කාමච්චෝඩේ අපිට දූවිල්ලත් රත්තරන්

2018-05-17 09:46:00       529
feature-top
මේ මිනිසුන් ජීවත් වෙන්නේ රන්සුනු එකතු කරමිනි. ආභරණ නිර්මාණයේදී රත්රන්- වලින් ඉවත් වන රන්සුනු එකතු කරන්නට ඔවුහු මහපාරේ කුණු කසළ පවා එකතු කරති. එයින් ලැබෙන කීයක හෝ මුදල ඔවුන්ගේ ජීවිතයට ගෙන එන්නේ සවියකි.

මට ‍ෂෝන් ෂාමිට් සිහිවෙයි. ඒ කොන්ස්තන්තයින් පවුස්තවුස්කිගේ ‘ද ගෝල්ඩන් රෝස්’ පොතේ රන් රෝස කතාවේ කතා නායකයා ය. ෂෝන් ෂාමිට් නැපෝලියන් යුද හමුදාවේ සෙබළෙකි. ඔහුගේ හමුදාවේ සිටින වැන්දඹු අණදෙන නිලධාරියා තම දියණිය ඥාතීන්ට බාර දෙන්නැයි කියා ෂෝන් ෂාමිට්ට භාරදෙයි. සුසේන් නම් දැරිය සමඟ එන ගමනේදී ඔහු දැරියට නොයෙක් කතා කියයි. ඔහු එක් කතාවක කියන්නේ දරිද්‍රතාවෙන් සිටින කාන්තාවක තමා සන්තකව ඇති ‘රන් රෝස මල’ නොවිකුණන බව ය. හේතුව ඇයට ‍රන් රෝස මල තම පෙම්වතා පිරිනැමූ එකක් වීම ය. මේ කතා අසා සිටින දැරිය අසන්නේ තමන්ට රන් රෝස මලක් කවුරුන් විසින් පිරිනමයිද කියා ය. කෙසේ හෝ දැරිය ඇගේ ඥාතීන්ට බාරදෙයි. ෂාමිට් ඉන්පසු ජීවත්වීමට බොහෝ වෙහෙස දරයි. දිනෙක ඔහුට තම පෙම්වතා සමඟ අමනාප වී සායම් ගිය ගවුමක් හැඳ ගඟ අද්දර සිටින යොවුන් සුසේන් හමුවෙයි. ඔහු ඇයව තම දුප්පත් කාමරයට කැඳවාගෙන එයි. පෙම්වතා සමඟ මිත්‍ර කරවයි. මේ අතර ෂාමිට්ට සුසේන් කුඩා කල ඇසූ ප්‍රශ්නය මතක් වෙයි.

“මට කවුද රන් රෝස මලක් දෙන්නේ....”

ෂාමිට් සුසේන්ට රන්්‍ රෝස මලක් තනන්න බොහෝ වෙහෙසෙයි. දුප්පත් ෂාමිට් නගරයේ රන් කරුවන්ගේ කඩසාප්පු අතුගා ඒ කුණු පොදි තම කාමරයට ගෙන එයි. ‍ඔහු රොන් සුනු එකතු කරයි. ඒ, රන් රෝස මලක් තැනීමට ය.

මට ෂාමිට් මතක් වෙයි. බිම් කළුවර පහව නොගිය විදුලි එළියෙන් ආලෝක වූ නගරයේ ඒ හිමිදිරියේ ෂාමිට්ලා රන් බඩු සාප්පු ඉදිරියේ පාර අමදිති. වැලි පස් සියල්ල එකතු කර බෑග්වල දමා පොදි ගසා ගනිති. ඔවුහු ඒවා සියල්ල තම නිවෙසට ගෙන යති. මීගමුව නගරයේ රන් බඩු සාප්පු ඉදිරියේ දහවල දෙනෝ දාහක් යන මඟ තිබෙන වැලි දූවිලි අතරේ ඔවුන් සොයන්නේ ද ‘රන් සුනු ය’. ඒ සුසේන්ලාට රන් රෝස මල් තනන්නට නොව තම දරුවන්ගේ ජීවිත සුඛිත මුදිත කරන්නට ය.

‘‍රන් රෝස’ ක‍ෘතිය ලියැවුණේ දශක ගණනකට පෙර ය. අප අද සිටින්නේ 21 වැනි සියවසේ ය.

වෙනස්කම් බොහෝ ය. නමුදු ඇතැම් දේ වෙනස් වී නොමැත. වැලි දූවිලි අතර රන්සුනු සොයන මිනිසුන්ට ඔවුන්ගේ ම කියා කතාවක් ඇත.

අපි මීගමුවට ගියෙමු‍.

“මේ වෙලාවට කොහෙද ඉන්නේ”

“ඉස්සර නම් පාලම ගාව ගරනවා. අද පොළ නිසා කොහෙ ඉන්නවද මන්දා. කාමච්චෝඩෙට ගියොත් හොයා ගන්න පුළුවන්. රාජලාගේ ගේ කියලා අහන්නකෝ.”

ත්‍රි‍රෝද රියැදුරු ‘ඩෑම්’ අයියා මීගමු පොළ අසලදී කීය.

මහවීදියෙන් හැරී අපි කාමච්චෝඩේ සොයා ගියෙමු.

අබලන් නිවාස මෙන් ම ළං ළංව පිහිටි බ්ලොක් ගලින් නිමවෙමින් පවතින නිවාස සහිත වත්තකට පිවිසියෙමු.

‘රාජා ඉන්නවා’

තරුණයෙක් කීය.

“ඔව් මම පාරවල් අතුගානවා. රත්තරන් බඩු සාප්පු ඉස්සරහා වැලි දූවිලි එකතු කරගෙන එනවා. අපි ඒවායේ රන් කුඩු හොයනවා. උදේම ඒ වැඩේ කරලා ඊට පස්සේ කුලී වැඩ කරන්න යනවා. මටත් වඩා හොඳට රස්සාව ගැන කියන්න දන්නේ මෙන්න මෙයා” යැයි කියමින් රාජා සුප්පයියාව අපට හඳුන්වා දුන්නේ ය. ඔහු සුප්පයියා හරිස්චන්ද්‍ර. වයස අවුරුදු හතළිස් හතරයි.

“අපි උපන්නේ ගම්පොළ. අපේ තාත්තා තම්බිරාජා. ඔහු තමයි රස්සාව හොයාගෙන මෙහෙ ආවේ. ඒ අසූ හත අසූ අට කාලේ. දෙමළ කෝලාහල කාලේ. කඩවල් එහෙම ගිනි අරගෙන තිබුණේ. තාත්තා කළේ රත්තරන් හොයන එක. අපිත් ඒකම පුරුදු වුණා. මම ඉස්කෝ‍ෙල් තුනේ පන්තියට විතරයි ගියේ. පාන්දර හතර පහ වෙනකොට අපි ටවුමට යනවා. රත්තරන් කඩසාප්පු ඉස්සරහා වැලි අතුගාලා කුණු රොඩු, ඔක්කෝම ගෙදර ගේනවා. මුලින් ම පිරිසුදු කරනවා.‍ වැලි විතරක් බේරලා ගන්නවා. ඊට පස්සේ වැලි ගරනවා. ඉස්සර අපි ගැරුවේ පාලම යට. ඒත් ඇළේ පස් පිරෙනවා කියලා පොලිසියෙන් එපා කිව්වා. දැන් අපි ගෙදර තමයි ගරන්නේ. ඉන් පස්සේ ගිනි වතුර දාලා පුච්චනවා‍. රසදිය දැම්මම රත්තරන් එකට එකතු වෙනවා. මිල්ලි 10 ක් මිල්ලි 20 ක් විතර හොයන්න පුළුවන්. අපි ඒවා එකතු කරලා කඩේට දෙනවා. මිල්ලි පන්සීයකට රුපියල් දෙදහස් පන්සීයක් තුන්දාහක් පමණ ගන්න පුළුවන්.

සුප්පයියා පවසන්නේ වැලි ගරමිනි. ඔහු ඉදිරියේ ආම්පන්න කට්ටලයකි. ගිනි අඟුරු කබලකි. කුඩා උපකරණයකි. තව රසායනික ද්‍රව්‍ය ය. අපි මීගමුවේ විතරක් නෙමෙයි යාපනේ, ගාල්ල, මාතර හැම තැනම යනවා. රත්තරන් බඩු කඩසාප්පු ඉස්සරහා අතුගාලා වැලි පොට්ටනි ගෙදර ගේනවා. ඒක තමයි අපේ රස්සාව. සමහරු කඩවල් ඇතුළේ කුණු වළක එකතු කරනවා. අවුරුද්දට එක පාරක් අපිට ඒ කුණුවළ දෙනවා. අපි ඒවායේ රත්තරන් සොයලා ඒගොල්ලන්ටම දෙනවා. එතකොට රුපියල් පන්දාහක් විතර ලැබෙනවා. එහෙම නැත්නම් අපි ඒගොල්ලන්ගේ කඩවල කුණුවළට ගානක් දීලා අරගෙන එනවා. ඒ කුණු ගොඩෙන් වැලි ටිකක් අරගෙන පිඹලා බැලුවම අපිට කියන්න පුළුවන් ඒ කුණු ගොඩ කොච්චර වටිනවද කියලා. මම එක වතාවක් පවුම් එකහමාරක් හොයලා තියෙනවා. මේක ඇවිල්ලා කාටවත් යටත් නැති රස්සාවක්්‍. කොළඹ හෙට්ටි වීදියේ අය පාර අතුගාලා කුණු එකතු කරන්නේ මහ රෑට. කොහොමත් මේ රස්සාව කරන පහළොවකට වැඩිය ඉන්නවා.”

සුප්පයියා වැඩිදුරටත් කියයි.

කාමච්චෝඩේ ඇතතන් එකතු කරන්නේ පාරේ වැලි පස් පමණි. හෙට්ටිවීදියේ සිටින රන්සුනු සොයන්නෝ ගලිවළවල් ද මිලට ගනිති. කුණුවළවල් ද මිලට ගනිති. කැළි කසළ ගොඩේ ඔවුන් මේ සොයන්නේ ජීවිතයයි.

රත්රන් ඇත්තේ වීදුරු අල්මාරිවල ය. සාප්පුවල රන්කරුවන් සිටින්නේ එහි ඇතුළට වන්නට ය. රන් බඩු සෑදීම සියුම් කර්මාන්තයකි. එය ඉවසීමෙන් කළ යුත්තකි. සියුම් උපකරණවලින් රන් භාණ්ඩ සදන විට එයින් රන් සුනු බිම වැටේ. බිමට වැටෙන්නට ඉඩ නොදීමට ආවරණයක් දමා ඇත. නමුදු සියුම් රන් සුනු රන්කරුගේ අත්වල තැවරේ. එසේ තැවරෙන රන්සුනු සාප්පුව තුළ ද සැලේ. නැත්නම් පා දූවිලිවල ගැටී සාප්පුවෙන් පිටතට ද යයි. සුප්පයියලා වැන්නවුන් පාර ඇමදීමෙන් එකතු කරගන්නා පස්වලින් ගරා ගන්නේ එවැනි රන්සුනු ය.

“පවුමක මාලයක් හදන්න පවුම් එක හමාරක රත්තරන් ලැබෙනවා. මං පරම්පරාවෙන් එන රස්සාව මේ කරන්නේ. පවුමේ මාලය හදලා ඉවරවෙලා මම කඩකරුට ඉතුරු පවුම් භාගය දෙන්න ඕන. මාලේ හදන කොට මෙන්න මෙහෙම කුඩු හැලෙනවා. ඒ කුඩු තමයි අපටම පෑගිලා පාරට යන්නේ.”

විසිපස් වසරක් තිස්සේ රන් කර්මාන්තයේ නියැළෙන‍ එම්.ඒ. ජයලත් පවසයි.

මම කළමනාක‍රුවකු හැටියට වැඩ කරන්නට පටන් අරගෙන අවුරුදු තිහකට වැඩියි. ඒ තිස් අවුරුද්දට ඔය මිනිස්සු ඇවිල්ලා අපේ කඩ ඉස්සරහා පාර අතුගානවා දැකලා තියෙනවා. ඔය අතරේ කාන්තාවකුත් ඉන්නවා. අද ඒ අම්මා පොළේ ඇති.” සුනිල් ශාන්ත ජයරත්න රන්සුනු සොයන කාන්තාව සොයා ගැනීමට ඉඟි පැවසී ය.

ඇය හිටියේ මීගමු පොළේ ය. ඒ මාළු මිරිස් තෝරමිනි. නමින් කාන්ති ය. තරුණ වියේදී දුම්මැස්ස පෙරළීමෙන් ඇගේ මුහුණ පිච්චී ඇත. දරුවන් පස් දෙනකුගේ මවක වන ඇය හැට හතර හැවිරිදි ය.

“මගේ පුතාලා දෙන්නෙක් මේ රස්සාව කළා. එක්කෙනෙක් දැන් දැල් අදින්න යනවා. අනිත් එක්කෙනා කුලී වැඩත් කරනවා. බලන්නකෝ මට වෙච්ච දේ. මීට මාසයකට විතර කලින් මගේ තාච්චි බඩු ටික හොරු අරගෙන. මම පැමිණිල්ලකුත් දැම්මා. ඉස්සර මම රුපියල් දෙදහා තුන් දාහ හොයලා තියෙනවා. මගේ එක පුතෙක් ඉන්නේ හිරේ. එයා එයාගෙම මල්ලිව පිහියෙන් ඇණලා මැරුවා. පුතාට මුලින් ම ලක්ෂ දෙක හමාරක් ඇප දීලා එළියට ගත්තා. ඒ සල්ලි මම හොයා ගත්තේ රන්කුඩු විකුණලා. රත්තරන් හොයන එක ලේසි පහසු නැහැ. මිනිස්සු පාරේ කෙළත් ගහනවා.‍ අපි ඔය ජරාව ඔක්කෝම අතගානවනේ. මී බෙට්ටේ ඉඳලා එකතු කරගන්නගෙන කුණු ගෙදර ගෙනැල්ලා පුච්චනවා. ඊට පස්සේ සුන් බුන් තෝරනවා. ඉන් පස්සේ ‍ඒවා හෝදනවා. භාජනවල දාලා ගරනවා. වැලි අයින් කරලා ආයෙත් හෝදනවා. ඒක වේළලා කාන්දම් කෑල්ලක් දානවා. එතකොට අර ගොඩේ තියෙන ඇණ කෑලි, තඹ කෑලි කාන්දමට ඇලෙනවා. ඉතිරි වෙන ටික ගිනි වතුර දාලා පුච්චනවා‍. ගිනි වතුර පිච්චිලා ගිහිල්ලා ඉතිරිවෙන කුඩු ටිකට රසදිය ටිකකට කලවම් කරනවා. එතකොට රත්තරන් ටික එකට එකතුවෙනවා. ඒ රත්තරන් ටික උණු කරලා තමයි ආයෙත් ඒ රත්තරන් මිලට ගන්න අයට දෙන්නේ. මං අවුරුදු තිස් ගානක් තිස්සේ ඔය රස්සාව කරනවා. මගෙ මනුස්සයා කළෙත් ඕක. මේක අපේ පරම්පරා රස්සාවක්.

කාන්ති අම්මා කියන්නේ මාළු මිරිස් තෝරන අතරේ ය.

කසළවලින් රන්සුනු සොයන මිනිසුන් සොයා යනතුරුම ෂාමිට්ගේ කතාවෙන් ලද සියුම් රිදුම හද තුළ තිබිණි. දැන් ඒ රිදුම වඩාත් වැඩි ය. ඒ ජීවත් වන්නට අප්‍රමාණ දුකක් විඳින අනුන්නේ කුණු කසළ නිවෙසට ගෙන යන; ඒ කුණුවල රන්සුනු සොයන මිනිසුන්ගේ ජීවිතවල තිත්ත ඇත්ත දන්නා බැවිනි.

“ඇත්තම කිව්වොත් මං ඉස්සර මත්ද්‍රව්‍යත් ගත්තා. පොලිසියට අහුවුණා. ඒකේ දඩේ ගෙවා ගන්න බැහැ. ඒ නිසා මාව ප්‍රජා ‍සේවයට දාලා තියෙන්නේ. මං උදේ පාන්දර ගිහිල්ලා කුණු එකතු කරගෙන එනවා. අද මම මිල්ලි 500 ක් රත්තරන් කඩේට දුන්නා‍‍. රුපියල් දෙදහස් අටසියයක් ලැබුණා.”

අප ඉදිරියේ ඇන තියාගෙන මුදල් ගනිමින් ත්‍යාගරාජා පවසන්නේ කාමච්චෝඩේ මිනිසුන්ගේ ජීවිතවල තවත් කතාවකි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »