පින් ක­ර­නවා වැඩියි කියලා මාව අංගො­ඩත් නැවැ­ත්වුවා!
240 වතාවක් ලේ දන් දුන් උපුල් කියයි

2018-06-12 10:34:00       549
feature-top
සුනාමියත් සමග ඔහු පෙම්වතෙක් විය. එහෙත් දනට පිනට ළැදි ඔහුගේ ක්‍රියාවන් පෙම්වතියට ගැළපුණේ නැති නිසා ඔහු ආදර සුනාමියක ද ගොදුරක් විය. අතේ සතේ නැතිව ගියද ඔහුගේ ලේ දන් දීමේ ක්‍රියාව නතර කරන්නට කිසිවකුට නොහැකි විය. අද ඔහු ලංකාවේ වැඩියෙන්ම ලේ දන් දුන් පුද්ගලයා ය.

දවස 1991 අවුරුද්දේ 26 වැනිදායි. යටගම ගමගේ නන්දන උපුල් කුමාර නම් දහ අට හැවිරිදි හිතුවක්කාර කොලුවෙක් එදා කරාපිටියේ සිට කොළඹ එන්නට පිටත් වුණේය. මේ හදිසි පිටවීමට නිමිත්ත මහගෙදරදී අම්මා සමඟ ඇතිකර ගත් හිත් අමනාපයකි. කරාපිටියෙන් ගාලු ටවුමට අවුත් කොළඹ බස් රියට ගොඩවෙන තැන තෙක් පාර දැනහිටියාට කොළඹ ගිහින් කරන්නේ කුමක්දැයි අදහසක් ඒ කොලුවා තුළ තිබුණේ නැත.

කොළඹ කියන වචනයත් එක්ක ඊළඟට ඔහුට මතකයට එන්නේ "වීරතුංග"ගේ නමය. ගමේ යාළුවකු වූ වීරතුංග ඒ වනවිට කොළඹ මුද්‍රණාලයක රස්සාවක් කරන බව උපුල් දැන සිටියේය. වීරතුංග හොයාගන්නට පුළුවන් වුණොත් රෑට නිදන්නට තැනක් හමුවනු ඇත. කොළඹ කොටුවෙන් බස් රිය ගමන අවසාන කළ තැන සිට පාර අහමින් ආ කොලුවාට මරදානේ ඩියුක් මුද්‍රණාලයත් එතැනදී වීරතුංගත් වාසනාවකට මෙන් මුණගැසුණේය.

අම්මා සමඟ බහින්බස් වී පාරට බහින වෙලාවේ ගෙදර සිල්ලර කඩේ ලාච්චුවෙන් සාක්කුවට ඔබාගත් රුපියල් දෙසියයක් ඔහු අත තිබිණි. ඒ දෙසීය ඉවර වෙන්නට කලින් වියදමට කීයක්වත් උපයා ගත යුතුව තිබේ. රැකියාවක් ගැන ඔත්තුවක් දී ඒ කටයුත්තට මඟපෙන්වන්නා වී තිබුණේත් වීරතුංගයි. මරදානේ සිරිල් පෙරේරා සහ සමාගමේ දැන්වීම් පුවරු නිර්මාණ ශිල්පියකු හැටියට උපුල් එතැන් පටන් ජීවිතය තනිවම පින්තාරු කරන්නට පටන්ගත්තේය.

වැඩපොළේ යාළුවෙකුගේ තාත්තා කෙනකු හදිසියේ ගිලන්වී කොළඹ මහරෝහලේ ප්‍රතිකාර ලබනබවත් ඔහුට ලේ වුවමනාවී තිබෙනා බවත් කියා දවසක් වැඩපොළට පණිවිඩයක් ලැබිණි. කවුරුත් ඒ ගැන උනන්දු නැති නිසා "මම ලේ දෙනවා"යැයි කියා උපුල් ඉදිරිපත් වූයේය. වයස හරියටම අවුරුදු දහ අටක් විතරක් වුවත්, බර හරියටම කිලෝ පනහක් විතරක් වුණත් උපුල් සතුව ලොකු හදවතක් තිබිණි. "ඒයි හාල්මැස්සා. ඉස්පිරිතාලෙන් උඹට ලේ ටිකක් දීලා එවාවි"යැයි කියා යාළුවන් ඔච්චම් කළත් ඉස්සරහට තැබූ පය ආපස්සට ගත්තේ මේ පුත්‍රයා නොවේ!

"මුලින්ම ලේ දීපු දවස මට හොඳට මතකයි. ඒ අනූදෙකේ ජනවාරි විසි අටවැනිදා. වැඩපොළේ ඉඳන් මම පයින්ම මහරෝහලට ඇවිදගෙන ගියා. ලේ දෙන්න වාඩිවෙන හාන්සි පුටු, වයර්, කටු, බට දකිද්දි පපුව වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා.

"ප්‍රෙෂර් ටිකක් වැඩියි පුතා, ඔහොම ටිකක් හාන්සිවෙලා ඉඳලා අපි ලේ ගනිමු "කියලා එතැන වෛද්‍යවරු කිව්වා. ඔන්න ඔහොමයි මම ලේ දීපු පළමුවැනි දවස ගැන මතකය. දැන් නම් මතක් වෙද්දි හිනාත් යනවා" අවුරුදු විසිහයක් පැරණි, අතීතයක් ගැන කියමින් උපුල් කතාව ඇරඹීය.

මේ සතියේ එළැඹෙන ජුනි 14 වැනිදාට ජාත්‍යන්තර රුධිර පාරවිලයන දිනය යෙදෙයි. මේ වනවිට උපුල් තමගේ සිරුරෙන් ලේ දන් දී ඇති වාර ගණන 240කි. ජීවිතය මිටෙන් ගිලිහෙමින් තිබියදී උපුල් නිසා යළි ජීවිතය ලැබූ මිනිස්සු ගණන දෙසිය හතළිහකි. ශ්‍රී ලංකාවේ වැඩිම වාර ගණනක් ලේ දන් දුන් මිනිසා යන හැඳින්වීම උපුල්ගේ නම ඉදිරියෙන් වෙයි.

එය පහසු පාරමිතාවක් නොවේ. වේදනාබර අසීරු ව්‍යායාමයකි. ඔහොම කාලය ගෙවිලා යනකොට අතමිට හොඳට සරු වුණා. හිතේ තිබුණු අමනාපකම් දුරු කරලා අම්මා එක්ක ආපහු යාළු වුණා. මේ අතරේ කෝට්ටේ පැරකුම්බා පිරිවෙනේ හිටපු හිතවත් හාමුදුරු නමකගේ උපකාර ඇතුව මගේම ව්‍යාපාරයක් පටන් ගත්තා. " ව්‍යාපාරය ගැන හිත යොමුකළා මිස මට ජීවිතේ තනිකම ගැන හිතන්න වෙලාවක් තිබුණේ නෑ. එහෙම කෙනෙක් හමුවුණේ 2004 දෙසැම්බර් 26 වැනිදා. හරියටම සුනාමි දවසේ අඳුන ගන්න ලැබුණ ගැහැනු ළමයෙක් ගැන මට හිතවැටුණා." උපුල්ගේ දෑසේ ඇඳෙන්නේ සතුටක්ද දුකක්දැයි පැහැදිලි නොවේ. ඔහු කතාව දිගටම කරගෙන යයි.

"අපි විවාහ වෙන්න තීන්දු කරගෙන හිටපු නිසා මම සැකයක් නැතුව ඒ ළමයගෙ නමත් දාලා උදිත් ක්‍රියේෂන් නමින් හවුලේ ව්‍යාපාරය දියුණු කළා. ඒ වෙනකොට ඇලුමිනියම් ෆැබ්රිකේටින්, ගොඩනැගිලි ඉදිකිරීම්, ග්‍රැෆික් නිර්මාණ, ඩිජිටල් පේන්ටින් පැත්ත දක්වාම ව්‍යාපාරය මම පුළුල් කරලා තිබුණේ. මේ අතරේ මම නොකඩවාම ලේ දන්දීම හැම මාස තුනකට වතාවක්ම කරගෙන ගියා. බුදු දහම පැත්තට වැඩියෙන් යොමු වුණා."

"අර මම බඳින්න හිටපු ගෑනු ළමයට මේ දේවල් නුරුස්සන්න ගත්තා. ලේ දන් දීමයි, බුදු බණ ගැන කතා කරන එකයි මගේ මනෝ විකාරයක් කියලා එයා මාත් එක්ක රණ්ඩු කළා. අන්තිමේ එයාගේ නෑදෑයො එක්ක එකතුවෙලා මාව අංගොඩ මානසික රෝහලේ නැවැත්තුවා. මට කිසිම අසනීපයක් තිබුණේ නෑ. එතැන වෛද්‍යවරු දවස් දාසයක නිරීක්ෂණ වැඩසටහනකට මාව යොමු කරලා අසනීපයක් නෑ කියලා මාව ගෙදර යැව්වා."

"මම ගෙදර යනකොට අර ගෑනු ළමයා අපේ හවුල් ව්‍යාපාරයේ වත්කම් ඔක්කොම හොරකම් කරලා කොහේදෝ හැංගිලා. එළියට ආපු ගමන් නඩු දැම්මත් ප්‍රයෝජනයක් වුණේ නෑ. මම බින්දුවටම වැටුණා." සුනාමිය දවසේ මුණගැහුණු හිතවතිය ජීවිතයට සුනාමියක් කැටුව අවුත් තිබිණි. උපුල්ගේ හිත හදන්නට අන්තිමේ ඉතිරිව තිබුණේ අම්මා පමණි.

"එදා ඉඳන් විවිධාකාරයේ රස්සාවල් කළා. වඩුමඩුවක වැඩ කළා. කැත්තෙ උදැල්ලෙ වැඩ කළා. බස් කොන්දොස්තරකමත් කළා. ඔහොම සල්ලි ඉතුරු කරලා බත්තරමුල්ලෙ කොස්වත්තේ "උදිත් ක්‍රියේෂන්"නමින්ම ආපහු ව්‍යාපාරයක් පටන් ගත්තා. මොන සුනාමිය ආවත් නොකඩවා හැම මාස තුනකටම වතාවක් ලේ දන් දුන්නා.."

"2008 අවුරුද්දේ මම දැනගත්තෙ රුධිර පට්ටිකා දන් දීම හැම සති දෙකකට වතාවක්ම කරන්න පුළුවන් බව. එතැන් පටන් අද වෙනකල් නොවැරදීම හැම සති දෙකකට වතාවක්ම මම රුධිර පට්ටිකා දන් දෙනවා. මේ සතියේ ලේ දන් දෙන්නෙ 240 වැනි වතාවට. මහරගම අපේක්ෂා රෝහලේ සහ නාරාහෙ­්න්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථනයේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ අය මාව පිළිගන්නෙ හොඳ හිතවතෙක් වගේ. බී පොසිටිව් පට්ටිකා වුවමනාවක් ආපු ගමන් ඒ මහත්තුරු මට කෝල් එකක් දෙනවා. මොන වැඩේ තිබුණත් දවසේ මොන වෙලාවේ වුණත් මම එන බව එයාල දන්නවා."

"සමහරවිට ලේ ඉල්ලුම්කරන රෝගියා දෙමළ, මුස්ලිම් කෙනෙක් බව මම නමින් දකිනවා. කාට වුණත් මම ලේ පරිත්‍යාග කරන්නෙ හරිම සන්තෝසෙන්. ජාතිය ආගම මොකක් වුණත් කාගෙ ඇඟෙත් දුවන්නෙ එකම ලේ." උපුල් කියන්නේ හරියට පාඩමක් කියාදෙන විලාසයෙනි.

"හැබැයි මම කිසිම දවසක මගේ ලේ ප්‍රයෝජනවත් වෙන ලෙඩා කවුද කියලා හොයන්න උනන්දු වෙලා නෑ. කොටින්ම මේ දෙසිය හතළිස් වතාවටම මම ලේ ගත්තු ලෙඩෙක් දැකලා තියෙන්නෙ එකම එක වතාවයි. ලේ පිළිකාවක් හැදිච්ච මහරගම අපේක්ෂා රෝහලේ නේවාසික දුවෙකුට ලේ දුන්නම ඒ දරුවගෙ තාත්තා මාව බලෙන්ම එක්කන් ගිහිල්ලා ලෙඩාව පෙන්නුවා. අවුරුදු හතයි. හිසේ එක කෙස්ගහක්වත් නෑ. මට සංසාරෙ ගැන වැඩියෙන්ම බය හිතුණෙ එදා." ඔහු පවසයි.

"සති දෙකකට වතාවක් ලේ දෙන්න නම් අපි හොඳ සෞඛ්‍යයෙන් ඉන්න ඕන. මම දවසකට කිලෝමීටර් හතරක්වත් පයින් ඇවිදිනවා. හැබැයි මම මතක ඇති කාලේ පටන් නිර්මාංසාහාරිකයි. ඒක මට තාත්තාගෙන් ආපු පුරුද්දක්. නිර්මාංස නිසාම මට මේ අවුරුදු හතළිස් පහටම ලෙඩක් තිබිලා නෑ. ප්‍රෙෂර්, කොලෙස්ට්‍රෝල්, දියවැඩියාව නෑ."

උපුල් පවසන්නේ සැහැල්ලුවෙනි. මරණින් මතු ඇස් සහ සිරුර දන් දී නිදහස් වීම උපුල්ගේ ලොකුම බලාපොරොත්තුවයි. එතෙක් ඒ සිරුරෙහි සම්, මස්, නහර හරහා දිවෙන්නේ මිහිපිට මිනිසෙකුට ඇතැයි හිතන්නට බැරි තරම් වටිනා මනුස්සකමයි.



උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »