ගොරෝසු අත්වල පිරිසුදු සල්ලි

2018-05-31 10:32:00       373
feature-top
වාහනයක් තිබුණද නැතිවුවද පංචිකාවත්ත අපට අලුත් තැනක් නොවේ. එය එපමණටම ජනප්‍රිය තැනකි. වාහනයකට අවශ්‍ය ඇණයේ සිට අවශ්‍ය ඕනෑම දෙයක් මෙහි ඇත.

එහෙත් එහි මිනිසුන්ගේ කතාව දන්නේ බොහොමත් අඩුවෙනි. මේ ඒ කතාවයි.

වාහනයක් කැඩුණොත් පංචිකා වත්තට ගිහිල්ලා හරි කෑල්ල හොයා ගෙන හදා ගන්න පුළුවන්. ඒත් අතක් පයක් කැඩුණොත් හදා ගන්නවා බොරු. පරිස්සම් වෙයල්ලා ළමයිනේ."

ඉවක් බවක් නැතිව දුව පැන නටන පුංචි උන් දැක්කම දෙමව්පියන් කියන්නේ එහෙම.

"මචං වාහනෙට කෑල්ලක් ඕනැ. හැම තැනම හෙව්වා බං නෑනේ."

අලුතෙන් වාහනයක් ගත් කාර්යාල සගයකු අඳෝනා හඬින් කීය. ‍

"උඹ පංචිකාවත්ත පැත්තේ ගියේ නැද්ද?"

තවත් සගයකු උත්තර දුන්නේ ඊට උදාහරණ ද සහිතව ය.

පංචිකාවත්ත කවදත් ප්‍රසිද්ධ වාහන අමතර කොටස් සඳහා ය. ඇණ මුරිච්චියේ සිට වාහන බොඩිය දක්වා ම ඕනෑම මොඩලයකින් ගැනීමට තිබේ.

පංචිකාවත්ත අමුතුම ලෝකයකි. වාහන අමතර කොටස් ඇණ මුරිච්චි සහිත කුඩා කඩ ගණනාවකි. ඒ අතර එදා දවසේ පාරේ තබාගෙන මෝටර් සයිකල් සාදන්නෝද වෙති. ඒ අතර තැරැව්කරුවෝද තව තවත් අය ද නැතුවාම නොවේ. කළුම කළු ගැහුණු ඇඳුම, මජං ගෑ වුණ අත පය

පංචිකාවත්තේ සේවය කරන්නන්ගේ අනන්‍යතාවේ ලක්ෂණයකි.

කෙනකුට තමන්ගේම කියා කඩයක් ඇත. ත‍ෙවකකු සිටින්නේ කුලියට ය. තවත් කෙනෙක් සිටින්නේ එදා වේල පිරිමසා ගන්නා පදික වෙළෙදුන් ය. මේ කතා කරන්නට යන්නේ පංචිකාවත්තේ පදික වෙළෙඳුන් ගේ කතාවයි.

පහ වසරට වනතුරු පාසල් ගිය රාජා දැන් සිය ආදායම් මාර්ගය සොයා ගන්නේ පංචිකාවත්තෙනි.

"අම්මලා තාත්තලාට පුළුවන් කමක් තිබුණේ නැහැ අපිට උගන්වන්න. මම ඉස්කොලෙන් කට්ටි පැන්නා. කට්ටි පැනලා ආවේ පේව්මන්ට් එකට. මට පේව්මන්ට් එකේදි මුලින්ම අතට ලැබුණේ භූමි තෙල් ටින් එකයි, බ්‍රෂ් එකයි. දවස පුරාම මලකඩ හූරලා මගේ අතට ලැබුණේ රුපියල් දෙකක් විතරයි. ඒ කාලේ රුපියල් දෙකත් ලොකු ගාණක්. එතකොට මගෙ වයස අවුරුදු දහයක් දොළහක් විතර ඇති. මලකඩ හුරනවට වඩා ඉස්කෝලේ ගියා නම් හොඳයි කියලත් මට හිතුණා. දැන් නම් මොනවා හිතුණත් වැඩක් නැහැ. පංචිකාවත්තේ BCC පාලම උඩට ඇවිල්ලා සෑහෙන කාලයක්. දැන් මගෙ වයස අවුරුදු පනහත් පැනලා. මම මේ පාලම උඩ ඇණ විකුණන එක් තමයි රස්සාව හැටියට කරන්නේ"

රස්සාව කුමක් වුවත් එය කළ යුත්තේ ඕනෑකමිනි. කැපවීමෙනි. රාජා ද එසේම ය. ඔහු තම පවුල රැක දෙන රස්සාවට බොහෝ ආදරය කරන්නේය.

"මම මුල් කාලේ පේමන්ට් එක අතුගාලා ඉටි රෙද්දක් දාගෙන තමයි ඇණ බිස්නස් කළේ. වාහන ගලවන තැන්වලට ගිහිල්ලා ඇණ අරගෙන එනවා. ඒ ඇණ මම මෙතනම තියාගෙන සුද්ද කරනවා. ඒට පස්සේ මෙතනම තියාගෙන විකුණනවා. කවුරු හරි ආවොත් ඇණ හොයාගෙන, ඕනෑම වර්ගයක ඇණයක් මා ළඟ තියෙනවා."

රාජා පවසන්නේ බොහෝ විශ්වාසයෙනි.

"මට ළමයි තුන්දෙනෙක් ඉන්නවා. තුන් දෙනාම තවම ඉගෙන ගන්නවා. මම බොහොම් අමාරුවෙන් හොයා ගන්න කීයෙන් හරි තමයි මගෙ දරුවෝ රැක ගන්නේ. එත් මට මගේ අතේ තියෙන භූමි තෙල් ටින් එකයි, බ්‍රෂ් එකයි, මජං ටින් එකයි මගෙ දරුවන්ගේ අත්වලට දෙන්න බැහැ. මම උන්ට හොඳ ලෝකයක් හදන්න ඕන. ඒත් මේ ඇණ මුරිච්චි විකුණලා මට ඒ අයගේ ලෝකය හදා ගන්න පුළුවන් වේවිද කියලා සැකයි"

තමන් සන්තකව ඕනෑම ඇණයක් ඇතැයි විශ්වාසයෙන් පවසන රාජා දවසේ ගතමනාව සොයා ගැනීම ගැන පවසන්නේ අවිශ්වාසයෙනි.

"හැමදාම ඇණ ගන්න මිනිස්සු ඒන්නේ නැහැනේ?"

ඔහු පවසන්නේ කණගාටුවෙනි.

රාජාගේ විඩාබර මුහුණ අමතක කර දමමින් අපි පාලම බැස තවත් අයකු කරා ගියෙමු. අව් රශ්මිය දැඩි ය. ඒ අව් රශ්මිය මැද කඩි මුඩියේ ‍එහෙ මෙහෙ දුව පනිමින් වෙළෙදාම් කරන තරුණයෙකි. ඇණ විකුණන බොහෝ අය අතරින් අපි ඒ කඩිසර තරුණයා කතාවට අල්ලා ගතිමු. ඔහු සුමිත් නාලින්ද. වයස අවුරුදු විසිපහකි.

"මම ඉස්කෝලේ ගියේ දහය වසරට වෙනකල් විතරයි. සාමාන්‍ය පෙළ විභාගය කරන්න ආසාවෙන් හිටියේ. එත් අම්මා මැරුන නිසා මට විභාගය ලියා ගන්න බැරි වුණා. තාත්තයි මල්ලිලා තුන්දෙනයි මමයි ගෙදර ඉන්නේ.

ඒ හැමෝගෙම ජීවිත මට භාර ගන්න වුණා. මේ වගේ රස්සාවක් කරන්න කිසිම අදහසක් තිබුණේ නැහැ. මගේ මාමා කෙනෙක් මෙතැන වැඩ කළා. එයා මැරුණා. ඊට පස්සේ මම එයා වෙනුවට මම මෙතැන වැඩට ආවා. හැමදාම උදේ අට වෙද්දි මෙතැන රස්සාවට එනවා. ඒ වෙලේ ඉදලා හවස හය හමාර විතර වෙනකම් රස්සාව කරනවා. මේක හරි මහන්සියි. අව් රස්නය උහුල ගන්න බැහැ. මජං නාගෙන දාඩිය පෙරාගෙන කරන රස්සාව වෙලාවකට හරිම වෙහෙසකාරියි. නමුත් එක අතකින් සතුටකුත් දැනෙනවා. අපේ රස්සාවට මැස්සෝ වහන්නේ නැහැ. කුණු ගඳ ගහන්නේ නැහැ. නාලින්ද තරුණයා පවසන්නේ උද්යෝගිමත් හඬිනි. ඔහුගේ හඬ මෙන්ම අංග චලනයද ක්‍රියාශිලී ය. මජං ඇඳුමින් ගත වසාගෙන සිටින ඔහුගෙන් මම ප්‍රශ්නයක් ඇසිමි.

" මල්ලි බැඳල ද"

" ඔව් මම ගිය මාසේ බැන්දා."

තරුණයා උරුහම් බාමින් භූමිතෙල් භාජනයේ පෙඟ වු කම්බි බ්‍රෂ් එක අතකට ගත්තේ මල බැඳුණු පොට බාරයක මල සීරීමට ය.

අද බොහෝ ‍දෙනකුට රැකියා අවස්ථා සලසන පංචිකාවත්තේ වාහන අමතර කොටස් ව්‍යාපාරය ආරම්භ වන්නේ දකුණු ඉන්දියාවේ සිට පැමිණ ඒ අවට පදිංචි වූ සංචාරක ද්‍රවිඩ ජාතිකයන් ය. ඒ ඇසුරින් ව්‍යාපාර ආරම්භ කළ අය අතර අද ජාති ආගම් බේද නැතිව බොහෝ දෙනකු වාහන අමතර කොටස් ඇණ මුරිච්චි විකිණිමේ නියැළෙති.

එස්. රාසරත්නම් මේ සංචාරයේදී අපට හමු වු තවත් අයෙකි. ඔහු දැන් හැත්තෑ එක් වැනි වියේ පසුවේ. ඔහුගේ උපන් ගම වන්නේ නාත්තන්ඩියයි. මේ ඔහුගේ කතාවයි.

"මම පංචිකාවත්තට ආවේ ගොඩාක් පොඩි කාලේ. අපේ මාමා කෙනෙක්ට ඒ කාලේ පොඩි කඩයක් තිබුණා. මම රස්සාව‍ට හුරු වුණේ මාමා ගෙන්. ඒ කාලේ අපිත් එක්ක මලකඩ හූරපු සමහර අය අද ලොකු මුදලාලිලා. එත් මට එහෙම ලොකු මුදලාලි කෙනෙක් වෙන්න බැරි වුණා. ඒ ගැන මගේ හිතේ කණගාටුවක් ඇත්තෙත් නැහැ. එදා ඉදලම මම හම්ම කරපු හැම සතේම මගේ පවුලේ අයට වියදම් කළා. දැන් ඉස්සර වගේ නෙමෙයි හැම දේම වෙනස්. දැන් පාට්ස් සුද්ද කරන්න මැෂින් ගෙනැල්ලා තියෙනවා. තව කී දවසක් මේ රස්සාව තියෙයි ද කියන්න කාට ද පුළුවන්. ඒත් ජීවත් වෙන්න නම් ඉන්න තුරු මේ රස්සාව කරන්න ඕන. අපේ ජීවිත වල හුස්ම රැදිලා තියෙන්නේ මේ මලකඩ එක්ක. "

රාසරත්නම් පවසන්නේ දිගු සුසුමක් හෙළමිනි. රාසරත්නම්ලා, රාජලා මලකඩ සූරමින්, මජං අතගාමින් ගිනි අව්වේ වේළෙමින් සොයන්නේ ජීවිතයයි.

මේ මිනිසුන්ට සමු දී අපි එන්නට ආවෙමු. නමුදු එක් සහෝදරයකු කි වදනක් මෙය ලියන මොහොතේ ද නැවත නැවත සිහිපත් වෙයි.

"මල්ලි ජිවිතේ හරි අමාරුයි. මජං නාගෙන මලකඩ හූරගෙන අපි මේ ගෙවන ජීවිත හරි ගොරෝසුයි. එත් අනුන්ට ගිනි දෙන්නැතිව මේ අත්වලින් හොයන සල්ලි හරි පිරිසුදුයි මල්ලි."

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »