කොළඹ රජ­ වුණු අසන් නානාගේ අච්චාරු වට්ටෝ­රුව

2018-06-05 10:19:00       364
feature-top
කොළඹ නගරයේ පාට පාට ගොඩනැගිලි රාශියකි. ඒ පාට පාට ගොඩනැගිලි අතරේ පාට පාට කෑම ජාති තබාගෙන විකුණන මිනිස්සුද බොහෝයි. එවැනි පිරිසකි අච්චාරු වෙළෙන්දෝ. කොළඹ නගරයේ විවිධ ස්ථානවලදී හමු වී කන අච්චාරු පිටුපස ඇති කතාවයි මේ.

පාසල් දරුවන් විවේකයේදි‘කැන්ටිමට‘ දුවන විට මට මගේ පාසල් කාලය සිහිවේ. ඒ සොදුරු ළමා වියේ අම්මාගෙන් තාත්තාගෙන් ලැබෙන සොච්චම් මුදල රැගෙන අප දිව යන්නේ අච්චාරු වෙළෙන්දිය වෙතය. ඇගේ වට්ටියේ ඇති අඹ, අමු දිවුල්, තම්බපු වෙරළුවලට අපි එකල බෙහෙවින් ප්‍රිය කළෙමු. එදා අච්චාරු තිබුණේ ඒ ඒ පලතුරු කාල වලදි පමණි. ඇතැම් දිනවල ගෙදර ඇඹරැල්ලා ගහේ හොඳින් පැසුණු ගෙඩි කිහිපයකට ලුණු, ගම්මිරිස්, මිරිස් කුඩු දමා තළා රස කර කර කෑවෙමු. දැන් කාලය වෙනස්ය. කුඩා ඉඩම්වල පලතුරු වවන්නට ඉඩක් නැත. පලතුරු තිබුණද අච්චාරු හදන්නට වෙලාවක් නැත. එය එහෙම වුණත් කොළඹ පාරට බැස්ස විට, එහෙමත් නැත්නම් ප්‍රදර්ශන භූමියකට ගිය විට හෝ වෙනත් තැනකදී,විශේෂයෙන්ම කොළඹ කොටුවේ රතු පල්ලිය අසල මාවතේ දී නම් අච්චාරුවක් රස බැලීමේ අවස්ථාව ලැබේ. අව්ව වැස්ස ගාණක් නැතිව තියෙන අච්චාරු ලෑල්ලේ ඕනෑම පලතුරක් ඇත. අඹ, ඇබරැල්ලා, අන්නාසි, දිවුල්, වෙරළුවලට අමතර ව දැන් මේ අච්චාරු ලෑලිවලට ජම්බු, නෙල්ලි, නමිනං, ලොවි ආදි වූ පලතුරු එක් වී ඇත.

අච්චාරු අපේ රටේ කෑමක් නොවේ. එය අපට පිටරැටියන්ගෙන් ලැබුණ කෑමකි.

එනම් දූපතක් වීමේ අතුරු ප්‍රතිඵලයක් ලෙස අපට ඉතිහාසය පුරා වරින් වර එල්ල වූ විදේශ රාජ්‍යයන්ගේ ආක්‍රමණයන්හි ප්‍රතිඵලයකි. එම සෑම ආක්‍රමණයකදීම ඒ ඒ රාජ්‍යයන් අපට පුරුදු කළ හා බලහත්කාරයෙන් අප මත පැටවූ සංස්කෘතික චර්යා රැසක් අද දක්වාම සමාජය තුළ ශේෂව ඇත. එය සංස්කෘතික අධිරාජ්‍යවාදයක් මෙන්ම ඇතැම් විටෙක සංස්කෘතික සංකලනයක් ද වෙයි. සංස්කෘතික සංකලනය වඩාත් හොඳින් පෙන්නුම් කෙරෙන ක්ෂේත්‍ර දෙකක් ලෙස භාෂාව හා ආහාර පෙන්වා දිය හැකිය. ‘අච්චාරු’ එලෙසින් අපේ රටේ සංස්කෘතිය තුළ අපේ ආහාර රටාවට පෘතුගීසින්ගෙන් එකතු වූ ආහාරයකි.

රතට රතේ අච්චාරු ලෑලි වල තියෙන අච්චාරු දුටු ලොකු කුඩා කාටත් කටට කෙළ උනන්නේ නිරන්තරයෙනි. ඉස්සර වගේ වංගෙඩි වළ දමමින් කොටමින් වෙහෙසෙමින් අච්චාරු කන්ට වුවමනා නැත. දැන් වෙළෙඳ පොළේ අච්චාරු ඕනෑ තරම්ය. කොළඹ කොටුවේ දි කාගෙ කාගෙත් ඇහැයන අච්චාරු ලෑලි,කරත්ත කිහිපයක්ම ඇත්තේය. අච්චාරු වෙ‍ළෙඳාම තම ජීවන උපාය කරගත් ඒ තුළින්ම තම ජීවිතය ගැට ගසා ගත් මිනිසකු ගැන අපට අහම්බයෙන් දැන ගන්නට ලැබිණි. නියාස් නම් වූ ඒ මිනිසා සොයා ඉකුත් දිනෙක අපි කොළඹ කොටුවේ පළමුවන,දෙවන,විථි සරන්නට වූයෙමු.

කොළඹ අහස අඳුරු කරගෙන ධාරානිපාත වර්ෂා ඇද හැළෙයි. කොළඹ කොටු‍වේ එහෙ මෙහෙ යන මිනිසුන් නතර කිරීමට ඒ වැස්ස අපොහොසත් ය. යන ගමන පසෙක දමා වැස්සට ඉඩදී පැත්තකට වී සිටීම තේරුමක් නැත. වැස්ස කොයි මොහොතේ නතර වේදැයි කීමට නොහැකිය. එනිසා අතවූ කුඩය ඉහලාගෙන කොටුව දුම්රිය ස්ථානයෙන් එළියට පැමිණියේ හිස පමණක්වත් නොතෙමාගෙන අපේ ගමන යන්නට ය. දෙවන හරස් වීදියට පැමිණෙන විටත් අප හොඳටම තෙත බරිත වී සිටිමු. නමුදු ඒ වැස්සේ ද දෙවන හරස් වීදියේ සුපුරුදු කලබලකාරී බව වෙනදා සේම ය. ඒ කලබලකාර බව මැද්දේ අපි ඔහු සොයන්නට වීමූ. කඩිනමින් එහෙමෙහෙ යන ජනයා අතුරෙන් ඔහු සිටිනා ඉසව්ව සොයා ගැනීම අසීරුය. පාර දිගේ ගලන කළු පැහැ වතුර පාර පුළුවන් තරම් මඟ හරිමින් අපි දෙවන හරස්වීදියේ කෙළවරට පැමිණියෙමු.

පසෙකින් පෙනෙන්නේ රතු පල්ලියයි. රතු පල්ලිය ඉදිරියෙන් මිනිසුන් ඒ මේ අත යන්නේ කලබලයෙනි. රාමසාන් සමය නිසා මේ පෙදෙස තවත් කලබලකාරී වී තිබිණ. කලබලකාරී විදීයේ කෙළවරක නැවතී අප ඔහු සොයන්නට විණි. අවසානයේ ඔහුව දුටුවේය. පාරේ ඈත කෙළවරක කරත්තයක් නවතා‍ගෙන අච්චාරු වෙළදාමේ යෙදෙන ඔහු වටා කිහිප දෙනෙකුම රැදී සිටිති. අපි සෙමෙන් ඔහු සිටින දෙසට ගියෙමු.

“වැස්ස වූණාට මිනිස්සු මගෙ ගාවට එන එක නතර කරන්නේ නැහැ. පොඩ්ඩක් ඉන්න මම මේ අය පිටත් කරලා කතාකරන්නම්”නියාස් අපට පොරොන්දු වූයේය.

නියාස් එක් එක් අයගේ රුචිය පරිදි අච්චාරු ඇසුරුම් වල දමයි. බොහෝ වේලාවක් අප පසෙකට වී සිටියෙමු. නමුදු නියාස්ට විවේකයක් නොලැබෙන හැඩය. අපි ඔහුට ළං වීමූ.

“ඔහොම තමයි හැමදාම. විවේකයක් ලැබෙනවා අඩුයි. පුළුවන් විදිහට අපි කතා කරමු.”

ගැනුම්කරුවන් අස්සෙන් රිංගා ඔහු අසලට සමීප වූ අපට නියාස් කීවේය.

නියාස් අච්චාරු බෙදන අතරේම අප සමඟ ඔහුගේ තොරතුරු පවසයි. එක් දහස් නවසිය හැට නවයේදී උපන් නියාස්ගේ පදිංචිය ග්‍රෑන්ඩ්පාස්වල ය.

“මගේ තාත්තා පිටකොටුවේ පේමන්ට් එකේ කුලී වැඩ කළා. තාත්තා කුලී වැඩ කළාට තාත්තා ඒ ගන්න සොච්චමෙන් අපි කාලා බීලා සතුටින් හිටියා. මෙහෙම ඉන්න අතරේ තමයි තාත්තා එක පාරටම ගෙදර එන්නේ නැතුව ගියා. පස්සේ අම්මා මට කිව්වා පිටකොටුවට ගිහිං තාත්තා ගැන හොයලා බලන්න කියලා. ඒ නවසිය අසූ තුනේ. ඒ කාලේ රටම ගිනි ගන්නව. මං ඉගෙන ගත්තේ අල්නාසි මහ විද්‍යාලයට. රටේ කලබල හින්දා ඒ කාලේ ඉස්කෝලේ වේලාසනින් අරිනවා. එතකොට මං අවුරුදු දොළහක -දහතුනක විතර පුංචි කොල්ලා. තාත්තා ගෙදර එන්නේ නැති හින්දත්, අම්මා නිතර තාත්තව බලලා එන්න කියපු නිසාත් මම තාත්තව හොයා ගෙන පිටකොටුවට එනවා”

තාත්තා නිවෙස අතහැර යෑම නිසා නියාස්ලාගේ පවුලට බොහො ආර්ථික අපහසුතාවලට මුහුණ දෙන්න සිදු විය.

නියාස් කොලු ගැටයාගේ ජීවිතය වෙනස් මඟක යන්නට පටන් ගන්නේ ද තාත්තා සොයා කොටුවට පැමිණි ගමනය.

“තාත්තා හොයා ගෙන කොටුවට ආපු මට හරි අපූරු මිනිසෙක් හම්බ වුණා. ඇත්තම කිව්වොත් ඔහු මිනිස් වෙස් ගත් දෙවියෙක් ලෙසයි මම දකින්නේ. ඔහුගේ නම අසන් ලෙබ්බේ මුදලාලි. ඔහු පෝලියෝ හැදිලා කකුල් දෙකම පණ නැතුව හිටිය කෙනෙක්. නමුත් මම දකින්නේ අසන් මුදලාලිගේ කකුල් දෙක පණනැති වුණාට එයාට තිබුණේ මැජික් අත් දෙකක්. හරියට පිහිය එයාගේ අතේම කොටසක් වගෙයි. ‘අසන් මුදලාලිගේ අතට අඹ ගෙඩියක්-ඇඹරැල්ල ගෙඩියක් අහුවුණාම අපිට පේන්නේ ගෙඩිය අසන් මුදලාලිගේ අත උඩ නටනවා විතරයි. ඉතාම ටික වෙලාවකින් හරි ලස්සනට නූලට ලෙලි ගහපු ගෙඩියක් තමයි දකින්න පුළුවන්. මං ඒ දිහා බලාගෙන ඉන්නේ හරිම පුදුමයෙන්. හරියට වශීවෙලා වගේ. අසන් ලෙබ්බේ අච්චාරු විකුණුවේ රතු පල්ලිය ළඟ. තාත්තව සොයාගන්න දවස ගානේ එනකොට අසන් මුදලාලි මගෙන් ඇහුවා,

“කොල්ලෝ මගේ වැඩවලට උදව් කරන්න එන්න කැමතිද? මං උඹට ගාණක් ගෙවන්නම් කියලා”.

ඔහු මුදලක් ගෙවන්නම් කියපු එක මට ඇහුණේ නැහැ. කොයි තරම් සල්ලි අමාරුකම් තිබුණත්. ඒ වෙනකොට ඉස්කෝලේ ගමනත් එපා වෙලා හිටපු නිසා මම එක පයින් මුදලාලිගේ අදහසට කැමති වුණා. මගේ ඉස්කෝලේ ගමන අතරමඟ නතර වුණේ ඒ විදිහට". ජීවිත පොතේ එක්තරා පරිච්ඡේදයක අවසානයත් තවත් පරිච්ඡේදයක ආරම්භයත් නියාස් පවසන්නෙ එසේය.

“එකදහස් නවසිය අසූ තුනේ ඉදලා එක්දහස් නවසිය අසූ නවය වෙනකං මුදලාලිට අත් උදව් දුන්නා. ඒ ‍රටේ කලබල තිබුණ කාලයක්. කලබල තිබුණත් මේ පැත්තේ දෙවන හරස් වීදියේ ඉඳන් පස්වන හරස් වීදිය වෙනකං මුකුත් කරදරයක් වුණේ නෑ. ඔය අතරේ අසන් මුදලාලි දවසක් මට කිව්වා“කොල්ලෝ උඹ මේ කඩේ බලාගනිං. මං යනවා මඩකලපුවේ මගේ ගමට කියලා”. මම ඔහු නතර කර ගන්න උත්සාහ කළා. නමුත් මුදලාලිව නවත්ත ගන්න බැරි වුණා. ඔහු මඩකලපුවේ ගමට ගියා. මේ වෙනකොට රතු පල්ලිය කියන්නේ මට ගෙදර වගෙ තැනක්. මම හිතා ගත්තා මම කොහොම හරි මේ අච්චාරු ලෑල්ල දියුණු කරනවා කියලා. මිනිස්සු කැමති පිරිසුදුවට තියෙන තැනකින් කෑම කන්න. අසන් මුදලාලි මට හොඳ පුහුණුවක් දීලා තිබුණේ. මම අච්චාරු තට්ටුව පිළිවෙළට පිරිසුදුවට සකස් කෙරුවා. ඉන් පස්සේ හැමදාම අඹයි, ඇබරැල්ලයි විකුණනවා වෙනුවට තව තව පළතුරු වර්ග වලින් අච්චාරු හැදුවා. මුල් කාලේ ගෙඩි සුද්ද කරන එක අච්චාරු හදන එක හැමදේම කළේ පාරේ. ලෑල්ල ටිකෙන් ටික දියුණු වුණා. අයිටම් එකින් එක වැඩි වුණා. දැන් මම වෙරළු -අඹ -ඇඹරැල්ල -දිවුල් සම්බෝල -නෙල්ලි -ජම්බු -පේර - අන්නාසි,අච්චාරු විකුණනවා”.

අතීතයේ ආ ගිය තොරතුරු මෙසේ හාරා බැලූ අප ඉන් අනතුරුව විමසිලිමත් වූයේ වර්තමානයේ ඔහුගේ ව්‍යාපාරය ඇති ස්ථානය පිළිබඳවයි.

“මගේ අච්චාරු කඩේ පිටකොටුවේ විතරක් නෙමෙයි මුළු කොළඹම ප්‍රසිද්ධයි. කොළඹ ඉස්කෝලවල ස්පොර්ට්මීට් වලට, කානිවල්වල, ප්‍රධානපෙළේ සම්මන්ත්‍රණ, උත්සවවලදී අපට එන්න කියලා ආරාධනා තියෙනවා. සමහර ආයතනවල පඩි දවසට අපිට ලොකු ඉල්ලුමක් තියෙනවා“

නියාස් මහතාට සමුදීමෙන් අනතුරුව අපට හමුවූයේ මොහොමඩ් දියාස් ය. ඔහු නියාස් මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන අතර පූර්ණකාලීනව තම පියාගේ ව්‍යාපාරය සමඟ කටයුතු කරන්නෙකි.

“අච්චාරු කියන දේ පොඩි කාලේ ඉඳන්ම අපේ ජීවිතත් එක්ක සමීපයි. රහට පොඩි කාලේ අච්චාරු කෑවට ටික ටික ලොකු වෙන කොට තේරුණා, ඒ රස අච්චාරු පිටි පස්සේ තියෙන්නේ මගෙ තාත්තගේ අම්මගේ දුක කියලා. මම මට තේරෙන කාලේ ඉඳලා ඒ අයට පුළුවන් විදිහටඋදව් කළා. ඉස්කෝලේ ගමන නතර කෙරුවට සම්පූර්ණයෙන්ම අච්චාරු රස්සාවට බැස්සා” දියාස් පවසන්නේ තම පාරිභෝගිකයන්ට අච්චාරු අලෙවි කරන අතරතුරමය.

“අපෙන් අච්චාරු කාපු කෙනෙක් අනිවාර්යෙන් ආයිත් එනවමයි. ඒක අපිට විශ්වාසයි. අපි රස වගේම කොලිටිය ගැන ගොඩක් හිතනවා. හැම පලතුරක්ම ගන්නේ මැනිං මාකට් එකෙන්. හැම පළතුරක්ම කිලෝ විස්ස ගානේ ගන්නවා. අද හදන අච්චාරු අද ඉවරයි. ඒ නිසා හැමදාම දෙන්නේ අලුත් බඩු. මේ පාරේ ගොඩක් ෆැන්සි අයිටම් කඩ තියෙන නිසා ගෑනු අය ගොඩක් එනවා. අනික මේ පල්ලිය. පොඩි ළමයි, ගැබිනි මවුවරු, කපල්ස් තමයි අපෙන් ගොඩක්ම අච්චාරු ගන්නේ. අපි මේවට විනාකිරි, අබ වගේ දේවල් දාන්නේ නෑ. මොකද ඒවා ගැබිනි අම්මලට හොඳ නෑ. බොක්ස් එකේ දාලා ලස්සනට දෙන නිසා කස්ටමස්ලා කැමතියි” දියාස් කියයි.

නියාස් මහතා තම වැඩි මහලු පුත්‍රයා සමඟ රතු පල්ලිය අසල අච්චාරු වෙළෙඳාමේ යෙදෙන අතර කාන් ඔරලෝසු කණුව අසල කොට්ටන් ගස යට ඇති අනෙක් තට්ටුවේ වෙළෙඳම් කරන්නේ මොහොමඩ් දිස්ටි ය. ඔහු සමඟ කතා බහේදී අපට අවබෝධ වුයේ ඔහුද නියාස් මහතාගේ මස්සිනා කෙනකු බව ය.

“මගේ නංගිව තමයි නියාස් බැඳලා ඉන්නේ. එක එක කුලී වැඩ කර කර හිටියේ. දැන් මමත් අච්චාරු විකුණනවා. මම අච්චාරු දාපු කරත්තේ තල්ලු කරගෙන කොච්චි කඩේ වගේ පැතිවලට යනවා. මහන්සි වුණොත් තමයි සල්ලි හම්බෙන්නේ. නිකං සල්ලි ඉල්ලුවට කව්රුත් දෙන්නේ නෑනේ. මං දවසට රුපියල් එක්දහස පන්සියයක් හම්බකරනවා.”

මොහොමඩ් රිස්වාන්, නියාස්ගේ බාල පුත්‍රයාය. කාන් ඔරලෝසු කණුව අසල වෙ‍ෙළඳාම් කරන ඔහු පවසන්නේ මෙවන් අදහසකි.

“තාත්තා අපිට පාරක් කපලා දීලා තියෙනවා. අපි සහෝදරයෝ හැමෝටම ජීවත් වෙන්න රැකියා අවස්ථාවන් හදලා දීලා තියෙනවා. අද තරුණ අයට රැකියාව ප්‍රශ්නයක්. ඒ අතින් අපි වාසනාවන්තයි."



උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »