විස්මිත නුවරක මහ නිමැවුම්කරු

2018-05-10 11:02:00       283
feature-top
ශ්‍රී දළදා මාලිගාව දෙස් විදෙස් ජනතාවගේ නෙත් සිත් ඇද බැඳ ගත් පූජනීය ස්ථානයකි. එහි ඉදිකර ඇති පත්තිරිප්පුව ආසියාතික ගෘහ නිර්මාණ ශිල්පයේ අපූර්වත්වය පෙන්වයි. කෙසේ වුව මේ නිර්මාණය කළ නිර්මාණකරුවා ගැන නිර්මාණයේ කිසිම තැනක සඳහන් නොවේ. පසුගිය දිනක පත්තිරිප්පුවේ නිර්මාණකරු වූ දේවේන්ද්‍ර මූලාචාරිගේ රුවක් පිළිබඳ කතා බහක් ඇති විය. මේ සිළුමිණ ඔහු ගැන සොයා ගිය ගමනයි‍.

බෞද්ධයකු නිසා ම නොව මම කවදත් දළඳා මාලිගයට ආදරය කළෙමි. බාලවියේ සිටම දළදා මාලිගාවට ගිය විට බොහෝ ඈත සිට එදෙස බලා සිටිමි. විටෙක පත්තිරිප්පුව දෙස බලමි‍. තවත් විටෙක මාලිගාව වටා ඇති වලාකුළු බැම්ම දෙස බලමි. තවත් විටෙක මාලිගාව ඉදිරියේ ඇති වැව දෙස බලමි.

වැව අයිනට වන්නට ඇති හුළුපැන්ගෙය දෙස බලමි. නුවර මාලිගයට ගිය විට ඇසට ඉස්පාසුවක් නැත. මාලිගයේ කැටයම්, පත්තිරිප්පුව වටා ඇති මෝස්තර මේ සියල්ල පසු පස ඇස ලුහුබඳියි.

“කවුද මේවා කළ විශ්වකර්මයා” මේ සියල්ලෙන් විස්මයට පත් මගේ හිත මගෙන් අසයි. දිනක් අහම්බෙන් හමුවූ මිතුරකුගෙන් එයට පිළිතුර ලැබිණ.

“දේවේන්ද්‍ර මූලාචාරියා කියලා කෙනෙක් තමයි කරලා තියෙනවා කියන්නේ ඇම්බැක්කේ දේවාලේ කළෙත් මෙයැයිලු”ලේවැල්ලේ පදිංචි මිත්‍රයා පැවැසී ය.‍

ඉතිහාස ගත තොරතුරු අනුව මාතර දෙවුන්දර උපන් බවට පිළිගැණෙන ඔහුට අලකේශ්වර ඩිංගිත්තප්පු යන නම ද භාවිත වී තිබේ. මාතර උපන්න ද, පසුව කොත්මලේ මඩකුඹුර ප්‍රදේශයේ පදිංචියට පැමිණ තිබේ. ඔහු විවාහ වූයේ ඇල්දෙණියේ මූලාචාරිගේ දියණියක වූ රන්එතනා සමඟ ය. ඔහුට පුතුන් දෙදෙනකු සහ දියණියක සිට ඇත. රාජ සේවය නිසා ඔහුට ගම්වර රැසක් තෑගි ව‍ශයෙන් ලැබිණ. මේවා ද සමඟ හෙතෙම උඩුනුවර, අරත්තන ගමේ නිවෙසක් සාදා පදිංචි වී තිබේ.

“උඩුනුවර අරත්තන ගමේ මේ පරම්පරාවේ අය තවත් ඉන්නවා ” මගේ මිත්‍රයා අපට පැවසී ය.

තොරතුරු එකින් එක ‍එක් රැස් කරගත් අපි ‍දිනෙක අරත්තන කරා පිටත් වුනෙමු. කන්ද උඩරට රාජධානියට ආසන්න ඉතා පිටිසර පිහිටි අරත්තන ගම තවමත් සොඳුරු ය.

“දේවේන්ද්‍ර මූලාචාරිගේ ගෙදර තියෙන්නේ මම අද පදිංචි ව සිටින තැනයි. මමත් ඒ පරම්පරාවට අයිති කෙනෙක්. දේවේන්ද්‍ර මූලාචාරියා කියන්නේ මගේ මුත්තා. මුත්තා ගැන හරි අපූරු කතන්දර තියෙනවා. මම ඒ හත්වැනි පරම්පරාවේ. පරම්පරාවෙන් ආව කතාන්දර බොහොමයි. අපේ මුත්තා දකුණු පළාතේ උපන් කෙනෙක්්‍. මුත්තගේ තාත්තා කර්මාන්තකරුවෙක් ලු‍. කීර්ති ශ්‍රී රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේ ඒ කියන්නේ ක්‍රි.ව. 1747 මුත්තා උපන්නා කියලා තමයි අපි අහලා තියෙන්නේ.

අපේ මුත්තට ටිකිරි නයිදේ කියලා වැඩිමල් සහෝදරයෙකුත් ඉඳලා තියෙනවාලු. විවාහයෙන් පස්සේ කොත්මලේ මඩකුඹුර ප්‍රදේශයේ පදිංචි වෙලා හිටියත් පසුව රජවරුන්ගෙන් ලැබුණු ගම්වර අනුව උඩුනුවර අරත්තන ගමේ පදිංචි වෙලා ඉඳලා තියෙනවා.”

යුග ගණනාවක් ගෙවී ගොස් ඇත. නමුදු ඒ පරම්පරාවෙන් පැවැත එන හත්වැනි පරපුර නියෝජනය කරන දේවේන්ද්‍ර ගෙදර උපුල්සිරි දන්තසිංහ තම මුත්තා ගැන පවසන්නේ ඔද වැඩුණු මනසිනි.

රජුගෙන් නම්බු නාම ලැබීමට තරම් මේ පුද්ගලයා කළ විස්කම් කවරේද යන්න මොනවද? හිත විමසයි. “ඇයි මඟුල් මඩුව, පත්තිරිප්පුව, දළදා මාලිගාව වටේ තියෙන වලාකුළු බැම්ම.... ආදී තවත් බොහෝ දේ කරලා තියෙන්නේ අපේ මුත්තා”

දේවේන්ද්‍ර මූලාචාරිගේ සමන් අප හිත් කියව‍ූ ලෙසින් පවසයි.

දළදා මාලිගාවට පත්තිරිප්පුව සුවිශේෂී ය. ඒ සිංහලයේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන් විසින් පත්තිරිප්පුව සාදා ඇත්තේ රජුට නගර‍ය බැලීම, පිට්ටනියේ පැවැත්වෙන ක්‍රීඩා නැරඹීම ආදී අරමුණු මුල් කරගෙන ය.

මේ සඳහා මණ්ඩප්පයක් ඉදිකිරීමේ යෝජනාව ගෙනැවිත් ඇත්තේ දෙහිගම නිලමේ ය. එම යෝජනාව දෙහිගම නිලමේ විසින් ඉදිරිපත් කළ සැණින් රජු එයට එකඟ වූ බව ඓතිහාසික වාර්තා සඳහන් කරයි. ඒ වන විට ශ්‍රී වික්‍රමරාජසිංහ රජු වයස අවුරුදු විස්සක පමණ තරණයෙක් විය. මේ මණ්ඩපය ඉදිකිරී‍මට යෝජනාවී ඇත්තේ රාජකීය මුළුතැන්ගෙය තිබූ ස්ථානයයි‍.

ඒ කාලයේ දී පෘතුගීසින් හා ලන්දේසින් විනාශ කළ වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කිරීමට පිට පළාත්වලින් දක්ෂ ශිල්පීන් ගෙන්වා තිබිණි. මේ පිරිස අතර දේවේන්ද්‍ර මූලාචාරි ද සිටියේ ය. ඔහුගේ දක්ෂකම් ගැන බොහෝ දෙනා අතර කතාබහ ඇතිවිණි. මේ දක්ෂ නිර්මාණ ශිල්පියාට එම නැරඹුම් ස්ථානය සාදන ලෙස බාරදෙන ලදී.

ඔහු පැරණි ගෘහ නිර්මාණ ශිල්පි කැටයම් සහිත අටපට්ටම් ගොඩනැගිල්ලක සැලැස්මක් රජුට ඉදිරිපත් කළේ ය. මෙය දුටු රජු බෙහෙවින් සතුටට පත් වූයේ ය.

රාජ සභාවේ ද අනුමැතිය ඇතිව කඩිනමින් පත්තිරිප්පුව ඉදිවූයේ ය. මේ ශිල්පියාගේ දක්ෂතා ගැන පැහැදුණු කීර්ති ශ්‍රී රාජසිංහ රජු ද 1780 දී දේවේන්ද්‍ර නාමය සමඟ මූලාචාරි යන පටබැඳි නාමය රන් නළල් පටක් සමඟ ප්‍රදානය කර ඇත.

ඒ ගැන පවසන්නේ ඉතිහාසය පිළිබඳ සොයන්නෝ ය.

“අපිට අපේ මී මුත්තා ගැන ආඩම්බරයි. දළදා මාලිගාවට ආවහම හිතට හරි ආඩම්බරයක් දැනෙනවා. මේවා අපේ මුත්තා කරපු දේවල්නේ කියලා. 1815 කන්ද ‍උඩරට ගිවිසුම අත්සන් කරපු මඟුල් මඩුව හදලා තියෙන්නෙත් අපෙ මුත්තා. මුල් සැලැස්මට අනුව මඟුල් මඩුවේ දිග මීටර් 19.75 පළල මීටර් 11.65 ක්. විසිතුරු කැටයමින් යුක්ත කුලුනු හැට හතරක් තියෙනවා.‍

මේ මඟුල් මඩුවට පිවිසෙන ස්ථානයේ උඩරට සම්ප්‍රදාය අනුව සැකැසුන සඳකඩ පහණක් තියෙනවා. මී මුත්තගෙ පරපුරෙන් එන කැටයම් වැඩ වාස්තු වැඩ, ගෘහ නිර්මාණ ශිල්පය කරන අය තවමත් ඉන්නවා. දැන් මී මුත්තගෙ ගේ කඩා වැටිලා තියෙන්නේ. නමුත් ඔහු පාවිච්චි කළ ළිඳ, ‍පඩිපෙළයි, නිවසේ තිබ‍ූ විශාල කුරහන් ගලයි තිබෙනවා. ඒ වගේ ම මීමුත්තට ලැබුණු සන්නස් තවමත් සුරැකිලා තිබෙනවා.”

තම වැඩිහිටියන්ගෙන් දැන කියාගත් තොරතුරු එසේ අප සමඟ පැවැසුවේ සමන් ජයසිංහ ය.

කන්ද උඩරටට අදත් අභිමානයක් ගෙන එන්නේ මේ ගෘහ නිර්මාණ ශිල්පය ය. නුවරවැව, නැතහොත් කිරිමුහුද වටා ඉදිවී ඇති බැම්ම මේ අනන්‍යතාවයන් ය.

දේවේන්ද්‍ර මූලාචාරියා පිළිබඳ අපූරු කතා ඇත්තේ ය. ඒ පිළිබඳ තොරතුරු සොයා යන විට හමුව‍ූ තොරතුරු රැසකි. එනම් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු හා දේවේන්ද්‍ර මූලාචාරියා එක සමාන රුවකින් වූ බව ය. එමෙන් ම දේවේන්ද්‍ර මූලාචාරියා හා රජු අතර දැඩි මිත්‍රත්වයක් තිබී ඇත. රජ වාසලේ ඇතැම්හු එය නොරිස්සූහ. ඔවුහු රජු හා මූලාචාරියා බිඳ වීමට කේලම් කියූහ.

මඟුල් මඩුව ඉදිකරන කාලයේ මොවුන් බොරු චෝදනා මූලාචාරියාට විරුද්ධව කීහ. රජු ද ඒවා විශ්වාස කොට මූලාචාරියාගේ ඇඟිලි කපන බවට තර්ජනය කළේ ය. මෙය ඇසූ මූලාචාරියා කම්පා වූයේ ය. ඔහු සිත් වේදනාවට පත්වූයේ ය. මූලාචාරියා තමන් විසින් ම හදන ලද මහනුවර වැවට පැන දිවි නසා ගත්තේ ය. ඒ 1812 දී ය. රාජ සේවකයෝ රජුට මූලාචාරියා වැවේ පැන්න බව දැනුම් දුන්හ. පසුව රජු දුටුවේ මූලාචාරියාගේ හිස් වැස්ම වැවේ පාවෙන බව ය. රජු තම දකුණු අතේ මාපට ඇඟිල්ල විකා ගනිමින් ආ...අ මගේ මූලාචාරියා යනුවෙන් කියා මහත් කනගාටුවට පත්වූයේ ය.

බොහෝ ශිල්පයන් දත් දේවේන්ද්‍ර මූලාචාරියාගේ අවසානය සිදුවූයේ එසේ ය‍.

ඔහුගේ පරපුරේ අද ඉන්න අය ද මේ සිදුවීම සිහිපත් කරන්නේ මහත් කනගාටුවෙනි. ඒ සමඟ ම මූලාචාරියා කළ දස්කම් ගැන විශාල සතුටක් ද ඔවුන් තුළ ඇත.

“අපේ මී මුත්තා කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාධිරාජසිංහ හා ශ්‍රී වික්‍රමරාජසිංහ යන රජුන් තිදෙනා යටතේ ම සේවය කර තිබෙනවාලු. ඒ වගේ ම මී මුත්තා ඔටුනු පට්ටල්, රන්කඩු පට්ටල්, සිංහාසන පට්ටල්, ආයුධ පට්ටල් හතරෙම අධිපති වෙලා හිටියලු. රජවාසලේ විශිෂ්ට පුද්ගලයන්ට පිරිනැමෙන ‘වස්ත්‍රාසන’ ආසනය මී මුත්තට හිමිවෙලා තිබුණලු.

මේ ඉතිහාස තොරතුරු අහන කොට අපට දේවේන්ද්‍ර මූලාචාරියා අපේ මී මුත්තා වීම ගැන පුදුමාකාර හැඟීමක් දැනෙන්නේ. මුත්තාට ලැබුණ ඉඩකඩම් වල තමා අපි අදටත් ජිවත් වන්නේ. මුත්තා පාවිච්චි කළ භාණ්ඩ තාමත් අපි ළග තියෙනවා. අපි පරම්පරා ගාණක් ඒවා ගොඩාක් ආදරෙන් ආරක්ෂා කරන්නේ”

දේවේන්ද්‍ර මූලාචාරියාගේ අටවැනි පරම්පරාව නියෝජනය කරන පී.ජී. ස්වර්ණාවතී පවසන්නේ මහත් ගෞරවයෙනි.



උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »