පැණි පාරේ සීතල වන්නියට

2018-05-28 10:35:00       577
feature-top
මී පැණි පෝෂණ ගුණයෙන් හා මධුර රසයෙන් යුක්ත බව ආදිවාසීහු අත්දැකීමෙන්ම දනිති. මී පැණි හා වැදි ජන ජීවිතය කෙසේ සම්බන්ධව තිබේද යත් මියැදෙමින් සිටින ආදිවාසියකුට වුව අවසාන භෝජනය හැටියට ලබා දෙන්නේ මී පැණිය. මේ මී පැණි සොයා වනවදින ආදීවාසීන් සමඟ සිළුමිණ කළ චාරිකාවක වතගොත ය.

ඉර අවරට යමින් තිබුණෙන් අපි නැවත ගම්පියස කරා ගමන් ඇරඹුවෙමු. අතරමඟදී සැන්දෑයාමයේ දිය ඇදුමේ යන ‍බිඟුන් පිරිසක් දැකගත හැකිවිය. ඔවුන්ට අප ගැන අහිතක් නැත. බලාපොරොත්තු සපිරි ගමනකින් පසු ආපසු දඹාන පෝරුගම් පොජ්ජ කරා මංගච්චන විට අතරමඟදී වැස්සකට අපි කොටු වූයෙමු. නගරයේ උදවියට නම් වැස්ස අමිහිරි අත්දැකීමකි. එහෙත් වන්නිලැත්තන් වර්ෂාව පිළිගන්නේ වැදි ගීයකට අනුව සාමූහික නර්තනයක යෙදෙමිනි. එය සැබෑම සාජ්ජයකි.

තුරු ගොමුවෙන් ගැවසීගත් වන පියස නොයෙක් වනමලින් බරව ඇත. පිපි කුසුමෙන් විසිතුරු කළ ඇතැම් රුක් මුඳුනක් සරණ මංගල්‍යයට සැරසුණු ඉංග්‍රීසි කුමරියගේ කඩාහැලෙන වේල්පටක් මෙනි. වන ගැබ මතු කරන මේ දසුන හා කුරුලු කූජනය එකම සංධ්වනියක් ලෙස ඒකාත්මිකව වෙමින් ඇත. මේ සියල්ල අතර අපේ සවන්පත් යොමුව ඇත්තේ මන්ද ස්වරයකින් ඈතින් ඇසෙන ‘ගුමු... ගුමු...” නාදය වෙත ය.

‘කැලෑ පොජ්ජේ තියෙන රුවතන මොන එකවත් කොදොයි' සුදු බණ්ඩියා නිහැඬියාව බිඳිමින් වැදි බසින් පවසා සිටියේ “කැලේ ඇති ලස්සන වෙන කොතැනකවත් නැති” බවය. අපිද ඔහුගේ කීම අනුමත කළෙමු.

ඉරමුදුන් යාමයට තව ඉතිරිව ඇත්තේ දෙපැයක් පමණි. මේ මී මැස්සන් ‘මල් ඇදුමේ යන’ හෝරාවය. මල් ඇදුමේ යෑම යනුවෙන් බින්තැන්නේ ඇත්තන් හඳුන්වනු ලබන්නේ බිඟුන් මල් රොන් සොයා පියාසැරියේ යෙදීමය. පැණි පිරුණු මී වද ඇති තැන් සොයා ගැනීමට නම් අපද උන්පිරිවර හා එක්විය යුතුය. නැතහොත් මීමැස්සන් සමඟ පැණි පාරේ ගමන් කළ යුතුය. සියල්ලට පෙර කළයුතු කාරියක් ඇත. ඒ බිඟුන් ගැවසෙන ඉසව්වක් සොයා ගැනීමය.

බිඟු සම්පත ඇති ජනපද සොයා යෑම පැණිමෙන් රස දනවන කටයුත්තක් නොවේ. වන අඩවිය තුළ ගමන කොහොමත් දුක් ගැහැට, අතුරු අන්තරා සුලබ වූවකි. එකිනෙකා පරදවමින් විටින්විට ඇසෙන සතුන්ගේ නාද අපූර්ව ලෝකයකට අප කැඳවාගෙන යන්නේ බියමුසු චමත්කාරයක් සිතෙහි ඇති කරමිනි.

වන අඩවියට ඇතුළුවීමට පෙර අප කොළ අත්තක් එල්ලා කළු බණ්ඩාර දෙවියන්ගේ පිහිටාධාරය බලාපොරොත්තු වූයේ එවැනි අතුරු ආන්ත්‍රාවකින් වැළකීම සඳහා ය. ඒ යාදීන්න තුළ පැණි ඇති ඉසව් පෙන්වන්නැයි දෙවියන් වෙත කෙරෙන ඉල්ලීමක් විය.

දඹාන, කොටබකිණිය, පෝරුගම් පොජ්ජේ සිට හෝරාවක පමණ ගමනකින් පසු අපි මාදුරුඔය වන අඩවියේ ඈත ඉසව්වකට පැමිණියෙමු. වර්තමානයේ මේ වන පියස රක්ෂිතයක් වුවත් අතීතයේ එය වැදි රටේ කොටසකි. සීත වන්නි‍ය තුළ ගමනේදී ඇතිවන බියජනක බව මදක් අඩු කළේ මෙම වන රොද හොඳ හැටි හුරුපුරුදු වැදි රැහේ නාම්බන් කිහිපදෙනෙක් ද කණ්ඩායමට අයත්ව සිටීම නිසාය.

ආදිවාසි නායක ඌරුවරිගයේ වන්නිලැත්තන් ගමනාරම්භයට පෙර වනයෙහි සැරිසැරිය යුතු ආකාරය ගැන අපට මෙසේ උපදෙස් දුන්නේය.

“වන පොජ්ජට ඇතුළු වන කවුරුත් වැදිකමට වන වදින විත්තිය හිත්ලාන්ට ඕනේ”

කැලෑව තුළ ගමන ගෝමරා ඇත්තන්ට හොඳින් හුරු පුරුදුය. ඔහු මැදි වයසේ අපර කොටසට පිවිස ඇති ‍අයෙකි. ඔහුට කැලේ ගහකොළ පමණක් නොව සතා සිව්පාවාද හොඳහැටි අවනත ය. මලාලීය (දුන්න) හා මෝරියං කැච්ච (ඊතලය) අතින් ගත් ගෝමරා ඇත්තන් ගමන් කළේ අනතුරක් හෝ ගොදුරක් ඇස ගැටෙන ඕනෑම මොහොතක දුනු දිය මුදාහැරීමට සූදානම්ව ය.

කුඩා කළුගල් පව්වක් මත මඳ වේලාවක් ගිමන් හැරි අපි නැවත ගමන් ඇරඹුවෙමු. මෙවර ඉදිරියෙන් ගමන් කළේ ගෝමරා ඇත්තන්ය. ඔහු ගහකොළ අතුපතර අතරින් සිය සිරුර ගෙන යන්නේ මැටි පිඬක් සකපෝරුවට ඇවැසි ලෙස හසුරුවන්නාක් මෙනි. සුදුබණ්ඩියා, යකඩයා, කළුවා ඇතුළු වැදි පිරිස ඔහු අනුව ඉදිරියට ගමන් කරන්නට වූයේය.

තවත් නොබෝ දුරක් ගමන් කරනවිට ඇසෙන්නට වූයේ කිසියම් සියුම් හඬකි. හොඳින් සුසර කළ කන් ඇති වැදි සනුහරේ ඇත්තන්ට අත්තක් බි‍ඳෙන හඬ වුවද වහා හඳුනාගත හැකිය. ඒ හ‍ඬෙහි අරුත වටහා ගත් ඔවුන් එයට පිළිතුරු දුන්නේද තවත් එවැනිම හඬක් නැංවීමෙනි.

‘ටික් මැරිල්ල’ නමින් වැද්දන් මේ නාදය හඳුන්වයි. එවැනි සංඥාවක් ඔවුන් යොදා ගනු ලබන්නේ පිරිසෙන් මඟහැරුණු අයෙක් අන් අයට ඒ බව දැන්වීම සඳහා ය. අප පිරිසෙන් මඟහැරී ගොස් සිටියේ පොරෝමලැන්තෝය. ඔහු ආපසු පැමිණියේ හිස් අතින් නොවේ. කදාර්නිගේ දියතන ඇති ඉසව්වක් ගැන හෝඩුවාවක් ද රැගෙනය.

පැණි පා‍රේ ඉව කරමින් යන අපට වැදි සංස්කෘතිය තුළ මී මැස්සන්ට දක්වන සුවිශේෂ බැඳීම මොනවට පැහැදිලි විය. එය මී වදයක් මෙන් පිරුණු ආදරයකි. ඔවුන් මී මැස්සා අමතන්නේ ‘කදාර්නී’ යන ඇමතුම් නා‍මයෙනි. ‘සුවඳ උරා ගෙන යන්නා’ එහි තේරුමයි. මෙයට අමතරව ‘මැසි කෙල්ලන්’ යන ආදර නාමයෙන්ද වැද්දෝ බිඟු රෑන හඳුන්වති. ඊට අමතරව ගස්වල, ගල්වල මී බැඳීමේ ලක්ෂණය සලකා මී මැස්සන් ‘ගග්ගුල්ලි’ යනුවෙන්ද හඳුන්වයි.

පොරමලා දැක්වූ දිශාව දෙසට ගමන් කරන්නට වූ අපිට මී මැස්සන් කිහිප දෙනෙක් ගුමුගුමු නද පතුරවමින් වට කිහිපයක් සැරි සරන අයුරු දැක ගත හැකිවිය.

කළුවා ඇත්තන් ඔවුන් ගමන් කරන වට ගණන ගනින්ට වූයේය. අනුව හා උස අනුව මී වදය ඇති ස්ථානය පිළිබඳ අනුමාන අදහසක් අනිත් අයට ඉදිරිපත් කළේය. “මේ මල් ඇදුමේ මේ යන මී මැසි රෑනක් නෙවෙයි” ඔහු වැදි බසින් කී දෙයෙහි අරුත තවකෙක් වටහා දුන්නේය. කළුවාගේ අදහසට මී පැණි සෙවීමෙහි අත්දැකීම් බහුල ගෝමරා එකඟ නැත.

ඔහු නිශ්චිතවම කියා සිටියේ මේ මැස්සන් ගමන් කරන්නේ මල් රොන් සොයා බවය. අනෙක් අයද ගෝමරාගේ අදහස පිළිගන්නේය.

මල් රොන් මෙන් ජලය ද මී වදයකට අවැසිය. මී මැස්සන් ජලය එක් රැස්කරනු ලබන්නේ මී ඉටි සකස් කිරීමට ජලය වුවමනා නිසාය.

මී මැස්සකු, දෙන්නකු දැකගත හැකිවූ විට ඉතිරි පිරිස පියඹායන දිශාව සොයා ගැනීම අපහසු නැත. එයට හේතුව මී මැස්සන් වදයෙන් පිටතට යෑම මෙන්ම ආපසු වදයට පිවිසීම බොහෝවිට සාමූහිකව සිදු කිරීමය.

මද වේලාවක් යනවිට අප බලාපොරොත්තු වූ සුබ ලකුණ දැකගත හැකිවිය.

එම පෙර නිමිත්ත ගමනේ සාර්ථකත්වය කියාපාන්නකි.

“ඒකයි බොටා මේක පැණි බැහැපු මී වදයක්” යකඩයා අනෙක් පිරිස් අමතා කීය. යකඩයා සුදු බණ්ඩිලැත්තන් හඳුන්වන අන්වර්ථ නාමයයි. වැද්දෝ ඔවුන්ගේ සනුහරේ කාගේත් නම අගට ‘ඇත්තෝ’ යන පදය එකතු කර භාවිත කරති. පොදුවේ වැද්දන් හඳුන්වන නාමය වන්නේ ‘වන්නිලැත්තන්’ යන නමය. එය සමහරවිට පුද්ගල නාමයක් ද විය හැකිය. ආදිවාසි නායක ඌරුවරි‍ගයේ වන්නිලැත්තන්ගේ නම එවැන්නකි.

මැහි කෙල්ලන් පසුපස ගිය අපට පොළොව බදාගෙන සිටින මහා රුකක් දැකගත හැකිවිය. දිරා යමින් තිබූ මේ ගසෙහි වූ බෙනය මී මැසි රාජ්‍යය පිහිටි ස්ථානය බව කාටත් අවබෝධ විය. කඳ බොහෝ සෙයින් දිරා ගිය එකක් වූයෙන්, එහි පොත්ත ගලවා අතක් දැමිය හැකි වනසේ විවරය මදක් පුළුල් කිරීමට කළුවා සමත්විය.

කළුවා බෙනයට අත පොවා හිත් සෝදිසියෙන් අත ඒ මේ අත ගෙන යයි. ඔහු බෙනයේ ඇති වද අතරින් පැණි ඇති වද තේරීමක යෙදෙයි. අතීතයේ ඔවුන් පිලවුන් ආහාරයට ගත්තද දැන් ඔවුන් ප්‍රමුඛත්වය දෙන්නේ බිඟු සම්පත සුරැකීමටය. වැරැදීමකින් පිලව් වදයක් කැඩුණොත් හැර ඔවුන් පිලා වද කැඩීමට උනන්දුවක් දක්වන්නේ නැත.

වැද්දන් හා මී මැස්සන් අතර ඇත්තේ පුදුමාකාර සම්බන්ධතාවකි. ඒ නිසා ඔවුන් මී මැස්සන් එළවා දැමීමට දුම් ඇල්ලීමක් කළේ ද නැත. ඒ වෙනුවට ඔවුන් මී වදය දුටු විගස සිදුකළ කාර්ය වූයේ කළුබණ්ඩාර දෙවියන් සිහිපත් කිරීමය.

ඉන්පසු ගෝමරා ඇත්තන් අසලවූ පැඟිරි ගහසකින් අත්තක් කඩාගෙන එහි‍ කොළ පොඩිකර මී වදය දෙසට හරවා පිම්ඹේය. පැඟිරි සුවඳ මී මැස්සන්ට ඔරොත්තු දිය නොහැකිවා විය යුතුය. ඔවුන් මී වදය අතහැර වෙනත් දෙසකට පියඹා යන්නට වූයේ ඒනිසාය.

මී පැණි පිරුණු වද එකින් එක කඩන්නට වූ කළුවා ඒවා ගෝමරා ඇත්තන් අතට පත් කළේය. ඔහු ඒවා එකින් එක පැණි තලියේ තැන්පත් කරන්න වූයේය. සුදහ ගින්දර කෙතරම් අධික වුවත් මීයක් කඩාගත් විගස ආහාරයට ගැනීම වැද්දන්ගේ සිරිත නොවේ. මීය දැක ගැනීමට තමනට උපකාර කළ නෑ යකුත් සිහිපත් කිරීම ඔවුන්ගේ චාරිත්‍රයකි.

ඔවුන් දොළ පාර පිහිටි දෙසට ගමන් කරන්නට වූයේ ඒ සඳහාය. ඉන්පසු ඔවුන් අතින් වළක් හාරන්නට පටන් ගත්තේය. එය ඔවුන් හඳුන්වන්නේ 'පූවළ' නමිනි. පූවළක් කණිනු ලබන්නේ බීමට අවැසි ජලය සපයා ගැනීම සඳහා ය. මේ සූදානම මී වදය දෙවියන්ට පුද කිරීම සඳහා ය.

අසල ගසකින් අත්තක් කඩාගත් පොරමොලා ඒ මත මීවදය තබා යාතිකාවක් කියන්නට වූයේය. යාතිකාව අවසානයේ මී වදයේ කොටසක් කඩා පූජා කර, මීය දැක ගැනීමට උපකාර කළ කළු බණ්ඩාර දෙවියන්, ඉදිගොල්ලේ යක්කු ආදී සිය සනුහරේ උදවිය සිහි කළේය. ආහාරයට ගනු ලැබුවේ ඉන්පසුවය.

මේ වනවිට ගමනට සහභාගිවූ කවුරුත් නෑඹුල් මීයක රසබලා ඇත. මී පැණිවල රසෙහි ස්වරූප පිළිබඳ ගැටලුවක් අප සිත තුළ ඇති වූයේ ඒ නිසාය.

කැලේ එක එක ගස්වල මල් පිපෙන්නේ එක එක කාලෙට. අවුරුද්ද මුළුල්ලේම මල් සම්පත දෙන ගස් ද නැතුවා නොවේ. මී මැස්සන් වැඩිපුරම රොන් උරා ගනු ලබන්නේ වරා, මොර, වහමල වැනි ගස්වල පුෂ්පයන් ගෙනි. මොර මල් වැඩිපුර පිපෙන කා‍ලයක මී පැණිවල රසද මොර වලට ආවේණික රස මෙන්ම ගුණයද ඇත.

දඹානේ මී පැණි බෝතල බාගයක් මිල කරනු ලබන්නේ රුපියල් දහසකටය. එය මිල වැඩි බවට ඔවුන්ගෙන් මී පැණි ලබා ගැනීමට පැමිණෙන සමහරු හෙට්ටු කරති. ගෘහ ආශ්‍රිතව ඇති කරන මී මැස්සන්ගෙන් ලබාගන්නා මී පැණි මෙයට වඩා මිල අඩුය යන්න ඔවුන්ගේ මැසිවිල්ලකි. එවිට සුදු බණ්ඩියා ඇත්තන් පිළිතුරු දුන්නේ මෙසේය.

“ගෙවල්වල පෙට්ටිවල හදන මී වදවල වගේ නෙවෙයි. කැලේ හැමදාම පැණි ලැබෙන්නේ නැහැ. නමුත් කැලේ තියෙන කොයි ගහත් බෙහෙත්. ඒ නිසා මේ මී පැණිවල ඖෂධීය ගුණය යහමින් තිබෙනවා.”

වනයෙහි දක්නට ලැබෙන මී වදවලින් පැණි ලබාගත හැක්කේ වසරකට අවස්ථා තුනකදී පමණි. පැණි ලැබීමද ඒකාකාර නැත. මල් වැඩිපුර පිපෙන නිකිණි මාසයේ පැණි බහුල වූවත් වෙසක්, පොසොන් මාසවල පැණි ලැබෙන්නේ අඩුවෙනි. වෙනදාට මීයකින් බෝතල් 7, 12 අතර ප්‍රමාණයක් ලබාගත හැකි වුවත් දැන් එක් වදයකින් ලැබෙන්නේ බෝතල් බාගයක් පමණි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »