සුව සේ නිදන්න සතු­න්ටත් ඉඩක්

2018-06-06 09:32:00       572
feature-top
ස්ථානය මට්ටක්කුලියේ කාක දූවයි. මට්ටක්කුලියේ කාක දූව ගැන කලක් මිනිසුන් කතා කළේ භීතියෙනි. ඒ ‍රීටා ජෝන් ඝාතන සිදුවීමත් සමඟය. කලක් මිනිස්සු කාක දූව කියන නමට ද බියවී සිටියහ. නමුදු දැන් තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් ය.අද කාක දුව වෙරළ තීරය බෙහෙවින් සුන්දරය.

මේ කතා කරන්නට සුදානම් වන්නේ ඒ සුන්දර වෙරළ තීරය පිළිබද නොවේ. කාක දූපතේ ඇති මේ කියන්නට යන කතාව ඔබ ඇතැම් විට දන්නවා ද නොදන්නවා ද වන්නට ඇත. එය හරි අපුරු කතාවකි. එනම් ‘සුරතල් සත්ව සුසානභූමිය’යි. මෙය අපට නුහුරු අත්දැකීමකි. අප රටෙහි අප සංස්කෘතියට නුහුරු අත්දැකීමකි.මේ සුරතල් සත්ව සුසාන භූමිය පිළිබඳ කතා කරන්නට අප එක්කර ගත්තේ වෙරළ උද්‍යාන කළමනාකරණ සමිතියේ හිටපු සභාපති බර්ට්‍රම් මාස් මහතා ය.

“කාක දූව වෙරළ උද්‍යාන කළමනාකරණ සමිතිය ආරම්භ කරන ලද්දේ දෙදහස් දහය වසරේදීය. කලකට පෙර වල් බිහි වුණු මේ වෙරළ ප්‍ර‍දේශය අද සැබැවින්ම සොඳුරුය. ඒ වගේම විවිධ අපරාධ -අපචාරවලට නම ගිය ප්‍රදේශයක්. පස්සේ ලෝක බැංකුවේ ආධාර ඇතුව මේ ප්‍රදේශය සංවර්ධනය කෙරුණා.බල්ලන් ප්‍රධාන කරගෙන සුරතල් සතුන්ට සොහොනක් හදන අපි කිහිප දෙනෙක්ට ආපු අදහසක්.

ඉස්සර බල්ලෙක් මැරුණම බීච් එකට ගෙනත් දානවා.නැත්තන් බීච් එක අයිනේ ගැඹුරට වළක් හාරන්නේ නැතුව වළදානවා. කලකට පෙර මේ ප්‍රදේශයේ සෑහෙන්න ඌරෝ හිටියා. ගැඹුරට වළවල් හාරන්නේ නැතිව මියගිය බල්ලන්ව වළදමනවා.ඌරෝ මේ වළවල් හාරලා මළකුණු උඩ දානවා. මුළු පළාතම ගඳයි. ඒක පරිසර දූෂණයක්. අනෙක් කාරණය ඒක මැරුණ සතාටත් අගෞරවයක්.

උගේ ආත්මෙට නින්දාවක්. මට ලොකු කණගාටුවක් ඇති වුණා. උන් සත්තු වුණාට ඒ අය අපිට හරි හිතවත්. අපේ යාළුවෝ. එහෙම ඉන්න සුරතල් සතුන් මිය ගියාම ඒ අය ගෞරවාන්විතව භූමිදානය කරන්න තැනක් නෑ. අපි ඒ අඩුව පිරෙව්වා. ඒකෙන් ප්‍රයෝජන දෙකක් වුණා. එකක් පරිසර දූෂණය. අනෙක් එක මිනිහෙක් විදිහට අපිට තියෙන හෘදය සාක්ෂිය.

අපේ සුරතලාට අවසන් යුතුකම කළා කියන ආත්ම තෘප්තිය ඇතිවෙනවා.” මිනිසකුටවත් සතෙකුට තරම් නොසලකන, ගෞරව නොකරන සමාජයක මෙවැනි මිනිසුන් ද සිටින බවට කදිම නිදසුනකි, මාස් මහතා.

හෙක්ටයාර 7.8 ක් පුරා ව්‍යප්තව ඇති දකුණු ආසියාවේ විශාලතම වෙරළ උද්‍යානය වන කාක දූව භූමිය තුළ පිහිටි ඍජුකෝණාස්‍රකාර කුඩා භූමි තීරුව “බලු සොහොන” යනුවෙන් නම් කොට මියගිය සුරතල් සතුන් මිහිදන් කිරීම සඳහා වෙන් කොට ඇත. කුඩා ස්තම්භ පීඨිකාවක් මත සුරතල් සුනඛයකුගේ මැටි ප්‍රතිමාවක් නගා ඇති අතර, ඊට සමීපයේ මෙවැනි පෝස්ටරයක් පින්තාරු කොට ඇත.

“සුරතලුනි, නුඹලා අපගේ මිතුරන් විය. නුඹලාගේ ආත්මයට ශාන්තියක්ම වේවා” ශ්‍රී ලංකාවේ ඇති ප්‍රථම හා එකම සුරතල් සත්ව සුසාන භූමිය පිළිබඳ අප නොයෙක් ‍කතා අසා තිබිණි. ඒ පිළිබඳ අප නිසි ලෙස දැනුවත් කෙරුවේ සත්ව සුසානයක් බිහිකිරීමේ ක්‍රියාවලියේදී සක්‍රියව දායක වූ ගාමිණී හේවගේ මහතාය.

“අපිත් එක්ක එකට දීර්ඝ කාලයක් හිටපු නෑයෙක්-මිත්‍රයෙක් මිය ගියාම අපිට කොච්චර දුකක් වේදනාවක් එනවාද? අපේම ගෙදර -අපේම නෑයෙක්, යාළුවෙක් වගේ කාලයක් තිස්සේ හැදුනු සුරතලෙක් මිය ගියාමත් ලොකු වේදනාවක් එනවා.

ඒක සත්තු හදන ඕනෑම කෙනෙක් දන්න දෙයක්. ඒ දුක ටිකක් හරි සටහන් වෙනවා අපිට ඒ සතාට ගෞරවාන්විත අවසන් කටයුත්තක් කරගන්න ලැබුණොත්. මේක අපි පටන් ගත්තේ ඒ අදහස ඇතිව” ඔහු කියයි.

මෙය කියවා ගෙන යන ඔබට ඇති විය හැකි සාධාරණ පැනයක් ඇත. ඔව්. ඒ පැනය අපට ද ඇති විය. එනම්, අපගේ සුරතලකු මිය ගියහොත් මෙතැනට ගෙන ආ හැකි ද? යන්නයි. අපි එම පැනය ගාමිණී මහතාගෙන් විමසුවෙමු.

“ඔව්, සැබවින්ම පුළුවන්. මේක විවෘත අවකාශයක්. රාජගිරිය - වත්තල වගේ ප්‍රදේශවල ඉඳලත් ස්වාමියන් එයාලගේ මිය ගිය සුරතල් සුනඛයන්ව මෙතෙන්ට ගෙනත් භූමදානය කරලා තියෙනවා. කිසිදු අය කිරීමක් කරන්නේ නෑ. අවශ්‍ය වෙන්නේ ඔබ ඔබේ සුරතලා එක්ක තියෙන මානුෂීය බැඳියාව පමණයි” යන්න ඔහුගේ පිළිතුරයි.

ධනවාදී අර්ථ ක්‍රමය විසින් මිනිසා අධි ධාවනකාරී තරග බිමක ධාවකයකු බවට පත් කොට හමාරය. මේ තරගය තුළ මිනිසා වෙළෙඳපොළ ඉලක්ක කොට ගනිමින් අනවරත ධාවනයක යෙදෙන අතර, කරුණාව -දයාව -රසවින්දනය -මිනිසත්බව ආදී පුරුෂාර්ථ රැසක් මිනිසාගෙන් ගිලිහී ගොස් ඇත.

මෙවැනි සමාජ කතිකාවක් තුළ ගාමිණී මහතා ඉහතින් ප්‍රකාශ කළ සුරතල් සතා සමඟ ඇති මානුෂීය ගනුදෙනුව විහිළුවක් විය හැකිය. එහෙත් මේ සත්ව සුසාන භූමිය කුණු වූ සමාජයක් තුළ වුව, මානුෂීය මුල් වියළී නොගිය බවට කදිම නිදසුනකි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »