රජෙක් ඉල්ලන ජනතාවක්

2018-04-26 10:47:00       559
feature-top
ට්‍රාන්ස්ෆෝමරය අසලින් ඇති අඩිපාර දිගේ අපගේ ඇස් දිව යන්නට විය. කටුපඳුරු, වැල් වලින් එල්ලී පහළට බැසිය යුතු මේ අඩිපාරේ ගමන නම් පහසු වන්නේ නැත. පහළින් ගලා හැලෙන කුඩා දිය ඇල්ලක් වැනි දියපහරේ හඬ ද ඇසෙන්නේ පහළට එන ලෙස අපට කරන ආරාධනාවක් මෙනි.

"මේ ගමන ගියේ නැත්නම් වැඩක් නැහැ"

"ඔව්. කොහොම හරි බහිමු" සිතට දිරිගත් මම සමන්තට කීවෙමි.

බණ්ඩාර ඉදිරියට විත් අපට මඟ පෙන්වයි. ඒ සමඟ ම මෙතෙක් වේලා අප පසුපසින් පැමිණි තැන්ගොඩ රාජමහා විහාරයේ කුඩා සාමණේර හිමිවරු අපිට කලින් පහළට යන්නට වූහ. ඔවුහු අතරේ තිබුණේ එකම තරගයකි. වැලක එල්ලුණු මම අමාරුවෙන් ගස් මුලක අඩිය නොතබන්නට අඩි කිහිපයක් පහළට විසිවෙනු නියත ය. වාසනාවකට තවත් අත්තක අතක් රැඳුණු හෙයින් ඒ අනතුරින් ගැලවිණි.

"මෙතැන තමයි පනාවල තියෙන්නේ. දොරේසාමි කුමාරයාගේ මාලිගාව තිබ්බේ මෙතනයි කියලා විශ්වාස කරනවා" ඒ, අපේ ගමන් සඟයා වූ බණ්ඩාරගේ හඬයි. වේගයෙන් පහළට කඩා හැලෙන ජල පහර නිර්මාණය කරන්නේ දිය ඇල්ලකි.

"ඔය දිය ඇල්ල යටින් උමඟක් තියෙනවා කියලා විශ්වාස කරනවා. උමඟෙ අනික් පැත්ත වැටෙන්නේ ඊතණවත්ත දේවාලය ළඟටයි. සාමාන්‍යයෙන් රජ මාලිගයකින් පිට වෙන්න රහස් මාර්ගයක් තියෙනවා. මේ උමඟත් එහෙම එකක් වෙන්න ඇති"ටැම්ගොඩ රජමහ විහාරාධිපති ඊතණවත්තේ අත්තදස්සි හිමියන් කළ ප්‍රකාශයක් අපට සිහිවෙයි.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සිරගත කළ පසු සමස්ත ලංකාව ම ඉංග්‍රීසීන්ට යටත් විය. එංගලන්තයේ රජු මෙරට රජු ලෙස සැලකිණි. එහෙත් සිංහලයන්ට අවශ්‍ය වූයේ තමන්ගේ රජෙකි. මේ බව 1816 නොවැම්බර් 5 දින රොබර්ට් බ්‍රවුන්රින්ග් යටත් විජිත ලේකම්වරයාට යැවූ ලිපියක සඳහන් වේ.

"සිංහලේ රජකළ අසිංහල රජ පලවා හැරීම පිණිස උඩරට සිංහල නායකයන් විසින් අප එහි කැඳවනු ලැබූහ. ඒත් දැන් ඔවුහු අපගේ පාලනය නොරුස්සති. විශේෂයෙන් ම බෞද්ධ රාජධානියක් අබෞද්ධ පාලකයන් පිරිසකගේ අණසකට යටත් වී තිබීම උඩරට පැවිදි පක්ෂ‍යේ අසන්තෝෂයට හේතු වී ඇත. සැතපුම් දහස් ගණනක ඈත වසන රජකුගේ පාලනයක් ගැන උඩරට වැසියෝ ප්‍රසාදයක් පළ නොකරති. සිංහලේ සිහසුනේ සිංහල රජකු සිටීම ඔවුන්ගේ පැතුම හා අවශ්‍යතාව වී තිබේ."

එන්න එන්නම උඩරට ගිවිසුමේ වගන්ති ඉංග්‍රීසීන් වෙතින් කඩ‍වන්නට වීමත් සමඟ ම මේ අවශ්‍යතාව මෙරට ජනතාවට වැඩියෙන් දැනෙන්නට විය. 1815 කුමන්ත්‍රණයෙන් පසු ජනතාව සිටියේ ඇ‍හැලේපොළ රජවේවි යන බලාපොරොත්තුවෙනි. ඒ අනුව ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජාභරණ භාරව සිටි නිලධාරියා පවා ඉන් ආභරණ කොටසක් ඇහැලේපොළට ප්‍රධානය කර තිබිණ. එමෙන් ම උඩරට රජකුට පමණක් සීමිතව පැවැති චාරිත්‍ර කිහිපයක් ඇහැලේපොළ විසින් සිදු කිරීමෙන් මහරජ කෙනකුට අවශ්‍ය ගෞරවය ඔහු අපේක්ෂා කළ බව ද පෙනෙන්නට තිබිණි. එහෙත් ඉංග්‍රීසීන් ඇහැලේපොළ විශ්වාස කළේ නැත. මේ නිසා ඇහැලේපොළගේ අපේක්ෂා ඉටු වූයේ නැත. මේ සමඟ ම ඉංග්‍රීසීන් පන්නා දැමීමට කටයුතු පෙළ ගැසුන ද ඉන් පසු රජ කරවන්නේ කවුරුන්දැයි යන ප්‍රශ්නය පැන නැගිණි. මේ වන විට උඩරට ප්‍රභූන් අතර තිබූ අසමගියත්, විරසකයත් නිසා එතෙක් පැවැති පෙළපතේ රජකු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම ගැටලු සහගත විය.

ඒ අනුව සිංහලයට රජකු පත්කරගැනීමේ පළමු උත්සාහයට සියල්ල පෙළ ගැසිණි. එහිදී බුරුම රාජ්‍යයෙන් කුමරකු ගෙන්වා රජ කිරීමේ කටයුතු සූදානම් කෙරිණි. මෙයට මූලිකත්වය ගන්නේ ඉහගම රතනපාල නම් හිමි නමකි.

" මේ අරගලය සංවිධානය කරන්නේ ඉහගම හාමුදුරුවෝ. උන් වහන්සේ මල්වතු විහාරයේ ඉගෙන ගනිමින් සිටි අවුරුදු 21ක පමණ තරුණ භික්ෂූන් වහන්සේ නමක් විදිහටයි සඳහන් වන්නේ"

ග්‍රන්ථ රචකයකු මෙන්ම ජනශ්‍රැති ගවේෂකයකු වන පැතුම් ජයසුන්දර පවසයි.

තම අවශ්‍යතාව සඳහා කොළඹට පැ‍මිණෙන ඉහගම රතනපාල හිමියන් පළමුව බ්‍රවුන්රින්ග් ආණ්ඩුකාරවරයා හමුවෙයි. එහිදී උන්වහන්සේ ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටි‍න්නේ තමාට වැඩිදුර අධ්‍යාපනය සඳහා බුරුමයට යාමට අවසර දෙන ලෙසයි. මේ සඳහා බ්‍රවුන්රින්ග් ආණ්ඩුකාරවරයාගෙන් අවසර ලැබෙනතුරු කොළඹ රැදී සිටීමට උන්වහන්සේ තීරණය කරයි. 1811 දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඝාතනය කිරීමට අසාර්ථක උත්සාහයක් දරන මැලේ මුහන්දිරම්ව ඉහගම හිමියන්ට හමුවන්නේ මේ අතරතුරේදී ය. ඔහු සමඟ කරන කතා බහේදී හිරකඳවුරක සිර කර සිටින රාජ උරුමයක් සහිත කුමාරවරු දෙදෙනකු පිළිබඳ උන්වහන්සේට දැන ගන්නට ලැබිණි. මේ වඩුග කුමාරවරු දෙදෙනා පිළිබඳ තොරතුරු සැලවීමත් සමඟ ම බුරුම ගමන අතහැර දැමූ උන්වහන්සේ සිරගෙදර සිටින කුමාරවරු නිදහස් කර, රජ කරවී‍මට සැලැස්මක් දියත් කළේ ය.

අවශ්‍ය සැලසුම් සියල්ල සූදානම් කළ ඉහගම හිමියෝ සබරගමු දිසාවේ ජනනායකයා වූ එක්නැලිගොඩ හමුවී තම සැලැස්මට සහය ලබා ගැනීමට කටයුතු කළේ ය. 1816 ජූලි 16 අදාළ හමුව සිදුවූ අතර එහිදී ඉහගම හිමි සමඟ කපුලියද්දේ හිමි සහ පෝද්දල්ගොඩ හිමිවරු එක්නැලිගොඩ සමඟ සාකච්ඡාවට එක්වූහ‍. මේ කතාබහෙන් පසු එක්නැලිගොඩ සියලු විස්තර ඩොයිලිට හෙළි කළේය. එහි ප්‍රථිපලයක් ලෙස වහාම ක්‍රියාත්මක වූ ඉංග්‍රීසීහු භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළහ. නුවරදී අත්අඩංගුවට ගැනුණු භික්ෂූන් වහන්සේලා ‍කොළඹට එවීමට කටයුතු කෙරුණි. කොළඹට එන අතරමඟදී සොල්දාදුවන්ගේ අතපසු වීමක් බලා පලා යෑමට භික්ෂූන් වහන්සේලාට හැකි විය. ‍කෙසේ වෙතත් පසුව කෙරුණු සොයා බැලීම් වලදී පොද්දල්ගොඩ සහ කපුලියද්දේ යන හිමිවරු නැවැත අත්අඩංගුවට ගැනීමට හැකි විය. එහෙත් ඉහගම හිමියන් සොයා ගැනීමට ඉංග්‍රීසීන්ට නොහැකි විය. සිවුරු අතහැර දමා සත්කෝරලයට පැන ගිය ඉහගම එහිදී ගැමියකු ලෙස අප්‍රසිද්ධ ජීවිතයක් ගත කළේය. පසුව වෙල්ලස්ස අරගලය ආරම්භ වූ විට සටන් බිමට පිවිසි ඉහගම හිමි කැරැල්ල අවසානයේ අත්අඩංගුවට පත්විය. එහිදී මුරිසි දිවයිනට පිටමං කිරීමට කටයුතු කෙරිණි.

එහෙත් රජකු සෙවීමේ උත්සාහය අතහැරීමට ස්වදේශිකයෝ සූදානම් වූයේ නැත. ඒ සඳහා ඔවුහු තවත් විකල්ප සෙවූහ.

"රජකමට උරුමය තියෙන කෙනෙක් නැති ප්‍රශ්නයක් ආවා. ඊළඟට ඔවුන් කළේ රජකමට සුදුසු කෙනෙක් සොයා ගැනීමයි‍‍. ඔහුත් මහණ වෙලා හිටපු කෙනෙක්"

ග්‍රන්ථ රචකයකු මෙන්ම ජනාශ්‍රැති ගවේෂකයකු වන පැතුම් ජයසුන්දර අප සමඟ කියයි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »