මෙලොව සැපට තනන වටාපත් ඇත තවමත් ගලතරේ

2018-05-01 10:56:00       527
feature-top
භික්ෂූන් වහන්සේලා විවිධ අවස්ථාවල වටාපත් භාවිතයට ගනිති. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගලතරේ වටාපත් සෑදීම අරභයා ප්‍රකට වූ ගමකි. එහි ගෙයක් ගෙයක් පාසා දැකිය හැක්කේ වට‍ාපත් සෑදීමට අවශ්‍ය අමු ද්‍රව්‍යයන් ය. ගලතරේට අප ගොඩ වැදුණේ මේ ජනතාවගේ ජීවිත ගැන අව‍බෝධයක් ගැනීමට ය.

ගලතරේට තව දුරද?”

අලව්ව, පඹදෙණිය පසු කර පැමිණි අපි ගලතරේට යන අතරමඟ වූ තේ කඩයට ගොඩ වුණෙමු. කඩ හිමිකාරිය 'ටක ටක' ගාමින් තේ සාදන්නීය.

“නෑහ්. තව පොඩි දුරයි. මේ මල්දෙණිය. ඊට පස්සේ ගලතරේ. කොයි අහට යන්නද?”

ඇය විමසන්නීය.

“වටාපත් හදන ගමට...”

“ඔය එන්නෙත් ඒ ගමේ දෙන්නෙක් තමයි.”

ඇය පවසන්නේ ඒ මොහොතේ කඩයට ගොඩවදින යුවළක පෙන්වමින්. අපේ අවශ්‍යතාව කඩකාරියට කීවෙමු.

“එහෙමද? නංගියේ මේන් මෙයාලව ගලේගෙදරට එක්ක යන්නකෝ. හැම දෙයක්ම දැනගන්න පුළුවන්.”

කඩ හිමිකාරිය මැදිවියේ යුවළට කීය.

“අපි දැන් පහු කළේ නාගහකන්ද කියන ගම. මෙතැන ඉඳලා තමයි ගලතරේ ගම පටන් ගන්නේ. ගමට එන්න යන්න බස් නැහැ. එක්කෝ පයින් යන්න ඕන. නැත්නම් ත්‍රීවීල්එකක යන්න ඕන. වීල්එකක ආවොත් රුපියල් දෙසීයක් විතර ගන්නවා. ඉස්සර ගමේ ඉස්කෝලයක් තිබුණා. ඒ තිබුණෙත් පහේ පන්තියට විතරයි. දැන් ඒකත් නැහැ. ගමේ දරුවෝ ඉස්කෝලේ යන්නේ පඹදෙණියට.”

තනුජා ජානකී ගමන අතරමඟදී පවසන්නීය. කිලෝමීටර තුනක් පමණ අප එන්නට ඇත.

“මේන් මෙතැනින් තමයි ගලේ ගෙදරට යන්නේ. අපිත් වටාපත් හදනවා; හදලා කොළඹට ගිහින් දෙනවා. ඊට අමතරව අපි ඉස්කෝලට කෑම දෙනවා. අපි ඉන්නේ කන්දෙ. ඔයාලට ඒ දිහාට යන්න අමාරුයි. ඕන් ඉන්නවා ගලේගෙදර කිරිඅම්මා.”

අපට පාර පෙන්වූ තනුජා යන්නට ගියාය.

ගලේගෙදර හරි අපූරු නිවෙසකි. තවමත් තල්අත්තෙන් වහල හෙවිල්ලා ඇති එහි පෙනුම දිගු ඉතිහාස කතාවක් කියන්නාක් බඳුය. වරිච්චි බිත්ති, ගෙපිල, වී බිස්ස, මාගල් ආන, වසර ගණනාවක් පැරණි බිත්තියේ ගසා ඇති නැකැත්පත්‍ර, වසර ගණනාවක් ඈත අතීතයකට අප රැගෙන යන්නාක් බඳුය.

කිරිඅම්මා සෙමෙන් අප ඉදිරියට ආවාය.

“මං බැලුවා කවුද කියලා.”

“වාඩි වුණා නම් මෙහෙන්”

ඇය පිල පිසදාලන අතර ම, අපට ආරාධනය කළා ය.

“මේ තියෙන්නේ මං ඉපදුන තිඹිරිගෙය.” ඇය එක් කාමරයක් පෙන්වන්නීය. එහි තැනින් තැන මැටි ගැලවී ගොසිනි. සෙවිලි කළ තල් අතුද දිරා ගොසිනි.

අපේ ගෙදරට හැමෝම කියන්නේ ගලේගෙදර කියලා. පේනවනේ මේ ගේ හදලා තියෙන්නේ ගල්තලාව උඩ. මගේ අප්පච්චි සිංහල වෙදමහත්තයෙක්. මං පවුලේ බාලයා. මගෙ සහෝදරයා තමයි පහළගෙදර ඉන්නේ. අලුත් ගේ හැදුවට අපේ පැරණි ගේ කැඩුවේ නැහැ. මේ ගේ හදලා තියෙන්නේ එක්දාස් අටසිය තිස් ගණන්වල. මම ඉපදිලා තියෙන්නේ එක්දාස් නවසිය තිස්තුන අවුරුද්දේ ජූලි දහනවය.” ගලේගෙදර කිරිඅම්මා අතීතය සිහි කරන්නීය. ඇය කලක් ගුරුවරියක ලෙස සේවය කළාය.

“අපේ ගමේ ඉස්සර ඉඳලම තල්කොළවලින් වට්ටිපෙට්ටි වියලා තියෙනවා. ඊටත් කලින් - ඒ කියන්නේ රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේ - මේ ගමේ ඉඳලා තියෙනවා තල්කොළවලින් පොත් හදපු කෙනෙක්. රාජසිංහ රජ්ජුරුවෝ ඇතා පිටේ මේ ගමට එනවලු පොත් ගෙඩි ගෙනියන්න (පොත් ගෙඩි යනු තල්කොළ එකට බැඳ ලිවීම සඳහා සකස් කළ තල්පත්ය). ලියන ආච්චි නිසා තමයි පහුකාලෙක ලියනාච්චි කියන වාසගම හැදිලා තියෙන්නේ. කාලයක් යන තුරු ලියන ආච්චි විවාහ වෙලා නැහැ. නමුත් පස්සේ කාලෙක රුවන්වැල්ල පැත්තේ කෙනෙක් ගෙනැල්ලා ආච්චිගෙ ගෙදර නතර කරලා තියෙනවා. මේ ගමේ හත්මුතු පරම්පරාව හැදිලා තියෙන්නේ එහෙමයි. මගෙ නම ලියනාච්චිගේ රන්මැණිකා.”

කිරිඅම්මා නිවෙසේ කාමරයෙන් කාමරයට යමින් අප හා පවසන්නී ය.

මුල් කාලයේදී තල්කොළවලින් වට්ටි පෙට්ටි පමණක් තැනූ ගලතරේ ගැමියෝ දැන් තම එකම ආදායම් මාර්ගය කරගෙන ඇත්තේ වටාපත් සෑදීමය. මුල් කාලයේ වටාපතට එතරම් මෝස්තර නොතිබිණි. එනමුදු දැන් එයට විවිධ මෝස්තර එක් වී තිබේ.

ලියනාච්චිගේ පොඩි මැණිකා ගලේගෙදර කිරිඅම්මාගේ ඥාතියෙකි.

“ඉස්සර තල්ගොබයක් ශත තුනයි. මම 1952 ඉස්කෝලේ ගිහිල්ලා ඉවර වුණු ගමන් වටාපත් හදන්න ගත්තා. අපේ ගෙවල්වලත් හදපු නිසා අමුතුවෙන් ඉගෙනගන්න දෙයක් තිබුණේ නැහැ. ඒ කාලේ ගමට වෙළෙන්දෝ එනවා. දැන් අපි ෙකාළඹ කඩවලට ගිහිල්ලා දෙනවා. දැන් නම් තල්ගොබයක් රුපියල් විසිපහයි. පිටින් තමයි තල්ගොබ ගේන්නේ. අපේ ගමේ ඈතට වෙන්න තල්උයන් දෙකකුත් තියෙනවා. ඒ වගේම තලකොළ වියන්නන්ගේ සමූපකාර සමිතියකුත් තියෙනවා. තලකොළවලින් තවත් දේ උගන්වන පන්තියකුත් තියෙනවා.”

පොඩි මැණිකේ ඇගේ නිවෙසට අප කැඳවාගෙන යන අතරේ පවසන්නීය. ඇය 2014 වසරේ විශ්වකර්ම ගෞරව සම්මානයෙන්ද පිදුම් ලබා ඇත.

“ගලේගෙදර කිරිඅම්මා මාසයක් විතර ඉන්දියාවේ පුහුණුව ලැබුවා. ඇය කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ ගුරුවරියක් ලෙසත් සේවය කළා. එයාට දැන් හුඟක් දේවල් අමතකයි. ඒත් වටාපත් වියනවා. නිකන් ඉන්න වෙලාවට ලවන් (වල් ගස්) ගලෝලා මිදුල පිරිසුදු කරනවා. නමුත් අතීතය ගැන හොඳට මතකයි.”

පොඩිමැණිකේ අම්මා තම ඥාතිවරියට අමතක දේ ඇයට මතක් කර දෙන්නී ය.

ගලතරේ ගෙයක් ගෙයක් ගානේ වටාපත් සාදන්නෝ වෙසෙති. ඇතැම් නිවෙසක ඉදිරියේ තල්ගොබ මිටිය. තවත් නිවෙසක තම්බා වේළෙන්නට දැමූ තල්ගොබය.

වටාපත් සෑදීම ලෙහෙසි පහසු නැත. එය දෑතේ කර්මාන්තයකි. අමු තල්ගොබ දින දෙකක් තම්බනු ලැබේ. ඉන් පසු වියළෙන්නට තබයි.

යළිත් අච්චුව තබා වටාපත කැපීමට පෙර විනාඩි පහක් පමණ වතුරේ පොඟවනු ලැබේ. අච්චුවේ කැපූ තල්ගොබය අවශ්‍ය පරිදි සකසමින් ඉරටු වටයට තබා ඉදිකටු නූල්වලින් මසනු ලැබේ. ඉන් පසු අවශ්‍ය මෝස්තර දමමින් හැඩගන්වනු ලැබේ. ගලතරේ ගැමියන් කියන විදිහට වටාපතේ මෝස්තර කිහිපයකි. මිල ගණන් තීරණය වන්නේ ඒ අනුවය.

හේමලතා දැන් පදිංචිව සිටින්නේ වරකාපොළ. එහෙත් ඇය ගමට පැමිණ අවශ්‍ය දේ රැගෙන යයි; වටාපත් සාදා කඩවලට දමයි.

“ලියනගේ නෝන මහත්තයා කියලා කෙනෙක් තමයි ගමට වටාපත් හදන්න හුරු කළේ. ඊට කලින් කළේ තල්කොළවලින් වට්ටි පැදුරු මාගල් වියපු එක. දැන් හැමෝම වගේ කර්මාන්තය කරනවා.”

අබේරත්න මැණිකේ වටාපතක් සකසන ගමන් පවසයි.

ගලතරේ ගැමියෝ වටාපත් සාදන්නේ නිවෙසේ අනෙක් කටයුතුද කරන අතරේය. බොහෝ විට මෙහි නියැළෙන්නේ කාන්තාවෝ ය. එහෙත් වටාපත් මිට සකස් කරන්නේ පිරිමින්ය.

“ඉස්සර වගේ නෙමෙයි දැන් හැමදේම ගණන්. ඉරටු මිටියක් රුපියල් පනහක් හැටක් වෙනවා. අපිට තිබෙන එකම ප්‍රශ්නෙ තමයි තල්ගොබ හිඟකම. අවාන් මධ්‍යස්ථානයෙන් අපට යම් යම් සහන සලසනවා. කොහොම වුණත් වෙන දෙයකට යොමු වන්නේ නැතිව මේකම කරනවා නම් දවසට වටාපත් විස්සක් විසිපහක් විතර මහලා ඉවර කරන්න පුළුවන්.”

ඉහළ වත්තේ ගෙදර අබේරත්න මැණිකේ පවසන්නේ අච්චුව තබා වටාපතක් කපමිනි. ඇගේ දෑත් කඩිසර ය. දැන් ඔවුන්ට දෑස පියාගෙන වුව ඒ කාර්යයේ නියැළීමට පුළුවන.

ගලතරේ ගෙයක් ගෙයක් ගානේ ඇවිද ගිය අප එන්නට පිටත් වීමු. පුදුමය නම් ගැමියන් මැසිවිලි නොනැඟීම ය. ඔවුන්ට ඇති එකම ප්‍රශ්නය තල්ගොබ හිඟකම ය. ඒ හැරෙන්නට අරවා දෙන්න මේවා දෙන්නයැයි කියමින් වටාපත් සාදන්නන් ඉල්ලීම් ඉල්ලන්නේ හෝ නැතිබැරිකම් කියන්නේ නැත. තවමත් ගැමි බව සුරැකී ඇති ගලතරේ ගැමියෝ නිර්ව්‍යාජ ය. අපි යළිත් ගමන ආරම්භ කළ තැනට පැමිණියෙමු. වයස අවුරුදු අසූව ද ඉක්මවා ගිය කිරිඅම්මා අපත් සමඟ ය.

“පෘතුගීසීන්ගේ කාලේ අපේ ගෙදරට ගිනි තියලා තියෙනවා. මගේ ගෙදර තියෙන වී බිස්ස හදලා තියෙන්නේ එක්දහස් අටසිය තිස්අටේ. දැන් මේ ගමේම වී බිස්සකට තියෙන්නේ ඔච්චරයි. පුරාවිද්‍යා එකටත් මගේ ගේ ගැන ලියලා තියෙන්නේ. ඔය දරුවෝ දන්නවද, අපි පන්සල් ගියාම හාමුදුරුවෝ කියන්නේ ගලතරේ ඇත්තෝ නම් හොඳට කුසල් කරගෙන තියෙන්නේ කියලා.” කිරිඅම්මා පවසන්නේ ආඩම්බරයෙනි.

වටාපත් සෑදීම ඔවුන්ට ආර්ථික ලාභයකි. එමෙන් ම වටාපත් පූජා කිරීමේදීද යම් ආනිශංසයක් තිබිය යුතු ය.

‘හාමුදුරුවෝ ඇයි වටාපත් පාවිච්චි කරන්නේ?’ ඒ පුංචි සන්දියේ නිරන්තරයෙන් ම මසිත ඇති වූ ප්‍රශ්නයකි.

‘එකත් එකට ම හාමුදුරුවෝ බණ ලියාගෙන එනවා ඇත්තේ වටාපතේ’

ඒ මගේ හිත මට දුන් උත්තරයකි.

එහෙත් සත්‍යය නම් භික්ෂූන් වහන්සේ වටාපත භාවිත කරන්නේ ධර්ම දේශනා කිරීමේදී, මනස එක අරමුණක තබාගැනීම සඳහා බව ය. කෙටියෙන් කිව හොත් එය සන්නිවේදන සාධකයකි. දේශකයාගෙන් විය හැකි තොල පෙරළීම, දිව ඇදීම ආදි වූ මුඛ විකාර, අතින් දක්වන හස්ත විකාර ආදි දේ වැළැක්වීමට හෝ ඒවා තමා ඉදිරියේ සිටිනා අයට නො පෙනීම සඳහා වටාපත භාවිත කරනු ලැබේ.

භික්ෂූන් වහන්සේ උදෙසා වටාපත් පූජා කිරීමේ ආනිශංස ද ඇත.

තුන්සරණේ එක් කවියක කියැවෙන්නේ ‘වටාපතක් සේ රැවුළ ලැබෙන්නයි’ යනුවෙනි. රැවුළ යනු පිරිමියකුගේ අභිමානය කියා පාන්නකි. මේ ආත්මයේ වටාපත් පූජා කිරීමෙන් ඊළඟ ආත්මයේදී පිරිමි ආත්මයක් ප්‍රාර්ථනා කිරීම ද ජන ඇදහිල්ලේ පවතී. ගල්තරේ ඇත්තෝ නම් පරලොව සැප කෙසේ වෙතත් මෙලොව ජීවිතයේ සැප පතා තවමත් වටාපත් හදති; තල්ගොබ සමඟ හැප්පෙති.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »