කාලේ වෙනසට තාලේ අලුත් වුණු සිරම්බිඅඩියේ මිනිස්සු

2018-05-23 11:07:00       365
feature-top
ඔවුන් ලංකාවට පැමිණ වසර දෙසීයකට වැඩිය. ඒ එන විට රැගෙන ආ සංස්කෘතික උරුමය අද ඔවුන්ගේ හත්වැනි පරම්පරාවට නැත. මේ සිරාම්බිඅඩියේ මිනිසුන්ගේ කතාවයි.

යුද්ධකාලේ කාපිරියෝ ගෙනැල්ලා තියෙනවා ලංකාවට. උන් හරි වසයිලු; මිනීමස් කනවලු. ඒ නිසා කටකලියා දාලා තමයි ගෙනැල්ලා තියෙන්නේ...

ආත්තම්මා අප බාල වියේදී කියන්නේ ඇයට ඇගේ වැඩිහිටියන් කී කතාය. දැන් ඇය නැත. වසර ගණන් ගෙවී ඇත. මේ කාපිරි සම්භවයට අයත් ජන කොටසක් තවමත් අපේ රටේ සිටින බව පොත්පත්වල කියවා ඇත. පසුගිය දිනෙක ඔවුන් සොයා අපි පුත්තලමට ගියෙමු.

“ආ.. ඒගොල්ලෝ ඉන්නේ සිරම්බිඅඩියේ. පුත්තලම ටවුමේ ඉදලා අනුරාධපුර පාරේ කිලෝ මීටර් 3ක් විතර යද්දී ඒ ගම්මානයට යන පාර හමු වෙනවා”

පුත්තලම පොලිසියේ ප්‍රජා ‍පොලිස් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝහණ මහතා පැවැසීය.

“කරදරයක් වෙන්නේ නැහැ. සිරාම්බිඅඩියේ ‘ලුවී’ හමුවෙන්න‍කෝ.”

මඟ තොරතුරු අනුව ගිය අප කිහිප දෙනකුගෙන්ම ‘ලුවී’ ගැන විමසුවෙමු.

“ලුවී අන්කල් බිස්නස් ගිහිල්ලා.”

තරුණ ගැහැනියක් කීවාය.

“ආ‍.. මෙයාගෙන් අහමු” මම කීවෙමි.

ඒ මුහුණ හුරු-පුරුදුය. ඔවුන්ගේ සාම්ප්‍රදායික නැටුම් දෑස් ඉදිරියේ මැවෙන්නට විය. කිසිදු මෝස්තරයක් නැති ගවුමක් හැඳ සිටියද ඇය හැඩකාරය. අප ඇය පසුපසය.

“අපි යමු ෂෙරින් අක්කගෙ ගෙදර.”

ගම්මණ්ඩියේ කැලෑ පාරවලින්, වතු උඩින්, වැටවල්වලින් පනිමින් අපි ෂෙරින් අක්කගේ ගෙදරට ගියෙමු.

“කලින් කියලා එන්න එපෑයැ.. සතියේ දවස්වලට ගමේ පිරිමි රස්සාවල්වලට යනවා. ගෑනු අය තමයි ගෙවල්වල ඉන්නේ. අද නම් ගෑනු අයත් අඩුයි. ළමයි ඉස්කෝලේ එක්කගෙන ගිහිල්ලා”

ෂෙරින් අක්කා මැසිවිලි නඟයි.

ඒ දහවලේ අපි ඇගේ නිවෙස ඉදිරිපිට රූස්ස අඹ ගහ යට වාඩි වීමු.

“මේ අඹ ගහටත් හොඳ ඉතිහාසයක් තියෙනවා. අපේ තාත්තලගේ සීයලගේ කාලේ රේඩියෝ සිලෝන් එකෙන් ඇවිල්ලා අපේ ජන ගීතයක් පටිගත කරගෙන ගිහින් තියෙනවා. ඒ මීට අවුරුදු පනස් දෙකකට කලින්. ඒ වෙනකොට මගෙ වයස අවුරුදු තුනයි. දැන් මට වයස අවුරුදු පනස් පහක් වෙනවා.” එසේ කියන්නී ජුලියට් ය.

ජුලියට්ලා, රජුකලා, ෂෙරින්ලා, සංජනාලා අපට හමු වන්නේ සිරම්බිඅඩියේදීය. ‘සිලෝන් කැෆර්’ යනුවෙන් හඳුන්වන මේ ජන කොටසේ අද සිටින්නේ පස්වැනි හයවැනි හත්වැනි පරම්පරාවේ සාමාජිකයෝය.

සිලෝන් කැෆර් එහෙමත් නැත්නම් කාපිරි එහෙමත් නැත්නම් මේ අප්‍රිකානුවෝ අපේ රටට මුලින්ම පැමිණියේ 1517දීය. නිවැරදිව කිව හොත් ඔවුන් පැමිණියේ නැත; පෘතුගීසින් විසින් ඔවුහු මෙරටට ගෙනෙනු ලැබුවෝය. ඒ යුද භටයන් සහ වහලුන් වශයෙනි. නැවතත් 1815දී ඉංග්‍රීසීහු විසින් අප්‍රිකානු වැසියන් මෙරටට ගෙන අ‍ාහ. ඒ තැපැල් සේවයට, රෝහල් සේවයට, එමෙන්ම තමන් වෙනුවෙන් යුද්ධයට යැවීමටය. ඉංග්‍රීසීහු විසින් මේ උස-මහත අප්‍රිකානු මිනිසුන් යොදවා ‘කාෆිර් රයිෆල්’ බළකායක්ද සැදූහ.

පසුකාලීනව ඔවුන්ගෙන් කොටසක් තම රටට ගිය නමුත් කොටසක් මෙරටෙහි ඉතිරි විය. අද සිරම්බිඅඩියේදී අපට හමු වන්නේ අතීතයේ මෙහි පැමිණි අප්‍රිකානු ජනයාගෙන් පැවැත එන ජන කොටසකි.

ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ ‘සෙල්ල කණ්ඩල්’ නමින් කාපිරි කොලනියක් තිබූ බව සේනානායක මුදියන්සේ විසින් රචනා කරන ලද ‘සැඟවුණු සුවඳ’ කෘතියේ සඳහන් වේ.

කෙසේ වෙතත් අද අපේම රටේ ජනකොටසක් බවට පත්ව සිටින මොවුහු තම මවු රට හරියටම කියන්නට නොදනිති. එසේම ඔවුන් අද කතා කරන්නේ සිංහල භාෂාවය; අදහන්නේ කතෝලික ආගමය. පෘතුගීසි භාෂාවෙන් සින්දු කියන ඔවුන් සිටින්නේ තම ජන වර්ගය ගැන අභිමානයෙනි.

“ගිය අවුරුද්දේ අපි අපේ නිදහස සැමරුවා. අපිට නිදහස ලැබිලා අවුරුදු දෙසීයක් වෙනවා. අපේ සීයලා නුවරින් තමයි මෙ‍හෙට ඇවිල්ලා තියෙන්නේ. ඒ 1817 ඔවුන්ට මේ ප්‍රදේශයෙන් ඉඩම් ලබා දීලා තියෙනවා. එක් දහස් අටසිය දාහතේ තමයි සුදු ජාතිකයන් අපිව ඔවුන්ගේ යටතෙන් මුදාගෙන ස්වාධීනව ජීවත් වෙන්න අවසර දීල තියෙන්නේ. අන්න එදා ඉඳලා ලැබුණ නිදහස තමයි ගිය අවුරුද්දේ සැමරුවේ. අපිට රාජ්‍ය අනුග්‍රහය ලැබුණේ නැති තරම්. පල්ලියේ කෙනට් පියතුමා තමයි අපිට මේ උත්සවය කරන්න උදවු-උපකාර කළේ. ඉස්සර කාලේ මිනිස්සු අපට බයයි. ඒ කියන්නේ අපේ මුතුන්-මිත්තෝ මිනිස්සුන්ව කනවා, කියලා බය කරලා තමයි මේ රටට අ‍පේ අයව හඳුන්වලා තියෙන්නේ. ඒත් අපි එහෙම නැහැ. අපි හැමදාම මේ ගම්මානවල අහිංසකව ජීවත් වුණ අය.” ෂෙරින් පවසන්නේ එදා-මෙදා තුර තම ජනවර්ගය ගෙවන ජීවිතය පිළිබඳය. ෂෙරින් තම වර්ගයේ ජන ගී, ජන නැටුම් කණ්ඩායමේ නායිකාවය.

“අපි නැටුම් කණ්ඩායම පටන් අරගෙන අවුරුදු විසිපහකට වැඩියි. අපිට මෙහෙම දෙයක් කරන්න හිතුණේ අපේ අයට වෙන අසාධාරණය නිසයි. මීට අවුරුදු ගානකට කලින් එක ගායකයෙක් අපේ ජන ගීයක් ගැයුවා. ඔහු ඒක ප්‍රසිද්ධ වේදිකාවෙත් කිව‍ිවා. එත් එ්කේ වචන වැරදියි. අපිට හරි කනගාටුවක් ඇති වුණා අපේ දේවල් විනාශ වෙනවා නේද කියලා. ඉන් පස්සේ තමයි අපි නැටුම් කණ්ඩායම හදා ගත්තේ. ඒ කණ්ඩායමට ගෑනු අය හයයි පිරිමි අය හයයි ඉන්නවා. අපි දැන් වයසයි. මේක ඉදිරියට ගෙනියන්න ඕන නිසා පොඩි අයගෙත් නැටුම් කණ්ඩායමක් හදලා තියෙනවා. අපිට විවිධ ජාතික උත්සවවලට ආරාධනය කරනවා. අපි බොහොම කැමැත්තෙන් ඒවාට සහභාගි වෙනවා. ෂෙරින් කියන්නේ තම ජනතාවගේ අද හා හෙට දවස ගැනය.

රෝමානු කතෝලික ආගම අදහන ඔවුන් නැකැත් චාරිත්‍ර කිසිවක් නැත. ඔවුන්ට උපන් නැකතක් ඇත. ඇදහිලි ‍හෝ විශ්වාස නැත. නමුදු ඔවුහු තම ගී ගයා නටන්නට ඕනෑම වේලාවක සූදානම්ය. කෙනකු මිය ගිය විට ඒ කටයුතු සිදු කරන්නේද පල්ලියේ සිරිතටය. සිලෝන් කැෆර්ලා ගැහැනු පිරිමි භේදයක් නැතිව උස මහතය; පෙනුම කළුය; කොණ්ඩය කැරලි කැරලිය; දෙතොල් පළල්ය. නමුදු ඒ එදා සිටි කැෆර්ලාගේය. එහෙත් දැන් හත්වන පරම්පරාවේ කැෆර්ලාගේ මේ පෙනුම බොහෝ වෙනස්ය.

“මම වසම් කිහිපයකම ග්‍රාම නිලධාරියා ලෙස කටයුතු කළා. මම හතරවැනි පරම්පරාවට අයිති කෙනෙක්. මේ මගේ මිනිබිරිය හත්වැනි පරම්පරාවේ. එදාට වඩා නම් අ‍පේ අයට අද මේ සමාජයේ පිළිගැනීමක් තියෙනවා ඒ ගැන මට සතුටුයි. මට දැන් වයස අවුරුදු අසූතුනයි.” පුත්තලමේ පදිංචිව සිටින මාර්කු ජෝසෆ් එළියස් පවසන්නේ ආඩම්බරයෙනි. පුත්තලමේ සිරම්බිඅඩියේ පමණක් නොව, මඩකලපුවේද ඔවුන්ගෙන් කොටසක් ජීවත් වෙති.

“අපි යමු ආච්චිලාගේ ගෙදර.”

සංජනා ගමනට ඉස්සර විය.

ඇය විසි හැවිරිදිය; අඩි පහකටත් වඩා උසය; පෙනුම කළුය. කොණ්ඩය කොටට කපා සිටින ඇය හිනැහෙන විට බෙහෙවින් පියකරුය.

“මම සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගත්තා. තාම රස්සාවක් නැහැ. නගරයෙන් රස්සාවක් හොයාගන්න ඕන. මම ම‍ගේ පෙනුමට, උසට කළු පැහැයට හරි කැමතියි. අපේ අනන්‍යතාව තමයි මේ. මං අපේ නාට්‍ය කණ්ඩායමේ නි‍වේදිකාව විදිහටත් ඉන්නවා.”

සංජනා සිය මිත්තණියගේ නිවෙසට යන අරමඟදී කියන්නට වූවාය.

මිත්තණිය අසූපස් හැවිරිදිය. ඇය මාකස් ජෙරොම් එමලිනාය.

“පුත්තලම තුනේ කණුවේ ඉඳලා ලුණු ළිද මායිමට යන තුරු හිටියේ අපේ මිනිස්සු. ඒ ක‍ාලේ සිංහල පවුල්වලින් විවාහ සිදු වුණේ නැහැ. දැන් නම් මිශ්‍ර විවාහ වෙනවා. අපිට අපේ භාෂාව බැහැ. වචන දෙක-තුන තමයි පුළුවන්. සිංහල තමයි හොඳට කතා කරන්නේ. මගෙ පප්පා කච්චේරියේ ආරච්චිල. මහප්පයි, සීයයි දෙන්නම ආරච්චිලා. පවුලේ දහදෙනෙක්. මම තමයි වැඩිමලා. මහත්තයා වැඩ කළේ පුත්තලමේ ලුණු ලේවායේ. දරුවෝ අ‍ට දෙනෙක් ඉන්නවා. ඉස්සර මේ පැත්ත ගන කැලෑව. දැන් නම් ලයිට් තියෙනවා. අපි ඔය මඟුල් ගෙවල්වලට කැසට් දාන්නේ නැහැ. අපිම සින්දු කියලා නටනවා.

මම දැන් තුන් මුනුබුරෝ බලලා තියෙනවා.” ඇය තම තොරතුරු මෙන්ම තම වර්ගයාගේද තොරතුරු පවසයි.

“මේ පැත්තට සිරම්බිඅඩි කියන්නේ ඇයි කියන්න නම් දන්නේ නැහැ. කෙනෙක් මහන්සි වෙලා ඇවිල්ලා මැස්ස උඩ ඉඳගෙන හිටියලු. අන්න ඒ නිසා සිරම්බිඅඩි කියනවා කියලා තමයි මම පොඩි ක‍ාලේ අහලා තියෙන්නේ.”

ඇය වයෝවෘද්ධ වුවද තවමත් ජව සම්පන්නය. අප ආපසු එන විට ඇය මඳ දුරක් අප හා ආවාය.

“ගෙවල් දෙකෙන්ම කැමැත්ත ලැබුණු දවසේ ඉදලා දවස් හතක් මඟුල් කනවා. එන-යන අයට කන්න-බොන්න දෙනවා. නෑයෝ එනවා. පල්ලියේ තමයි බඳින්නේ. එත් දැන් මිශ්‍ර විවාහ වෙන නිසා විවාහ සිරිත් වෙනස් වෙලා අපි බඳින කොට මම ඇන්දේ අත් දිගට දාපු ලොකු ගවුම. ඒත් මගේ මල්ලි බැන්දේ සිංහල පවුලකින්. මේ නිසා උඩරට විදිහට මඟුල් ඇඳුම ඇන්දේ.”

රජුකා පවසන්නේ ඔවුන් දැන් වෙනස් වෙමින් යන ජන කොටසක් වී ඇති බවය.

සිලෝන් කැෆර්ලා සොයා ගිය ගමනේදී අපට ‘ලුවී’ හමු වන්නට ඕනෑ විය. නමුදු ‘ලුවී’ ගමේ නොසිටියේය. අපි ඔහු සොයා පුත්තලමෙන් තබ්බෝවට ගියෙමු. ඔහු අපට හමු වූයේ තබ්බෝවේ ලකී රාලහාමිගේ වෙළෙඳසල ඉදිරිපිටදීය.

“මට අවුරුදු තුනේදී තමයි පෝලියෝ හැදුණේ. මම මීට කලින් කසිප්පු විකුණපු-එක තමයි කළේ. පස්සේ මේ ලොතරැයි විකුණන්න ගත්තා. බිරියයි දරුවන් ඉන්නවා. මගෙ හිතට හරි දුකක් දැනෙනවා. අපේ පරම්පරාව ක්‍රමයෙන් වෙනස් වීගෙන යනවා. දැන් උපදින අලුත් දරුවන්ට මේ වගේ කොණ්ඩය නැහැ.” (ලුවි අයියා පවසන්නේ තම හිස අතගාමිනි)

අපිට ආසයි අපේ උපන් රට බලන්න. අපි අපේ භාෂාව දන්නේ නැහැ. ආදි වාසි ජනතාව තමන් ඔවුන්ගේ භාෂාව කතා කරනවා. ඒත් අපිට අපේ කියන්න තියෙන්නේ නැටුමයි, ජන ගී ටිකයි, පෙනුමයි විතරයි. මිශ්‍ර විවාහ නිසා පෙනුමත් නැති වී ගෙන යනවා. මිනිස්සු අපිට එක-එක විදිහේ නම් කියනවා. අප්‍රිකානුවෝ වෙච්ච-එක මට ආඩම්බරයක්. මගේ පුතාට තියෙන්නේ සිංහල පෙනුමක්. අපේ ගෲප් එකේ ඩොල්කිය ගහන්නේ මම. අපේ සින්දු සංගීතය මුඛ පරම්පරාවෙන් ආව දෙයක්. මේ සින්දුවල වචන කොහේවත් ලියැවිලා නැහැ. 2011 අවුරුද්දේ අපට දවස් පහක සංචාරයක් දකුණු අප්‍රිකාවට යන්න ලැබුණා. එහේ තානාපති, නිලධාරීන් අපිව බොහෝම ආඩම්බරයෙන් පිළිගත්තා. අපි අහලා තියෙන්නේ අපේ මවුරට දකුණු අප්‍රිකාවේ මොසැම්බික් කියලා. ඒ ගමනේදී මොසැම්බික්වලට යන්න අපිට කාලය මදි වුණා.”

පීටර් ලුවී පවසන්නේ දැසේ කදුළු පුරවාගෙනය. ඔහු ආබාධිතයන් සඳහා වන මෝටර් සයිකලයේ නැඟී පුත්තලම තබ්බෝව අවට ගම්මානවල ලොතරැයි අලෙවි කරන්නේය.

කෙසේ හෝ කුමන අඩුපාඩුකම් තිබුණද කලින් නොදන්වා එහි ගියද ෂෙරින්ලා, ජුලියට්ලා අපට වෙනස්කමක් නොකළහ.

ඔවුහු තම කණ්ඩා‍යමේ ඇඳුමෙන් සැරසී අප ඉදිරියට ආහ.

සංගීතය නැත. නමුදු උස් හඩින් ගයන්නාහ.

‘පාදිලි සද මිංගු
මඩි තමයි රෝසා
රෝසාති රොසා
රොසා කෙරේ මොසා’

අත්දිග, දිගු ගවුම හැද ඔවුහු නටති.

එය අපුරු රංගනයනකි.

“ගමට විටෙන් විට මාධ්‍යවලින් වෙනත් අය එනවා. ඔවුන් අපේ තොරතුරු ගෙනියනවා; සින්දු අරගෙන යනවා. ඒවා වැරදියට ගයනවා. ඒක අපට කරන අසාධාරණයක්. එත් අපි කා එක්කවත් තරහ නැහැ.”

රජුකා පවසන්නීය. හැඩි-දැඩි පෙනුම තිබුණ සිරම්බිඅඩිවල වෙසෙන සිලෝන් කැෆර්ලා බොහෝ සාමකාමීය. ඔවුහු තමන්ට ඇති ඉඩ ප්‍රමාණය අනුව එළවුළු පලතුරු වවති. වැඩි හරිය පොළටය. ඉතිරිය අසල්වැසියන් ඥාතීන් අතර හුවමාරු කරගනිති.

දවල් දවසෙම ගෙවල්වල කාන්ත‍ාවෝ නිකං ඉන්නේ. අපිට කවුරු හරි මුල් වෙලා ස්වයං රැකියාවක් කරන්න අවස්ථාවක් ලබලා දෙනවා නම් හොඳයි. එහෙමත් නැත් නම් පලතුරු වාරවලට ජෑම් හදන්න හරි කියලා දෙනවා නම් එය අපට ආදායම් මාර්ගයක් කරගන්න පුළුවන්.”

කාන්ත‍ාවෝ පවසති. අතීත උරුම කරපින්නාගෙන ජීවත් වන ඔවුන්ගේ හෙට දවස කුමක් වේවිද? තවත් පරම්පරා කිහිපයක් යන විට ඔවුන්ගේ අප්‍රිකානු පෙනුමද ගිලිහී යනු ඇත. එවිට ඔවුන්ට කුමක් වේවිද?

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »