුසුම්ලති. ඒබාගෙට නවතා දමා ඇති පාලම දෙස බලාගෙනය.

“නැන්දේ, අපේ පාලම ඉක්මනට හදලා දෙන්න කියන්න.“

වැඩිහිටියන් මැද්දෙන් ඉදිරියට පැමිණි පාසල් දරුවෙකු පැවැසුවේ ගමට පාලම කොයිතරම් වැදගත්ද යන්න අපට ඒත්තු ගන්වමිනි.

ගැමියන්ගේ දහසකුත් ප්‍රශ්න හමුවේ අප උඩුකුඹුරෙන් පිටත්ව ආයේ පාලමේ වැඩ නිම කරවන්නට අපට කළ හැක්කේ කුමක්ද යන්න ගැන නැවත නැවත සිතමිනි.

පසුව ලියමි.

උඩුකුඹුර ගමේ පාලම ගැන සිළුමිණට ද කියන්නට කතාවක් ඇත. අතීතයේ දවසක එනම් 2012 වසරේ දිනෙක අප මේ ගම්මානයට ගියේ එහි සුන්දරත්වය හා බක්මහ අසිරිය ගැන ලියන්නටය. ඒ වන විටත් අබලන්ව පැවති පාලම ගැන ද ලිපියේ සඳහන් විය. උඩුකුඹුර ගමට නව පාලමක් සාදන්නට ග්‍රාමීය පාලම් අංශය ඉදිරිපත් වන්නේ ඉන් පසුවය. උඩුකුඹුර ගැමියෝ අපට විටින් විට කතාකොට පාලමේ වැඩ කටයුතු පිළිබඳ තොරතුරු දැන්වූහ. අලුතින් ඉදිවන පාලම ගැන ඔවුන් කතා කළේ උද්යෝගයෙනි. ගෙවී ගිය කාලය වසර හයකි. තවමත් පාලමේ වැඩ අවසන් නැත. මේ පිළිබඳ විටින් විට අපි ද ග්‍රාමීය පාලම් අංශයට කතා කළෙමු. “ඉක්මනින් ඉවර කරන්නම්”. ඒ කතාකළ හැම විටෙකම අපට ලැබුණ පිළිතුරයි. නමුදු පාලම තවමත් එකතැනය. මීට මාසයකට පෙරද අපි එහි අධ්‍යක්ෂවරයා ඇමතුවෙමු. “ හොයලා බලලා කියන්නම්” ඒ අප ලද උත්තරයයි. බලධරයිනි, මේ පිළිබඳ ඔබේ අවධානය යොමු කරන්න. පාලම නිම කිරීමට ඉතිරිව ඇත්තේ සුළු වැඩ කොටසක් පමණි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »