කුණු කන්දක් වූ සිටා­රුම් ගඟ

2018-06-14 11:16:00       365
feature-top
තවත් ලෝක පරිසර දිනයක් අවසන් වුණා. මෙවර අපේ රටේ පරිසර දින තේමාව වුණේ ප්ලාස්ටික්වලින් තොර පරිසරයක් යන්නයි. මේ පරිසර දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පොලිතීන් තහනම් කිරීමට ගත් තීරණය ගැන පැහැදිලි කළා. ඇත්තටම ඒ විදිහට පොලිතීන් තහනම් නොකරන්නට නුදුරු අනාගතයේදී අපේ රටේ ගංගා, ඇළ දොළ පොලිතීන් ඇතුළු කැළි කසළ වලින් පිරී ඉතිරී නොයාවි යැයි කාටවත් තර්ක කරන්නට බැහැ. මේ පින්තූර වල දැක්වෙන ලොව දූෂිතම ගංගාව දකින විට ඔබට ඒ බව හොඳින්ම වැටහේවි.

ජාවා හි සිටාරුම් ගඟේ ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන් මෙලොව සිටින අවාසනාවන්තම ධීවරයන් පිරිසක් ලෙසින් හඳුන්වන්නට පුළුවන්. ඒ සිටාරුම් ගඟේ මත්ස්‍යයින් අඩු නිසාම නොවෙයි. මත්ස්‍යයකු තියා එහි ජලයවත් නොපෙනෙන තරම් එම ගඟ ප්ලාස්ටික් කැළි කසළවලින් අපවිත්‍ර වී තිබීම එයට හේතුවයි. මේ හේතුව නිසා වරක් ධීවරයන් වී සිටි බොහෝ පිරිසක් දැන් කසළ එකතු කරන්නන් බවට පත්වී තිබෙන්නේ කුණු කන්දක් බඳු සිටාරුම් ගඟෙහි පාවෙන වීදුරු වැනි වටිනා කසළ එකතු කිරීම මසුන් ඇල්ලීමට වඩා මුදල් ලැබෙන මාර්ගයක් වීම නිසායි. දිනපතා ටොන් විසි දහසකට නොඅඩු කැළි කසළ ප්‍රමාණයක් හා ටොන් තුන් ලක්ෂ හතළිස් දහසක පමණ අපවිත්‍ර ජලය මෙම ගඟට එක් වන්නේ ඇඟලුම් කර්මාන්තශාලා දෙදහසකට අධික ප්‍රමාණයක් තම කසළ බැහැර කිරීම නිසායි.

ඉන්දුනීසියාවට අයත් ජාවා හි තෙවැනි විශාලතම ගංගාව වන මෙම ගංගාව කොතරම් අපවිත්‍ර වී තිබුණත් තවමත් දිනපතා මිලියන 25කට අධික ජනතාවක් තම කෘෂිකාර්මික, ජල හා විදුලි අවශ්‍යතා සඳහා මෙම ගංගාව මත යැපේ. වරක දර්ශනීය ගංගාවක් වී තිබූ මෙහි දැන් ජලය අපවිත්‍ර ජලයෙන් වර්ණ ගැන්වී තිබෙන අතර මෙහි විසූ මත්ස්‍යයින් ගෙන් 60%ක් පමණ විනාශ වී ගොස් තිබේ. ඉන්දුනීසියාවේ විශාලතම ජලාශයට ජලය සපයන්නේ ද මෙම ගංගාව මගිනි.

කුඹුරු හෙක්ටයාර ලක්ෂ 4 ක් මෙම ජලයෙන් පෝෂණය ලබයි. ඇමෙරිකානු විද්‍යාඥයන් පිරිසක් 2013 වසරේදී සිදු කරනු ලැබූ පර්යේෂණයක් මගින්සොයා ගෙන තිබෙන්නේ මෙහි ජලය ඇමෙරිකානු පානීය ජලය මෙන් දහස් වරක් අපවිත්‍ර බවයි. වර්තමානය වන විට එහි ජලය තවත් අපවිත්‍ර වී තිබෙන බව පෙනී යන්නේ ගංගාව අවට සිටින බොහොමයක් ජනයා චර්ම රෝග වලින් පීඩා විඳීම නිසායි. මීට අමතරව ඔවුන්ගේ වගා භෝග ද පරිහානියට පත් වී යන්නේ මෙම ජලය බොහෝ සෙයින් අපවිත්‍ර නිසායි.

මෙම ගංගාව යළි පෙර තිබූ තත්වයට ගෙන ඒමට කටයුතු කරන බව මීට මාස දෙකකට පෙර එරට ජනපති පවසා තිබෙනවා. ඒ අනුව 7100 ක යුද හමුදා සෙබළුන් පිරිසක් ගංගාව පිරිසුදු කිරීමේ කාර්යය සඳහා යොදවා තිබෙන්නේ වසර 2025 දී මෙම ගංගාවේ ජලය බීමට සුදුසු තත්වයට ගෙන ඒමේ අරමුණ ඇතිවයි. ගස් මිලියන 25 ක් හා පඳුරු මිලියන 100ක් ගං ඉවුරේ සිටුවීමට සැලසුම් කර ඇත්තේ ද මෙම පිරිසුදු කිරීමේ කාර්යයේ තවත් එක් පියවරක් ලෙසටයි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »